හොඳම ඉන්ගිරිස් පාඩම

හොඳම ඉන්ගිරිස් පාඩම

.

Damith Kethaka

.

ඊයේ දිනයේදී දාපු ඉන්ග්‍රීසි ඉගෙනුම ගැන පෝස්ට් එක දැකලා බොහෝ දෙනෙක් පොදුවේ අහපු ප්‍රශ්ණ කීපයකට තමයි මේ පිළිතුරු….

ඒ පෝස්ට් එකෙන් සහ ඊට කළින් දාපු ඉන්ග්‍රීසි බස ඉගෙනුම ගැන තමන්ගෙ පුද්ගලික අත්දැකීම් හුඟ දෙනෙක් එකතු කරපු පෝස්ට් එකෙන් කවුරු හරි යමක් ඉගෙන ගත්තා නම්, ඒ ගැන ගොඩක් සතුටුයි….

මේ ලෝකෙ ඕනම විෂයක් ඉගෙන ගන්නකොට, ඒ විෂය සඳහා තමන්ගෙ තියෙන ප්‍රවීණත්වය, හැකියාව, හැසිරවීම වගේ දේවල් වලින් කෙතරම් දුරක් ගිහිල්ලද, ඒ දැනුමේ සිද්ධාන්ත සහ ව්‍යවහාරය ගැන ක්කොපමණ අත්දැකීම් තියෙනවද කියන එක මත, ඒ ඒ පුද්ගලයන්ව ඛාණ්ඩ වලට බෙදන්න පුලුවන්….ඒක පිළිගත් අධ්‍යාපන ආයතනයක් මඟින්, ප්‍රමිතියක් ඇතුව කරාම ලැබෙන දේවල් තමයි බී.එස්.සී / බී.ඒ, මාස්ටර්ස්, පී.එච්.ඩී ( කළානිධි / විද්‍යාවේදී, ශාස්ත්‍රපති, දර්ශණපති ) යනාදී සහතික සහ වරදාන….

භාෂා ඥාණය අනුව ඔබ අයිති වෙන්නේ කොතනටද?

භාෂාවකත් එහෙමයි…ඕනම භාෂාවක තමන්ට තියෙන ලිවීමෙහි, විසීමෙහි සහ බිණීමෙහි දැනුම අනුව කෙනෙක්ව විවිධ කැටගරි වලට එකතු කරන්න පුලුවන්….මෙහිදී මම නිදසුන් දෙකක් දෙනවා, ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව…

  1. එමරිකා එක්සත් ජනපදයේ “යූ.එස් ෆොරීන් සර්විස් ඉන්ස්ටිටියුට්” කියන ආයතනය තියෙන්නෙ, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ…. මේ ආයතනය තමයි, විදෙස් සේවාවන්ට යන අයව පුහුණු කරන්නෙ… ඒ අය හදලා තියෙනවා ඉන්ටර් – ඒජන්සි ලැන්ග්වේජ් රවුන්ඩ් ටේබල් කියලා මිනුම් ක්‍රමයක්…. ඒ ක්‍රමය අනුව
  • නෝ ප්‍රොෆිෂන්සි ( No Proficiency ) – යම් බසක් පිළිබඳව කිසිදු හැකියාවක් නැත
  • එලමෙන්ට්‍රි ප්‍රොෆිෂන්සි ( Elementary Proficiency ) – යම් බසක මූලික ව්‍යවහාරික භාවිතා ගැන යමක් දනියි….දිගටම ඉගෙනීම ආරම්භ කළ හැක
  • ලිමිටඩ් වර්කින් ප්‍රොෆිෂන්සි ( Limited Working Proficiency ) – යම් බසකින් රැකියාවක් කරගෙන, එදිනෙදා සමාජයේ “ජාම බේරාගෙන” ජීවත් වෙන තරමට, මෙන්ම සරල බසින් සමාජයේ කථා බස් කරන්නට ( කැෂුවල් කන්වර්සේෂන්ස් ) හැකියාව ඇත
  • ප්‍රොෆෙෂනල් වර්කින් ප්‍රොෆිෂන්සි ( Professional Working Proficiency ) – ඔබට ඉහළ අධ්‍යාපනයක් ලබන්න, සමාජයේ විවිධ විෂයන් ගැන දේශනයන් පවත්වන්න, සංකීර්ණ රැකියාවක නිරත වෙන්න හැකියාව තිබේ
  • ෆුල් ප්‍රොෆෙෂනල් ඇන්ඩ් ඇකඩමික් ප්‍රොෆිෂන්සි ( Full Professional and Academic Proficiency ) – ඔබට සරසවිය උගන්වන්න තරමට දැනුම තියෙනවා
  • නේටිව් ෆුල් ප්‍රොෆෙෂනල් ප්‍රොෆිෂන්සි ( Native Full Professional Proficiency ) – ඔබට ඒ විදෙස් බස මව් බස කරගත්තු භාෂා විශාරදයෙක් තරමටම ඒ බස හුරුයි

ඔන්න ඔය කියන කැටගරි වලට තමයි, එක්සත් ජනපදය වෙනුවෙන් විදෙස් සේවා කරන්න එන අය, ඒ ඒ අය ඉල්ලුම් කරන රටවල් වලට යනකොට, ඒ රටවල ප්‍රධාන භාෂා ගැන තියෙන දැනීම අනුව බෙදන්නෙ….

එතකොට යුරෝපියන් යූනියන් එකේ කථාව ඔයිට වඩා සරලයි … ඒ ගොල්ලන්ගෙ වර්ගීකරණය තමයි :

බිගිනර්, එලෙමෙන්ට්‍රි, ඉන්ටර්මීඩියට්, අපර් ඉන්ටර්මීඩියට්, ඇඩ්වාන්ස්ඩ්, එක්සපර්ට්….
එතනත්, ඒ ඒ වර්ග වලට අයිති වෙන්නේ, ඔය ඉහත ඇමරිකන් උදාහරණයෙදි කියපු මට්ටම්වල හැකියාවන් තමයි…. ලොකු වෙනසක් නෑ…..

බසක් ඉගෙනීමේදී අවධානය යොමුවිය යුතු “සුලභ වදන්” යනු මොනවාද?

මම ඊයේ දාපු පෝස්ට් එකේ ඔබට කිව්වා, ඔබට යම් විදෙස් බසක් ඉගෙන ගන්න උවමනා නම්, ඒ බසින් හිතන්න පුරුදු වෙන්න කියලා….ඒක මෙහෙමයි
ඔබ තනිවම ගමනක් යනවිට, කඩේට යනකොට, ඔය වගේ පෞද්ගලික අවස්ථා වල, එතකොට ඔබ ඔබම සමඟ මොහොතක් තනි උනාම, හිතන්න පටන් ගන්නවනෙ…..කඩේකට ගියොත් ” ආ….මොනවද ගේන්න කිව්වෙ?…. ලූණු දෙසිය පනහයි…. එතකොට කහ…..ආ … කහ නෑනෙ දැන් ලංකාවෙ….ඒකට කෙළියනෙ…..තුනපහ අඩුම කුඩුම තව මොනවද ඕන…?” ඔය වගේ හිත හිතනෙ ඉන්නෙ….

අන්න ඒ හිතන දේවල් පුළුවන් හැටියට, ඔබට ඒ ඉගෙන ගන්න ඕන අන්‍ය බසින් හිතන්න හිත පුරුදු කරගන්න…..එතකොට ඔබට තේරෙයි, ඔබේ ඒ භාෂාවෙහි තියෙන වාග් මාලාව ( වොකැබියුලරි එක ) දුර්වල නිසා, ඔබට ඒ ඒ අවස්ථාවට ගළපගන්න වචන එන්නෙ නැති බව….වචන මදි බව….

එතකොට ඔබ ගෙදර ඇවිත්, ඒ වගේ අවස්ථාවකට ගැලපෙන වචන හොයන්න….මොන මොනවද තිබුනේ… ඒවට කියන නම් මොනවද, එතකොට ඒ මොහොතේ ඔබ කරමින් සිටි ක්‍රියාවලට ඒ බසින් කියන්නෙ මොනවද, එතකොට සම්බන්ධීකාරක වචන, විශේෂණ ආදියට ඒ බසේ මොනවද තියෙන්නෙ…?… ඔන්න ඔය විදියට ඒ අවස්ථාව ඔබට අවශ්‍ය නම් අර අන්‍ය බසින්ම සන්නිවේදනය කරගන්න පුලුවන් විදියට හිතෙන් ප්‍රතිනිර්මාණය කරගන්න…..

ඔය විදියට දිගටම කරනකොට ඔබට තේරෙයි, ඔබ ඒ ඉගෙන ගන්න බසෙහි :
“නිතරම හමුවන, එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත්,
නාම පද, ක්‍රියාපද, විශේෂණ ආදී දේවල් අතරින්, වැදගත්ම වචන සෙට් එක මෙන්න මේවායි කියලා….

ආන්න ඒ වචන ටික තමා, ඔබට සාපේක්ෂව ඒ බසේ “කී වර්ඩ්ස් ” ටික…. ඒ ටික හොඳටම මතක තියාගන්න… තියාගෙන, අලුතින් එන අවස්ථාවෙන් අවස්ථාවට ඒකට අලුත් වචන ටික ටික එකතු කරගන්න…..

තේරුණාද වැඩේ….?… ඔන්න ඕකට තමයි කියන්නෙ “ලින්ග්විස්ටික් ෆවුන්ඩේෂන්” හෙවත් භාෂාමය පදනම දානවා කියලා…..ස්ථිරසාර පදනමක් නැතුව පටන් ගන්න කිසිම දෙයක් සාර්ථක වෙන්නෙ නෑ….ඉස්සෙල්ලා පදනම දාගෙන, ඒක උඩ ඕන තට්ටු පනහක බිල්ඩිමක් උනත් හදන්න….

මෙතනයි ලංකාවේ ගොඩක් අධ්‍යාපන ආයතන අසාර්ථක වෙන්නෙ…..අදාළ සිසුවා හෝ සිසුවිය කලු ලෑල්ලක් ඉස්සරහා ඉන්දගෙන, දිගින් දිගටම භාෂාවේ වචන සහ රීති ගැන කථා කළ පමණින්, ව්‍යක්ථව බස වහරන්න පුලුවන් කෙනෙක් බිහිවෙන්නෙ නෑ……අදාළ කෙනාව ඒ බස තුළ ජීවත් කරවන්න ඕන… තේරුණාද?…..එහෙම ජීවත් කරවන එක මොහොතක්, කලු ලෑල්ල ඉදිරියේ ගත කරන පැය ගාණකට වඩා ගොඩාක් ඉෆෙක්ටිව්…..ගොඩක් වටිනවා…..

දැන් එතකොට මම ඇයි උඩින් ඇමරිකාව සහ යුරෝපය භාෂා ඥාණය අනුව මිනිස්සුන්ව වර්ගීකරණය කරන්නෙ කොහොමද කියලා දැම්මෙ?….

ඔය උඩින් කියපු උපාය අනුගමනය කරලා, භාෂාවේ මූලික පදනම දාගත්තොත් ඔබට යන්න ලැබෙන්නෙ,

ඇමරිකන් සිස්ටම් එක අනුව – ඉලමෙන්ට්‍රි ප්‍රොෆිෂන්සි , වර්කින් ප්‍රොෆිෂන්සි ලෙවල් එකට විතරයි

යුරෝපියන් විදියට අනුව – බිගනර්, ඉලමෙන්ට්‍රි ලෙවල් එකට විතරයි….
ඔබ එතන දිගටම සිටිය යුතු නෑ……ඔබ එතනින් ඔබේ භාෂා ඥාණය “බිල්ඩ් අප්” කරගෙන, ඉම්ප්‍රොවයිස් කරගන්න ඕන…..ඔය කියන ලෙවල් එකේදි ඔබට “යන්තම් ජාම බේරගන්න” විතරයි පුලුවන්….

අන්න එතැන් සිට, ඔබ තව තව අවස්ථා හිතෙන් නිර්මාණය කරමින්, ඒවාට අවශ්‍ය යෙදුම්, වදන් හොයාගෙන, පොතපත කියවමින්, සාහිත්‍ය පරිශීලණය කරමින්, රූපවාහිනි වැඩසටහන්, සබ්ටයිට්ල්ස් බලමින්, කාටූන් බලමින්, හරියට සන්නිවේදන ශෛලීන් අල්ලාගෙන ඉදිරියට යන්න ඕන….

ඒ යන අතරෙම ඔබ ටික ටික උඩම හරියෙ ලෙවල් වලට එන්න නම්, ඒ කියන්නෙ “එක්ස්පර්ට්, ෆුල් ප්‍රොෆිෂන්සි ” ලෙවල් වලට එන්න නම්, ඔබට දැන් ඒ බස හිතට ෆිට් කියලා හිතෙන තැන ඉඳලා එහි ව්‍යාකරණ රීති ආදිය ගැඹුරට ඉගෙන ගන්න පටන් ගන්න ඕන…..එතකොට තමයි උඩටම යන්න පුලුවන්…

ඉන්ග්‍රීසි බසේ බහුලවම යෙදෙන වදන් මොනවාද?

මහා කවි විලියම් වර්ඩ්ස්වර්ත් කියලා තියෙනවා, එවකට ( ඒ කියන්නෙ 19 වැනි සියවසේ වගේ ) පැවති ඉන්ග්‍රීසි බසේ වචන 250 ක් අල්ලගත්තොත්, ඉතාම පහසුවෙන්, කථා කරන්න, තේරෙන්න ලියන්න පුලුවන් කියලා….

මේ ලෝකයේ ඉන්ග්‍රීසි බසේ මහා මූලාශ්‍රය ලෙස සළකන්නෙ, ඔක්ස්ෆර්ඩ් ඉන්ග්ලිෂ් කෝපස් කියන ඉන්ග්‍රීසි ටෙක්ස්ට් කෝපස් එක ( හෙවත් මූලාශ්‍ර වදන් එකතුව )… ඒකෙ වචන බිලියන 2 ක් වගේ තියෙනවා….අන්න ඒකෙ තියෙන වචන අරගෙන, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය කරපු සමීක්ෂණයකට අනුව, මේ ලෝකයේ බහුලවම භාවිතාවෙන වචන දෙසිය පනහ, මම පල්ලෙහා දෙන ලින්ක් එකේ තියෙනවා…. ඒක පොඩ්ඩක් බලන්න…

අන්න ඒවා තමයි, ඉන්ග්‍රීසි බාසාවේ කී වර්ඩ්ස්…..ඔය අනෙක් හැම බසේම ආන්න ඒ වගේ “මෝස්ට් කොමන් වර්ඩ්ස්” හෙවත් බස අල්ලගන්න කී වර්ඩ්ස් තියෙනවා….ඔබ ඒවා හරියට අර ඉහත කිව්වා වගේ, ඒ ඒ අවස්ථා වලට දාලා, මතක තියාගෙන ගළපගත්තොත්, ඔබේ පදනම හරි…..ඊට පස්සෙ ගොඩ නගාගෙන යන්නයි තියෙන්නෙ….තේරුණාද?…. මූලික ටික හරි කියලා ඔහේ ලැගගෙන ඉන්න එපා….බසක ව්‍යවහාර බස වගේම, ප්‍රාචීණ බස, ගම්භිර බස, විෂය බස ( ටෙක්නිකල් ඉන්ඩෙක්ස් වල තියෙන බස්, නීතිය හදාරන අය පාවිච්චි කරන ග්ලොසරි වල තියෙන වචන ) , රාජකීය බස, පණ්ඩිත බස, සාහිත්‍ය බස, පැරණි බස ඔය වගේ ගොඩාක් අංශ මේ ලෝකෙ තියෙනවා……තමන්ගෙ ආත්ම තෘප්තිය වෙනුවෙන් සහ උගත්කම වෙනුවෙන්, යන්තම් ජාම බේරාගෙන ඉන්නෙ නැතුව, තව තව ඉදිරියට ගිහින්, ඒවත් ස්පර්ශ කරන්න උත්සාහ කරන්න…

කථා කරන්න බයද?

බය වෙන්න එපා බං…!…මොන කෙහෙල්මලකට බය වෙනවද?…..ඉන්ග්‍රීසි කියන්නෙ ඉන්දු – යුරෝපියන් බසක්….මේ බසට පොදු මූලාශ්‍රයක් තිබෙන්නා සේම, ඒ හැම කළාපයකම සර්ව පෝෂණයක් ලබා තියෙනවා…. ඒ කියන්නෙ ඉන්දු ආර්යයන්, ඉන්දු දමිළයන්, මේ හැම කෙනෙක්ම මේ අපේ කළාපයෙනුත් ඔය භාෂා වලට දේවල් එකතු කරලා තියෙනවා….. ඒ නිසා ඉන්දු යුරෝපීය – යෙර්මෙනික – බටහිර යෙර්මෙනික – ඇන්ග්ලෝ ෆ්‍රීසියානු – ඇන්ග්ලික කියන මුල් සේරගෙන්ම ආපු ඉන්ග්‍රීසි බස “සුද්දගෙ බසක් විතරක් නෙමෙයි”… ඒක අපි හැමෝටම අයිතියි….

ආක්‍රමණික ජාතියක් සමඟ ආපු නිසා, අධිරාජ්‍යයක ඒජන්තයන්ගේ බස වෙච්ච නිසා, මේ ලංකාව වගේ රටවල ඕක ආභරණයක් කරගෙන, ඉහළ පන්ති චින්තනය අස්සට රිංගවගෙන ඉන්නවා….. ඒ නිසා වරදින එකාට ගොඩේ කියනවා, හිනා වෙනවා….

එහෙම අනුන්ට වරදිනකොට හිනාවෙන බූරුවන්ව සහ බූරිච්චියන්ව සත පහකට මායිම් කරන්නෙ නැතුව, ඔබට පුලුවන් විදියට, බඩ ගගා හරි නිවැරදි ඉන්ග්‍රීසි කථා කර කරන්න…

හැබැයි, හැමදාම වැරදි, වැරදි, බඩ ගගා ඉන්නෙ නැතුව, කැපවෙලා, නිවැරදි බසේ, නිවැරදි උච්ඡාරණ සහ ස්වර වලට ලංවෙන්න…. බසක් ඉගෙන ගන්නවාය කියන්නෙ අන්න ඒකයි…..අපි කවුරුවත් සර්වඥ නෙමෙයි…..සර්වඥ බුදු හාමුදුරුවෝ පමණයිනේ…..ඒ නිසා අපි හැමෝටම වරදිනවා….ගණන් ගන්න එපා…හැබැයි වැරදි වැරදි දිගටම එතනම ලගින්නත් එපා…..

මතක තියාගන්න…. ඉන්ග්‍රීසි කියන්නෙත් “තවත් එක බසක්” විතරයි…. ඒක අද විද්‍යාවේ, තාක්ෂණයේ සහ වාණිජ්‍යයේ ජාත්‍යන්තර බස…. ඒකෙන් ලෝකයේ ජාතීන් ඔවුනොවුන් අතර සම්බන්ධ කරනවා…..ඒකයි එකම වෙනස…..තමන් ඉගෙන ගන්න දේට ගරු කරන්න ඕන….නමුත් ඒකට වඳින්න ගියාම තමයි, ඔය කථා කරන්න ලැජ්ජාව එන්නෙ…..”අනේ මට වරදියිද, සමාජය මොනවා හිතයිද?” … ඒවයින් වැඩක් නෑ……ඔබට දැන් බැරි නම්, ඔබ කොහොම හරි ඔබට පුලුවන් කරගන්න එපැයි…. එහෙනන් මුලින් ඔබ සමඟ සංවාදය ගොඩ නගාගෙන, ඊටපස්සෙ ලෝකය සමඟ බය නැතුව කථා කරන්න….

http://www.anglik.net/english250.htm?fbclid=IwAR21NK8o7bxMxYudb0OB9I0s9rXrdybc1wGPo90N43I3gEt8E47MlY1kD_o

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*