ලෝ වටා ගිය චීනුන් හා දැනුම

ලෝ වටා ගිය චීනුන් හා දැනුම

.

Nalin de Silva

.

වැලිසර නාවික හමුදා කඳවුරේ පොකුර ඒ නමින් හඳුන්නපු සූර වීර ධීර ජනමාධ්‍යවේදීන් බ්‍රැන්ඩික්ස් පොකුර ඒ නමින් හඳුන්වන්නේ නැහැ. මේ ජනමාධ්‍යවේදීන් උදාර දේශප්‍රේමීන්. බ්‍රැන්ඩික්ස් ආයතනය රටට ගෙනා විදේශ විනිමය සලකලා ඔවුන් ඒ පොකුර මිනුවන්ගොඩ පොකුර ලෙස නගරයේ නමින් හඳුන්වනවා වෙන්න පුළුවන්. මොන තරම් දේශප්‍රේමයක් ද? මොන තරම් නිර්භීතභාවයක් ද? මට නම් ඒ දේශප්‍රේමය ගෑවිලාවත් නැහැ. 

මේ බ්‍රැන්ඩික්ස් පොකුර ඇති වෙලා තියෙන්නෙ කොහොමද කියන එක තවම දන්නෙ නැහැ. පොකුර ඇති වුණෙ කොහෙද කියල දන්නෙ නැතිව පොකුර ඇති වුණෙ කොහොමද කියල දැනගන්න පුළුවන් ද? මට දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඔහොම කියන්න තරම් පොකුරක් තියෙනවා ද? ඔය සියල්ලෙන් ම අන්තිමට කියැවෙන්නෙ පරණ පොකුරු එකක්වත් පරාජය කරල නැති බවට සජිත්ල කිරිඇල්ලල කියන කතා ඇත්ත කියන එක ද? තොරතුරු හෙළිදරවු කිරීමට නොහැකි වූ විට අප්‍රසාදයට පත්වන්නේ බ්‍රැන්ඩික්ස් හරි ජනමාධ්‍යය හරි නොව ආණ්ඩුව  බව අමතක නොකළ යුතුයි.  ඒ සඳහා ඉඩක් නොතැබිය යුතුයි.

අප පළමුවෙන් ම බ්‍රැන්ඩික්ස් පොකුර පරාද කරන්න කළ හැකි සෑම දෙයක් ම කරන්න ඕන. ඒකට තමයි පූර්ණ අවධානය යොමු වන්න ඕන. ඒත් අපි බ්‍රැන්ඩික්ස් පොකුර ඇති වුණු හැටිත් දැන ගන්න ඕන. ඒක වූහාන් චීනයේ ඇති වුණා වගේ කිසිම විදේශ සම්බන්ධතාවක් නැතිව ලංකාවෙ ම ඇති වුණු එකක් ද? ඉදිරියටත් එවැනි පොකුරු ලංකාවෙන් ඇති වෙන්න පුළුවන් ද? අප ඒ සඳහා සූදානම් වෙන්න ඕන කොහොමද? 

කවුද ලියල තිබුණ චීනයේ නිෂ්පාදන කළ දෙයින් මෙතරම් කලක් ක්‍රියාත්මක වන්නේ කොවිඩ් 19 වයිරසය කියල. අනෙක් චීන භාණ්ඩවලට වඩා කොවිඩ් කල්පවතින බවක් තමයි ඉන් කියැවෙන්නෙ. මේ වයිරසය චීනයේ නිෂ්පාදනය කළ බවට සාක්‍ෂියක් නැහැ. එහෙත් ඇතැමුනට අනුව කොවිඩ් 19 නිෂ්පාදනය වෙලා තියෙන්නෙ එමෙත් නැත්නම් ඇතිවෙලා තියෙන්නෙ චීනයෙ. ඒ මොනව වුණත් චීනයේ පාරම්පරික වෙදකමට කොවිඩ් 19 පාලනය කරන්න, සුව කරන්න පුළුවන් ද? ඒ ගැන චීනය අධ්‍යයනයක් කරල තියෙනවා ද? මෙරට ඉන්න චීන විශාරදයන්ට ඒ ගැන යමක් කියන්න පුළුවන් ද?

අද අප ඉන්නෙ ජාත්‍යන්තර බටහිර ක්‍රිස්තියානි ලෝක ආධිපත්‍යයක. කොවිඩ් නිසා ම නූණත්  ජාත්‍යන්තර බටහිර ආධිපත්‍යය බිඳ වැටෙමින් තියෙන්නෙ. කලකට පෙර බටහිරයන් ම කිවුව මීළඟ සියවස ආසියාවෙ සියවස කියල. ඒක සියවසක් ද දෙකක් ද තුනක් ද කියන එක පැහැදිලි නැහැ. මේ ආසියාව කියන්නෙ අප නොවෙයි. බටහිරයන්ගෙ ආසියාව යනු චීනය හා ඕන නම් අග්නිදිග ආසියාව. අපත් පොඩි ආඩම්බරයක් එකල ඇති කර ගත්ත අපත් මේ ආසියාවෙ කියල. අප ආසියාවෙ වෙන්නෙ සිතියමේ මිසක් දේශපාලනයෙ නො වෙයි. පඬි නැට්ටකු ඒ කතාවෙ පරස්පරයක් දකීවි.  

අවුරුදු පන්සියකට හයසීයකට ඉස්සරත් චීනයට යම් බලයක් තිබුණා. වෙඩි බෙහෙත්, මාලිමා යන්ත්‍රය (ජ වි පෙ ගත්ත උතුර දකුණ මාරුවෙන එක නොවෙයි), මුද්‍රණ ශිල්පය මුලින් ම දැන ගත්තෙ චීන්නු. කොලම්බස් මුහුදට බහින්න බොහෝ කලකට පෙර චීන්නු චෙං හෝ (මේ නමේ උච්චාරණය ගැන මා වග කියන්නෙ නැහැ)  අද්මිරාල්ගෙ නායකත්වයෙන් 1405 (පෘතුගීසීන් ලංකාවට එන්න අවුරුදු සීයකට පෙර)  ම මුහුදු තරණය කරල තියෙනවා. ඔහුගෙ මුහුදු ගමන් හතක් ගැන කියැවෙනවා. අවසාන ගමනෙ දි 1433 ආපසු චීනයට එන ගමන් ඔහු අවසන් ගමන් ගිහින්. දැන් මෙරට චීන පඬියකු ඉදිරිපත් වෙලා මෙහෙම නෙ වෙලා තියෙන්නෙ කියල දෙසුමක් ආරම්භ කරාවි. ඔවුනුත් දෙඩුම් ශිල්පීන් තමයි. පඬියන් මොනව කිවුවත් විස්තරවල අඩුපාඩුකම් තිබුණත් මූලික වශයෙන් චීනුන් සත්සමුදුර තරණය කළ බවට සාක්‍ෂි තියෙනවා. පඬි නැට්ටකුට ප්‍රශ්නයක් වෙන්න බැරි නැහැ සත්සමුදුර කියන්නෙ මොකක් ද කියල. 

බැරි වෙලාවත් අප පහළොස්වැනි සියවසේ පාප්වහන්සෙ පෘතුගීසීන් හා ස්පාඤ්ඤයන් අතර ලෝකය බෙදන්න ඉස්සෙල්ල චීන්නු ලෝක ආධිපත්‍යයක් පිහිටෙව්ව නම් මොකක් ද වෙන්න තිබුණෙ. මා මේ ප්‍රශ්නය අහන්නෙ ඉතිහාසයෙ නොවිච්ච දේ වුණා නම් කියන ප්‍රශ්නයට පිළිතුරක් දීම සඳහා නො වෙයි. මට ප්‍රශ්නය අහන්න හේතු ගණනාවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් පඬි නැට්ටන් හිතන්නෙ බටහිර සංස්කෘතිය දැනුම ආදිය සුපිරි නිසා අප ඒ අනුගමනය කරනවා කියා.

බටහිර දැනුමේ  සුපිරි බවක් නැහැ. ඒ සුපිරි බව ඉංගිරිසි බසේ ආධිපත්‍යය ආදිය රැඳිල තියෙන්නෙ දේශපාලන හා ආර්ථික හයිය මත. අප බටහිරට අධ්‍යාපනය සඳහා යන්නෙ රැකියා සඳහා යන්නෙ ඔය හයිය නිසා මිස බටහිර දැනුම සුපිරි නිසා නොවෙයි. බටහිර විද්‍යාවෙ දැනුමෙ සුපිරි බවක් නැහැ. බටහිර ඥානවිභාගය වර්තමානයෙ ක්‍රියාත්මක වන්නෙ ම  බටහිර විද්‍යාවෙ හා ඊනියා විද්‍යාත්මක දැනුමෙ සුපිරි බව කියන්න. තෝමස් කුන් කෙරුවෙත් ඒකමයි. මෑතක තමයි තත්වය වෙනස් වෙන්න පටන් ගත්තෙ. මෑත අතීතයෙ අප චීනයට දැනුම ලබා ගන්න ගියේ නැහැ. දැන් තත්වය වෙනස් වෙමින් තියෙන්නෙ.

චීන ආධිපත්‍යයක් යටතෙ චීන බස (මැන්ඩරින්)  සුපිරි බස වෙන්න තිබුණ. චීන සංගිතය අපේ අයගෙ සම්භාව්‍ය සංගීතය වෙන්න තිබුණා. කොන්ෆියුෂියස් හා ටාම් නිව්ටන් හා ගැලීලියෝ වෙනුවට ආදේශ වෙන්න තිබුණා. චීන කර්මාන්තවලින් අප රට වැහෙන්න තිබුණා. කාට හරි අහන්න පුළුවන් අද චීනය දියුණ වෙලා තියෙන්නෙ (දියුණුව කියන්නෙ මොකක් වුණත්) බටහිර තාක්‍ෂණය නිසා නේද කියල. චීනය බටහිර තාක්‍ෂණය ඔවුන්ගෙ සංස්කෘතියට අවශෝෂණය කර ගෙන. අද චීනය පහළොස්වැනි සියවසේ චීනය නො වෙයි. ඒ වගේ ම අද බටහිර දහසය වැනි සියවසේ බටහිරත් නොවෙයි. රටවල් විකාශය වෙලා. 

මට ඕන කරන්නෙ දේශපාලන හයිය සමග ඒ ඒ දැනුම් ආධිපත්‍යයට පත්වන හැටි පෙන්වන්න. ඉන්දියාව ලෝක ආධිපත්‍යයක් පිහිටුවා ගත්ත නම් විදග්ධයන් බීත්හෝවන් ගැන කතා කරන්නෙ නැහැ. ඔවුන් උත්තර භාරතීය සංගීතය ගැන කියාවි. අප ඉගෙන ගන්නෙ ආයුර්වේදය මිසක් බටහිර වෙදකම නොවෙයි. අපේ ගණිතය වෛදික ගණිතය වේවි.  

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*