අමාත්‍යාංශ විෂය පථ ප්‍රායෝගික කර ගන්නේ කෙසේද ?

අමාත්‍යාංශ විෂය පථ ප්‍රායෝගික කර ගන්නේ කෙසේද ?

.

විමලනාත් වීරරත්න

.

නව අමාත්‍යාංශ විෂය පථ විමර්ශනය කිරීමේදී පෙනී යන වැදගත් කාරණයක් නම්, මෙතෙක් අවධානයට ලක් නොවුණු කුඩා නිෂ්පාදන ආර්ථික ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි නැඹුරු වී තිබීමය. ඒ ඇතැම් ක්ෂේත්‍ර දීර්ඝ කාලීන අනවධානය නිසාම යටපත්ව හා අකර්මණ්‍යව ගොස් තිබුණි. සමහර නැසී ගිය ආර්ථික ක්ෂේත්‍ර වලට ආදේශක පැමිණ මේ වන විට ඒවා ස්ථාවරව තිබේ. එහෙත් දේශීය නිෂ්පාදනය නැංවීමට හා පරිධියෙහි ජනකොටස් වල ආර්ථිකය නැංවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ විෂය පථයන් විවර කර තිබීම ජනපති හා අගමැති ගත් වැදගත් මැදිහත්වීමක් බව කිව හැකිය. එහෙත් එකී එළඹීම් වල නොගැලපීම්ද තිබේ. ප්‍රධානම ප්‍රශ්නය නම් ඒ සමහර ආර්ථික මාර්ග නුතන පාරිභෝගික සමාජයට ගලප්පා ගැනීම දුෂ්කර වීමය. එසේ වී තිබෙන්නේ දිගු කාලයක් තිස්සේ එම දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය හා ආර්ථික මාර්ග නොසැලකිල්ලට බඳුන්ව තිබීමත් පහසු ආදේශක උපයෝගීවීමත් හේතුවෙනි. නිදසුනක් ලෙස අද වන විට වසරක් දෙකක් දුෂ්කර ක්‍රියා කරමින් කිසියම් සුළු කර්මාන්තයක්, වෘත්තියක් හැදෑරීමෙන් වළකින තරුණයෝ ත්‍රීවිලරයක් අතට ගෙන ඉක්මණින් මුදල් හම්බ කරති. මෙහි කෙළවර ජාතියේම ඛේදවාචකයක් වුවත් දැනට බොහෝ අතරමගින් අධ්‍යාපනය නවත්වන තරුණයන්ගේ ආකල්ප සකස් වී තිබෙන්නේ ඒ අයුරිනි. නූතන ලංකිකයා මතුපිටින් දේශීයත්වය ජප කළත් අභ්‍යන්තරයෙන් හා හුරු පුරුද්දෙන් ස්වදේශිකයකු නොවීම මීට එක් හේතුවකි. ස්වදේශික හා අනාගතවාදී චින්තනය රට තුළ වල් වැදුණු තත්ත්වයක් තුළ ජනපතිගේ නව අමාත්‍යාංශ අනුමානයන් හා යෙදවුම් කොතෙක් ඵල දරයිද යන ප්‍රශ්නය මතුවේ.


බතික් හා අත්යන්ත්‍ර රෙදි නිෂ්පාදනය මෙතෙක් මූලික අවධානයක් යොමු නොකැරුණු ක්ෂේත්‍රයකි. මෙවර එම විෂය රාජ්‍ය ඇමතිවරයකු යටතට පත්කොට තිබේ. එක් කලෙක ලංකාවේ ජනප්‍රියව පැවති බතික් කර්මාන්තය වෙනත් නුතන විලාසිතා වල ආගමනයත් සමග යටපත් වුයේය. දැන් බතික් අඳින්නෝ සුලභ නොවෙති. ඉඳහිට බතික් අඳින්නේ අවුරුදු හැට පැන්න කෙනෙකි. බතික් වෙනුවට තරුණ පෙළෙහි ආකර්ෂණය දිනාගත් දිදුලන විලාසිතා තිබේ. අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනය දුර බැහැර ගම්වල ඉඳහිට ටකොස් ටොකොස් හඬින් ක්‍රියාත්මක වෙයි. එවැනි විෂය ප්‍රදේශයක් ජනප්‍රිය ආර්ථික මාර්ගයක් කිරීමට නම් යළි ඒ කරා කුඩා කර්මාන්තකරුවන් පොළඹවා ගත යුතුය. එම නිෂ්පාදන වලට වෙළෙඳ පළක් ඇති බව ඔවුන් තුළ ඔප්පු කළ යුතුය. එසේ වන්නේ ඇත්තටම වෙළෙඳ පළක් නිර්මාණය වුවහොත්ය. මෙය විෂයභාර ඇමතිවරයා අධෛර්යට පත්විය යුත්තක්ද නොවේ. සමහර විට අලුත් විදියකට සිතා බැලීමෙන් හා එම වෙළෙඳපළට නව මුහුණුවරක් දෙන ක්‍රමයකින් මේ ප්‍රශ්නය ජය ගැනීමටද අවස්ථා තිබෙන්නට පුළුවන. විශේෂයෙන්ම බතික් සාරි නිෂ්පාදනයට සැලකිය යුතු ඉල්ලුමක් තිබේ. එම ඉල්ලුමට සැපයුමක් නැති බවද පෙනෙයි.


කිතුල්, තල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය තවත් අමාත්‍යාශ විෂය පථයකි. කිතුල් හකුරු, කිතුල් පැණි, තල් හකුරු, තල් රා මිලෙන් ඉහළය. ඒවා ඉල්ලුමේ තරමට සැපයීමක් නැති නිෂ්පාදනය. මිල ගණන් තරමක් ඉහළ වුවත් මෙම නිෂ්පාදන පාරිභෝගිකයන් අතර ජනප්‍රිය කළ හැකිය. විශේෂයෙන්ම තල් අරක්කු නිෂ්පාදනය වැනි ක්ෂේත්‍රයකින් අධික ලාභ ඉපැයිය හැකිය. එමෙන්ම ගෝඨාභයට ආර්ථික වටිනාකමෙන් අඩු ඇතැම් බව බෝග නිෂ්පාදනය පසු පස හඹා යනවාට වඩා ගංජා අපනයනය වැනි විෂය ක්ෂේත්‍රයක් කෙරෙහි අවධානය යොමු කිරීමට හැකිය. ලෝකයේද ඉල්ලුමක් ඇති රටේ හොඳින් වැවෙන බව භෝගයක් ආර්ථික මාර්ගයක් බවට පත්කර ගැනීමේ කිසිදු වරදක් නැත. ජනපති ගෝඨාභය එය අනුමත කළහොත් සංඝ සමාජය පවා ඊට එරෙහි නොවනු ඇත. ගංජා ඖෂධයක් ලෙසත්, පානයක් ලෙසත් ප්‍රතික්ෂේප කළ යුත්තක්ද නොවේ. රටේ නායකයන් ආචීර්ණ කල්පික මතවලින් බැහැරවී වෙළෙඳාමක් දියුණු කිරීම පිළිගත යුත්තකි. ඊට වඩා සේරිවානිජවාදී කටයුතු සිදුවන සමාජයක ගංජා වැවීම හා අපනයනය වැරදි ක්‍රියාවක් නොවේ.


ග්‍රාමීය කලාශිල්ප ප්‍රවර්ධනය නම් වූ අමාත්‍යාංශ විෂය පථය ගතහොත් මේවා දියුණු කිරීමටත් දීර්ඝකාලීන වැඩසටහන් අවශ්‍යය. නිදසුනකට රූකඩ හා වෙස් මුහුණු වැනි කලා ශිල්ප ගතහොත් ඒවා පරම්පරාගතව එන කලාවන් ලෙසවත් මේ වන විට සිදු කෙරෙනවා අඩුය. අම්බලංගොඩ, ඒවා අකර්මණය ලෙස නමට පමණක් තිබේ. රටේ ආකල්ප වෙනස්වීම මෙන්ම නූතන පරපුර බලාපොරොත්තුවන අන්දමේ මුල්‍ය පිබිදීමක් ඒවායින් අත් නොවීම ඇතුළු තවත් හේතු මේ අවගමනයට බලපා ඇත. මේවා සියුම් කලාවන් බැවින් දඩිබිඩි සමාජයක අලුත් මිනිසුන්ට ඒ සඳහා ඉවසීම නොමැතිවීමද ගැටලුවක් වී තිබේ.


මාතලේ සේසත් හා ලාක්ෂා නිර්මාණ වැටී තිබෙන්නේත් උක්ත හේතු නිසාය. මාතලේ දිස්ත්‍රික්කයේ මල්හෑව පැදුරු කර්මාන්තයේ නියැලුණු පරම්පරා වල වර්තමාන දරුවෝ මේ වන විට කොළඹ පැමිණ දුරකථන සමාගම් වල කම්කරු වැඩ කරති. ඇතැම් කර්මාන්තවල නවපරපුර නොනියැලෙන්නේම ඒ බොහෝ ඒවායින් ඔවුන්ගේ කුලය ඉස්මතුවී පෙනීම නිසාය. ලංකාව තුළ තවදුරටත් කුලය පීඩිත ජනකොටස් තවතවත් පීඩාවට ලක් කරන සාධකයක් බවට පත්ව තිබීමද ඉන් ගම්‍ය වේ.


බඩඉරිඟු වගාව සැලකිය යුතු මට්ටමකින් සිදුකැරෙයි. උක්වගාව ගතහොත් එක් උදාහරණයක් මෙබඳුය. හිඟුරාන සීනි කර්මාන්තශාලාවේ ආම්පන්න යකඩ වලට විකිණී ගිය 90 දසකයේ මැද සිට 2005 දක්වා හිඟුරාන උක්වගාව නැත්තටම නැතිවී ගියේය. කර්මාන්ත ශාලාවේ වැඩ කෙරුණු කාලයේ කුඩා නගරයක් වූ හිඟුරාන කඩමණ්ඩියේ දවසකට ලක්ෂ තිහ හතලිහක මුදලක් සංසරණය වූයේය. 2005 වනතුරුම එම කඩමණ්ඩිය දරිද්‍රවුයේ උක්වගාවත්, කර්මාන්තශාලාවත් දෙකම නැති වු නිසාය. 2005 න් පසු රාජපක්ෂ රජය යටතේ ඊට හොඳ කාලයක් උදාවිය. එසේ වුයේත් හුදෙක් සීනි නිෂ්පාදනයෙන් නොව මධ්‍යසාර නිෂ්පාදනයට රුකුල් දීම නිසාය. එබැවින් මෙවැනි අමාත්‍යංශ විෂය පථයන් අතරින් සමහර ඒවා ගැඹුරු අධ්‍යයනයකින් පසුව ප්‍රායෝගිකත්වයට නැංවිය යුතුව ඇත.


වේවැල්, පිත්තල, මැටි, ලී බඩු තවත් අමාත්‍යාංශ විෂය පථයකි. පිළිමතලාවේ පිත්තල කර්මාන්තකරුවන්ට ප්‍රශ්න රැසකි. ඔවුහු ඒවා දීර්ඝ කාලයක් තිස්සේ ජනමාධ්‍ය වලින් හෙළි කරති. පිත්තල නොමැති ප්‍රශ්නයත්, නිෂ්පාදන වියදම අධික් වී තිබීමත් මෙම කර්මාන්තයට බරපතළ අනතුරක් උද්ගත කරදී තිබේ. වේවැල් බෑග් නිසා වේවැල් කූඩා භාවිතය නැතිවී ගියේය. සිලි බෑග් සංස්කෘතිය චින්තනයෙන්ම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් ඇතිවුවහොත් වේවැල් කූඩා, පන්මළු වැනි දේවල් නැවත භාවිතයට ආදේශ කරගත හැකිය.


තවත් නිදර්ශනයක් ලෙස කොහු වලින් කරන කර්මාන්ත යටපත් වුයේ ප්ලාස්ටික් කෙඳි සහිත මෙවලම් පිටරටින් ආ නිසාය. එහෙත් කොහු භාවිතයෙන් හදන කොසු වැනි මෙවලම් කෙඳි නොගැලවෙන හා විධිමත් ආකාරයකට නවීකරණය කළහොත් ප්ලාස්ටික් කෙඳි මෙවලම් නැවැත්විය හැතිය. පැරණි පන්නයේ නිෂ්පාදන වලට නව මුහුණුවරක්ද මෙම වැඩසටහනේදී අවශ්‍ය බව අවධාරණය කළ යුතුය. නැගෙනහිර කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව කොහුවලින් මනරම් මල්පෝච්චි නිෂ්පාදනය කරන වැඩ පිළිවෙලක් අරඹා තිබේ. දිගු කාලයක් පාවිච්චි කළ හැකි ලෙසත් අවසානයේදි පසට එකතු වන ලෙසත් එය සකස් කර තිබේ. එය නවීකරණය පැත්තෙන් මෙන්ම පරිසර හිතකාමීත්වය පැත්තෙන්ද වැදගත් උදාහරණයකි. අම්පාරේ එරගම උඵ නිෂ්පාදනය සඳහා විශේෂ මැටි වර්ගයක් භාවිතා කෙරෙයි. එම මැට්ටෙන් හදන උළු පෝසිලෙන් බවට අනුවර්තනය කිරීමේ හැකියාවක් තිබේ. මැටි නිෂ්පාදනය භාර රාජ්‍ය ඇමතිට යළි කිසි දිනක කුළු බඩු වලට අවධානය යොමු නොකර මේවා ගැන සොයා බැලිය හැකිය.


කිරි ආහාර ආශ්‍රිත විෂය පථය මේවා අතරින් වැදගත්ම අංගයකි. කිරි ගොවීන්ට සාරවත් කිරි ගවයින්ගේ හිඟයක් තිබේ. එමෙන්ම කිරිගවයින් ප්‍රවාහනය කිරීමේ ගැටලුවක්ද තිබෙන බව ගොවීහු කියති. ඊළඟට කිරි පිටි වෙනුවට එළකිරි භාවිතය ජනප්‍රිය නොවුණු බැවින් ඒ සඳහාද වැඩ පිළිවෙලක් අත්‍යවශ්‍යය. එළකිරි කල්තබා ගැනීමට ක්‍රමද මේ වනවිට තිබෙන බැවින් මෙම විෂය පථය පමණක් රටේ ලොකු වෙනසකට භාවිතා කළ හැකිය. ඒ ප්‍රෙෂ් මිල්ක් භාවිත ප්‍රතිශතය වැඩිකොට කිරිපිටි ආනයනය අඩු කිරීමෙනි.


නව රජය අමාත්‍යාංශ විෂය තේරීමේදී ආහාර නිෂ්පාදනයට අදාළ දේවල වලට අමතරව අවධානය යොමු කර ඇති තවත් වැදගත් විෂය පථයක් වනුයේ ක්ෂුද්‍ර මුල්‍ය ක්ෂේත්‍රයයි. මෙය ලංකාව පුරා මේ වන විට ඔඩු දුවා ගිය ප්‍රශ්නයකි. වර්තමාන ජනාධිපතිවරයා ක්ෂුද්‍ර මුල්‍ය ණයකරුවනට එම ඔඩු දුවා ඇති ප්‍රශ්නය විසඳන බවට පොරොන්දුවක් දුන්නේය. ඒ අනුව ඔහු පියවර ගෙන තිබීම යහපත් තත්ත්වයකි. කළ යුතු එක් දෙයක් වන්නේ අති විශාල පොලී අනුපාතයන් අඩු කොට පොලිය සාමාන්‍ය තත්ත්වයකට පත් කිරීමය. එමෙන්ම ජය ලාභින්ගේ කටයුතු එනම් ආයෝජනයන් අධීක්ෂණය කරන ක්‍රමයක්ද මෙම අමාත්‍යාංශයට භාර දිය යුතුය. එමෙන්ම සියලු මුල්‍ය ආයතන මහ බැංකුවේ ලියාපදිංචි කිරීමද අත්‍යවශ්‍යය. ඒ සමගම මුල්‍ය ආයතන ණය හිමියන්ට කරන බලහත්කාරයට නීති මගින් ක්‍රියා කරන පිළිවෙලක් අවශ්‍යය.


සැබැවින්ම මෙම අමාත්‍යාංශ විෂය පථයන් විචිත්‍රවත් කරගත හැක්කේත්, සාර්ථක කර ගත හැක්කේත් සේවය සළසන, සේවය ලබන සියලු පාර්ශ්ව වල උනන්දුව, සහයෝගය, අවංකකම හා ප්‍රතිපත්තිගරුක බව මත පමණක්ම බව අවසන් වශයෙන් අවධාරණය කරන්නෙමු.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*