LPL උන්මාදයෙන් අප්‍රිකා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉනිමකින් පැරදුනේ ඇයි ?

LPL උන්මාදයෙන් අප්‍රිකා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉනිමකින් පැරදුනේ ඇයි ?

.

Lanka Sport News

.

Sri%2BLanka%2BCricket%2BTest%2BTeam%2BInjury%2B2020

ඇතා ගිලපු දිවුල් ගෙඩිය වගේ පිටින් ඔපේ යටින් හපේ ඇති තැනක් බවට මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්ව තිබෙනවා. එහි අනිටු විපාක ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් එලිපිටම විදවීමට සිදුව අවසන්. එලෙස දකුණු අප්‍රිකාව හමුවේ සෝචනීය පරාජයක් උරුම කර ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලෝකයාට හඬගා කිව්වේ සැලැස්මක් නැතිකමේ ප්‍රතිවිපාකයි. දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉනිමක හා ලකුණු 45 ක පරාජයක් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම උරුම කර ගත්තා. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් ආබාධයන්ට ගොදුරු වූ මෙම තරගයේ පරාජයට හේතු හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එය නිර්මාණ කළ ආකාරය මෙලෙස දිග හැරෙනවා.

කොරෝනා නිසා හෙම්බත්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2020 ක්‍රිකට් තරගාවලිය පසුගියදා පැවැත්වූවා. සැලසුම් කළ දිනවලට පැවැත්වීමට නොහැකිව කල් යමින් තිබූ තරගාවලිය, අවසානයේ දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කට මුල පැවැත්වීමට කටයුතු කළා. මින් අගතියට පත්වුනේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමයි. ලංකා ප්‍රිමියර් ලීග් LPL 2020 ක්‍රිකට් තරගාවලියට පෙර සතියක විශේෂ පුහුණු කඳවුරක් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයකට හිමිවුණා. පල්ලෙකැලේ පැවති මෙම පුහුණු කඳවුරට ක්‍රීඩකයින් තෝරා ගත්තේ හොර රහසේයි. තේරීම් කමිටුවක් නැතුව සිදුකළ එම තෝරාගත් පිරිසම මේ වන විට දකුණු අප්‍රිකාවේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටිනවා. මෙම තේරීම් හොර රහසේ සිදු කිරීම හා එම කණ්ඩායම පසුව තේරීම් කමිටු හා ක්‍රීඩා අමාත්‍ය අනුමැතියෙන් දකුණු අප්‍රිකා ගිය බව Lankasportsnews අප මෙලෙස අනාවරණය කළා.

නාමල්ගේ ජාතික ක්‍රීඩා සභාවේ පටලැවිල්ලක් – Exclusive Exposed

තේරීම් කමිටුවක් නැතුව හොර පාරෙන් අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් – Exclusive Exposed

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2020 ක්‍රිකට් තරගාවලිය නිමාවී නිවසට පැමිණ, යලිත් බඩු බාහිරාදිය රැගෙන ඒ පිම්මේම දකුණු අප්‍රිකා යාමට‍යි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට සිදු වුණේ. මෙලෙස අප්‍රිකා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට නායක දිමුත් කරුණාරත්න තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමු දිනය නිමාවන විය කඩුලු 06 ක් දැවී ලකුණු 340 ක් ලබා ගත්තා. එලෙස සාර්ථක ආරම්භයක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන දිනයේ වරුවක් යන විට සියලු දෙනා දැවී ලකුණු 396 ක් රැස් කළේ දකුණු අප්‍රිකාව හමුවේ ටෙස්ට් ක්‍රිකට් ඉනිමක ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු පුවරුවට එක් කරමිනුයි. දිනේෂ් චන්දිමාල් ලකුණු 85 ක්, දසුනක් ශානක ලකුණු 66 ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 49 ක් ඉනිමට එක්කළා. ධනංජය ද සිල්වා ලකුණු 79 ක් ලබා සිටියදී ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

Dananjaya%2BDe%2Bsilva%2BInjured%2BSL%2Bvs%2BSA%2BTest%2BMatch

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරක් එල්ල කළා. එහි ප්‍රතිඵලය වුණේ තරගයේ තුන්වන දිනය වන විට අප්‍රිකාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 621 ක් ලබා ගැනීමයි. ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 225 ක් හඹායාමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටියට එන විටත් පිතිකරුවන් තුන් දෙනෙක්ට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත වී තිබුණා. ඒ පළමු ඉනිමේ පිතිකරණයේදී ආබාධයට ලක්වූ ධනංජය ද සිල්වා හා අප්‍රිකා පළමු ඉනිමේදී ආබාධයන්ට ගොදුරු වූ කසුන් රාජිත මෙන්ම ලහිරු කුමාරයි. කසුන් හා ලහිරු පිතිකරණයට පැමිණියත් කිසිදු ලකුණක් ලබා ගැනීමට සමත් වුණේ නැහැ. එමෙන්ම දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයද මෙම ක්‍රීඩකයින් තුන් දෙනාටම අවිනිශ්චිත වී තිබෙනවා. ඔවුන්ට අමතරව මෙම ඉනිමේ ලකුණු 25 ක් ලබාගත් දිනේෂ් චන්දිමාල් මේ වන විට සිටින්නේ ආබාධිත ක්‍රීඩකයින් අතරට එක්වයි. සුරංග ලක්මාල්ද එම පිරිස අතරට එක්ව අවසන්. කෙසේ වෙතත් කුසල් ජනිත් පෙරේරා ලකුණු 64 ක් වාර්තා කරන විට මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට එක්වූ වනිදු හසරංග ලකුණු 59 ක් ඉනිමට එක්කලා. ශ්‍රී ලංකා පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 10 සීමාව පසුකිරීමට පෙර තරග නරඹන්නන් වීම හේතුවෙන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 180 ක් පමණයි. මේ අනුව සත්කාරක දකුණු අප්‍රිකාව ඉනිමක හා ලකුණු 45 ක ජයක් වාර්තා කළා.

Finished%2BSL%2BVs%2BSA%2Bfirst%2BTest%2BMatch

මෙලෙස අසාර්ථක වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවූයේ සැලැස්මක් නැතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කිරීමයි. රතු බෝලයෙන් ක්‍රීඩා කරන ටෙස්ට් ක්‍රිකට් යනු දඩි බිඩි ක්‍රිකට් රටාවක් නොවේ. එහෙත් මෙම තරගාවලිය කට උඩ තිබියදී පන්දුවාර විස්සයි විස්ස ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2020 ක්‍රිකට් තරගාවලිය දින 21 ක් සුදු පන්දුවෙන් පැවැත්වුණා. එහිදී වේගරිද්ම ක්‍රිකට් ක්‍රීඩාකළ නායක දිමුත් කරුණාරත්න හා තවත් ක්‍රීඩකයින් අතලොස්සක් හැර අනෙක් ක්‍රීඩකයින්ට අප්‍රිකාවේදී දින පහක ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සිදු වුණා. එය වේග රිද්ම සංගීත කණ්ඩායමක් මල ගෙදරක වාදනය කිරීමට සමාන වනවා. මෙලෙස ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2020 එක් නොවූ හා ඉන් ඉවත්වන ක්‍රීඩකයින්ට පුහුණු කඳවුරක් පැවැත්වීම වෙනුවට ජාතික පුහුණුකරු මිකී ආතර් ලංකා ප්‍රිමියර් ලීග් LPL 2020 ක්‍රිකට් තරගාවලියට විස්තර විචාරකයෙක් ලෙස එක්වුණා. එය සම්පූර්ණයෙන් සිය වගකීම් පැහැර හැරීමක් බව මෙම ප්‍රතිඵලය සනාථ කර තිබෙනවා. ශ්‍රී ලංකා පිතිකරුවන් පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් දැන් කියන්නේ පිතිකරුවන්ට නිසි පුහුණුවක් නොවීම මෙම අසාර්ථක වීමට හේතුව බවයි. එලෙස පුහුණුවක් නොදීමට සෘජුව සියලුම පුහුණුකරුවන් වගකිව යුතුයි. එමෙන්ම කණ්ඩායමේ ශරීර යෝග්‍යතා පුහුණුකරු නිසි දැනුමක් හා හැකියාවක් නැති අයෙක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එය ආබාධ ලොවට හඬගා කියා අවසන්. එහෙත් ඔවුන්ට මාසිකව රුපියල් මිලියන ගණනින් වැටුප් හා දීමනා ගෙවන බව ඔබ නොදන්නවා ඇති.

Sri%2BLanka%2BCricket%2BInjury%2BJoking

සැලසුමක් නැතිව තරගාවලි සංවිධානය කිරීමේ හා පුහුණුකරුවන්ගේ අමනොඥ ක්‍රියාවල අනිටු පළ විපාක විදීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමටයි. සමාජ මාධ්‍ය ඔස්සේ විසුලුවට ලක්ව ඇති ඔවුන් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට යහපත් මානසිකවයක් ඇති කර ගැනීම අති දුෂ්කර වනු ඇති. දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකා ජංගම රෝහල සමග දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 03 වැනිදා ජොහැන්ස්බර්ග් හිදී පැවැත්වීමට නියමිත බවට උපහාසයට ලක් වනවා. එම තරගයට ක්‍රීඩකයින් 11 ක් සොයා ගනිමින් සමබර කණ්ඩායමක් තෝරා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මේ වන විට ඇති ප්‍රධාන අභියෝගය වී අවසන්. පැතුම් නිස්සංක වැනි දක්ෂ පිතිකරුවො අමතක කොට හොර රහසේ දිමුත් හා පුහුණුකරුට ඕනෑ විදියට තෝරා ගත් මේ කණ්ඩායම දෙවෙනි තරගයට දැන් පිතිකරුවොත් පන්දු යවන්නොත් නැතිව දඟලන්නේ කැපිච්ච පනුවෙක් ලෙසයි. මල්ඩර්ගේ පන්දු වලට මුහුණදෙන්න බැරිව අපේ පිතිකරුවො ඇඹරෙද්දි මේ මල්ඩර්ම දකුණු අප්‍රිකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමගින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුට එලව එලව පහර දී ලකුණු168ක් රැස් කලේ පැතුම් නිස්සංක බවත් තේරුම් කමිටුවට Lankasportsnews අපි මතක් කළයුතුයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයින්ගේ වැරදි හමුවේ ක්‍රීඩකයින්ට එම තරගයේදීත් පළමු තරගයේ මෙන් වන්දි ගෙවීමට සිදු නොවේවායි Lankasportsnews අප ප්‍රාර්ථනා කරනවා.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*