Executive M.Sc. මුළාවට හසුවෙන්න එපා!

Executive M.Sc. මුළාවට හසුවෙන්න එපා!

.

Chameera Gardiawasam

.

ඊනියා Executive M.Sc. ගැන ඔබ දත යුතු කරුණු කීපයක් මෙන්න:

1. එග්සෙකටිව් මාස්ටර්ස් යනු පශ්චාද් උපාධියක් නොවේ. “විධායක විද්‍යාපති” යනුවෙන් පශ්චාද් උපාධියක් නැත. Executive Masters යනු ප්‍රථම උපාධිධාරීන්ට යම් යම් සුවිශිෂ්ට ක්ෂේත්‍රවල පරිචය තහවුරු කරනු වස් පිරිනමනු ලබන සහතිකපත්‍ර පාඨමාලාවකි. ලංකාවේ මෙම සහතිකය පිරිනමන එක ම විශ්ව විද්‍යාලයය කොළඹ ය. මේ දිනවල අන්තර්ජාලයේ ඇඩ් දමන්නේ එම සහතිකයට නොවේ. එය විදේශීය සරසවියකින් දෙන සහතිකයකි.

2. UGC ලියුම්වලට නොරැවටෙන්න. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ලබාදෙන පිළිගැනීමේ සහතික වර්ග දෙකක් ඇත. එකක් නම්, උපාධි ප්‍රදාන ආයතනයට දෙන පිළිගැනීමයි. එහි තේරුම, අදාළ ආයතනයට උපාධි ප්‍රදානය කිරීමේ බලයක් ඇති බව UGC විසින් පිළිගත් බවයි. එහෙත් ආයතන පිළිගැනීම යනු පාඨමාලා පිළිගැනීම නොවේ. UGC මගින් උපාධි ප්‍රදානය කිරීමේ බලයලත් බව පිළිගන්නා ආයතනවලින් ලබාදෙන සියලු උපාධි පිළිගන්නා බවක් ඉන් අදහස් නොවේ. එබැවින් ආයතන අනුමැතිය ප්‍රදර්ශනය කරන වෙබ් අඩවිවලට නොරැවටෙන්න.

3. මෙම ඊනියා Executive MSc සහතිකපත්‍රය, සත්‍ය Masters හා සමාන නොවන බැවින් ඔබට මෙම සහතිකය පෙන්වා කිසි දාක ආචාර්ය උපාධියකට යා නොහැකි ය. එසේ ම, පසුකලෙක අධ්‍යයන ක්ෂේත්‍රයට පැමිණීමට අදහස් කරන්නේ නම් එම සම්මුඛ පරීක්ෂණයේදී මෙම සහතිකයට එකදු ලකුණක් වත් හිමි නොවේ. එපමණක් නොව, දිනෙක ඔබ විදෙස්ගත වන්නේ නම් මෙම සහතිකය ප්‍රාමාණික සුදුසුකමක් සේ නොසැලකේ.

4. උපාධිප්‍රදාන ආයතන දෙස හොඳින් බලා කරුණු සොයන්න. ලංකාවේ දැනට මුදලට විකිණෙන Executive MSc උපාධිය ලබාදෙන්නේ Asia e-university නම් මැලේසියානු ආයතනය විසිනි. මැලේසියාව යනු මුදලට උපාධි ලබාදීමේ කප්පිත්තන් පිරිවරා ඇති රටකි. (හොඳ ආයතන නැතුවා ම නොවේ.) මෙකී AeU යනු ද මුදලට උපාධි දීමේ කප්පිත්තෙකි. අඩුවශයෙන් බොලොඤ්ඤා සම්මුතියට වත් අනුගත නොවන්නකි. කරුණාකර ඔබේ උපාධියට ඉදිරියෙන් සටහන් වන ආයතනයේ නම දුටුවාම ලෝකයා සිනාසෙන නමක් නොවන්නට වගබලාගන්න.

5. ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, වැනි නම් දමාගත් පමණින් එම ආයතන බ්‍රිතාන්‍යයට කිසිදු සම්බන්ධයක් නැති බව සිහියේ තබාගන්න. අතේ රුපියල් මිලියන දහයක් තිබේ නම් මට ද හෙට වුව බ්‍රිතාන්‍යයේ මොකක් හෝ ටවුමක නමක් සහිත ව කොලීජියක් පටන්ගත හැකි ය. මා මෙසේ නොබිය ව කියන්නේ මා එසේ කර තිබෙන බැවිනි. ඇත්තට ම කොලීජියක් අරින එක හැරෙන්න අන් සියල්ල කර, ව්‍යාපාරික අනන්‍යතාව හදාගන්න මට ගියේ රුපියල් 2,200 /= කි.

එක ම දේ නැවත නැවත කීම වෙහෙසකි.. එහෙත් මේවා කී පාරක් වුව කිව යුතු දෑ ය..

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*