“සරලා” ගේ සරල නැති කතාව

“සරලා” ගේ සරල නැති කතාව

.

Lakmal Kulasekara

.

පහුගිය අවුරුද්දෙ ජාතික රූපවාහිනියෙ නුගසෙවණ වැඩසටහනට එන්න කියල ආරාධනාවක් ලැබුණ. නිෂ්පාදකතුමත් නිවේදක මහත්මයත් එක්ක වැඩසටහනට කලින් කතා කරන වෙලාවෙ මං කිව්වෙ ‘දත් වලට වඩා අපි බදුල්ල ගැන කතා කරමු’ කියල. එය ඉතාම සාර්ථක සජීවී වැඩසටහනක් වුණා…

අපේ නිව්පේෂන්ට් ක්ලිනික් එක තියෙන්නෙ බ්‍රහස්පතින්දා…විශේෂඥ සායනයකට කෙලින්ම එන්න බෑ..වෛද්‍යවරයෙක් බලල සාමාන්‍ය දත්වල ප්‍රශ්න විසඳල අපට ලිඛිතව යොමු කරන්න ඕනෑ…ඌවේ සහ අවට පලාත්වල සහෝදර වෛද්‍යවරුන් මේ දේ ඉතාම හොඳට කරනව….ක්‍රම හැදුවම වැඩ ලේසියි.

ඒත් ඉතින් මගෙ සමාජ මාධ්‍ය ගනුදෙණුව හින්දත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ගනුදෙනුව හින්දත් අපේ සායනයට අමුතුම විදිවලටත් රෝගීන් එනව…’සරලා’ මාව දැකල තිබ්බෙ නුගසෙවණ වැඩසටහනින්…එක බ්‍රහස්පතින්දා දවසක ඇය අපේ සායනයෙ දොර ඉස්සරහ උන්නෙ මෙලෝ ලියකියවිලිලක් නැතුව…අපේ ඉෂාර මිස් ඇවිත් කීව

“සර්, සූරියවැව ඉඳල පේෂන්ට් කෙනෙක් ඇවිත්…රිෆරල් නම් මුකුත් නෑ” කියල…
ඌව පලාතට වෙන් වෙච්ච එකම දන්ත සංරක්ෂණ සායනය වුනත් උඩහ යාපනය, ත්‍රිකුණාමලය,මඩකලපුවෙ වගේම අම්පාරෙ හම්බන්තොට මිනිස්සුත් බදුල්ලට එන එක දැන් සාමාන්‍ය සිද්ධියක් වෙලා…මං මෙහෙම ලිව්වම සමහරු කුලප්පු වෙනව..ඒකට කරන්න දෙයක් නෑ…ඕක තමයි මහපොළොවේ යතාර්ථය…

“ගන්න මිස්”

ටික වෙලාවකින් ‘සරලා” මා ඉස්සරහ…

“ඉතිං සරලා මොකක්ද වෙන්න ඕන”

“මට හිනාවෙන්න ඔින සර්.කවදාවත් දත් පෙන්නල හිනාවෙලා නෑ ..සර්ගෙ Programme එක රූපවාහිනියෙ දැකලයි ආවෙ”

“වයස කීයද?”

“තිහයි”

“බැඳලද?”

“ඔව් සර්”

“ළමයි ?”

“තුන්දෙනයි”

සරලා ඇත්තටම සුන්දරයි…හැබැයි අැයට ජානවලින්ම එන රෝගී තත්ත්වයක් නිසා කටේ දත් අඩුයි…තියෙන ඒවගෙ හැඩයත් වෙනස්. ඒ මදිවට වතුරෙ ෆ්ලෝරයිඩ් වැඩි වීම නිසා ඇතිවන ෆ්ලෝරෝසිස් තත්ත්වයත් තිබුණ…

“දැං මොකටද ළමයො දත් හදන්නෙ…ඔක්⁣කොම වැඩ ටික කරගෙන තියෙන්නෙ අපූරුවට”

මං කීවෙ විහිලුවට…එහෙත් සරලාගෙ මුහුණ ඉක්මනින් වෙනස් වුනා…කඳුලු වැක්කෙරෙන්න ගත්ත බලන් ඉන්දැද්දි…හැමෝම බිම බලාගත්ත…එතැන ඇතිවුනෙ මූසල නිහඬ කමක්….අතරින් පතර ඇහුණෙ සරලාගෙ ඉකිබිඳීම විතරයි..ඒ කඳුලු වල ලියැවෙල තිබුණ කතාව තේරුම් ගැනීම අසීරු වුණේ නෑ…ඒත් එක්කම අපෙ ක්ලිනික් එකේ වැඩ කරන හැම දෙනාම සරලාට ප්‍රතිකාර කළ යුතුය යන්නට එකඟවීම අර නිහඬ බව ඇතුළෙ තිබුණ කියල මට හිතුණ…

මම ජීවිත බේරන දොස්තර කෙනෙක් නෙවෙයි..කැඩිච්ච අතපය හදන, නැවතිච්ච හදවත් පණ ගන්වන, මැරිච්ච වකුගඩුවලට අලුත් ඒව බද්ධ කරන පිළිකාවලට ප්‍රතිකාර කරන මගෙ සහෝදර වෛද්‍යවරුන් අතර මගෙ ප්‍රතිකාරය ⁣මනුස්සයෙක්ගෙ පෙනුම සම්බන්ධ දෙයක්…ජීවත් වෙන මනුස්සයෙක්ට සතුටින් ජීවත්වීම හා සමිබන්ධ දෙයක්…ඒ ප්‍රතිකාර වලට රෝගීන් තෝරාගැනීම අසීරුයි…අපට ඇත්තටම එන හැම දෙනාටම ප්‍රතිකාර කරන්න බෑ…

මෙයට පහසුම විසඳුම ඌව පලාතට අපේ ඒකකය සීමා කිරීම…ඒත් එහෙම කළොත් “සරලා” වගේ පේෂන්ට්ලට මොකද වෙන්නෙ කියන යතාර්ථය අපව අසරණ කරනව…මගෙ වෛද්‍යවරුන් ගැන, හෙද සොහොයුරියන් ගැන, සාත්තු සේවිකාවන් ගැන මට දුකයි…ඔවුනට වැඩ වැඩියි…ඒත්, ඔවුන් පුදුමාකාර යහපත් මිනිසුන් වීම නිසා අපට සරලා වගේ මිනිස්සුන්ට වැඩ කරන්නට පුලුවන් වෙලා තියෙනව…
“හරි, අපි කරල දෙන්නම්…අඬන්න අවශ්‍ය නෑ” මම අමාරුවෙන් වචන ගැට ගහගෙන කීවෙ සරලාගෙ හිසට අත තියල.

“සර්ට පිං…පොඩි කාලෙ ඉඳල නොගිය තැනක් නෑ…ප්‍රයිවට් කරගන්න අපට සල්ලි තිබුණෙ නෑ සර්”

ඒ කතාව ඇත්ත…මේ ප්‍රතිකාරයට අවම ලක්ෂ පහක් යනව පුද්ගලික අංශයෙ…අප වගේ දුප්පත් රටක අති බහුතරයක් මිනිස්සුන්ට ඔය ගණන් කාලකණ්ණි විහිලුවක් විතරයි…

අප ඉක්මණින් වැඩ කළා…සීමාවාසික පුහුණුවට ආපු ගයනි ස්නායු ප්‍රතිකාර ටික කළා…දවසකට දෙක ගාණෙ කලා..සරලාට බදුල්ලට එන්නට පැය පහ හයක් යනව…ඒ නිසා පුලුවන් තරම් එන්න වෙන වාර ගණන සීමා කරන්න අපට ඕන වුණා…මේ හැම දෙයක්ම කරේ “කොරෝනා” කියල ලෙඩක් අපේ රටත් ලෝකයත් අඩපණ කරල තියෙද්දි…

මෙතැනදි ‘කෙරෝනා’ දෙවන වසංගතය ආපු වෙලාවෙ බදුල්ලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙ රැස්වීම මට මතක් වෙනව…තමන්ටත් කුඩා දරුවො, වයස්ගත දෙමව්පියන් ඉන්නැද්දි ඒ විශිෂ්ඨ වෛද්‍යවරුන් “අපි සර්විස් කට් ඩවුන් කරන්නෙ නෑ” කියන තීරණය ගත්ත හැටි මං මතක් කරන්නේ අාස්වාදජනක හැඟීමකින්…ඒක මාර තීරණයක්…

ඒ වගේ මානසිකත්වයක් ඇති අය සමඟ වැඩ කරන්න ලැබීම සරලවම වාසනාවක්…එ් නිසා අපටත් ධෛර්යය වැඩෙනව…

ප්‍රතිකාරය අතරතුර ‘සරලා’ට ජීවිතයේ තවත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනව…එතැනදී පවා ඇය දුරකතන ඇමතුමක් දීල මට කිව්වෙ “සර්, මං මැරුණෙ නැත්නම් ඊට දවසකට කලින් හරි දත් ටික දා ගන්න එනව” කියල….පුද්ගලික අංශයෙ රසායනාගාරයක් වෙලත් සුමිත් ල, රොහාන් ල අපේ රෝගීන්ට උදව් කරනව…ඔවුන් සරලා ගැන හොයල බලල තිබුණ ඒ කාලෙත්…

කෙසේ හෝ සියලු දේ සුබවාදීව විසඳිල පහුගිය සතියෙ ඇයගෙ ප්‍රතිකාරය අප අවසන් කළා…

මූණ බලන කණ්ණාඩිය අතට ගත්තම සරලාගේ මුහුණේ මතු වූ කාන්තිය වචන වලින් කියන්න අමාරුයි…ආයෙත් සරලගෙ ඇස්වලින් කඳුලු ගලන්න පටන් ගත්ත..ඒ කඳුලු දැකල එදා නම් අපෙ කාගෙවත් ඔලු පහතට හැරවුනේ නෑ…එ් වෙනුවට හැම දෙනාගෙම ඇස් එළිය වැටිල සරලා දිහා ආදරයෙන් බලාන හිටිය…

ආදරණීය මිත්‍රවරුනි, අඟහරුවාදා හවස හතරයි හතලිස් පහට බදුල්ලේ පුංචි දන්ත සංරක්ෂණ ඒකකයේ මැද හිටගෙන සරලා අත්දෙක එකතුකරන් වැඳගෙන අපට මහා ලොකුවට පින් දුන්න…මම ඇස්දෙක පියාගෙන අහගෙන හිටිය…රුවන්වැලිසෑයේ සලපතල මලුවෙ ඉන්නව වගේ දැනුණෙ.

ප.ලි – මේ අත්දැකීම් ලියනකොට ආත්ම වර්ණනාවක් වෙනවද කියල මං දන්නෙ නෑ…ඒත් මේ ලිවිල්ල නොවන්න සූරියවැව “සරලා” අදටත් හූල්ලනව…ඒ කාරණාව ප්‍රමාණවත් මට නොනවත්වා ලියන්න…කරන දේ ගැන.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*