සතුටින් ඉන්න …!!!

සතුටින් ඉන්න …!!!

.

Lakmal Kulasekara

.

සතුට යනු ලෝකය බිහි වූ දා පටන් මිනිස්සු සොයා ගිය දෙයක් ය. කුමන හෝ ක්‍රමයකින් සතුට සෙවීම මිනිස්සු අදද කරති. කිසිම මිනිහෙක් හෝ ගැහැණියක් ජීවිතයේ සදාකාලික අසතුටින් සිටින්නේ නැත. ලෝකයේ ඉතාම ධනවත් පුද්ගලයා පවා සදාකාලික සතුටින් සිටින්නේ යැයි කියලා කියන්නටද බැරිය. ස්ටිව් ජොබ්ස්, බිල් ගේට්ස් වැනි මහත්තුරුන්ගේ ජීවිත කතා කියවන විට මේ බව දැනෙයි….

එය සාපේක්ෂ දෙයකි. එය අවසානයකට වඩා නොනවතින ගමනකි. ක්‍රියාදාමයකි…

අපි හැමදෙනාටම සතුටින් ඉන්නට ඕනෑය. මම බදුල්ලට වාහනය පදවාගෙන එන විට ඉතාම දුක්පත් ගෙවල්වල දරුවන් ජංගිකොට ඇඳගෙන පාරේ සෙල්ලම් කරන හැටි දකිමි. දූවිලි වැකුණු සිරුරින් ඉන්නා ඔවුන්ගේ මුහුණුවල එකම සිනහ ගොඩක්ය. කොළඹ ඉස්තරම් ලොකු හෝටල්වල කෑම ගේනකන් දුරකතන වලට එබී කොට කොටා ඉන්නා ධනවත් පවුල්වල දරුවන්ගේ මුහුණුවල මම එම සතුට නොදකිමි.

බදුල්ලේ ඉස්පිරිතාලේ තම නිවෙස්වලින් දරුමල්ලන්ගෙන් ඈත් වෙලා ක්වාටස් යැයි කියන පුංචි පුංචි කාමර වල ඉන්නා එච්චර රහක් නැති කෑම පාර්සල බුදින විශේෂඥ වෛද්‍යවරුන් අතර මම ප්‍රීතිමත් මුහුණු දකිමි. උන්ට කතා කරන්නට දේවල් ඇත. තමන් හඳුන්වා දුන් දේවල්, තමන් හැදූ දේවල් ගැන තමන් ගොඩ දැමූ දුප්පත් ජීවිත ගැන කියන්නට කතා ඇත. පුද්ගලිකත්වයෙන් එහා ගිය ඒ කතා අස්සේ “සතුට” තැවරී ඇත. මොකක් හරි ජල්තර හේතුවක් හොයාගෙන කොළඹට නුවරට හෝ ලඟ තැනකට ටෙම්පරියක් හදාගෙන ඉන්නා හොරගෙඩියන් අතර නැති සතුටක් ඔවුන් තුල ඇතැයි මම සිතමි. මේ ටෙම්පරි කාරයන් බොහෝ දෙනා ඉන්නේ හිස බිමට හරවාගෙනය. මුං හා කතා කරන විට අතෘප්තිය ඇඟට ⁣දැනෙයි. ඒ කතාව වෙහෙසකරය.

විදෙස්ගතව සිටියත් තමන්ගේ දරුපවුල සමඟ සතුටින් ඉන්නා ලංකාවටත් පුලුවන් උදව්වක් කරනා මිතුරන් බොහෝ දෙනෙක් මට ඇත. උන් අැත්තටම එංගලන්තයේ හෝ ඔිස්ට්‍රේලියාවේ සුද්දන් වාගේම හැඩට ඉන්නා මුත් ලංකාව ගැන හීනමානයක් නැති උන්ය. උන් හා කතාබහ කරන විට ඒ සතුට අපටත් දැනෙයි. ඒ වාගේම විසිහතර පැයම ලංකාවට දෙස්දෙවොල් තියමින් ස්මාට් දුරකතනයෙන් ලංකාවේ දේශපාලනය, සංස්කෘතිය, ආගම, ජාතිය ආදී එකී මෙකී නොකී සියලු දෑ විවේචනය කරමින් ලංකාව හදන්නට තතනන විදෙස්ගත ලොසාලා ද මගේ මිතුරු ලැයිස්තුවේ ඇත. මුං හා කතා කරන විට මුං ගේ අතෘප්තියද ඒ හා සමානවම දැනෙයි. ඒ කතාව අතෘප්තිකරය.

මේ කතා අපට කියා දෙන්නේ කුමක්ද?

සතුට කියන්නේ අපගේ තෝරා ගැනීම් බවය.

සතුටින් ඉන්නට මිනිසාගේ මූලිකම අවශ්‍යතාවයන් සැපිරෙන්නට ඕනෑ බව ඇත්ත ය. එහෙත් සතුටින් ඉන්නට සියලු අවශ්‍යතාවයන් සපිරෙන්නට ඕනෑ නැත. බොහෝ දෙනාට වරදින තැන එතැනය.

මහපොළින් ජීවත් වූ විශ්ව විද්‍යාල කාලයේ පෙම්වතිය වූ බිරින්දෑ සමඟ බහිරවකන්ද නගිද්දී තිබුණු සතුට සමහර විට ඉස්තරම් වාහනයක නැගී තරුපන්තියේ හෝටලයකට කෑම කන්නට යද්දී තිබුණේ නැත. මා ජීවිතයේ සතුට වාගේ දේවල් ගැන හිතන්නට පටන් ගත්තේ එහෙම වෙනකොටය. අප බොහෝ දෙනාගේ ජීවිතවල ඒ අත්දැකීම් ඇතුවාට මට සැක නැත.

ජීවිතයේ සතුට කියන්නේ අන්තයක් නොවෙයි. හොඳ වාහනයක් හොඳ ගෙයක් ගන්නා විට අපට සතුටු වන්නට පුලුවන් මුත් ඒ සඳහා යන ගමන අතෘප්තියෙන් පිරී ඇත්තේ නම්, ආත්මාර්ථයෙන්ම ගඳ ගහයි නම් එහි පළක් ඇති ද? උදේ සිට රෑ වෙනකන් මුදල් ගොඩ ගසා තට්ටු හතරේ නිවස හදාගෙන ඉවර වෙන විට කිචිබිචියෙන් හුරතලයෙන් අප්පච්චි හා නැලවෙන්නට හිටි දරුවා ලොකු මහත් වී අහවර නැතිද? ඒ කාලය අපට ආපහු ගන්නට බැරිය. විශේෂඥ වෛද්‍යවරයෙකු වීම ලොකු ඇචීව්මන්ට් එකක් මුත් එහෙම ඇචීව් කරලා ඉවර වෙන කොට තමන්ගේ පුද්ගලික ජීවිතය බිමට සමතලා වී ඇතිනම් එහි පලක් ඇතිද?

මේ දේවල් අපට කියාදෙන පාඩම නම් ජීවිතයේ සතුට ඇත්තේ තමන් තුළ බවය. ඒ සතුට ඇත්තේ භෞතිකයන් අත්පත්කර ගැනීම තුළම නොවන බවය. භෞතිකයන් අත්පත් කරගන්නා ගමන ඇතුළේ තමන් සතුටින් සිටිය යුතු බවය. එහෙම සතුටින් ඉන්නට නම් ආත්මාර්ථය හැකි තරම් දුරු කළ යුතු බවය.

මේවාට මිලමුදල් වැය නොවෙයි. තමන් ළඟට එන රෝගීන් Casebook පේෂන්ට්ලා කර නොගෙන මනුෂ්‍යයන් හැටියට උන්ට සැලකීමෙන් මෙය කළ හැකිය. තමන් දන්නා දෙය අන් අය හා බෙදාගැනීමෙන් කළ හැකිය. අනිකාට යටිකූට්ටු වැඩ නොකර සිටීමෙන් මෙය කළ හැකිය.

මේවා සරල මනුස්ස ගුණදහම් ය.

මෙහෙම ජීවත් වන එකාට තමන්ගේ සතුට පවත්වා ගන්නට තව එකෙකුට යටි උගුල් අටවන්නට අවශ්‍ය නැත. තව කෙනෙකුගේ සතුට නැති කරන්නට අවශ්‍ය නැත. තව කෙනෙක් හෙළා දැක තමන් Feel good වෙන්නට අවශ්‍ය නැත. සරලවම මුංගේ සතුට අනෙකා මත රඳා පවතින්නේද නැත.

ආදරණීය මිත්‍රවරුනි,

සියලු සැප සම්පත් තිබූ සිදුහත් කුමරුන් ගිහිගෙය හැරදා ගියේ මේ “සතුට” සොයන්නට යැයි මම සිතමි. අවසානයේ උන් වහන්සේ ඒ “සතුට” තමා තුළම සොයාගත්තේ ය. පිරිණිවන් පානා තෙක් ඒ “සතුට” අන් අයටත් කියා දෙන්නට පයින් ඇවිද්දේය. අපට සතුට ගැන ඉගෙන ගන්නට අමුතුවෙන් උදාහරණ අවශ්‍ය නැතැයි සිතමි. අවශ්‍ය ඇස් හැරලා හදවත විවර කරලා බුදුහාමුදරුවන් දිහා බලන එකය.

තමන් තුළ සතුට හොයා ගන්න.

තමන් අතහරින තරමට සතුට හමු වනු ඇත.

සතුටින් ඉන්න..

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*