ශිෂ්‍යත්වය හා දෙඤ්ඤං බැටේ

ශිෂ්‍යත්වය හා දෙඤ්ඤං බැටේ

.

Dr. Lakmal Kulasekara

.

ශිෂ්‍යත්ව ප්‍රතිපල ඇවිත්ය. සුපුරුදු අපහාසයෙන්, උපහාසයෙන්, දෙඤ්ඤං බැටේ විවේචනයෙන් බුකිය රත්වෙලාය…

“බොහෝ අයට අනුව ශිෂ්‍යත්වය ගොන්පාට් විභාගයක් ලු. ශිෂ්‍යත්වය නැතත් දොස්තරලා විය හැකිලු. ශිෂ්‍යත්වය නැතත් ජීවිතය ජය ගත හැකිලු. එක විෂයකට අසූහතරක් ගත්තත් ශිෂ්‍යත්වය ෆේල් ලු. ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගයක් ලු. ශිෂ්‍යත්වය සමත් වන්නේ ගිරවුන් ලු. විශාල ප්‍රමාණයක් මේ තරඟයෙන් හැලෙනවාලු”

අන්දෝ සංසාරේ….

ඔය විවේචකයන්ගෙන් මම යමක් අහන්නට කැමතිය.

ඔබගේ දරුවා ශිෂ්‍යත්වය ඉහළින් සමත් නම් ඔබ රාජකීය විද්‍යාලයට හෝ විසාකා විද්‍යාලයට යවන්නේ නැතිද?

ඔබ එක වසරේදි ඔබට හැකි ඉහළම පාසලට, අවම වශයෙන් හොඳ ශිෂ්‍යත්ව පාසලකටවත් දරුවා දමන්නට දත කෑවේ නැතිද?

එහෙම නොයවන්නේ නම්, නොකළේ නම් ඔය විවේචනය සඳහා ඔබට යුක්ති යුක්ත අයිතියක් ඇත…

අප කැමති වුනත් අකමැති වුනත් ලංකාවේ මහපොළොවේ යතාර්ථය නම් පහසුකම් වැඩි ජනප්‍රිය යැයි සම්මත පාසල් යම් ප්‍රමාණයක් තිබෙන බවය. ඒවාට එක වසරෙන් තෝරාගැනෙන්නේ පදිංචියෙන්, ආදි සිසු පදනමෙන්, රාජ්‍ය සේවකයන්ගේ මාරුවීම්වලින් හා සහෝදර පදනමෙනි. මේ තත්ත්වය ඇතුළේ මේ පදනම්වලින් ළමයෙකු ජනප්‍රිය යැයි කියන පාසලකට දමා ගැනීම කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බලනවා වාගේ වැඩකි. ඇත්ත කතාව නම් මේ ක්‍රමය ඇතුළේ අක්‍රමිකතාවයන්ට ඕනෑ තරම් ඉඩකඩද තියෙන බවය. එතැනදීද සුදුස්සන් ඕනෑ තරමි හැලී යාම වැලැක්විය නොහැක. ඒ අතින් බලන විට ශිෂ්‍යත්වය අවම වශයෙන් දුප්පත් පොහොසත් හැම ළමයාටම සාධාරණ ඉඩක් සලසන බව මේ විවේචකයෝ පහසුවෙන් අමතක කර දමති…

‘ශිෂ්‍යත්වය සමත් නැතත් දොස්තරලා විය හැකිය ඉංජිනේරුවන් විය හැකිය’ යන ප්‍රකාශයෙන්ම ගම්‍ය වන ඇත්ත කාරණාව මොවුන්ගේ නොදැනුවත්කමය. ශිෂ්‍යත්වය යනු වඩා ජනප්‍රිය පාසලකට යාමට හෝ යම් සීමිත ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ලබා දීමට සිසුන් සීමිත පිරිසක් තෝරාගන්නා විභාගයක් මිස එය වෛද්‍ය විද්‍යාලයට තෝරන විභාගයක් නොවේ. ඇරත් මොවුන්ගේ කල්පනාව අනුව ජීවිතය සාර්ථක වන්නට දොස්තර හෝ ඉංජිනේරු වන්නට ඕනෑය. රට එකතැන පල්වෙන්නේ මෙන්න මේ වාගේ ළිංමැඩි චින්තනය හින්දාය. රාජකීය විද්‍යාලයට ශිෂ්‍යත්වය සමත් වී එන්නේ ඒලෙවල් කරලා දොස්තර හෝ ඉංජිනේරු වන්නට නොවේ. රාජකීය විද්‍යාලය යනු එහි සිසුන්ට ඊට වඩා අවස්ථා මහ ප්‍රමාණයක් සලසන විද්‍යාලයකි. අප සිටින කාලයේ පවා ක්‍රීඩා සෑහෙන ප්‍රමාණයක් සහ සංගමි විශාල ප්‍රමාණයක් පාසලේ තිබිණි. රාජකීය විද්‍යාලයෙන් හොඳ රාජකීයයෙක් එළියට එන්නේ මේ අවස්ථාවන් පාවිච්චියට ගන්නා තරම අනුවය. මන්ද මේ දරුවන් ගමේ පාසලේම සිටියේ නම් අත උඩින් දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්නට තිබුණ බවද ඇත්තක් නිසාය. මෙසේ තිබියදීද රාජකීය විද්‍යාලයට ඇවිත් දොස්තර ඉංජිනේරු වෙන්නට බැරි වූ කවර හෝ අයෙකුගෙන් ඇසුවත් ඔවුන් හය වසරේදී වෙනත් තීරණයක් නොගන්නා බවද මම සිතමි.

එක විෂයකට අසූහතරක් ගෙනත් ෆේල් වීම යනු පිළිගත නොහැකි දෙයක් බව අැත්තය. අධ්‍යාපන බලධාරීන් කළ යුත්තේ මෙය ශිෂ්‍යත්ව ප්‍රමාණයට කඩයිම් ලකුණක් ලෙස නම්කිරීම විනා පාස්ෆේල් ලකුණක් කිරීම නොවෙයි. බොහෝ විවේචනවලට එලෙස වෙනස් කිරීම හොඳ පිළිතුරක් වනු ඇත…

අපේ කාලයේ 174 න් රෝයල් ආවාට දැං 169 පාස් මාක් එක වන බව ඇත්ත වුවද අපේ කාලයේ 200 ගන්නා ළමයින් දහදෙනෙකු තියා එක් අයෙකු වත් සිටියේ නැති බවද ඇත්තය. ඒ කියන්නේ ළමයින් විභාගයට දැං වඩා හොඳින් මුහුණ දෙන බවය. දැං විභාග ආකෘතිය ලකුණු ගන්නට වඩා ගෝචර බවය. ඉතින් සමත් යැයි කියන ලකුණ ඉහළ යාම මහ පුදුමයක් නම් නොවෙයි. විශාල ප්‍රමාණයක් හැලෙනවා කියා කීමෙන්ම මේ විභාගයට විවේචකයන් දෙන වටිනාකම තේරුම් ගත හැක. හැලෙන්නේ මොනවායෙන්ද? ළමයාගේ ජීවිතය එහෙමටම ඉතිරිය. එකම දේ ජනප්‍රිය කියන පාසලකට යන්නට බැරි වීම පමණි.
“ශිෂ්‍යත්වය සමත්වන්නේ ගිරවුන්ය…මෙය අම්මලාගේ විභාගයක්ය” ආදී කතා දර්ශීය ලාංකික කුහකකමේ ලක්ෂණ විනා වෙන මොනවත් නොවෙයි…සමත්වන දරුවාට හා ඒ⁣ මවුපියන්ට ගරහා තමන්ගේ හිත සනසාගැනීමේ මානසික දුප්පත්කම මෙයින් කදිමට පෙනෙයි…මොන අම්මාත් තාත්තාත් තතනන්නේ තම දරුවාට හොඳ අනාගතයක් සරි කර දෙන්නටය. සම්පත් සුලබ නොවූ රටක තමන්ගේ දරුවාට ජනප්‍රිය යැයි කියන පාසලකට යාමට ඇති එකම සාධාරණ අවස්ථාවට දෙමාපියන් දරුවා යොමු කිරීම අප තේරුම් ගත යුතු යැයි මම සිතමි….ඒ අම්මලාගේ හැටිය.

ආදරණීය මිත්‍රවරුනි,

ශිෂ්‍යත්වය යනු කිසිම ප්‍රශ්නයක් නැති සර්ව සාධාරණ විභාගයක් නොවන බව අැත්තය. එහෙත් අල්ලසට, දූෂණයට, හිතවත්කම්වලට, බලපුලුවන්කාරකම්වලට වැඩ සිද්ධවෙන අ⁣ප වාගේ සම්පත් හිඟ රටක ශිෂ්‍යත්වය රටේ කොයි කොණේ ඉන්නා දරුවාටත් රාජකීය විද්‍යාලයට විසාකා විද්‍යාලයට එන්නට අවස්ථාවක් දෙන විභාගයකි. අධ්‍යාපන අවස්ථා තවත් සමානව පුළුල් විය යුතුය යන සත්‍යය අප පිළිගන්නා අතරම ඒ සුන්දර සිහිනය යතාර්ථයක් වන තෙක් ශිෂ්‍යත්වය තිබිය යුතු බවද කියමි. අවශ්‍ය නම් එහි හැඩහුරුකම් වෙනස් කළ හැකිය.

අවසාන වශයෙන් එකම විභාගයට වාඩි වී එයින් සමත් වෙන අනෙකාගේ දරුවා දිහාද
මුදිතාවෙන් බලන්නට අප පුරුදු වීම වැදගත්ය. එලෙස බලන්නට තම දරුවාට කියා දෙන එකද ඒ වාගේම වැදගත්ය. කුහකකම පැත්තක තබා බැලූවිට ඔය බොහෝ විවේචන වල සාධාරණ පදනමක් නැති බව වැටහෙනු ඇත.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*