වසර 102 කට පෙර……..

වසර 102 කට පෙර……..

.

Ganga Kumari Perera

.

මේ අදින් වසර එකසිය දෙකකට පමණ පෙර, පුරා වසර දෙකක් ලොව පුරා මිනිසුන් මුහුණ දුන් ඛෙදවාචකය සහ ඔවුන් ජීවත් වූ අයුරුයි.

ඒ 1918, ස්පැනිෂ් ෆ්ලූ නමින් හැඳින්වූ H1N1 A ඉන්ෆ්ලුවන්සා නම් මාරක වෛරසය ලෝකය ආක්‍රමණය කිරීමයි. අවස්ථා හතරකට පැමිණි එම වෛරස රැල්ලට ගොදුරු වූ මිනිසුන් සංඛ්‍යාව මිලියන 500 ක් පමණ වන අතර, එය එවක සමස්ථ ලෝක ජනගහනයෙන් තුන් කාලක් පමණ වන බව සඳහන් වනවා. මරණ අනුපාතය දල වශයෙන් මිලියන 17 – 50 පමණ වන අතර ඊට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවද පවසනවා.

ප්‍රථමයෙන් රෝගීන් වාර්තා වූයේ ඇමරිකාවේ, කැන්සාස්, නිව් යෝක් නගරවල හමුදාව සම්බන්ධිතයන්ගෙන් වන අතර පසුව එය ප්‍රංශය,ජර්මනිය, එක්සත් රාජධානිය වැනි රටවල් කරා පැතිර ගියේය. එයද බෙහෙවින්ම බලපෑවේ වයස පහට අඩු බාල දරුවන්ටද 20 – 40 අතර වයස්කරුවන්ට සහ අවුරුදු 65 න් ඉහල වයස්වලටය. එසේම රෝහල් සහ නිරෝධායයන මධ්‍යස්ථාන වල රෝගීන් පිරිස වැඩිවත්ම, අයහපත් සෞඛ්‍යය වාතාවරණ, පෝෂණ ඌනතා වලින් රෝගීන් මියයාමේ ප්‍රවනතාව සීග්‍රයෙන් වැඩිවිය. එසේම ඇදුම, පෙනහලු රෝග, දියවැඩියා තත්ව,හෘදය රෝග, වැනි රෝග තත්ත්වන් පවතින රෝගීන් කෙරෙහි දැඩි බලපෑමක් මෙම වෛරසය කලේය. දෙවැනි රැල්ල තුළ රෝගීන් දිනපතා මියයන්නට වූ බවත්, එසේ මියයන රෝගීන් ගේ සිරුර නිල්පැහැ වූ බවත් පෙනහලු තුළ දියර පිරීම මත හුස්ම ගැන්මට අපහසුව, හුස්ම හිරවී මියයන්නට සිදුවූ බවද සඳහන්.

වලක්වාලන, නියමිත වැක්සීනයක් හෝ ප්‍රතිජීවක කිසිවක් නොමැතිවීම මත රෝගීන් හුදෙකලා කිරීම,කොරන්ටයින් කිරීම, යහපත් සෞඛ්‍යය පුරුදු, වසංගත රෝග විෂබීජ හරණය සඳහා යොදාගන්නා විෂබීජ නාශක පාවිච්චිය, මුහුණු ආවරණ පැළඳීම, පොදු ස්ථානවල ගැවසීම අවම කිරීම, උත්සව සාද සීමා කිරීම, කොටින්ම මනුෂ්‍යයන් තවත් මනුෂ්‍යයන් ඇසුර අවම කිරීම, නිවෙස් තුල රැඳීම, අතට අත දීම තහනම් කිරීම, පුස්තකාලවලින් පොත් බැහර කිරීම නතර කිරීම, මාර්ග වල කෙල ගැසීම තහනම් කිරීම, වැනි වෙනත් ආදේශක හැර එදවස වෙනත් විකල්පයක් තිබී නැත.

රෝගියෙකු ගේ කැස්ස, කතාව සහ කිවිසුම් තුළින් පිටවන කෙල බිඳිති මගින් සහ රෝගීන් ස්පර්ශ කල තැන් නිරෝගී අය ස්පර්ශ කිරීම සහ එම දෑත් වලින් ඇස කට නහය වැනි තැන් ඇල්ලීම මගින් තවත් කෙනෙකුහට මෙය බෝවන බව සඳහන් වන අතර එය වැලක්වීම සඳහා නිරන්තර මුහුණු ආවරණ පැළදීම, විෂබීජ නාශක යොදා දෑත් සේදීම වැනි දෑ කරන්නට වූ බවද සඳහන්.

විශේෂයෙන් නාවුක, යුධ, හමුදාවන්ට අයත් බොහෝ අයට මෙම වසංගතය මගින් බලපෑම් කල අතර 40% පමණ වූ ඇමරිකානු නාවුක භටයින්ට මෙම වෛරස රෝගය වැළඳුණු බවත් සඳහන් අතර බොහෝ අය මරණයට පත්වූවෝය. මරණ තැන්පත් කර ස්ථාන මරණ වලින් පිරී ගිය බවත් මෘත ශරීර එකපිට ගොඩගැසුණු බවත් සඳහන් අතර කනගාටුදායකම දෙය වූයේ බොහෝ අයට තමන්ගේම මියගිය ඥාතියා වෙනුවෙන් ඔවුන්ටම වල කපන්නට සිදුවීමය. කුණු කසල ගොඩගැසුණු බවත් සිනමාහල්, රූපලාවන්‍යාගාර වසන්නට සිදුවූ බවත්, ලෝපුරා ව්‍යාපාර කඩාවැටීම් මත ලෝක ආර්ථිකයටද දැඩි බලපෑමක් වූ බවත් සඳහන්. මුහුණු ආවරණ නොපැළඳ සිටින්න්නන්ට දඩ ගැසූ අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රම කඩකරන්නන් හට දැඩි නීති පැනවිණි.

දස දහස් ගනන් ගැහැණුන්ට වැන්දඹුවන් වෙමින්ද, බොහෝ ගනනක් අනාථයන් කරමින්ද, 1920 අප්‍රෙල් පමණ වනතෙක් මෙම වසංගතය ලෝ පුරා මිනිසුන් බිලිගත්තේය.

මේ 2020 අපගේ වසරයි. එදා ඒ මිනිසුන් මෙන්ම අපද කරමින් සිටින්නේ ඔවුන් එදා කරමින් සිටි දේමය. මුහුණු ආවරණ, විශබීජ නාශක පාවිච්චිය, දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය වෙනසක් නැත. එදාද ලොව ජනගහනයෙන් තුන්කාලක් බිලිගත්තේ මහපරිමාණ අවියකින් නොව කුඩාම කුඩා වෛරසයකිනි. එදා හා සමානව සෞඛ්‍යය රීති නීති පිළිපදිනවා හැර තවම විකල්පයක් නැත. එහෙත් බලාපොරොත්තු නැති නොකරගෙන බලන් හිඳීමු, අපට ගැලවීම ගෙන එන්නා කවුරුන් වියහැකිද? අපේ ජීවිත බේරාගැනීම සඳහා එන්නතක් හෝ ඖෂධයක් නිපදවන දෙවියා කවුරුන් වියහැකිද?

මරණය අභියස වුවද බලාපොරොත්තුව ඉතා සුන්දරය.

විස්තර හා ඡායාරූප අන්තර්ජාලය.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*