ලෝනා ඩූන් හා ලීනා ඩෝරා

ලෝනා ඩූන් හා ලීනා ඩෝරා

.

Dr. Santhushya Fernando

.

දැන් ඉතින් දඹුල්ල ගැන දැන ගන්න ඕනේ අනිත් දේ තමයි එකේ පොඩි පාතාල ගතියකුත් තියනවා. ඒ වුනාට ඒ පාතාලේ ටිකක් ස්වීට් ගතියක් තියනවා. අනික ඉන්ටර්න්ෂිප් කාලේ ටිකක් නිදි-මද , සිහි-මද ගතියක් තියන නිසා හැම දේම වෙනස් විදිහට පෙනුණා වෙන්නත් පුළුවන්. චන්දයක් තියනවනම් එක පැත්තක් T කෝන්ස් ලගේ කට්ටිය ගුටි කාල ;නැත්තන් ගුටි දීල. නැත්තන් අළු-Temple කට්ටිය ගුටි කාල;නැත්තන් ගුටි දිල. මේ වෙනකොට, as-you-know, සන්තු මේගොල්ලන්ට බෙහෙත් දදා, මැහුම් දදා මොනවද කරන්නේ? හරියට හරි! සුමධුර, මිහිරි, බණ කියනවා! “ඇයි අනේ ගහගන්නේ? ඔයා කියන්න බලන්න UNP එකේ මහා ලේකම් ගේ නම ? දන්නේ නැහැනේ? කියන්න බලන්න පොදු පෙරමුණේ මහ ලේකම් ගේ නම? ඇයි ඕගොල්ලෝ දන්නෙවත් නැති මිනිස්සුන් නිසා රණ්ඩු වෙන්නනේ?” ආදී වශයෙන්. කට්ටිය ගුටි කාල එනකොට මම ඉතින් අපේ සිස්ටර් බණ්ඩාරමැණිකේට කියනව –
“මොනවද සිස්ටර් ඔයාගේ මේ පළාත – ලෝනා ඩූන් ගෙන් ද ඔයගොල්ලෝ පැවත එන්නේ ?”

(ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලෝ Lorna Doone කියවා නැත්නම් දවසක් ද හැන්දෑවක -පොතක් බලන්නට -හිතුනත් නැතත් – කරුණාකරලා එක කියවන්න. රූකාන්ත ඔයා පොතක් බලන්නට කිය කියා සින්දු කිව්වාට ඔයත් කියවල නැහැනේ, Lorna Doone? ඒ නිසා ඔයත් ඕනනං එන්න- හැබැයි- පොත අරගෙන ,පුතා, පොත අරගෙන! 🙂 )
ඉතින් සිස්ටර් බණ්ඩාර මැණිකේ කියනවා ” මයෙ මැණිකේ (එයා ආදරෙන් ම තමයි මට කතා කරන්නේ ) මොක්කුද ඔය හැම තිස්සෙම කියන ලෝනඩූන්- ලෝනාඩූන් – මේවගේම එවුන් වෙන්ටැ? ඔහේ යනවා නෙවෙයි ඔය ඩූන් ලව හදන්ට. අපි ආපහු දොස්තරගොල්ලන්ව අත පය නොකඩ අම්ම-අප්පච්චිට බාර දෙන්ට තියනවා” කියල එහෙම කියනවා. ඉතින් හැමතිස්සෙම දේශපාලන ෆයිට් කරන් ආවම සිස්ටර් කියනවා ලෝනාඩූන් ල ඇවිත් අදත් කියල.

එක දවසක් ඇඳන් නැති ලෙඩ්ඩුන් (එහෙම ය ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ඉන්නවා) ව මම clerk කරන්න හොයනවා. සිස්ටර් එක patient ticket එකක් දීල කියනව ” මැණිකේ අද ලෝනාඩූන් ගේ අනික් එක ඇවිත් මේං , Lena Dora, හොයන්ට නම් නැහැ ලෙඩා කොහෙවත් ගිහින්ද දන්නේ නැහැ කියල.

ඉතින් මම “ලීනා, ලීනා !!- ලීනා කියල ලෙඩෙක් ඉන්නවද ?” කියා කියා හොයනවා.
පුන්චි මැණිකේ (එය අටෙන්ඩන්ට්) “ලීනා, ලීනා ලීනා ” කියා කියා් බාත්රූම් එකෙත් හොයනවා.

සිස්ටර්ත් “ලීනා ලීනා – කවුද ලීනා ?” කියා කියා හොයනවා.
ඔහේ නැහැ.

එපාර මම කිව්වා “සිස්ටර් ඩෝරා කියලද දන්නේ නැහැ නේ පුරුදු – ඩෝරා කියල කතා කරන්න” කියල.

දැන් අපි “ඩෝරා , ඩෝරා ඩෝරා !!!” ඩෝරා කියල ලෙඩෙක් ඉන්නවද ?” කියා කියා හොයනවා.

හේරත් (එයත් අටෙන්ඩන්ට් )” ඩෝරා කියල මිනිස්සු කොහෙද මැඩම් මේවයේ – කවුරු දාන නම් ද මන්දා – ඩෝරා කියල නැවු නම් තියනවා ” කියා කියා ගස් යට, කොරිඩෝ වල හොයනවා.

“නැහැ හේරත් වෙන්න පුළුවන් මගේ යාලුවෙක් ගේ සියා එයාගේ දුවගේ නම රේජිස්ටර් කරන්න යද්දී බීලා ඉඳල සැන්ඩ්රා ලිලි වෙනුවට චන්ද්‍රා Silly කියල දාල තිබුණා ” කියල මම කියනව.

ඔහේ නැහැ.

“පොලිස් ඉන්ෆොර්ම් කරමු සිස්ටර් ” කියල මම ticket එකේ ලියන්න හදනකොටම එක පුංචි, සුදු ලස්සන පොඩි ආච්චි කෙනෙක් මල් මල් චිත්තයක් ඇඳල , සුදු ලේස් හැට්ටයක් ඇඳලා මෙසේ ගාව හිටගෙන ඉන්නවා “

“ඇයි අම්මා ?”

“නෝනා හැමෝමව බැලුව මාව බැලුවේ නැහැ “

“ආ, ඇත්තද ?ඉන්න ticket එක බලන්න “

“අම්මගේ නම මොකද්ද ?

“ලෙනදොර’
🙂

ලෝනා ඩූන් ගේ සහ ලීනා (Lena ) ඩෝරා (Dora ) ගේ කතාව නිමි.

*ලෙනදොර යනු මාතලේ දිස්ත්‍රික්කයේ ගමකි. එසේම ඒ ගමින් පැවත එන්නන් ගේ වාසගමකි.
** Patient ticket =patient’s documents
*** Police inform : රොගියෙක් වාට්ටුවට ඇතුලු කළ පසු සොයා ගත නොහැකි නම් රොහල් පොලිසියට දැනුම් දිය යුතුයි.
**** නිදහසින් වසක 73 ක් ද ගත වී තවමත් ශ්‍රි ලන්කාවේ සියලු සෞඛ්‍ය ලෙඛනගත කිරිම්, ඖශද තුන්ඩු, ඖශඩ විස්තර , රොගියාට උපදෙස් ලිවිම බහුතරය, රොග විනිශ්චය පත් නිකුත් කිරිම සිදු කරන්නේ ඉන්ග්‍රිසියෙනි . විද්‍යාත්මක පර්‍යෙශන වලට අනුව රෝගියාට වටහා ගත හැකි භාශාවෙන් තොරතුරු ලබා දීම මිනිසුන්ට රෝග වැලදීම,මර්ත්‍යතාව (morbidity and mortality ) හා රෝගීන් ඖශද ගැනීම අතර මගදී නවතා දැමීම අඩු කරයි. ශ්‍රි ලන්කවෙ සෞඛ්‍ය පද්දතිය තුල භාෂා පරිවර්තකයන් නොමැත.
* මේ කතා වලින් විනෝද වන අතර සමාජයේ පවතින භාෂාවාදය නිසා පෙලෙන්නන් ගැන ද සිතන්න. මේ සියලු විනෝද කතා අපේ ජීවිත අවබෝදය වැඩි කරයි. චීත්තයක් ඇද, මේසය ලග අපි ලගට පහත් වී කතා කරන ඔවුන් වෙනුවෙන් ඔබේ හදවත අවදි කරන්න.

(සන්තු පාඩමක් ඉගන ගන්නේම නැත. තවත් බණ කියන්වා 😉 )

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*