ලිංගිකත්වය සහ ආගම අතර වික්ටර් රත්නායක සහ අපි

ලිංගිකත්වය සහ ආගම අතර වික්ටර් රත්නායක සහ අපි

.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda

.

iMage:victorratnayake.lk

වික්ටර් රත්නායකගේ ගීත තරම් අප මිහිරියාවට පත්කළ වෙනත් ගායකයෙකුගේ ගීත සමුච්චයක් ගැන සිතාගැනීම අසීරු ය. ඔහු, එච්. ආර්. ජෝතිපාල සහ ඩබ්. ඞී. අමරදේව අතරමැද පුරුක විණි ය යන්න මගේ හැඟීමයි.

දැන් කාලයක සිට ඔහු බරපතල සමාජ විවේචනයකට සහ පරිහාසයකට ලක්වෙමින් සහ ලක්කරමින් තිබේ. මුලින්ම එසේ වූයේ ඔහුගේ දෙවැනි විවාහය සම්බන්ධයෙනි. ඊළඟට, ඔහුගේ ආගම සම්බන්ධයෙනි. දෙවැනි විවාහය ප‍්‍රශ්නකාරී වුණේ, ප‍්‍රධාන වශයෙන් ඔහු සහ ඔහුගේ සහකාරිය අතර ඇති වයස් පරතරය හේතුවෙනි. ඔහුගේ ආගම ප‍්‍රශ්නකාරී වුණේ, මහ-ජාතික ආගමට වෙනස් සුළුතර ආගමක් වෙතට මෑතක සිට ඔහු බර වීම නිසා ය.

කලාකරුවෙකුගේ පෞද්ගලිකත්වය පොදු අයිතියක් බවට පත්විය යුතුද?

කලාකරුවා යනු නිෂ්පාදකයෙකි. එනම්, යම්කිසි දෙයක් නිපදවන්නෙකි. අද කාලයට එන විට, කලාකරුවාගේ නිෂ්පාදනයටත් වෙළෙඳ වටිනාකමක් තිබේ. සාඩින් ටින් එකක ගල් කැටයක් තිබී හමු වූ විට, ඒ ගැන වෙළෙඳසැලට ගොස් පැමිණිලි කළ විට, ඒ පැමිණිල්ල වෙළෙන්දා විසින් අදාල සාඩින් ව්‍යාපාරික සමාගමට දන්වනු ලැබේ. සාඩින් ව්‍යාපාරයේ හිමිකරුවාගේ විවාහය කොයි වගේද යන්න අප සොයා බලන්නේ නැත. (ඔහුගේ ආගම කුමක්දැයි ඇතැම් අවස්ථාවක සොයා බැලූවත්, ඒ වෙනත් හේතු නිසාවෙනි). නැවත නැවතත් එම සාඩින් ටින්වල ගල් කැට දකින්ට ලැබුණොත්, අප කරන්නේ ඒ වර්ග නාමයෙන් යුත් සාඩින් ඉන්පසු මිළ දී නොගැනීමට වගබලා ගැනීමයි.

ඒ හා සමානවම, වික්ටර් රත්නායක නමැති ගායකයා සම්බන්ධයෙන් අපට පැමිණිල්ලක් ඇතොත් ඒ ඔහුගේ නිෂ්පාදනයන් සම්බන්ධයෙන් විය යුතුය. එනම්, ඔහුගේ ගීත සම්බන්ධයෙනි. එතැනින් එහා ඔහුගේ විවාහය හෝ ආගම, සාමාන්‍ය තත්වයක් යටතේ, අපට ප‍්‍රශ්නයක් විය යුතු නැත. මොහිදින් බෙග්ගේ බුද්ධාලම්භන ප‍්‍රීතිය වඩවන ගීත රස විඳීමේදී බෞද්ධයන්ගේ පැත්තෙන් ඔහුගේ ආගම ගැන ප‍්‍රශ්න කෙරී නැත. ඔහුගේ ආගමිකයන්ගෙන් ඒ ගැන ඔහුට විරෝධයක් එල්ල වී ඇති බවක්ද අප අසා නැත.

එසේ වෙතත්, සාඩින් නිෂ්පාදකයාට වඩා වෙනස් ආකාරකින්, වික්ටර් රත්නායක වැනි ගීත නිෂ්පාදකයෙකු දෙස සමාජයක් බැලීම අස්වාභාවික නැත. හේතුව, එවැනි පුද්ගලයන් සමාජය සතු වටිනා සම්පත් වශයෙන් සැලකෙන්නට පටන් ගැනීමයි. එසේ සමාජ සම්පතක් වශයෙන් තමන්ව සලකනු ලැබීම එම පුද්ගලයන් විසින්ද උත්කර්ෂවත්ව භාරගනු ලැබේ. ඒ මගින් ලැබෙන සියලු වරප‍්‍රසාදත් ඔවුන් විසින් භූක්ති විඳිනු ලැබේ. එසේ සිදුවන්නේ, මූලික වශයෙන්, ඔවුන්ගේ විෂය මූලික සම්ප‍්‍රදානයන් නිසා ය. වික්ටර් වැනි කෙනෙකු සම්බන්ධයෙන් ගත්තොත්, ඔහුගේ ගීතවල මිහිරියාව නිසා ය.

එහෙත්, ලංකාව වැනි, ජාතීන් සහ ආගම් වශයෙන් භේදභින්න වී ඇති රටක කලාකරුවෙකු සමාජ සන්තක වන්නේ, ඊට අමතරව තවත් කාරණා ගණනාවක් එක්කාසු වීමෙනි. අප කතා කරන සියලු ගායකයන් සිංහල භාෂාවෙන් ගායනා කරන නිසා ඔවුන් කවුරුත් සිංහලයන්ගේ ගායකයන් වන බව ඇත්ත. එහෙත් ඒ අතරින් සමහර ගායකයන් අනිත් අයට වඩා ‘සිංහල’ වෙයි. නන්දා මාලිනිගේ, ‘මේ සිංහල අපගෙ රටයි- අප ඉපදෙන මැරෙන රටයි’ ගීය නිසා ඇය වෙනත් ගායිකාවන්ට වඩා ‘අපේ’ වී තිබේ. ඩබ්. ඞී. අමරදේව ගත්තොත්, සිංහලයා සහ බෞද්ධයා විසින් ඔහු තමන් සන්තක කරගනු ලැබ තිබෙන්නේ, ඔහුගේ ගීත තුළින්, සිංහල සහ බෞද්ධ ‘සුවඳක්’ හමන නිසා ය. තවත් පැත්තකින්, ගුණදාස කපුගේ සමාජ සන්තක වී ඇත්තේ, විශේෂ ජාතියකට හෝ ආගමකට නොගෑවී, සමාජ අසාධාරණකම් ගැන සැලකීමක් දැක්වූ ‘ප‍්‍රගතිශීලී’ ගායකයෙකු වශයෙනි. මේ ආකාරයට, අර කී පුද්ගලයාගේ ‘නිෂ්පාදනය’ තුළ අඩංගු වන දේවල් සේම, කෙලින්ම අඩංගු නොවන මුත් ඉඟියෙන් දත හැකි අමතර යමක් සමාජය විසින් ඔහුට පවරනු ලැබේ. එය සමාජයක් හිතුවක්කාරීව කරන දෙයක් නොවේ.

යුද්ධය කාලයේ, සිංහලකම සහ සිංහල සංස්කෘතිය ගැනත්, බෞද්ධ ශික්ෂණය සහ උසස් සදාචාරය ගැනත්, දළ වශයෙන් මහජාතික චින්තනයකින් ඔදවැඞී විටින්විට වික්ටර් රත්නායක කතා කරනු මා අසා තිබේ. ඉතිං, ඒ සමාජය විසින් ඔහුව තමන් සන්තක කරගැනීමේ වරදක් නැත. ඉන්පසු, වික්ටර් රත්නායක යනු මධුර මනෝහර ගායකයා පමණක් නොව, ජාතියකට සහ ආගමකට අයත් ‘අපේ එකෙක්’ වන්නේය. මේ මනෝභාවය, ජාතීන් වශයෙන් අප ඇනකොට ගන්නා තත්වයට පත්වීමෙන් පසුව ඇති වූ තත්වයකි. ඊට කලින්, ගායකයෙකුගේ නිෂ්පාදනය පමණක් අපට වැදගත් වූ බවත්, දැන් ඊට අමතර තවත් දේවල්ද අපට වැදගත් වන බවත් අවධාරණය කිරීමයි මගේ අරමුණ. ඊට හොඳම උදාහරණය, ඉහතින් කී නන්දා මාලිනීගේ ‘මේ සිංහල අපගෙ රටයි’ ගීය, දකුණේ සමාජ විඥනයේ ලැගුම් ගැනීම සිද්ධ වන්නේ, එය ගායනා කළ කාලයේ නොව, ඊට බොහෝ කලකට පසුව වීමයි.

එසේ වන විට, මහාචාර්ය සුනිල් ආරියරත්න ලියා නන්දා මාලිනී ගායනා කළ, ‘‘පූජාසනයේ ඔබ හිඳුවා- ඔබට පුදන මේ ලෝකයමයි හෙට- ඔබට එරෙහි වී නැඟිටින්නේ’’ නමැති ගීතය මගේ මතකයට නැෙඟ්. ඒ ගීතයෙන් කියැවෙන්නේ, සමාජය පිළිබඳ වෙනත් මානයක් වූවත්, මගේ තර්කයටත් එය අදාළ කරගත හැක. වපුරන්නේ ඔබ නිසා, අස්වැන්න ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ඔබට නැත. වික්ටර් රත්නායක සහ සමාජ නිර්මිතය අතර සහසම්බන්ධය එසේ වූවත්, වෙනත් මානයකින්ද මේ දෙස බැලිය යුතුව තිබේ.

වික්ටර්ගේ දෙවැනි විවාහය ප‍්‍රශ්නයක්ද?

ලිංගිකත්වය යනු එක්තරා රසායනිකත්වයකි. ගැටවර, තරුණ සහ මහලු වයස්වල රසායනිකත්වයන් එකිනෙකින් වෙනස් ය. ඒ සාමාන්‍ය තත්වයයි. එහෙත් විටෙක, මහලු වයසේදී පවා, අර කී රසායනිකත්වය දුර්වල නොවී කෙනෙකු තුළ තිබිය හැකිය. වැඩි දෙනෙකුගේ ජීවිත මහලු වෙද්දී අර කී රසායනිකත්වය දුර්වල වෙයි නම්, ඒ අයට එසේ නොවන අනිත් අය කෙරෙහි ඊර්ෂ්‍යා කළ හැකි වෙතත්, එ් ඊර්ෂ්‍යාව වෛරයකට හෝ අපහාසයකට හරවා ගත යුතු නැත. හේතුව, රසායනික තත්වයක් යනු, හුදෙක් යම් කෙනෙකු හිතින් ඇති කරගන්නා හෝ ඇති කරගත හැකි තත්වයක් හෝ නොවන බැවිනි. වික්ටර් රත්නායකගේ දැන් වයස අවුරුදු 76 ක් බව කියැවේ. ඔහු දෙවැනි වරට විවාහ වූ පෙම්වතියගේ වයස එයින් අඩකටත් අඩු බව කියැවේ. වයස් පරතරයේ මහළු පක්ෂය නිතර නියෝජනය කරන්නේ පිරිමි පක්ෂයයි. එය ඇත්තෙන්ම, අසාමාන්‍ය දෙයක් නොවේ. එහි අනිත් පැත්ත, එනම් මහළු පක්ෂය ගැහැනිය නියෝජනය කරන අවස්ථාවන් පවා අද අසාමාන්‍ය චර්යාවන් වශයෙන් සැලකෙන්නේ නැත. ප‍්‍රංශ ජනාධිපතිගේ බිරිඳගේ වයස 67 කි. ජනාධිපතිවරයාගේ වයස 43 කි. ඔවුන් විවාපත්ව ඇත්තේ, ඇයට වයස 54 දී සහ ඔහුට වයස 30 දී ය.

ඊට වෙනස්ව, වික්ටර් රත්නායක සහ ඔහුගේ පෙම්වතිය අතිනත ගෙන ඇත්තේ, හුදු ලිංගිකත්වයෙන් එහා ගිය, එකිනෙකා කෙරෙහි වන වෙනත් මානුෂීය ඇලීමක් මත විය නොහැකිද? එය අත්‍යන්තයෙන්ම සිදු විය හැකි දෙයකි. කෙසේ වෙතත් එය, ඔවුන් පමණක් දන්නා, පිටස්තර අපට දැනගත හැකි දෙයක් නොවේ.

භෞතික, කායික සහ ලිංගික කාරණා එසේ වෙතත්, හුදෙක් ඒ සාධක මත පමණක් දේවල් දෙස බැලිය නොහැකි තත්වයකුත් ඇති බව ඇත්ත. එයින් අදහස් වන්නේ, සම්ප‍්‍රදායිකත්වය සහ ගතානුගතිකත්වය කරේ තබා ගත යුතු බව නොවේ. එසේ වෙතත්, සමාජ සංස්ථාව කියා දෙයක් ඇති බව පිළිගැනීම වැදගත් ය. මේ සංස්ථාවේ මොන අඩුපාඩුකම් තිබුණත්, දියුණු මිනිසාගේ සහජීවනය සඳහා ඒ සංස්ථාව අවශ්‍ය කෙරේ. උදාහරණයකින් ගත්තොත්, යම් විවාහක පුරුෂයෙකු, වෙනත් කාන්තාවක් සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇති කරගැනීම ඔහුගේ බිරිඳට වේදනාවක් විය හැකි බව නොසලකා සිටිය හැකි නොවේ. විවාහය නමැති සංස්ථාවට ඇතුළු වන කවුරුත් එසේ ‘ද්‍රෝහී’ නොවන බවට ප‍්‍රතිඥ දෙන බව අපි දනිමු. එහෙත්, ගිවිසුම් අනුව රට-රටවල් පවා වැඩ කරන්නේ නැති ලෝකයක, පුද්ගලයන් දෙන්නෙකුගේ ගිවිසුමක් එහි වචනවලට සත්‍යගරුක විය යුත්තේ ඇයි? ඒ නිසා අපි ඒ කාරණය පැත්තකින් තියමු.

එහෙත්, තමාගේ සතුට අනෙකාගේ කටුක වේදනාවක් බවට පත්කිරීම තුළ යම් ආචාරධාර්මික සහ මානුෂික ප‍්‍රශ්නයක් ඇති බව එසේ පහසුවෙන් බැහැර කළ හැකි කාරණයක් නොවේ. විවාහයේ අත්සන පැත්තකින් තැබිය හැකි මුත්, අනෙකාගේ වේදනාව එතරම් පහසුවෙන් පැත්තකින් තැබිය හැකි නොවේ. මේ නිසා, එකිනෙකා කෙරෙහි වන මානුෂීය බැඳීම නිසා, ඇතැම් කැපකිරීම් කිරීමට, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවත් කෙනෙකුට සිද්ධ වීම, සමාජ සංස්ථාවේ තුලනය පවත්වා ගැනීමට අවශ්‍ය කෙරේ. මෙය වංකකමක් හෝ කුහකත්වයක් වශයෙන් කෙනෙකුට හැඳින්විය හැකි වෙතත්, වර්තමාන පවුල් සංස්ථාව පිළිගන්නා කිසි කෙනෙකුට එය මඟහැර යා හැකි නොවේ. කෙසේ වෙතත්, වික්ටර් රත්නායකගේ බිරිඳ මියගොස් ඇත්තේ මීට දීර්ඝ කාලකයට ඉහතින් නිසා, ඒ කාරණයත් ඔහුට අදාළ නොවේ. එහෙත්, ඒ වෙනුවට ඔහුගේ දරුවන්ගේ ප‍්‍රශ්නයක්, මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධියට පත්කෙළේය. එය භෞතික පදනමක් නැති, හුදෙක් සමාජ සම්මතය පිළිබඳ ප‍්‍රශ්නයක් බව බැලූ බැල්මට පෙනේ. එයින් කියැවෙන්නේ, අම්මා (හෝ තාත්තා) මියගිය පසු, තාත්තා (හෝ අම්මා) සිල් රැකිය යුතු බව වැනි අදහසකි. එසේ විය යුත්තේ ඇයි? ‘අපිට ලැජ්ජයි’ යන්න ඊට පිළිතුර විය නොහැක.

කලාකාර නිෂ්පාදකයා සම්බන්ධයෙන් වැදගත් වන තවත් කාරණයක් තිබේ. වික්ටර් රත්නායක ඇතුළු ගායක ගායිකාවන්ගේ මනබඳින ගීත කාලයක් තිස්සේ අපේ සිත්සතන් පිනවා ඇත්තේ, සම්මත ආලයට හෝ සම්මත වෛවාහක ශෘංගාරයට වඩා, අසම්මත ආලයේ රසය බොහෝවිට ඒවා තුළ අඩංගු කරගැනීමෙනි. මහළු පිරිමියෙකු හිරිමල් කෙල්ලක කෙරෙහි පේ‍්‍රමයෙන් වෙළීම පිළිබඳ ගායනා කරනු ලබන ගීයක් අත්‍යන්තයෙන් රස විඳින අපි, ඒ ගායකයා සැබෑ ජීවිතයේදී එවැනි කෙනෙකු සමග, ඇගේ කැමැත්ත ඇතිව, පේ‍්‍රමයෙන් වෙලීම පාපයක් වශයෙන් දකින්නේ ඇයිද යන්න ප‍්‍රශ්නයකි.

විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇති වන ආලය තුළ, හුදෙක් මනුෂ්‍යයා කෙරෙහි වන බැඳීම සහ ‘පිවිතුරු’ ආලය යැයි අප කතාවට කියන යම් මානසික තත්වයක් සැබවින් පැවතිය හැකි නමුත්, විරුද්ධ-ලිංගික ආලයේ මූලික ගාමක බලය වන්නේ රාගයයි. රාගයේ රසායනිකත්වය වියැකී ගිය පසුව පවා අඹු-සැමි ආදරයක් පැවතිය නොහැකි බවක් එයින් අදහස් නොකෙරේ. එහෙත් ඒ ආදරය තුළ අර රසායනික ‘රස්නය’ නැත. ඒ වෙනුවට, මා ගැන සහ මගේ දරුවන් ගැන වෙහෙසෙන ඇයටත් (ළමයින්ගේ අම්මාටත්), මා සහ මගේ දරුවන් රැකබලා ගන්නා ඔහුටත් (ළමයින්ගේ තාත්තාටත්), ආදරය කරන ‘පුරුද්දට’ අපි ඇබ්බැහි වීමයි සාමාන්‍යයෙන් සිද්ධ වන්නේ.

මොන දේ කළත්,
රැහෙන් පිට පැනීම වැරදියි

කෙසේ වෙතත්, වික්ටර් රත්නායක පසුගිය සති කිහිපයේ සිට වඩාත් බැටකන්නේ, ආගම සම්බන්ධයෙනි. එහිදී සිංහල-බෞද්ධ මහා සමාජයේ සියලු කඳවුරු එකට අත්වැල් බැඳගෙන සිටිති. කොටින්ම, ඔහුගේ අසම්මත දෙවැනි විවාහයේදී පවා, ඔහුගේ දරුවන්ගේ පැත්ත නොගෙන ඔහු සමග එකට සිටි සහ ඔහුගේ දෙවැනි විවාහයට අත්සන කළ දීර්ඝ කාලින මිතුරා පවා, මේ කාරණයේදී ඔහු විවේචනය කරන තත්වයට ගියේය.

ගගේ ගහගෙන යන මිනිහා පරඬැලේ පවා එල්ලෙන බව කියති. තමාගේ අසාමාන්‍ය ‘රසායනිකත්වයට’ භෞතික විද්‍යාත්මකව නිවැරදි විසඳුමක් සොයාගත් වික්ටර් රත්නායක, තමන්ගේ මියුරු ස්වරය නැතිවීමේ ප‍්‍රශ්නයට පිළිතුරු සොයාගෙන ගියේ අවිද්‍යාත්මක වන්දනාවක ය. ආගම සහ ජාතිය ගැන භාවාතිශය නැඹුරුවක් ඇති ඔහු වැනි කෙනෙකු එසේ වීම පුදුම නැත.

ප‍්‍රශ්නය වන්නේ මෙයයි: අශෝක මහාධිරාජයාගේ සිට දේවානම්පියතිස්ස ආදී රජවරුනුත්, ඕලකට්ගේ සිට තවත් දහස් ගණන් විදේශිකයනුත්, විශේෂයෙන් ප‍්‍රසිද්ධ පෙළේ (ජාත්‍යන්තර තලයේ නළු නිළියන් වැනි) නාමධාරී විදේශකයිනුත් බුද්ධාගම වැළඳගැනීම ගැන මහත් ආඩම්බරයෙන් කතා කරන අප, බුද්ධාගමේ නාමධාරී කෙනෙකු ඉඳහිටවත් වෙනත් ආගමකට යෑම නොඉවසන්නේ ඇයි? එසේ යන ආගම ‘මිථ්‍යාවක්’ වන නිසාද? වික්ටර් රත්නායකගේ නැති වූ කටහඬ, ආගමික පූජාවකින් ලබා දිය හැකි යැයි කීම, මිථ්‍යාවකට වඩා ප්‍රෝඩාවකි. එහෙත් ඒ ප්‍රෝඩාව කරන්නේ, ‘බෝන් අ’ගේන්’ කිතුණුවන් පමණක්ද? තමන් රහත් වී ඇතැයි කියමින්, අගමැති ජනාධිපතිවරුන් තමන්ගේ ළඟට ගෙන්වාගෙන මහා ව්‍යාපාරයක් කරගෙන යන මිථ්‍යා වෙළෙඳාම අපට නොපෙනේද? බෞද්ධ සංස්කෘතියේ නාමයෙන්, රාජ්‍ය අනුග‍්‍රහයෙන් ගඟට පිරිත් පැන් කළ දැමූ මෑත අතීතය අපට අමතකද? කතරගම දෙවියන්ගෙන් සෙත් ශාන්තිය පතා වන්දනාවේ යන්නේ හින්දු භක්තිකයන් පමණක්ද?

නැත, සැබෑව වන්නේ, ඔහු කෙරෙහි වන විරෝධය, හුදෙක් ‘අපේ රැහෙන් පිට පැනීම’ නිසා වන බව ය.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda

.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*