යොවුන් සිහිණ ලෝකේ, සොවින් ඇයි තැවෙන්නේ

යොවුන් සිහිණ ලෝකේ, සොවින් ඇයි තැවෙන්නේ

.

Mahesh Hapugoda

.

සතුට කියන්නේ කවුරුත් ප්‍රධානය කරන දෙයක් නෙවෙයි

.

හැත්තෑවේ මුල සිද්ද වෙච්ච සිදුවීම එක්ක ලාංකික මිනිස් සමාජය යම් ගල් ගැසීමක් වුණා නම් නැවතත් ඒ මිනිසා කූද්දල අවදි කරන්න බලපෑවේ ක්ලැරන්ස් විජේවර්දන කියල මට හිතෙනවා.

සමහර විට මම වැරදි වෙන්න පුළුවන්.

ක්ලැරන්ස් හැටේ දශකයේ ඉඳල හිටිය වගේම ඒ හැම අවස්ථාවකම එයාගේ ගීත මිනිස්සු ප්‍රබෝධමත් කරන තැනක තිබ්බා.

ලංකාවේ සුන්දරත්වය, ගහ කොළ, කඳුකරය, දේශීය බව, ආදරය, ගැහැණිය, විරහව, නොස්ටැල්ජියාව මේ හැම එකක්ම එයාගේ ගීත වලට වස්තු විෂය උණා.

දේශීය බව එක්ක ගමන් ගත්ත ජනප්‍රිය සංගීතයක් හොයන කෙනෙකුට වැඩි ඈතක යන්න ඕනි නැහැ. මූන්ස්ටෝන් ගේ ඉඳල සුපර් ගෝල්ඩන් චයිම්ස් දක්වා ක්ලැරන්ස් ගේ ගමන බැලුවම ඒ ඇති.

කතරගම, සීත උදේ, රුවන් පුරය, මන්ගෝ නැන්දාගේ ඉඳල මොරටුව, දිල්හානී, දිලීප පොඩි පුතු, රණ මොණරුන්, මුහුදු රැල්ල දක්වා ලොකු පරාසයක් ඔහු ආවරණය කරනවා.

එයාගේ අත්දැකීම් පරාසය ගොඩක් වැඩියි.

හපුතලේ ඉඳල අග නගරෙට ආපු ගමන් මඟ (trajectory) ඒ හැම සින්දුවකම ගෑවිලා තියනවා. එයා ඒ අත්දැකීම් වලට අවංක වුණා. බොරු නාගරික බවක් පෙන්නුවේ නැහැ.

ඒක හරියට වියට්නාම් යුද්ද, සීතල යුද්ද වගේ දේවල් එක්ක උකටලී වෙච්ච බටහිර ආත්මය ‘බිට්ලස්’ විසින් කෙලින් කරලා ගත්ත වගේ දෙයක් කියල මට හිතෙනවා.

ක්ලැරන්ස්ගෙන් පස්සේ ඒ බැටන් එක ගන්නේ රූකාන්ත.

ක්ලැරන්ස් හැමදාම පුළුවන් හැටියට අලුත් දෙයක් කෙරුවා. එක්ස්පෙරිමන්ට් කළා. ලෝකෙට යන්න හැදුවා…

ක්ලැරන්ස් හැදුව ගීත වලින් මම ආසම ගීතය මරියසෙල් කියන ‘යොවුන් සිහින ලෝකේ’ කියන ගීතය.

මේක අපේ යුගයේ තේමා ගීතය වගේ එකක්.

මම දැකල තියනවා අපේ පරම්පරාවේ එවුන් එක එක චැනල් වල සින්දු තෝරනවා. හැබැයි එකෙක් මේ සින්දුව දාන්න කියල කියන්නේ නැහැ.

ලංකාවේ ගයපු හොඳල සිංදුව මොකක්ද කියල මගෙන් කවුරුහරි ඇහුවොත් මම කියන්නේ ඒ ‘යොවුන් සිහින ලෝකේ’ කියල.

ඒ මගේ අත්දැකීම් කලාපයට සාපේක්ෂව.

ඒ සිංදුව මම අර්ථවත් කරගන්නේ මෙහෙම.

අසූවේ අග අපේ පරම්පරාවක් මරල පුච්චලා අපිට දුන්න පණිවිඩය මේ වගේ දෙයක්.

උඹලට අපි ජීවිත දානය දීල තියෙන්නේ. බලපල්ලා වළපල්ලට ගිය උන් දිහා. දැන් ඔහොම හිටපල්ලා. උඹලත් කෑගැහුවොත් උඹලත් අපි යවනවා ආයෙත් නොඑන ලෝකෙට. භීතිය, අභය දානය, ආත්මයක් නොමැතිව ජීවිතය. සුසාන දේශපාලනය. ඔළුව ඉස්සුවොත් මිහිදන් කරනවා උඹලව….(necropolitics).

හැබැයි ඒ අපේ යව්වනය. බයෙන් බයෙන් ලෝකෙට පිය නගපු අපිට ‘යොවුන් සිහින ලෝකේ’ ඇහෙන්න ගත්ත උන්ගේම රූපවාහිනියෙන්. එච්චරයි. දෘෂ්ටිවාදී ඇති. දේශපාලනිකව නිවැරදි නැතුව ඇති. හැබැයි ඒකෙන් අපි පිබිදුණේ නැහැ කියන්න බැහැ.

එක මොහොතක් අපි දුකින් ඉන්න ඕනි නැහැ. මොන ලබ්බකටද අපි දුක් වෙන්නේ?

තොපි වදවේවි දුක් විඳපියව්. රට හදනවා කියල බොරු කියපියව්. පාර්ලිමේන්තුවේ මරා ගනියව්. ඒත් අපි අපිට පුළුවන් හැටියට සතුටින් ඉන්නවා.

අපේ දුක දැකල උඹලට සතුටු වෙන්න දෙන්නේ නැහැ අපි.

ඔව්, ඒ පරපීඩක කෙළවරේ අනික් අන්තයේ අපි නැහැ. උඹලට ඕනි දේ අපි දෙන්නේ නැහැ. ඒක තමයි අපේ රැඩිකල් අන්තය.

උන්ගේ ගේස් එක (gaze) වෙනුවෙන් දුක් විඳින්න ඕනි කියල හිතන එවුන් මේකෙන් අදම මකබෑවියල්ලා….

යොවුන් සිහින ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා
යොවුන් සිහින ලෝකේ
යොවුන් සිහින ලෝකේ දිහා
සෝ දුක් තැවුල් ආදරේ නෑ සිතේ
මාගේ ලොවේ ගීතයයි ජිවිතේ
ඒවන් ලොවේ එන්න මා හා බැඳී
ඔබගේ සවන් දෝත පාලා
අහසේ වලාවේ නැගී පාවෙමූ
මුහුදේ තරංගා දියේ නෑවෙමූ
රෑ හෝ දිවා ජීවිතේ මල් වියේ
අත්වැල් බැඳන් එන්න මා හා

පද රචනය: වර්නන් පෙරේරා
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය: මරියසෙල් ගුණතිලක

සුබ අලුත් අවුරුද්දක්!

සතුට කියන්නේ ගුණාංගයක් මිසක් කවුරුවත් ලබා දෙන දෙයක් නෙවෙයි (ස්පිනෝසා).
Happiness is a virtue. Not a reward.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*