මම ඉන්ගිරිස් ජය ගත්තෙමි

මම ඉන්ගිරිස් ජය ගත්තෙමි

.

Damith Kethaka

.

ඔබ මොනයම් විදෙස් බසක් ඉගෙන ගත්තත්, තමන්ගේම රටේ අන්‍ය වාර්ගික කොටස් භාවිතා කරන බසක් ඉගෙන ගත්තත්,

පළවෙනි රූල් එක තමයි, ඒ බසින් හිතන්න පුරුදු වෙන එක….

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක අගමැතිගෙන් දවසක්දා, ගුණපාල මළලසේකර මහතා ඇහුවලු, “ඇයි ඔබට සින්හල බසේ සරල භාෂිතය අමුණලා කථා කරන්න පුලුවන් කම තියෙද්දි, වචන පෙළ එහෙන් මෙහෙන් දාගෙන වැඩේ සංකීර්ණ කරගන්නෙ කියලා….”
එතකොට බණ්ඩාරනායක අගමැති දුන්නු පිළිතුර තමයි, “මම හිතන්නෙ ඉන්ග්‍රීසියෙන්… ඉන්ග්‍රීසියෙන් හිතලා, සින්හලට හරවගෙන තමයි කථා කරන්නෙ…” කියලා…

ඉස්කෝලෙ 6 වසර වෙනකල් මට ඉන්ග්‍රීසි මළ පොතේ අකුරක් බෑ කිව්වොත් නිවැරදියි…..මගේ අම්මා ගුරු වෘත්තියේ සිට නීතිඥ වෘත්තියට සහ තාත්ත ගණකාධිකාරී සිට මූල්‍ය කළමණාකරු වෘත්තියට මාරුවෙන තෙක් අපිට එච්චර ලොකුවට සල්ලි තිබුනෙ නෑ…..නමුත් පවුල් පසුබිමෙන් දෙපැත්තෙම ඉන්ග්‍රීසි ඉතාම සුහුරු ඥාතීන් හිටියා….ඒත් ඒ අය එක්ක බසක් දියුණු කරගන්න තරමට මම කථා කරලා තිබුනේ නෑ….

5 වසර ශිෂ්‍යත්වයෙන් සමත්වෙලා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ගියාට පසුව ඉන්ග්‍රීසි වල අවශ්‍යතාවය කොයි තරම් බළවත්ද කියන එක පැහැදිලි වෙන්න පටන් ගත්තා….මම ඒ වෙනකොට ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ තිබුණු එලකියුෂන් ක්ලාස් එකකට යමින් හිටියෙ…..ඒ ක්ලාස් එක කලේ කොළඹින් ආපු ගුරුතුමෙක් සහ ගුරුතුමියක්…..නමුත් එතනදි ගොඩක් විට, ගාල්ලේ ලොකු පවුල් වල දක්ෂ දරුවන් ඉදිරියට ආවා මිසක්, අපි වගේ ඔටුවන්ට තැනක් තිබුනෙ නෑ…..”ලීප් ටු ද ඩෝ” කිව්වාම දොර වහන්න යන ජාතියේ එවුන්ගෙන් එකෙක් මම….

පස්සෙ, ඒ කාලෙ හැටියට දරාගන්න අමාරු වියදමක් උනත්, කොහොම හරි ඒක දරන්න සූදානමින් දෙමව්පියෝ මාව කොළඹ බ්‍රිටිෂ් කවුන්සිල් එකට දැම්මා….ඒක අමුතුම ලෝකයක් උනා….

මුලින්ම “යංග් ලර්නර්ස්” කෝස් එකට ආපු දවස මට තාම මතකයි….කොළඹ ලොකු ඉස්කෝල වල දරු දැරියො සේරම හිටියෙ…..බ්‍රිතාන්‍ය ජාතික ගුරුතුමා උගන්වන්න පටන් අරගෙන, ඇක්ටිවිටීස් කරන්න ළමයි ඔක්කොම ගෘප්ස් වලට බෙදුවාම, ඒ අය අතරෙ මගේ නොහැකියාව කැපී පේන්න වැඩිවෙලාවක් ගියේ නෑ….ඒ තරමට මානසිකව වැටිච්ච දවස් කිහිපයක් මුළු ඉතිහාසයේම නැති තරම්……
ඔය ළමයි අතරෙ හිටියා බුද්ධික කියලා ළමයෙක්…..ඔහු මාව “බුලී” කරන්න පටන් ගත්තා….

මගේ ඉදිරියේම අනෙක් ළමයින්ට මාව පෙන්නමින් ඉන්ග්‍රීසියෙන් විහිලු කරන්න පටන් ගත්තා…..මට හොඳටම තේරුණා මූ කරන්නෙ මාව බයිට් කරන එක කියන එක….ඒත් අනිත් පැත්තට කථා කරන්න හැකියාවක් නැති නිසාත්, කිව්වෙ මොනවාද කියන එක තේරුනෙත් කොංජම් කොංජම් නිසාත්, ගෘප් වල ගෑණු ළමයිත් “ඉන්ග්‍රීසියෙන් හිනාවෙද්දි” කට වහගෙන හිටියා…

හැම සෙනසුරාදාවකම ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න් එකේ බ්‍රිටිෂ් කවුන්සිල් එකට ගාල්ලේ ඉඳන් ඇවිත් පන්ති ගියා….හවසට එළියට එනකොට ඇස් වල කඳුළු…..පුදුම අසරණ කමක් දැනුනෙ….

හැබැයි ලංකාවෙ අනුකාරක ප්‍රභූ පැලැන්තියේ වානරයන්ගෙ දරුවො එහෙම උනාට, බ්‍රිතාන්‍ය ජාතික අය ඒ වගේ නෙමෙයි…..ඔවුන් ඉමහත් කැපවීමෙන් අපට ඔවුන්ගේ භාෂාව හෙවත් ඒ වටිනා ජාත්‍යන්තර භාෂාව ඉගැන්නුවා….

“ජෙරල්ඩ් යූවර්ත්” කියන්නෙ ඒ ඉන්ග්‍රීසි ගුරුතුමා…..එතුමා භාෂාව පිළිබඳව පශ්චාත් උපාධිදාරියෙක් ලෙස එන්ගලන්තයෙන් ඇවිත්, ලංකාවෙ වසර ගණනාවක් කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සේවයට කැපවෙලා හිටියා….පස්සෙ කාළෙක මම එච්.එස්.බී.සී බැන්කුවේ සේවය කරද්දිත් මට එතුමාව හමුවුනා, උපදේශකයෙක් හැටියට….
එතුමා මට සිද්ද වෙමින් තියෙන දේ දැකලා, දවසක්දා මට ඔහුට හැකි උපරිමයෙන් සරල කරලා, මෙන්න මේ අවවාදය දුන්නා….

“When – You – Learn – Words – Try – to – Use – them – When – You – think….. Think – using – English – Words “

ඒක එතුමා මට කියලා දුන්නෙ, තමන්ගේ දෑතේ ඇඟිලි ඒ මේ අතට හරවමින් … “යූ” කියද්දි මගේ දෙසට, “තින්ක්” කියද්දි ඔහුගේ හිස දෙසට…..ඕක දැකපු බුද්ධිකගේ කල්ලිය, ” ජෙරල්ඩ් ඊස් ට්‍රේනින් අ මන්කී” කිව්වා…. ( බ්‍රිටිෂ් කවුන්සිල් එකේදි ගුරුවරුන්ට අපි “සර්, මිස්” කිව්වෙ නෑ…. නම කියලා කථා කලේ )… මුළු පළාතම හිනා උනා…..කෝපවෙච්ච ජෙරල්ඩ් ගුරුතුමා නැගිටලා “බුද්ධික යූ විල් ලීව් ද ක්ලාස් ඉමීඩියට්ලි ඇන්ඩ් සිට් අවුට්සයිඩ් ” කිව්වා…..

මම එදා ගෙදර ආවෙ, මැරිලා හරි මේක ඉගෙන ගෙන මුන්ගෙ බෙල්ලටම මේ කඩුව තියනවාමයි කියලා හිතාගෙන…..මගේ තාත්තගෙ නංගි ( මගේ පොඩි නැන්දා ) ඊට සතියකට පසුව මට මගේ පොත් එකතුවේ පළමු “ටින්ටින්” පොත හෙවත් “ද බ්ලැක් අයිලන්ඩ්” පොත තෑගි දුන්නා….ගත්තා ඕක…..පුලුවන් හැටියට රූප සහ දෙබස් ගළප ගළප කියෙව්වා…..එදිනෙදා ජීවිතයෙත් අර පොතේ තියෙන දෙබස්, ඒවා ගැලපෙන අවස්ථා ආවම, ඒ විදියට ගළපලා හිත ඇතුලෙන් කියන්න ගත්තා…..
ටින් ටින් පොත් ගොඩ ටික ටික වැඩිවුනා….ගාල්ලට විජිත යාපා එකක් ආවේ හුඟක් පහුවෙලා….එතකල් බම්බලපිටියෙ විජිත යාපා එක තමයි දෙයියෝ…..එතනින් පොත් අරන් ගියා….කියෙව්වා….

අවුරුදු හතරක් එක දිගට බ්‍රිටිෂ් කවුන්සිල් ගියා….මගේ ලොකු මාමා කොළඹ ආවාම නවාතැන් දුන්නා….කාටූන්, කොමික් බුක්ස් වලින් මාරුවෙලා වෙන පොත් වලට ගියා….ජෙරල්ඩ් ගුරුතුමාගෙන් පස්සෙ, මයිකල් කියලා උස ගුරුතුමෙක් ආවා, ඊළඟට සැමුවෙල් කියලා ගුරුතුමෙක්….අන්තිමට බ්‍රිජට් කියන ගුරුතුමී… ඒ අය විවිධ දියුණු ක්‍රමවලින් අපිට ඉගැන්නුවා….

මම රිච්මන්ඩ් විද්‍යාලයේ ඉන්ග්‍රීසි විවාද කණ්ඩායමට ඇතුලු වෙන්න සමත් වුනා….අධ්‍යාපන අමාත්‍යංශයේ රචනා සහ කථික තරඟ වලින් මුලින් කඩවත් සතර තරඟ දිනලා, පසුව දිස්ත්‍රික් තරඟ දිනලා, අවසානයේ ජාතික මට්ටමෙන් දෙවතාවක් පළවෙනියා වුනා….

10 වසරට එනකොට ඒ බ්‍රිටිෂ් කවුන්සිල් එකේම සියලුම ගෘප් ඇක්ටිවිටීස් දිනුවෙ මම ඉන්න ටීම් එක…අවසානයේ අපි එෆ්.සී.ඊ හෙවත් “ෆර්ස්ට් සර්ටිෆිකේට් ඔෆ් ඉන්ග්ලිෂ්” කරන විභාගයට ආවා….ඒ වෙනකොට අර ඔක්කොම සුපිරි ළමයි ටික, සියලු දේ අහගත්තෙ පන්තියෙ ළමයි දෙන්නෙක්ගෙන්….එක්කෙනෙක් ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සිසුවියක්….අනිත් කෙනා, යුවර්ස් ටෘලි….!…මෙලෝ හසරක් බැරුව හිටපු එකා, මුළු කුරුඳුවත්තෙම ළමා සමාජය ඇඟිල්ල වටේ කරකවලා ගත්තා….

ආ….අපි බ්‍රිටිෂ් කවුන්සිල් ගිහින් අවුරුදු දෙකක් වගේ යද්දි ( ඉස්කෝලෙ 8 වගේ ඉන්දෙද්දි ), “ඩොනල්ඩ් ස්ටැම්ෆර්ඩ්” ( වගේ නමක් තියෙන ) කියලා රීජනල් ඩිරෙක්ටර් කෙනෙක් ආවා පන්තිය බලන්න….ඒ වෙලාවෙදි පන්තිය කොටස් දෙකකට බෙදලා, ස්පෙලින්ග් බී එකක් කරා….එක ටීම් එකක නායකයා අර බුද්ධික….අනිත් ටීම් එකේ නායකයා මම … ඒකෙදි දිනන ටීම් එකේ නායකයට, පරදින ටීම් එකේ නායකයට පොඩි මොක් ඇක්ටිවිටි එකක් දෙන්න පුලුවන්….ඒක ෆන් එකට කරන වැඩක්…අපිට කළින් තිබිච්ච තරඟෙදි, අපේ අනිත් ක්ලාස් එකේ ළමයින්ගෙන් පැරදිච්ච පිළේ නායිකාව “බනී හොප්” එකක් කළා…..

අපි දිනුවා….අර රීජනල් ඩිරෙක්ටර් “වෙල්ඩන්, වෙල්ඩන්” කියලා, “වට් වුඩ් යූ ලයික් බූඩික ( බුද්ධික ) ටු ඩූ” කියලා මගෙන් ඇහුවා….

පොඩි කාලෙ මම කථා කරන විදිය හෙණම හුරතල්…..මම ඉතින් නැගිටලා, හුරතල්ම විදියට මෙහෙම කිව්වා…

“අයි වුඩ් ලයික් බුද්ධික ටු ෂෝ අස් හව් අ මන්කී බිහේව්ස් “….. ☺

ඉතින් හිතවතුනි, ඔබට මොන භාෂාවද ඉගෙන ගන්න ඕන, ඒකෙන් හිතන්න පුරුදුවෙන්න බඩ ගගා හරි….එහෙම නැත්නම් ඔබට කරන ඉගැන්වීම, මුණින් අතට නවන ලද කෝප්පයකට තේ එකක් වක්කරනවා වගේ තමා…..බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා “මනෝ පුබ්බංගමා ධම්මා” කියලා…
ෆර්ඩිනන්ඩ් ඩි සෝසියෝ කියන ස්විස් ජාතික භාෂා විශේෂඥයා කියලා තියෙනවා, බසක් උපදින්නේ පංචේන්ද්‍රිය ගෝචර වෙන,

සංඥාවට ( සයින් : උදා – ත්‍රිකෝණයක් ), සංඥාවේ ස්වරූපය ලෙස මනෝමූලිකව ග්‍රහණය කරගන්න දෙය, හෙවත් හැඟවුම්කාරකය ( සිග්නිෆයර් – හෙවත් අදාළ සංඥාවේ රූප සංකල්ප .. උදා – ද්විමාණ ත්‍රිකෝණයක් නම් දාර තුනයි….ත්‍රිමාණ නම් දාර හයයි, අන්න ඒ වගේ ), හැඟවුම හෙවත් මනෝ සංකල්ප ( සිග්නිෆයිඩ් – උදා – පිරුණු ත්‍රිකෝණය, තිත් සහිත ත්‍රිකෝණය ) එකට මුහුවී කරනු ලබන හැඳින්වීම මඟින් කියලා…

එතනදි භෞතිකයේ තියෙන්නෙ එක දෙයයි… ඒ සංඥාව….ඉතිරි දෙකම තියෙන්නෙ මනෝ මූලිකව…. ඒ නිසා, වචන ගොඩවල් ගිල්ලාය කියලා බසක් ඉගෙන ගන්න බෑ…නිකම්ම අමතක වෙලා යනවා විතරයි….අදාළ බසේ, ඔබේ මනසේ තියෙන වචන ටික හරි පාවිච්චි කරලා, ඒකෙන් ලෝකය දකින්න ඕන මනසින්…..අන්න ඒ විදියට කරනවා නම් ඔබට අන්‍ය බසක් ඉගෙන ගන්න, වචන පස්සෙ හෝ ගාලා එළවන්න ඕන නෑ….ඕනම බසක සමස්ථය නියෝජනය වෙන වචන සෙට් එකක් තියෙනවා…. අන්න ඒ සෙට් එක අල්ලගත්තත් ඔබට ඒ බසෙන් ඕනම තැනක ව්‍යක්ථව කථා කරන්න හැකියි…..

ඊටපස්සෙ ඔබට පුලුවන් තව තව වචන ඉගෙන ගෙන, ඒ බස පොහොසත් කරගෙන, ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න…

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*