මදූෂ් වෙනුවෙන් ලියවෙන මගේ කවිය…

මදූෂ් වෙනුවෙන් ලියවෙන මගේ කවිය…

.

Mahesh Hapugoda

.

අතිශයින් කෘර මිණීමැරුම්, මිනිස් වධ බන්ධන සහ සමුහ නොමිනිස් ක්‍රියා සිදු කරන අතරේ ම නාසි යුධ සෙනෙවියන් භගවත් ගීතාව කියෙව්වා විතරක් නෙවෙයි ගුතගේ (Goethe) කවිත් කියෙව්වා. වොග්නර් ගේ (Wagner) සිම්ෆනිත් ඇහුවා. තවත් ගොඩක් ‘සංස්කෘතික’ වැඩත් කරන්න ඇති. එයාලගේ දරුවෝ, බිරිඳ සහ ඥාතීන් සතුටෙන් තියන්නත් ඇති. එයාලට සංස්කෘතික දේවල් දෙන්නත් ඇති. ශිෂ්ට වෙන්න කියල දෙන්නත් ඇති. හොඳ නූතන අධ්‍යාපනයක් දෙන්නත් ඇති. මිණී ඇට කටු බහුල අඳුරු අගාධයකට උඩින් සරුව පිත්තල ගොඩක් තියෙන්න ඇති.

දැන් දැන් කියනවා ඇහෙනවා මාකඳුරේ මදූෂ් උනත් එහෙම ‘සංස්කෘතික ජීවිතයක්‌ තිබ්බ’ කෙනෙක් කියල. ඒ කියන්නේ සමුහ මිණී මැරීම, මත් ද්‍රව්‍ය වෙළඳාම, කූථ ළිපි ලේඛන සැකසීම වගේ අතිශයින්ම එකඟ වෙන්න බැරි සමාජ විරෝධී ක්‍රියා වල යෙදුනා කියල සැක කරන ඔහු නඩත්තු කළා කියන ‘ශිෂ්ට ජීවිතය’ ගැන දැන් කවි සිංදු ලියන්න පටන් අරන්. ඒ කියන්නේ ඔහු තුළ තිබුණා කියන මානුෂික දේවල් (එහෙම තිබ්බේ නැහැ කියල නෙවෙයි කියන්නේ) ගැන – උසස් සංස්කෘතික ජීවිතය ගැන – හදවතේ තෙතමනය ගැන – අනුරාගික බව ගැන – දැන් භාෂාවක් නිෂ්පාදනය වෙමින් පවතිනවා. ඒ නිසා මට හිතුණා ඒ ගැන යමක් සටහන් කරන්න.

බැලු බැල්මට ඔහු ඔහුගේ සමීප ආදරණීය අය වෙනුවෙන් එහෙම කළා වෙන්න පුළුවන්. ලෝකයේ ගොඩක් පාතාල නායකයෝ, ඩ්‍රග් ලෝඩ් ල, ගොඩ් ෆාදර් ල එහෙම සංස්කෘතික සංඥා එල්ලගෙන ඉඳල තියනවා. මම මිට කලින් සඳහන් කරපු Sicario (2015) කියන ෆිල්ම් එකෙත් එහෙමයි. මෙක්සිකන් සොනෝරා කාටෙල් එකේ උන් වටේ ම ගෝලයෝ දාල කුඩු විකුණනවා. ලයිට් කණුවල මිණී එල්ලනවා. සමාජය ඉවර කරනවා. හැබැයි ඒකෙ ගොඩ් ෆාදර් තමන්ගේ ගෙදර ලස්සනට – පිළිවෙලට – සංස්කෘතික විදියට තියාන ඉන්නවා. වයිෆ් කෑම කවනවා. ළමයි ඉගෙන ගන්නවා. ටේබල් මැනස් තියනවා. මරු.

තමන්ගේ හිත දන්නවා ලෝකෙට ගින්දර දීලා තමයි මම මේ ළමයින්ට බත් කටක් කවන්නේ කියල. එහෙම බත් කනවට වඩා හොඳයි උන්ටත් දීල තමනුත් වස කනවා. ඒක පිළිවෙලයි. අවංකයි. හිතට එකඟයි. ඇත්තටම සංස්කෘතිකයි.

ඒ කියන්නේ උන්ගේ පාපී ඇත්ත පැවැත්ම විසින් නැවතත් ෆැන්ටසි කරණය කරන්නේ අර බුර්ෂුවා ජීවිතය. ටේබල් මැනස්. ඇඳුම්. විලාසිතා. මියුසික්. ෆිල්ම්. කාර්. මොඩ් කියන මොනවා හරි ටිකක් එල්ලා ගත්ත ගැහැණු. ඔව්, මම පව් කරනවා. ඔව්, මම සමාජීය අශිෂ්ටයෙක්. හැබැයි ඒ පව් කරන්නේ අර ශිෂ්ට කියල කියන ජීවිතය අත්පත් කර ගන්න. කාඩේෂියන් පවුල වගේ වෙන්න. ඒ වෙනුවෙන් සල්ලි හොයන්න. මේක හිතුමතේ ජීවිතේ වගේ කෙනෙක් ගේ පැවැත්මෙන් කොච්චර වෙනස් ද? හිතුමතේ වැඩ කළේ නපුර වෙනුවෙන් නපුර යොදා ගැනීම එක්ක විතරයි. බුර්ෂුවා ෆැන්ටසි එකක් නඩත්තු කරන්න නෙවෙයි. ඔය කියන ‘සංස්කෘතික බව’ අත්පත් කරගන්නත් නෙවෙයි.

මෙතැනදී දැන් ඔබ පාපයේත් ගොදුරක්. අර කියන ශිෂ්ට බවේත් ගොදුරක්. ද්විත්ව ගොදුරක්. මේක තමයි නීට්ෂ කියන්නේ දෙවියන් නැති තැන දැන් අපිට ඉහළ සහ පහල කියන දිශාවන් නැහැ කියල. දැන් අපිට මදූෂ් සහ සාපේක්ෂ හොඳ මිනිහෙක් අතර වෙනසක් නැහැ. පරමාදර්ශ නැහැ.

කොච්චර මිනිස්සු තමන් අතින් සහ තමන්ගේ ගෝලයින් සහ තම යාන්ත්‍රනය අතින් ඝාතනය උනත් කමක් නැහැ තමන්ට ලස්සන බිරිඳක් සහ ළමයි දෙන්නෙක් ඉන්නවා නම්. ලස්සන ගෙදරක් තියනවා නම්. ලස්සනට ඇඳලා ඉන්නවා නම්. ඉංගිරිසිත් කතා කරනවා නම්. බිත්තියේ ලස්සන පේන්ටින් එකකුත් ගහලා තියනවා නම්. දැන් ඉතිං තියෙන්නේ චන්දෙ ඉල්ලන්න විතරයි. කමක් නැහැ පළාත් සභාත් ලඟයි නේ….මනුෂ්‍ය ලේ පිහල දාන්න ඕනි ශුද්ධ වූ ජලය දැන් දැන් බුකියේ නිර්මාණය වෙමින් පවතිනවා…තව කවි ලියන්න. ගොඩක් පාඨකයෝ එකතු කර ගන්න පුළුවන්.

හැබැයි රෑ අඩ අදුරේම අර තමන් අතින් ඝාතනය වෙච්ච පවුලක ඉතුරු වෙලා හිටපු සැමියෙක් හරි දරුවෙක් හරි රාක්ෂයෙක් වගේ මතුවෙන්න පුළුවන්. ඒකත් අමතක කරන්න එපා. Sicario චිත්‍රපටය පෙන්නන්නේ ඒක. ‘හැම රාත්‍රියකම උඹේ අතින් කොහේ හරි පවුලක් මිය ඇදෙනවා. නමුත් උඹ ලස්සනට උඹේ පවුල එක්ක රෑ කෑම කනවා’. ආපු මාරයා එහෙම කියනවා. තාලෙට කිව්වොත් ඒකත් කවියක් තමයි.

දැන් ලංකාවේ නිදහස්, ලිබරල්, ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර නතර වෙලා තියෙන්නේ මේ වගේ මදූෂ් ට කවි ලියන ‘සංස්කෘතික’ තැනක. මම එතන නැහැ.

(මේ මදූෂ්ගේ මරණය සම්බන්ද සිද්ධිය සාධාරණය කිරීමක් නම් නෙවෙයි. ඒ වෙනස වත් තේරුම් ගන්න).

පෙර ළිපිය https://sinthomaya.blogspot.com/2020/10/blog-post_21.htmlSicario

චිත්‍රපටයේ රාත්‍රී භෝජනය https://www.youtube.com/watch?v=Cs5UwKqzzV8

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*