භික්‍ෂුන්ගේ අවවාද, සාසන කඳ පණුවන් සහ බුදුන් වහන්සේගේ අවවාද.

භික්‍ෂුන්ගේ අවවාද, සාසන කඳ පණුවන් සහ බුදුන් වහන්සේගේ අවවාද.

.

ලලිත් කරුණාරත්න (‘ජ්‍යෝෆ්‍රී බේකන්’)

.

කිසියම් භික්ෂුවක් කියන දේ එසේම විශ්වාස කිරීම නිවැරදිද, එසේ නැතහොත් ඒ කියනා දෙය ධර්මයට අනුකූලව පිළිගැනීම කල යුතුද යන්න අතරේ සමහරුන් මංමුලාවී සිටිති. ඒ නිසා, කලින් කලට, නොයෙක් පුද්ගලයන් ඒ ඒ භික්ෂූන් වහන්සේලාව අනුගමනය කරනවා මිසෙක, බුදුන්වහන්සේගේ ධර්මය නිවැරදිව අනුගමනය නොකරති.

භික්ෂුන් වහන්සේලා යනු බුදුන් වහන්සේගේ ඖරස පුත්‍රයන් බව සැළකීම මැනවි. සමහර අය බුදුන් වහන්සේ පැත්තක තබා යම් යම් භික්ෂුන් වහන්සේලා පමණක් සරණ යාම බෞද්ධ කමක් නොවේ. 
ත්‍රිපිටකය බොහෝ කල්පනාවෙන් අධ්‍යනය කලද, බුද්ධ ධර්මය බුදුන් වහන්සේ විසින් දේශිත බව පෙනී යයි. කලාතුරකින් පමණක් සංඝයා වහන්සේ කෙනෙක් කිසියම් සූත්‍රයක් අනාවරණය කලද, එයද බුදුන් වහන්සේගේ ධර්මයට එකහෙළා අනුකූල වේ. උදාහරණය:- සැරියුත් තෙරුන් වහන්සේ විසින් වදාරණ ලද, ‘ආඝාත පටිවිනය’ සූත්‍රය.

සැරියුත් මුගලන් හෝ කාශ්‍යප වැනි ජ්‍යෙෂ්ඨ භික්ෂුන්, බුදුන් වහන්සේගේම අවවාද අසා, බුදුන් වහන්සේම සරණ ගියහ. රහතන් වහන්සේ කෙනෙක්ට නැති ඥාණයන් තෙසැත්තැවක් බුදුන් වහන්සේට ඇති බව, අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ, “තෙසැත්තා ඥාණ” නම් ග්‍රන්ථයේ සඳහන් වේ.    

දේව ආගමක් මෙන් නොව, බුදු දහම වනාහී විවර වන්නට, විවර වන්නට තව තවත් දීප්තිමත් වන්නක් බව කියැවේ. මක්නිසාදයත්, එහි ඥාණකාරක භාවය, භක්තිකාරකත්වයට වඩා බොහෝ වැඩි හෙයිණි. යම් භික්ෂුවක් කිසියම් මාතෘකාවක් ඔස්සේ තම මතය ප්‍රකාශ කල යුත්තේ ධර්ම විනයේ සහ සූත්‍රයේ තබා, ඒ ධර්මයෙන් පෙන්වන රාමුව ඇතුලේ සිටිමිනි. උදාහරණයක් සේ විවාහක යුවලක් සඳහා බුදු දහමේ පැහැදිළි අවවාදයක් දී ඇත. එය …”කාමය වැරදීමෙන් හැසිරීමෙන් වළකින්න”… යන්නය.

අඩුම තරමේ එය ගැහැණු-පිරිමි යුවලක් සඳහාම අදාළ බවවත් ප්‍රකාශ කර නැත. තුන්වන සිල් පදයේ, ‘යුවල’ යනු කවුරුන්දැයි අර්ථ දක්වා නැත. එනම් බුදු දහම වූ කලී, සර්වත්‍ර සහ සර්වකාලීන දහමකි. එහෙයින් “සම ලිංගික විවාහ” සඳහාද [Gay & Lesbian marriages] එය අදාළ යයි කෙනෙක්ට සාර්ථකව තර්ක කල හැකිය. සම ලිංගික බව දිරි ගැන්වීම හෝ නොවීමක් ගැන මෙහි නොකියවේ. එහෙත් කෙනෙක් සමලිංගික වුවද, හොඳ බෞද්ධයෙක් විය හැකි බව පැහැදිළිය.

කෙටියෙන් කිවහොත් එහි එක් තේරුමක් වන්නේ, දෙදෙනෙක් අතර ඇතිවන විවාහ සම්බන්දය පළුදු කල යුතු නැති බව සහ, එකිනෙකාට විශ්වාසවන්තව සිටිය යුතු බවය.

විවාහක යුවලක් එම විවාහ සංස්ථාව තුල, ඒ සිල් පදය නොකඩා හැසිරෙන තාක් කල්, එතනින් එහාට ඇති වරදක් නම් නොපෙනේ. නමුත් යම් භික්ෂුවක් ඊටත් එහා අභ්‍යන්තරයට යමින්, ගැහැණුන් පිරිමින් සංසර්ගයේදී එකිනෙකාගේ ශරීර නොදැකිය යුතුය කියන්නේ නම්, එය ධර්මානුකූල දේශනයක් නොවේ. සත්‍ය වශයෙන්ම එය මධ්‍යකාලීන යුරෝපයේ කිතුණු පල්ලියෙන් මිනිසුන්ගේ ආදර ජීවිතයට තහංචි දැම්මාට වඩා වෙනසක් එහි නැත.

විවාහක යුවලකට එකිනෙකා ගණිකාවන් වැනිය. ඉහත අවවාදය යටතේ “ගණිකාවක්” යන කොටසේ ඒ කාමයේ හැසිරීමේ සීමාවක් ඇති නැති බව බුදු දහමේ සඳහන් නැත්තේ, බුදු දහමේ මුඛ්‍ය පරමාර්ථය විමුක්තිය හෙයිණි. ඒ නොකියා ඇති සීමාවෙන්,  සීමා රහිතව හෙවත් රාමුවෙන් පිට පැන, ඒ පන්සිල් පද වලින් ගම්‍ය වන දේ වැරදියට අර්ථ දැක්වීම නොමනා දෙයකි. එවන් භික්ෂුන් සහ ඒ භික්ෂුන් පවත්නා සමාජ සංස්ථා ගැන ධර්මානුකූල නොවන අවවාද දීමෙන් වැළකී සිටීම ඇඟට ගුණය. එසේ නොමැති නම් ඒ අවවාද දෙන භික්‍ෂුන් අපවාදයට පත්වනු ඇත. 

බුදු දහමේ කොතනකවත් එසේ සඳහනක් නැත. අඩු තරමේ ගිහියෙක්ට පිළිපදින්න කියා අනුමත කර ඇති පන්සිල් වල වත්, විවාහ ජීවිතයක ඇති සංසර්ගයෙන් වැළකී සිටින්නට හෝ නොසිටින්න යයි අනුදැන නැත. එය තීරණය කල යුත්තේ ඒ යුවල මිසෙක වෙන නීති රීති පද්ධතියකින් නොවන බව බුදු සමය පෙන්වා දේ නමුත් එහෙත් එතනින් එහාට අධ්‍යාත්මික ජීවිතයට පියවර තබන කෙනෙක්ට, ‘අට සිල්’ සහ ඉන් අනතුරුව, ‘දස සිල්’ ද තිබේ.

එතනදී බුදුන් වහන්සේ අනුදැන වදාරන්නේ, විමුක්තියේ මාර්ගය වඩාත් විවර වන්නට ‘බ්‍රහ්මචාරීත්වයේ හැසිරෙන්න’ සේය.

වෙන ආකාරයකින් කිවහොත් ඒ අසපු හාමුදුරුවෝ කියන දේ සාවද්‍ය වේ. අධ්‍යාත්මික ජීවිතයට යාම පියවරෙන් පියවර යා යුතු දෙයකි. කෙනෙක්ට අවශ්‍ය නම් පමණක් කල යුතු දෙයක් පමණි. හාමුදුරු කෙනෙක් කී පළියට බ්‍රහ්මචාරිත්වය සාමාන්‍ය අඹු සැමියන්ගෙන් ඉවත් නොවේ. ඒ ගැන පන්සිල් වල සඳහන් නොවන්නේ එබැවිණි. තවද එතැනින් එහාට ඇති ඒ අධ්‍යාත්මික ජීවිතයට කෙනෙක්ව බැඳ, කුදළලා ගෙන යායුතුය කියාත් බුදු දහමේ නොමැත.

පල්ලියට සිකුරාදා හෝ සඳුදා දිනක හුරේ රන් දිව්වාට, බෞද්ධයෙක් පෝය දිනයට පන්සල් නොගියා කියා වන අයහපතක් නැත. එය කල හැකි නම් හුදෙක් තමාගේ පෞද්ගලික විමුක්තිය සඳහා හොඳ දෙයක් පමණි.

[පෝය දිනයේ සිල් ගැනීම සහ පන්සල් යෑමට පාදක වන්නේ සඳ එළිය ඇති හෙයින් පන්සලට යෑමට පහසු වන නිසා මෙන්ම, පුර සඳ දිනයේ මානසික ඒකාග්‍රතාවය තියුණු වන දිනක් හෙයින් විය හැක. ගම්වල ජනයා එදින ගස් කපන්නේ නැත්තේ වැඩියෙන් ගස් වලට ගුල්ලෝ ගසන හෙයිණි. ඇදුම රෝගීන් එදින දුක් විඳින අතර, වැඩිම ඝාතන වාර්ථා වී ඇත්තේ පුර හඳ දින වලදීය. ආදරවන්තයන්ගේ ආදරය එදින වැඩි වේ.] 

බුදු දහම ප්‍රායෝගික දෙයකි. ඉතාමත් ප්‍රායෝගික දෙයකි. ඒ නිසාම, “Buddhism is smarter” යයි බටහිර මිනිසුන් කියති. සංසාරික, ඖධාරික ජීවිතයේ ඇති පළිබෝධක දුටු කෙනෙක්, සසර මඟ අවසන් කර නිවන් ලැබීමේ අභිප්‍රායයෙන් ස්වේච්චාවෙන් තෝරාගන්නා නිවන් මඟට තවත් පිටුවහළක් වන්නේ, ආශාව ප්‍රහීන කරන බ්‍රහ්මචාරිත්වයයි. එය කෙනෙක් සම්පූර්ණ ස්වාධීනව ගන්නා තීරණයකි.

ඒ හාමුදුරුවෝ කියන දේශනා පන්සිල් වල පමණක් හැසිරෙන අඹු සැමියන්ට අදාළ නැත. අසපු කියා ලේබල් ගහගත්තාට, එවන් භික්ෂුවක් දේවදත්ත නිකායේ සිටින්නෙක් මෙනි. එනම් කරන්නට අපහසු තරමේ අන්තවාදී දේ කිරීමට අවවාද කිරීම සහ මුලින්ම ඒ අනුව ගිහි සහ සංඝ සමාජයේ රැළි ඇතිකර, පිළිගත් සමාජ සංස්ථාවකට අභියෝග කර, අවසානයේ බුදු දහමෙන් ගිහියාට දෙන අවවාදයද විකෘති කිරීම යන්නයි.

තවත් උදාහරණයක් ගනිමු. තමා රහත් යයි කියන තවත් භික්ෂුවකි. එතනම ඔහු වරදක් කරයි. එනම් රහත් බව ප්‍රකාශ කිරීමේ විනය නීතිය කඩ කරයි. ඒ මදිවාට ඒ භික්‍ෂුන් වහන්සේ මෙසේද කියා සිටී … “රතන සූත්‍රය දේශනා කලාට, බුදුන් වහන්සේ මළේද ‘ලේ බඩ ගොසිණි” …සේය. මෙය තාර්කික වශයෙන් සත්‍යයකි. එහෙත් එය කියා ඇති ආකාරයේ ව්‍යාකූල බවක් ඇත.

බුදුන් වහන්සේ යනු විශේෂ පුද්ගලයෙකි. එහෙත් සාමාන්‍ය ජන සමාජයට ගුරු හරුකම් දුන් බුදුන් වහන්සේ විශේෂ අවස්ථාවක හැර ප්‍රාතිහාර්ය පෑම නොකළ අතර, තම භික්‍ෂුන්ටද එය අනුදැන වදාළේ නැත. දේවදත්ත භික්ෂුව ගලක් පෙරළු අවස්ථාවේ පාදය තුවාල වූ අවස්ථාවේ එය සුව කිරීමට ජීවක වෙදැදුරු තුමාගේ ආධාරය ලැබුවා මිසෙක ප්‍රාතිහාර්යයෙන් සුව කිරීමක් කලේ නැත. එසේම තුන් කල් දන්නා බුදුන් වහන්සේ, පිරිනිවන් පාන්නට පෙර තිබුණු තමාගේම ආබාධය ප්‍රාතිහාර්යයෙන් සුව කිරීම අනුමත නොකරන්නට ඇත.

මේ ආකාරයේ මුල් පසුබිමක් අර්ථ නොදක්වා, හුදෙක් තම වාසිය සහ ප්‍රසිද්ධිය ලබා ගැනීමට වක්‍ර සේ මුසා දොඩන ඉන්ද්‍රීය සංවරය නොමැති භික්ෂුන් ගෙන් ඉවත් වීමද වටී. ඉහත සේ කියන මේ භික්ෂුව කියා සිටින්නේ, රතන සූත්‍රයේ කියවෙන අවවාද පමණක් සළකා බැලිය යුතු බවය. එසේ කියමින් රට වටා හෙලිකොප්ටරයෙන් ගොස්, මුඛ ආවරණයක්ද ඇඳ, පිරිත් පැන්ද ඉසියි. තමා රහත් නම් පසු දින සිට [නොවැම්බර් 4 – 2020] , සියළු කොරෝනා රෝගීන්ට සුවය අත්වනු ඇත.

ව්‍යාකූල, ප්‍රශ්නකාරී, අනවශ්‍ය ප්‍රසිද්ධියක් තමාට ඇති කර ගැනීමට වඩා දෙයක් එතැන නැත.  

එසේ ඒ ආකාරයේ භික්‍ෂුන් ගෙන් ඉවත් වීම හැර, ඒ ඒ භික්‍ෂුන්ට අපවාද කිරීමද බුදු දහම අනුව හොඳ දෙයක් නොවේ. ආර්ය උපවාදයක් නොවීමට වග බලාගත යුතු වේ. හොඳම දේ වන්නේ එවැන්නන් ගෙන් ඉවත්වී සිටීමය. කොතරම් වැරදි කරන භික්ෂුවක් වුවද, සිටින හොඳම ගිහියාට වඩා පූජ්‍ය සම්පන්න වේ. ගිහියෙක්ට සාපේක්ෂව අඩුම ගානේ භික්ෂුවක් කුමක් හෝ සිරිතකින් ප්‍රතිපත්තියකින් ඉහළ හෙයිනි. අඩුම ගානේ එවැනි භික්‍ෂුවක් රාත්‍රියේ ආහාර අනුභවය හෝ නොකරනු ඇත.

හොඳම උදාහරණය වන්නේ බුදුන් වහන්සේ ඝාතනය කිරීමට ගල් පෙරළු,පසුව අවීචියට ගිය දේවදත්ත තෙරුන් වේ. ධ්‍යානයෙන් පිරිහෙන්නට ප්‍රථම දේවදත්ත තෙරුන් වුවද පංච අභිඥාලාභියෙක් විය.

නමුත් පැහැදිළිව තම ඉලක්කය පෙන්වන භික්‍ෂු ප්‍රතිරූපකයන්ට මේ තත්ත්ව අදාළ නැත.    

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*