පැරීසියේදී කාටත් හොරෙන් “සේන් කුමරිය” මට ඇසක් ඉඟි කලාය….

පැරීසියේදී කාටත් හොරෙන් “සේන් කුමරිය” මට ඇසක් ඉඟි කලාය….

.

Hirantha Herath

.

ලෝකයේ සෑම ප්‍රදාන නගරයක්ම පිහිටා ඇත්තේ ගංඟාවක් ආශ්‍රිතවය. ඒ අනුව ප්‍රංශයේ අගනුවර වූ පැරිසිය මැදින්ද සුන්දර ගංඟාවක් ගලා බැසියි. ඇගේ නම “සේන්” ය.
ඇය සේන් ගංගාවයි.

පැරිසියට ගිය මගෙන්, සේන් සුන්දරිය ඇගේ ඇස් අඩවන් කොට ඈ ජීවත්වන සුන්දර පැරීසියේ පහස විදගන්නැයි ඉල්ලුවාය.

පැරිසිය ගැන කියනවිට කවුරුත් පටන් ගන්නේ, පැරීසියේ පමණක් නොව මුළු මහත් ප්‍රංශයේම සංකේතය වූ අයිෆල් කුළුනෙන් ය. (Eiffel Tower)
ඒත් මා ඔබට පැරීසිය ගැන කීමට පටන් ගන්නේ පැරීසියේ වර්සයිල්ස් මාලිගාවෙනි. (Palace of Versailles) අයිෆල් කුළුන ඇත්තේ පැරීසියේ හදවත වූ පැරීසිය මධ්‍යයයේ එනම් පැරිස් 7 නම් කොටසේය. ඒත් වර්සයිල් මාලිගය පිහිටියේ පැරිස් 7 සිට කිලෝමීටර් තිහක් පමණ ඈතිනි.

මොකක්ද මේ මූ කියන්න හදන්න වර්සයිල් මාලිගාව? මොකක්ද ඒකේ ඇති වටිනාකම? මෙවන් ප්‍රශ්න කිහිපයක් දැන් ඔබේ මනසට ආ යුතුය. එසේ නම් මුල සිටම මා දන්නා ප්‍රංශ ඉතිහාසය පොරක් සේ කියමි.

ප්‍රංශයේ සිටි සුප්‍රසිද්දම රජතුමා 14 වන ලුවි(ස්) රජුයි. දුටු ගැමුණු රජු ලාංකික ඉතිහාසයේ මොන තැනක සිටින්නේද ප්‍රංශ ඉතිහාසයේ 14 වන ලුවි(ස්)ට හිමිවන්නේත් එවන් ස්තානයකි.

14 වන ලුවි(ස්) රජතුමා ජීවත්වූයේ අයිෆල් කුලුන ආසන්නයේ සේන් ගඟ මායිමේ පිහිටි ලූවර් මාලිඟාවේය. වර්තමානයේ එය ලෝක ප්‍රසිද්ද ලූවර් කෞතුකාගාරයයි. (Louvre Museum) පැරිසියේ ඇති ගනනින් 130 ක්වූ විශාල කෞතුකාගාර සංඛ්‍යාව අතරින් ප්‍රදානම කෞතුකාගාරය ලූවර් කෞතුකාගාරයයි.

ප්‍රදාන කතාව මදක් අතුරු කතාවකට රැගෙන යන්නට සිදුවෙයි. ලියනාඩෝ ඩාවින්සි විසින් සිතුවම් කරන ලද ලෝක ප්‍රකට මොනාලිසා චිත්‍රය ඇත්තේ මේ ලුවර් කෞතුකාගාරයේය.
මොනාලිසා චිත්‍රය මා සිතා සිටියේ දැවැන්ත එකක් කියාය. ඒත් එය ප්‍රමාණයෙන් කුඩා චිත්‍රයකි. මා චිත්‍ර විශය ගැන අබමල් රොණක තරම් දෙයක් දන්නේ නැත. ඒත් ලුවර් කෞතුකාගාරයේ මොනාලිසා චිත්‍රය අවට ඇති සමහර දැවැන්ත සිතුවම් සහ වෙනත් සිතුවම් මොනාලිසාට වඩා මගේ සිත පැහැර ගැනීමට සමත්විය.

ලෝක ප්‍රකට මොනාලිසා චිත්‍රයට දැඩි ආරක්ෂාවක් ප්‍රංශ බලදාරීන් විසින් ලබා දී ඇත. ඒ අසල විශාල ජනතාවක් රොද බැදගෙන සිටී. තමන්ගේ පැරිස් ගමන සිහිවීමට ඒ රැස්වූ අය චායාරූප ගන්නා නිසා මොනාලිසාව නිදහසේ විදීමට කාටවත් අවස්තාවක් නැත.
කෙම්මුරදාක රුහුණු කතරගම දේවාලය වඳින්න ගියාක් මෙනි. කට්ට කාගෙන කතරගම ගොස් තිරය ලගට ගියවිට ගියාටත් වඩා වේගයෙන් එළියට විසිවේ. මොනාලිසා චිත්‍රය අසලින් එළියට විසි නොකලත් දැවැන්ත මිනිස් පොදියක් එහි ඇත.

නැවතත් මුල් කතාවට. 14 වන ලුවි(ස්) රජතුමා ජීවත්වූයේ මේ ලුවර් මාලිගාවේය. 14 වන ලුවි(ස්) රජතුමා වැඩියෙන්ම කැමති රත්තරන් වලටය. මේ නිසා ආභරණ පමනක් නොව ලුවී රජුගේ ගෘහභාණ්ඩ, පිගන් කෝප්ප, බිත්ති සැරසිලි සියල්ල රත්තරන් පාටින් යුක්ත විය.

මේ කාලයේ 14 වන ලුවි(ස්) රජතුමා බරපතල ප්‍රශ්ණයකට මුහුණදුන්නේය. ඒ ප්‍රශ්ණය ඇසුවහොත් ඔබේ ඇස් උඩ ඉන්දවනු ඇත. ඔහුට තිබූ ලොකුම ප්‍රශ්නය නම් මිනිස් මළපහ ප්‍රශ්ණයයි.

කිසිම ප්‍රංශ වැසියෙකු ඒ කාලයේ පමණක් නොව ඊට වසර දෙසීයක් යනතුරුම වැසිකිලි පාවිච්චි කලේ නැත. අද මහපාරේ “සෙන” ඉංදියානුවන්ට හිනා උනත් ප්‍රංශයේ සියල්ලම ඒ කාලයේ “සුන්නේ” අහු උන, අහු උන තැන් වලය.
අමරදේව මාස්ටර් ගයන ස්වර්ණ විමානෙන් සින්දුවේ පද වෙනස් කර කුපාඩි කොල්ලෝ මෙසේ ගයති.

“වැල්ලේ සීලා…. වැල්ලෙන් වහලා….
රැල්ලෙන් හෝදා අපි එනවා…”

එය අද අපේ අම්බලන්ගොඩ බලපිටියෙ ඉන්න යාලුවන්ට කිව්වත්, අම්මබලන්ගොඩ ඉන්නා අපේ ජින්නයියලා අඩුමගානේ ඒ දාපු එක වැල්ලෙන් වැසීමෙන් පසු ගොඩට එන්නේ රැල්ලෙන් හෝදාගෙනය. ඒත් එකල ප්‍රංශ වැසියෝ එහෙම කලේවත් නැත.
සුනිල් එදිරිසිංහයන්ගේ ගීයකුත් කඩප්පුලි කොල්ලන් විසින් මෙසේ වෙනස් කර ගයනු ලබයි.

“…. පිණිබර යාමේ සැවුලන් වැල කනවා….
….. අම්මා බැන බැන කොස් ඇට ඇහිඳිනවා…
……කොළඹ බාප්පා පිළිකන්නේ සෙනවා….
……නැගිටින් පුතුනේ ගූ ගඳ ගෙට එනවා…..

මේ සින්දුවට අනුව සෙන්නේ කොළඹ බාප්පා විතරය. අර නිදා සිටින කොලුවාව කූද්දන්නේ ඒ ඉවසිය නොහැකි ගඳ ගෙට එන නිසාය. එසේ නම් 14 වන ලුවි(ස්) රජතුමා මුලු පැරිස් වැසියන්ම මහපාරේ මළපහ කිරීමෙන් පසුව එන දුර්ගන්දය කෙසේ ඉවසන්න ඇතිද කියා පොඩ්ඩක් හිතන්න?

ඔහොම ඉන්නා අතරේ, 14 වන ලුවි(ස්) රජතුමාට ඔහුගෙ මුදල් ඇමතිවරයා වන ඩියුක් ද වොල්විකෝන් ගෙන් ඔහුගේ නිවසට එන්නැයි ආරාධනයක් ලැබේ. ආරාධනාව අනුව 14 වන ලුවි(ස්) රජතුමා එහි යන අතර, රජතුමා ජීවත්වන ලූවර් මාලිගාවට වඩා බෙහෙවින් ආකාර්ශනීය වොල්විකෝන් මාලිගය රජතුමාගේ හිත ඇද ගැනීමට සමත්වෙයි.
අවසනායේ 14 වන ලුවි(ස්) රජතුමා විසින් මුදල් හොරකමක් කලා යැයි බොරු චෝදනවක් නගා ඩියුක් ද වොල්විකෝන් මරාදමා, වොල්විකෝන් මාලිගාව තමන් සතු කරගෙන එහිජීවත්වීමට පටන් ගත්තේය.

ටික කලක් යනවිට මේ මාලිගය තමන්ට ජීවත්වීමට කුඩා බව 14 වන ලුවි(ස්) රජතුමාට පෙනී යන්නට විය. රජතුමා විසින් වොල්විකෝන් මාලිගාව සෑදු ගෘහ නිර්මාන ශිල්පීන්, ඉන්ජිනේරුවන් ඇතුලු සියලුම අය කැදවා තමන්ට වොල්විකෝන් මාලිගයේ හැඩරුවට සමාන ඒත් ඊට වඩා විශාල මාලිගාවක් හදන්නැයි නියම කලේය.

මේ අනුව මුළු මහත් යුරෝපයේම අදටත් විශාලම ගෙවත්ත සහිත අති දර්ශනීය ගෙවත්තක් ඇති “වර්සයිල්ස් මාලිගය” ඉදිවිය. (Palace of Versailles) ඒ පැරීසියට කිලෝමීටර් තිහක් ඈතිනි.

නව මාලිගාව පැරීසියේ හදවතේ තිබූ ලූවර් මාලිගාවට වඩා ආරක්ෂාව අතින් පොහොසත් එමෙන්ම දුර්ගන්දය නොමැති තැනක් වීම රජතුමා ප්‍රීති ප්‍රමෝදයට පත්කරවන්නක් විය.
නමුත් ඒ ප්‍රීතිය වැඩි කලක් පැවතුනේ නැත. රජතුමා හමුවීමට දිනකට එන අති විශාල ජනතාව ශරීර කෘත්‍ය කිරීමත් මාලිගාවේ රාජකාරී කරන්නන් මලපහ කිරීමත් නිසා නැවතත් මුල් ගැටලුව එනම් දුර්ගන්දය (Hygiene) ටිකෙන් ටික මතුවීමට පටන් ගන්නට විය. මෙය 14 වන ලුවි(ස්) රජුට මහත් හිසරදයක් වන්නට විය.

මෙය නතර කිරීමට රජතුමා විසින් ආරක්ෂක අංශයක් පිහිටුවන ලද අතර ඔවුන්ගේ රාජකාරිය වන්නේ මාලිගා භූමියේ මළපහ කරන්නවුන් ඈතට පලවා හැරීමයි. මේ ආරක්ෂක අංශය ප්‍රංශ පොලීසිය වන අතට ඔවුන්ගේ පලමු නිල රාජකාරිය බවට පත්වන්නේ මළ පහ කරන්නවුන් පලවා හැරීමයි.


14 වන ලුවි(ස්) රජුගෙන් පරම්පරා දෙකකට පසුව ප්‍රංශයේ රජු බවට පත්වන්නේ 16 වන ලුවි(ස්) රජතුමායි. ඔහු රජකමට පත්වන්නේ වයස 16 දීය. ඔහු විවාහ වන්නේ සුප්‍රකට මාරි ඇන්ටොයිනට් (Marie Antoinette) බිසව සමඟය. විවාහ වන විට මාරි ඇන්ටොයිනන්ට්ගේ වයස අවුරුදු 13 කි. එනම් කුඩා දැරියකි.

16 වන ලුවි(ස්) රජු මිනිසුන් ගැන කිසිම තැකීමක් නොකල අහංකාර උඩගු අයෙකු විය. 16 වන ලුවි(ස්) ට විරුද්ධ වන්නේ කවුද ඒ සියල්ලන්ම පැරිස් 13 වූ “බැස්ටීල්” සිරගෙදර සිර කිරීමත් ඇතැමුන් මරා දැමීමටත් රජුගෙන් නියෝග ලැබී තිබුණි.
ඇමරිකන් විප්ලවය පැවතියේද 16 වන ලුවි(ස්) රජුගේ කාලයේදීමය. ලුවි(ස්) රජු ඇමරිකන් විප්ලවයට විශාල වශයෙන් මුදල් ආධර ලබා දුන්නේය. ඒ ඇමරිකානු ජෙනරල් ෆයියට් හරහාය.

මෙසේ අසීමාන්තිකව ප්‍රංශයේ මුදල් වැය කිරීම නිසා ප්‍රංශ ආර්තිකය කඩා වැටෙන්නට විය. ප්‍රංශ ජනතාවගේ ජීවන වියදම අහස උසට නගින්නට විය. මිනිසුන් කුසගින්නෙන් පෙලෙන්නට විය. මිනිසුන් ඔවුන්ගේ දුක රජතුමාට කීමට වර්සයිල්ස් මාලිගාවට එන්නට විය.

ඒත් “ආ..අපි රජ්ජුරුවන්ට කියන්නම්” කියා වන්දිභට්ටයෝ මිනිසුන් හරවා යවන්නට විය. එන්න එන්නම ජීවන වියදම ඉහල යන්නට විය. මිනිසුන්ගේ පීඩනය දැඩි වන්නට විය.

මා මේ ලිපිය ලිවීමට හේතුවූයේ අදද ඇතැම් රටවල මේ තත්වය දක්නට ලැබෙන නිසාය. ජාවාරම්කාරයන් කිහිප දෙනෙකුත් මිලිටරිකාරයන් කිහිප දෙනෙකුත් රජු සමීපයේ සිට “මිනිස්සු බොහොම සුඛිත මුදිතව සැපෙන් සතුටෙන් සිටින්නේයැයි” රජුව ලෙසටම ඇන්දවීය.

මේ අතර ඇතැම් හමුදා ජෙනරාල්වරුන්ගේද සහාය ඇතුව පැරීස් නගරයේදී 16 වන ලුවි(ස්) රජුට එරෙහිව ප්‍රංශ විප්ලවය ආරම්භවිය. කැරළිකරුවන් විසින් බැස්ටීල් හිරගෙදර කඩා අවි ආයුධ තමන් සතු කරගත්තේය. සිරගෙදර සිටි සිරකරුවන්ද විප්ලවකරුවන්ට එක්විය. දැවැන්ත මිනිස් සමූහයක් 16 වන ලුවි(ස්) රජු සිටි වර්සයිල් මාලිගය වෙතට එන්නට විය.

රජු තමන්ගේ රටවැසියන් මෙතරම් පීඩාවකින් පෙලෙන බව අබමල් රොණක දෙයක් දැනසිටියේ නැත. දිනක් උදෑසන නිදන කාමරයේ ජනේලයෙන් මාලිගාවේ මිදුල දෙස බැලූවිට දැවැන්ත ජනතාවක් මාලිගාවේ ගේට්ටුව අසල බඩගින්න නිසා විරෝදය දක්වන බව රජු දුටුවේය. එවිට විය යුතු සියල්ල සිදුවී හමාරය. නිදන කාමරයේ ජනේලයේ එල්ලී විප්ලවකරුවන් දෙස බලන තුරුම රජුට ඇත්ත තේරුනේ නැත.

“ඔබලා ඇයි ආවේ”යි 16 වන ලුවී රජු විප්ලවකරුවන්ගෙන් ඇසීය.

ප්‍රංශයේ ප්‍රධාන ආහරය පාන් ය.

“අපට කන්නට පාන් නෑ. පාන් ගන්න සල්ලි නෑ” යි විප්ලවකරුවන් කීවෝය.
“පාන් නැත්තම් කේක් කාපල්ලා” යි 16 වෙනි ලුවි(ස්) රජුගේ බිරිද මාරි ඇන්ටොයිනන්ට් බිසව කියන්නේ මේ අවස්තාවේදීය.

මෙහිදි කුපිත වූ විප්ලවකරුවන් විසින් රාජකීය නම ගෑවුනු අයත් ඇතුලුව 1100ක පිරිසක් අත් අඩංගුවට ගෙන පැරීසියේ Place de la Concorde හිදී පසුව හිස ගසා දමා මරා දමනු ලැබීය.

තමන්ගේ ආරක්ෂාවට සිටි ස්විට්සර්ලන්ත ආරක්ෂක භටයන්ගේ උපකාරයෙන් 16 වන ලුවි(ස්) රජතුමා වර්සයිල් මාලිගාවෙන් පලා යාමට සමත්වූ අතර වර්තමාන අයිෆල් කුලන ආසන්නයේදී දින කිහිපයකට පසුව ඔහුවද අත් අඩංගුවට ගත් විප්ලවකරුවෝ 16 වන ලුවි(ස්) රජුවද මරා දැමීමෙන් පසුව ප්‍රංශ රජ පෙලපත ලොවින්ම තුරන් විය.

=========

මා පැරීසියට ගිය විට මගේ පාසල් පන්ති මිතුරෙකු වූ සංඛ ලක් ශ්‍රී බංඩාර මාව උණුසුම්ව පිළිගත්තේය. මාත් එංගලන්තයේ සිට මා සමග ගිය මිතුරාත් හෝටලයක රාත්‍රිය ගත කල අතර උදේ දවල් රාත්‍රී ආහාර මෙන්ම රාත්‍රී ඇග රත්වන පාන වර්ග සහ සංගීතය ලබා දුන්නේ අපේ සංඛයි. මීට අමතරව සංඛ විසින් පැරීසිය පුරාම මාව රැගෙන ගියේය.

අපි පාසල් සිසුන් කාලයේ කෙසෙල් කොලේ එතු සිමෙන්ති කොට්ටයක් තරම් ලොකු බත් මුලක් සංඛගේ අම්මා සංඛට කෑමට එවන්නීය. බොහෝ වෙලාවට දකින්නේ බත්මුල දිග අරිනවා පමණය. මොහොතින් ඉතුරුවන්නේ කෙසෙල් කොළය විතරය.

සංඛ පැරීසියේ සාර්තක ව්‍යාපාරිකයෙකි. සංඛගේ ව්‍යාපාරය ඇත්තේ අයිෆල් කුළුණ ආසන්නයේමය. අයිෆල් කුළුණ නැරඹීමට මා ගියේද සංඛ සමඟය.

අයිෆල් කුළුණ ගොඩ නැගුවේ ප්‍රංශයේ පැවති ප්‍රදර්ශනයක් සඳහාය. එය ගොඩනැගීම අරඹා ඇත්තේ 1887 දී වනාතර නිමාකර ඇත්තේ 1889 දීය. අයිෆල් කුළුනේ නිර්මාන ශිල්පියා Stephen Sauvestre වේ. ඒත් එය ඉදිකර ඇත්තේ ගුස්ටාව් අයිෆල් විසිනි.

අයිෆල් කුළුනේ කුළුනු හතරේ ඇති විදුලි සෝපාන මගින් ඔබට කුළුන ඉහලටම යා හැකිය. අවශ්‍ය නම් පඩිපෙල දිගේද යා හැකිය. මොන විදිහට ගියත් ඒ සදහා මුදල් අය කරනු ලබයි.

අයිෆල් කුළුනේ උඩට ගියවිට සුන්දර පැරීසියත් සුකොමල සේන් කොමලියත් ඔබට දැකිය හැකිය.

දැන් සූදානම සංචාරයක් කිරීමේදී අනුගමනය කලයුතු පොඩි ගුරු මුෂ්ටියක් කියා දීමටය. ලෝකයේ ඇති බොහෝ නගර පිහිටා ඇත්තේ ගංඟාවක් ආශ්‍රිතව බව මුලින් ඔබට කීවෙමි. මේ ගංගා සෑම එකකම නගරයේ සිරි නරඹමින් සංචාරකයන් ගඟ දිගේ රැගෙන යන සුඛෝපභෝගී බෝට්ටු සේවා (Ferry) ක්‍රියාත්මක වෙයි. ඔබ අනිවාර්යයෙන් මේ බෝට්ටුවක ගමන් කරන්න. එසේ ගමන් කිරීමේදී ඉර බැස යන අවසන් හෝරාව තෝරා ගන්න. එවිට ඔබට එක් පැත්තකට ගමන් කිරීමේදී දිවා ආලෝකය සහිත නගරයත් නැවත පැමිණීමේදී විදුලි එළියෙන් හැඩවුනු රාත්‍රී නගරයත් දැකගත හැකිවෙයි.

අප අයිෆල් කුළුන අසලින් බෝට්ටුවක නැග සේන් ගඟ දිගේ ඉහලට යන්නට විය. ටික දුරක් යනවිට අපේ වම් පසින් ගිනිගෙන මහත් හානියක්වූ නේත්‍රඩෑම් පල්ලිය දැක ගැනීමට ලැබුණි. මේ නෝත්‍රඩාම් පල්ලියේ ජේසුස් වහන්සේ අවසන් වරට පැලදි කටු ඔටුන්න තබා ඇත. ගින්නෙන් ඊට හානියක් වී නැත.

දර්ශනීය සේන් ගඟේ ඉහලටම ගිය අප බෝට්ටුවෙන් බැස්සේ ගඟ අසලින් වාහන ගමන් ගන්නා මාර්ගයක ඇති උමඟක් අසලය. ඒ උමගත් එසේ මෙසේ එකක් නොවීය. එය ලෝකයේම අවදානය දිනාගත් උමගක් විය.

ඒ බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුමගේ බිරිඳ වූත් විලියම් සහ හැරි කුමරුවන්ගේ මව වූත් ඩයනා කුමරියත්; ඊජිප්තු සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ හැරඩ්ස් නම් සුඛෝපභෝගී භාණ්ඩ ඇති සාප්පු ජාලාවල හිමිකාර ධනකුවේරයකු වූත් ඩොඩි අල්ෆයිඩ් මාරක රිය අනතුරකට ලක්වූ උමඟ ඒ උමඟ විය.

ඩයනා මියගිය ස්තානයත් නරඹා නැවත අප වෙනත් බෝට්ටුවකින් අයිෆල් කුළුන අසලට ඒමේදී පැරිස් නඟරය දර්ශනීය විදුලි බුබුලෙන් අලංකාර වී තිබුණි. රාත්‍රී පැරීසිය සුරපුරයක් මෙන් දිස් විය.

අයිෆල් කුළුණ අසල මාර්ගයේ මට ඉන්නට කියූ සංඛ ඔහුගේ ව්‍යාපාරික ස්තානයේ නවතා තිබූ මෝටර් රතය රැගෙන එන්නට ගියේය.

යනගමන් “කෙල්ලො ඇවිත් කතා කලොත් ඇහෙන්නෙ නෑ වගේ හිටපන්” කියා ගියේය. මා හිතුවේ එය විහිළුවක් කියාය.

ටික වේලාවකින් මගේ හමට වඩා තරමක් පැහැපත් තැඹිලි පාට හමකුත්, දුඹුරු පාට හිසකෙසුත් ඇති තරුණියන් දෙදෙනෙක් මා අසලට පැමිණ කොලයක් පෙන්වා යමක් අසන්නට විය.

ඒ සැනින් ප්‍රංශ භාෂාවෙන් ශබ්ද නගමින් බනිමින් සංඛ පැමිණියේය.
“තොට ඕක තමයි කතා කරන්න එපා කිව්වේ. ඔය රුමේනියන් ජිප්සියෝ. පැරිස් වලට පිටින් ආවා කියලා දැක්ක හැටියෙ ටෝක් කරනවා. ටිකක් වෙලා ගියා නම් උඹේ අස්ති පංඥරෙත් ගලවන් යනවා” යැයි කීවේය.

පැරිසියේ ඔබ ගමන් කරන්නේ නම් රූමත් ළඳුන් සමඟ කතා නොකිරීමටද වගබලා ගත යුතුය. නැතිනම් ඔබට ඉතිරි වන්නේ ඇදිවත විතරය. ඔවුන් ඉතා ශූර ලෙස ඔබව පික්පොකට් ගසනු ඇත.

-හිරන්ත හේරත්-

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*