නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සෙ සහ ජනප්‍රිය ක්‍රිකට් තරුව……

නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සෙ සහ ජනප්‍රිය ක්‍රිකට් තරුව……

.

Hirantha Herath

.

නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සෙ කියන්නෙ පාරම්පරික උඩරට වෙස් නැට්ටුවෙක්. එතුමට තිබුණෙ පුදුමාකාර හැකියාවක් කියලා කියනවා. නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සෙගෙ රුවෙන් තමයි ලංකාවේ වලංගු රුපියල් පනහෙ නෝට්ටුව හැඩවෙලා තියෙන්නෙ.

මේ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සෙට ප්‍රේමදාස ජනාධිපතිතුමා, අගමැති කාලේ උපහාර උලෙලක් තියලා. ඒ ටවර් හෝල් එකේ. උපහාර උලෙල බොහොම ගරු ගාම්භීර විදිහටලු තිබුනෙ.

රටේ හිටපු ප්‍රභූවරුවරු සියල්ලම ජැන්ඩි පහට ඇඳලා කරලා මේ උත්සවයට ඇවිල්ලා හිටියලු.

නුවර නිත්තවෙල ඉදන් බෙර තඩියකුත් අරන් කොළඹ ඇවිත් සිය ප්‍රතිභාව ආපු අයට ගුණයා ගුරුන්නාන්සෙ විසින් පෙන්නුවලු. ඊට පස්සෙ අගමැති ප්‍රේමදාස මැතිතුමා අතින් ලොකු සම්මානෙකුත් ගුණයා ගුරුන්නාන්සෙට ලැබුනලු.

අන්තිමේට උත්සවේ ඉවරවෙලා ගුණයා ගුරුන්නාන්සෙ නුවර යන්න බස් එකක් අල්ලගන්න පිටකොටුවට යන්න හිතාගෙන ටවර් එක ඉස්සරහා බස් හෝල්ට් එකට ආවලු. මේ අතරේ ගුණයා ගුරුන්නාන්සෙට උපහාර පලකරන්න ආපු දේශපාලුවොයි නිලදාරිනුයි ලොකු ලොකු කාර් බාර් වලින් ඉගිලෙනවා ගුණයා ගුරුන්නාන්සේ දකිනවලු.
ඔෆිස් ඇරුන වෙලාව නිසා කට කපලා එන ප්‍රයිවට් බස්වලට බෙර තඩියකුයි සම්මානයකුයි තියාගෙන ඉන්න නිසා ගුණයා ගුරුන්නාන්සෙව නග්ග ගන්නෙත් නැතිලු. අන්තිමේට ගුණයා ගුරුන්නාන්සෙ තීරණය කරලා පයින්ම පිටකොටුවට යන්න.
ඔහොම පයින්ම පිටකොටුවට යන අතර මගදි ගුණයා ගුරුන්නාන්සෙව වැස්සකටත් අහු උනාලු. සම්මානේ යකාට ගියත් මේ කලාකරුවා පණ මෙන් ආදරය කරපු බෙරේ පලු දෙකම වහන්න බැරි නිසා එක පලුවක් විතරක් කමිසෙ අස්සට දාගෙනම වැස්සෙ තෙමි තෙමීම පිටකොටුවට ගියාලු. අන්තිමේ ගුණයා ගුරුන්න්නාන්සේ නිත්තවෙල ගෙදරට ගියේ පාන්දර ජාමෙලු.

මේ කතාව ගුණයා ගුරුන්නාන්සෙ පත්තරේකට කියලා තිබුන එකක්. බොහොම කාලයකට පෙර මං ඒක කියෙව්වා. මේ සිදුවීම ජයලත් මනෝරත්නගේ “තලමල පිපිලා” වේදිකා නාට්ටියටත් ඇතුලත් කරලා තිබුනා. ජානක වික්‍රමසිංහ ගායනා කරන කිරුල මුතු ලිහී කියන ගීතයෙන් කියවෙන්නෙත් මේ සිදුවීමමයි.

මේ හා සමානම සිදුවීමක් අපේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ගාල්ලෙ චීන කොරටුවේ අයිස් මෝල හන්දියෙන් ආපු, අතුල සමරසේකරයනුත් ලියලා තිබුනා. ඒක කෙටියෙන් මෙහෙමයි.

අතුල සමරසේකර කියන්නෙ දක්ෂකම් වලින් පිරුනු ක්‍රීඩකයෙක්. හැබැයි සෙන්ට් තෝමස්, රෝයල්, ජෝෂප්, පීටර්ස්, ට්‍රිනිටි වගේ ප්‍රභූ පාසලකින් ආපු නැති නිසාද මන්දා අතුල අයියට හරියට අවස්තාව ලැබෙනෙත් නෑ. හරියට අවස්තාවක් දුන්නා නම් ක්‍රිස් ගේල්ලා කැලේ. ලැබුන අවස්තාවලින් උපරිම දස්කම් දැක්වුවත් කැපිල්ල කියන එක උපරිමේට අතුල අයියට තිබුනා.

ඉස්සර ඕවර පනහෙ මැච් එකක ලකුණු 220ක් ගැහුවා කියන්නෙ ඒ ලකුණු ගාන දිනන්න
හොදටම ඇති.

92 ලෝක කුසලානයේ සිම්බාබ්වේ කංඩායම අපිට ගහනවා ලකුණු 312 ක්. අතුල අයියා මූලික වෙලා ලංකාව ඒ ලකුණු එලවලා ඒ තරඟෙ අපි දිනනවා. යූටියුබ් එකේ බලන්න ඒක. 96 ලෝක ශූරයෝ විතරක් නෙවෙයි ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්න මේකත් හොද උදාහරනයක්.

අනික ජයසූරියයි කලුවිතාරනයි තමයි පලවෙනි ඕවර් 15 උඩින් ගහන සම්ප්‍රදාය ඇති කලේ කියලනෙ ගොඩාක් කට්ටිය හිතන් ඉන්නෙ. ඒත් ඒක මුලින්ම පටන්ගත්තේ ගාල්ලේ චීන කොරටුවේ අයිස්මෝල හන්දියේ ඉදන් ආපු අතුල සමරසේකර.
අතුල අයියා කතාවක් ලියනවා මෙහෙම. ඉස්සර ලංකාවේ ක්ල්බ් මැචස් වලට හෝටලයක් ලැබෙන්නෙ නැතිලු. තරඟය ඉවරවෙලා අතුල අයියා නැවතිලා ඉන්න බෝඩිමට ගිහින් පොල්ගලා සම්බෝලයක් හදාගෙන පාන් එක්ක ඩිනර් එක අරන්ලු අනික් දවසෙ මැච් එකට එන්නෙ. හැබැයි ඒ කාලේ ක්ල්බ් මැචස් බලන්නත් කට කපලා සෙනගලු.

ඉතිං මේ කියනදා තිබුන මැච් එකෙත් අතුල අයියා අනික් ටීම් එකට එලෝ එලෝ ගැහුවලු. ශතයක් වෙන්න ඕන. මැච් එක ඉවරවෙලා බෝඩිමට යන්න අතුල අයියා පිට්ටනිය ඉස්සරහා පාරට ආවලු. දැන් මැච් එක බලන්න ආපු අයත් බස් එකට නගින්න ඉන්නවලු. අනේ අර තඩි ක්‍රිකට් බෑග් එක නිසා අතුල අයියව කිසිම බස් එකකට නග්ග ගන්නෙ නෑලු. පස්සෙ බෑග් එක බස් හෝල්ට් එකේ හංගලා බස් එක නැවැත්තුවාම කොන්දගෙන් බැනුමුත් අහන් අර බෑග් එකත් එක්ක බස් එකට නැග්ගලු.
වේදිකාවල බැබලෙන අයව මිනිස්සුන්ට පෙනුනට වේදිකා ගහලා වේදිකාවලට නග්ගපු අයව කාටවත් පේන්නෙ නැතිලු. කොතනත් වෙන්නෙ ඕකයි.

ජානක වික්‍රමසිංහගේ ගීතය පහත ලින්ක් එකෙන්. ගීතයේ පද රත්න ශ්‍රී විජේසිංහ. සංගීතය එච්.එම් ජයවර්ධනගෙන්.

-හිරන්ත හේරත්-

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*