නව කොරෝනා 2019 වෛරස් ආසාදනයට එරෙහි රුසියානු වැක්සීනය

නව කොරෝනා 2019 වෛරස් ආසාදනයට එරෙහි රුසියානු වැක්සීනය

.

Damith Kethaka

.

රුසියාවේ ගැමලේයා වසංගත රෝග සහ අණුක ජීව විද්‍යා අධ්‍යයන ආයතනය විසින් එළි දක්වන ලද නව කොරෝනා 2019 වෛරස් ආසාදනයට එරෙහි වැක්සීනය මේ වනවිට මුළු ලොවෙහිම කථා බහට ලක්ව තිබෙනවා….

– මෙම වැක්සීනය ඇඩේනෝ-වෛරල් වෙක්ටර් වැක්සීන් එකක්….ඒ කියන්නෙ මෙය වෛරල් වෙක්ටර් වැක්සීන් හෙවත් වෛරස් ආසාදනයක් සඳහා ප්‍රතිශක්තීකරණයෙන් ප්‍රතිචාරයක් උත්තේජනය කළ හැකි ප්‍රතිදේහ ජනක ( ඇන්ටිජන් ) පිළිබඳ තොරතුරු ඇතුලත් ඩී.එන්.ඒ, සජීවී වෛරසයක් සමඟ ශරීර ගත කරන වැක්සීන් විශේෂයට අයත් වැක්සීන් එකක්…. ඒ සඳහා යොදාගෙන තිබෙන්නේ ඇඩේනෝවෛරසයක් නිසයි, මෙය ඉහත ශ්‍රේණියට අයත් ලෙස හඳුන්වනු ලබන්නෙ….මෙමඟින් උත්තේජනය කරනු ලබන ක්‍රියාවලිය වන්නේ වෛරසයේ ස්පයික් ප්‍රෝටීන හෙවත් සෛල වල රෙසේප්ටර්ස් සමඟ සම්බන්ධ වන ප්‍රෝටීන වලට අවහිරතා ඇතිකිරීම….

– රුසියානු රජය පවසන අන්දමට මෙම වැක්සීනය එන්නත් කරන කෙනෙකුට වසර 2 කට ආසන්න කාළයක් සඳහා නව කොරෝනා 2019 වෛරස් ආසාදනයට එරෙහිව ප්‍රතිශක්තීකරණ විගතිය හෙවත් “ඉමියුනිටි එක ” පවතිනවා…..

– මේ වැක්සීනය ඉන්ජෙක්ෂන් ඩෝස් දෙකකින් සමන්විතයි… පළමු ඩෝස් එක එන්නත් කර සති තුනකින් දෙවැන්න එන්නත් කිරීමෙන් ක්‍රියාවලිය සම්පූර්ණ වෙනවා

– මේ වැක්සීනය “ප්‍රයිම් – බූස්ට්” නම් ප්‍රතිශක්තීකරණ උපාය මාර්ගය ක්‍රියාත්මක කරන වැක්සීනයක්….එකම ඇන්ටිජන් එක පළමු එන්නත මඟින් මුලින් හඳුන්වා දීමකුත්, පසුව දෙන දෙවැනි එන්නත මඟින් හිවුම් උත්තේජනයකුත් ලබාදෙන උපක්‍රමය “ප්‍රයිම් – බූස්ට්” යනුවෙන් හඳුන්වනු ලබනවා….

– වයස අවුරුදු 18 ත් 60 අතර අය පමණයි දැනට මේ වැක්සීන් එක ලබාදීම සඳහා සුදුසු අය ලෙස හඳුනාගනු ලබන්නෙ….. මෙහිදී උපරිම වයස් සීමාව 60 වශයෙන් හඳුනාගන්නෙ, එයට වඩා වැඩි වයස් ඛාණ්ඩ වල අයට මෙම එන්නත් ලබාදීමේදී ඇතිවිය හැකි සංකූලතා පිළිබඳව තවම ප්‍රමාණවත් තොරතුරු නොමැතිවීම සහ, මූලික වශයෙන් නිපදවිය හැක්කේ සීමිත එන්නත් ප්‍රමාණයක් නිසා, අතිශයින් වයස්ගත අයට එම එන්නත දෙනවාට වඩා තව බොහෝ කල් ජීවත්වීමට තිබෙන අයට එම එන්නත් ලබාදීම ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගෙන තිබෙන නිසාය.

– මෙම වැක්සීනය මහජනතාව සඳහා ලබාදීමේ අනුමැතිය රුසියානු ජනපති ව්ලැඩ්මිර් පූටින් ලබාදුන්නේ ඊයේ හෙවත් අගෝස්තු මස 11 වැනිදා, රුසියානු වේලාවෙන් උදෑසන 6.49 ට…. මේ වැක්සීන් එක සාර්ථක උනොත්, ඒ මොහොතත් ඉතිහාසයට එක්වෙනවා…

– මෙහි පළමු මානව පරීක්ෂාව සිදුකලේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 38 කගෙන් සමන්විත කණ්ඩායමකට… රුසියානු රජය පවසන අන්දමට මේ කණ්ඩායම මෙම වැක්සීනය ඵල දායී බව සහ එයින් අතුරු හානියක් සිදු නොවන බව තහවුරු කර තිබෙනවා

– ගර්භණී මව්වරුන්ට මෙම වැක්සීනය ලබා නොදෙන්න රුසියාව තීරණය කර තිබෙනවා….

– ගැමලේයා අධ්‍යයන ආයතනයේ නිපදවන ලද මෙම වැක්සීනය ඉන් පසුව ඒ.එෆ්.කේ සිස්ටෙමා නම් රුසියානු රජයට අර්ධ අයිතියක් පවතින ඖෂධ සමාගමක් විසින් නිපදවන්නට බලාපොරොත්තු වන අතර, මෙම වසරේ අවසන් කාර්තුව ආරම්භ වනවිට මේ එන්නත් ඩෝස් මිලියන 1.5 ක් නිෂ්පාදනය කරන්න ඔවුන් අපේක්ෂා කරනවා….මේ එන්නත් ලබාදීමේදී ප්‍රමුඛතාවය දෙන්නෙ සෞඛ්‍ය සේවකයන්ට, රුසියානු රජයේ නිළධාරීන්ට, පාසැල් ගුරුවරුන්ට සහ ආරක්ෂක හමුදාවල සාමාජික සාමජිකාවන්ට. ඉන් පසුව ක්‍රමයෙන් ලබන වසර වනවිට අර ඉහතකී වයස් පරාසයට අයත් සමස්ථ රුසියානු ජනතාවටම මෙය ලබාදෙන්න අපේක්ෂා කරනවා….

– රුසියාව මෙම එන්නත් නම්කර තිබෙන්නේ “ස්පුට්නික් – 5” ලෙස….අභ්‍යවකාශ තරඟයේදී ඇමරිකා එක්සත් ජනපදය පරදවමින් සෝවියට් සමූහාණ්ඩුව මානව සංහතිය මඟින් ප්‍රථම වරට පෘතුවිය වටා කක්ෂයක ස්ථාවර සීමිත වේලාවක් රඳවන ලද අභ්‍යවකාශ චන්ද්‍රිකාව වන්නේ ස්පුට්නික්. ඉතින් මේ ස්පුට්නික් නම් පෙළපතට මේ වැක්සීනය එක් කිරීමෙන් රුසියාව බලාපොරොත්තු වන්නේ ශීතල යුද සමයේ මෙන් කිසියම් විද්‍යාත්මක සන්ධිස්ථානයක් සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ට පෙර ළඟාවීමේ ජය ප්‍රකාශ කිරීමට බව විද්වතුන්ගේ මතයයි…

– රුසියානු සෘජු ආයෝජන අරමුදලේ ප්‍රධාන විධායක නිළධාරී යිරීල් දිමිත්‍රියෙෆ් පවසන අන්දමට මේ වනවිට මෙම වැක්සීනයෙන් ඩෝස් බිලියනයක් සඳහා ලෝකයේ රටවල් 20 කින් රුසියාවට ඇණවුම් ලැබී තිබෙනවා….රුසියාවට ඉදිරි මාස 12 තුළ තනිව නිපදවිය හැක්කේ ඩෝස් මිලියන 500 ක් පමණක් වුනත්, ඒ නිෂ්පාදන ක්‍රියාවලියට සහාය වීමට සවුදි අරාබිය, පිලිපීනය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉදිරිපත්ව සිටින නිසාත්, එයටම සම්බන්ධ වීමට ඕමාන් රාජ්‍යය ඉල්ලීමක් කර තිබෙන නිසාත්, ඉතා ඉක්මණින් ලෝකයේ බොහෝ දෙනාට මෙම එන්නත් ගෙනයාමට හැකිවන බව ඔහු පවසනවා

– මෙම එන්නත් පළමු වටයේදී රටවල් පහක ජනතාවන්ට ඒ ඒ රටවලට ආවේණික ප්‍රමුඛතා ලැයිස්තු අනුව ලබාදෙන්න දැනට කටයුතු යෙදෙමින් පවතිනවා… ඒ රටවල් 5 වන්නේ රුසියාව, බ්‍රසීලය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ පිලිපීනයයි ….වැක්සීන නිෂ්පාදනයේ තුන්වැනි අදියරේදී මේ රටවල ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන අය දහස් ගණනකට එන්නත් ලබාදී පරීක්ෂණ පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා….

– ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය විසින් මේ වනවිට නිපදවන්නට උත්සාහ කරමින් සිටින “කෝවැක්සීන්” හෙවත් “ධන්වන්තරී” ( වෛද්‍ය විද්‍යාවට අධිපති වෛදික දෙවියන්ගේ නම ) නම් වැක්සීනය වඩා ඉක්මණින් සාර්ථක කරගැනීම සඳහා මේ ස්පුට්නික් 5 වැක්සීනය නිපදවීමේදී ලබාගත් දැනුම ඔවුන් සමඟ බෙදාගන්නට රුසියාව සාකච්ඡා පවත්වමින් සිටිනවා…. රුසියාව සහ ඉන්දියාව යුද සහ තාක්ෂණික නිෂ්පාදන බොහොමයක් දෙරට අතර විශේෂඥයන්ගේ සහයෝගීතාවයෙන් නිපදවා තිබෙනවා….

– මෙම රුසියානු සමාගම මීට පෙර මැදපෙරදිග ශ්වසන ආසාදන වෛරසයට එරෙහිව සහ එබෝලා වෛරස් ආසාදනයට එරෙහිව වැක්සීන් නිපදවන පරීක්ෂණ සිදුකර තිබෙනවා…..ඒවා මේ වනවිට සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව එම සමාගමේ නියෝජිතයන් ලෝක මාධ්‍යයන්ට පවසනවා

වැක්සීනය සම්බන්ධ විවේචන
=================================

– ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂක ඩැනියෙල් සැල්මන් මහතාට අනුව, මෙම වැක්සීනය, වැක්සීන් නිපදවීමේ වැදගත්ම අදියරක් වන “3 වැනි අදියර සාර්ථකව සම්පූර්ණ කර ඇති බවට කිසිදු සුපැහැදිලි දත්ත සාක්ෂියකින් තොරව” දෙවැනි අදියර අවසානයේදී මහජනයාට ලබාදෙන්න ගත් තීරණය අතිශයින් අවදානම් තීරණයක්…..සාමාන්‍යයෙන් වැක්සීනයක් නිපදවන විට, එහි 3 වැනි අදියරෙන් කරන්නෙ, එම වැක්සීන් එක වඩා පුළුල්ව පරීක්ෂාවේ යෙදවීම මඟින් එහි 1 වැනි සහ 2 වැනි අදියර වලදී මඟහැරුණු අඩුපාඩු, අතුරු ආබාධ, බරපතළ ප්‍රවණතාවන් තිබේ නම් ඒවා හඳුනාගැනීම…. ඒ වගේම දීර්ඝ කාළීනව හානි සිදුවිය හැකි තත්වයන් ඇතොත්, ඒවාත් හඳුනාගැනීම…. මේ රුසියානු වැක්සීනය ඒ අදියර සාර්ථකව නිමා කළ බවට ලැබී ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන හෙයින්, මෙම වැක්සීනය එන්නත් කරගන්නා අයට දීර්ඝ කාළීනව කවර ප්‍රතිඵල වලට මුහුණ දෙන්නට සිදුවේද යන කරුණ ගැන අනෙක් කිසිදු රටක විශේෂඥයන්ට නිශ්චිත අදහසක් නැති බවයි, ඒ මහතා පවසන්නෙ….

මේ විවේචනයට ප්‍රතිචාරයක් දක්වන රුසියාව කියන්නෙ, මෙකී වැක්සීනයේ පදනම වන ඇඩේනෝ වෛරසය වසර දහස් ගණනක සිට මිනිස් ප්‍රජාව අතර සංසරණය වන බවත්, ඒ නිසා මිනිසාට ඒ පිළිබඳව විශාල දැනුමක් තිබෙන බවත්, මේ වනවිට වැක්සීන් සොයාගැනීමේ මෙහෙයුමේ ප්‍රමුඛයන්ව සිටින ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම, කැන්චයිනෝ බයොලොජික්ස් නම් චීන සමාගම සහ ඔක්ස්ෆර්ඩ් සරසවි කණ්ඩායම ඇඩේනෝ වෛරසය සමඟ මෙම අත්හදා බැලීම කරන ආකාරයත්, තමන් එය කළ ආකාරයත් අතර ප්‍රමිතියේ කිසිදු වෙනසක් තිබිය නොහැකි බවත්……

– ඇසෝසියේෂන් ඔෆ් ක්ලිනිකල් ට්‍රයල්ස් ඕගනයිසේෂන්ස් හෙවත් “ඇක්ටෝ” ආයතනයේ අධ්‍යක්ෂිකා නීතිඥ ස්වෙට්ලානා ෂවියෝවා රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිකායිල් මුරාෂකෝට ලිපියක් මඟින් දන්වා යවන්නේ පුද්ගලයන් 100 කටත් අඩු සංඛ්‍යාවක් සමඟ පළමු අදියර සම්පූර්ණ කළ මෙම වැක්සීනයෙන් ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල හෝ දිගු කාළීන ආබාධ පිළිබඳව නිසි පරිදි දැනුවත් වීමකින් තොරව, මෙය මහජන භාවිතය සඳහා නිකුත් නොකරන ලෙසයි…..

– ඇමරිකා එක්සත් ජනපදයේ ආසාත්මිකතා සහ ආසාදන පිළිබඳව ජාතික ආයතනයේ අධ්‍යක්ෂ, මේ දිනවල කා අතරත් ජනප්‍රිය චරිතයක් වන ඇන්තනී ෆවුචි මහතා පවසන්නේ “සායනික පරීක්ෂණ පිළිබඳව කිසිදු වගවීමක් හෝ විනිවිද භාවයක් නොමැති මේ රුසියානු එන්නත මේ අර්බුදයට අවසාන විසඳුමක් බව තමා කිසිසේත්ම විශ්වාස නොකරන බවය”. එමෙන්ම එම එන්නතට ලෝකයේ රටවල විශ්වාසය දිනාගන්නට තව බොහෝ දුරක් යන්නට තිබෙන බවද ඒ මහතා පවසනවා

– එක්සත් රාජධානියේ යුනිවර්සිටි කොලේජ් ඔෆ් ලන්ඩන් නම් සරසවියේ සුප්‍රකට ජාන විශේෂඥ ෆ්‍රාන්ෂුවා බලූෂී මහතා පවසන්නේ, තෙවැනි අදියර නිසි පරිදි සම්පූර්ණ වීමකින් තොරව, මේ එන්නත මහජනයා අතර බෙදා දීමට රුසියාව කටයුතු නොකරනු ඇතැයි තමා රුසියානු ජනතාවගේ නාමයෙන් පතන බවය.

– ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශක ටාරික් යසාරෙවික් පවසන්නේ මේ එන්නත් අනුමත කරන්නට ප්‍රමාණවත් තොරතුරු මෙතෙක් ලැබී නොමැති බවයි

මෙම ලිපිය සඳහා තොරතුරු මූලාශ්‍ර
============================================

1. වොෂින්ටන් පෝස්ට්
2. නිව්යෝක් ටයිම්ස්
3. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය
4. ඇමරිකා එක්සත් ජනපදයේ ආසාත්මික සහ ආසාදන පිළිබඳව ජාතික ආයතනයේ වෙබ් අඩවිය
5. ස්පුට්නික් නිව්ස් සේවය
6. බී.බී.සී වෙබ් අඩවිය
7. ෆ්‍රන්ටියර් සයන්ස් වෙබ් අඩවිය
8. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය
9. සයන්ස් සඟරා වෙබ් අඩවිය
10. ඇනඩොලූ සහ රොයිටර් වාර්ථා
11. නිව් සයන්ටිස්ට් වෙබ් අඩවිය

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*