නඟේලි – පියයුරු ඇති කාන්තාව

නඟේලි – පියයුරු ඇති කාන්තාව

.

RanDil – (නිදහස් සිතිවිලි බ්ලොග් අඩවිය)

.

නඟේලි පිළිබඳ කතන්දරය සදහට ම වැළලි යන්නට ඉඩ තිබිණ. අහම්බයකින් මුරලි ටී. නම් චිත්‍ර ශිල්පියාට කියවන්නට ලැබුණු කේරළයේ ප්‍රාදේශීය ලේඛනයක් නිසා බොහෝ දෙනෙකුට ඇය පිළිබඳ දැන ගැනීමේ අවස්ථාව උදා වී තිබේ. 

එම ලිපිය ඔස්සේ පිය නැගූ ඔහුට නඟේලි වසර 100කට පමණ පෙර ජීවත් වූ ප්‍රදේශය සොයා ගැනීමට හැකි විය. චෙර්තලා හී ගම් වැසියන් හා සංවාදයෙන් ඔහු බොහෝ කරුණු අනාවරණය කර ගත්තේ ය. 

“ඇගේ ගමේ නම මුලච්හිපුරම්. තේරුම ‘පියයුරු ඇති කාන්තාවගේ පුරය’ කියන එකයි. ඈ කළ ශ්‍රේෂ්ඨ පරිත්‍යාගය සිහිකරනු පිණිස ඔවුන් ඒ ගම ඒ ලෙස නම් කර තියෙනවා” මුරලි ටී. පවසයි. 

මේ කතාව ඉන්දියාවේ නිල වශයෙන් පිළිගත් ‌ඓතිහාසික වාර්තාවන් හී සටහන් වී නොමැත. 

නමුත් ඈ විසූ ගමේ ගැමියෝ ඉතාමත් ආදර ගෞරවයෙන් ඒ බව සිහි කරති. ඒ පිළිබඳ වාර්තාවන් සකසා කේරළ ඓතිහාසික වාර්තා ගොනුවට ඇතුලත් කිරීම පිණිස රජයට ලබා දීමට මුරලි ටී. බලාපොරොත්තුවෙන් සිටියි. 

කුල ව්‍යුහය වැරගැන්වීම 

බ්‍රිතාන්‍ය යුගයේ ඉන්දියාවේ තිබූ පාලන ප්‍රදේශ 550න් එකක් වූ ට්‍රැවන්කෝ රාජධානියේ පාලකයා විසින් පියයුරු බද්දක් පැනවෙන ලදී. 

අඩු යැයි සම්මත ව තිබූ කුල වල කාන්තාවන්ට උඩුකය වැසෙන පරිදි ඇඳුම් ඇඳීමට අවසර නොතිබූ අතර යම් හෙයකින් කෙනෙකු එසේ ඇන්දේ නම් ඒ අයට දැඩි බදු වලට යටත් වන්නට සිදුවිය. 

“මේ පියයුරු බද්ද පැනවීමේ අරමුණ වුණේ කුල රාමුව තවත් දැඩි කිරීමයි” කේරල, ශ්‍රී ශංකරචාර්ය සංකෘත විශ්ව විද්‍යාලයේ සහයක මහාචාර්යය කෙනෙකු වූ ආචාර්යය කේ. එම්. ශීබා පවසයි. 

ඇඳුම් පැළදුම් පිළිබඳ සමාජ සම්ප්‍රදාය සැකසී තිබුණේ කුලය පදනම් කරගෙන ය. යමෙකු කුමන කුලයේ කෙනෙකුදැයි හඳුනා ගැනීමට හුදෙක් ඇඳුම පමණක් ප්‍රමාණවත් විය. 

නඟේලි අයත් වූයේ ඒස්හවා කුලයටයි. තියා, නඩාර් සහ දාලිත් වැනි අනෙකුත් හීන කුල මෙන් ම ඇගේ ප්‍රජාවත් පියයුරු බද්දෙන් බැඳී මිරිකී තිබිණ. 

නමුදු වර්තමාන ගම් වැසියන් පවසන පරිදි, ඈ බදු නොගෙවා, උඩුකය ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීමෙන් විරෝධතාව ප්‍රකාශ කිරීමට තීරණය කර තිබුණා ය. එය, 1900 ගණන් වල මුල් කාලේ ජීවත් වූ හීන කුල කාන්තාවකගෙන් බලාපොරොත්තු විය නොහැකි මට්ටමේ නිර්භීත පියවරක් විය. 

“ඈ බදු ගෙවීම ප්‍රතික්ෂේප කරන බව දැනගත් බදු පරීක්ෂක, ඇගේ නිවසට ගොස් නීති විරෝධි ව කටයුතු කිරීම පිළිබඳ දොස් නැගුවා. ඔහුගේ සහචරයින් ඇගේ උඩුකය වැස්ම ගලවා දැමුවා. ඇගේ සැමියාට වේදනාවෙන් බලා සිටිනවා හැර කළ හැකි යමක් තිබුණේ නැහැ. වේදනාවෙන්, ලැජ්ජාවෙන්, දුකින්, කෝපයෙන් පීඩා විඳි නඟේලි වහා ගෙට ගොස් කැත්තක් සහ කෙසෙල් කොළයක් ගෙන ආවා. මේ බදු මේවා නිසානේ, ආ මෙන්න ගන්න! කියූ ඈ තමන්ගේ පියයුරු දෙක ම කැත්තෙන් කපා කෙසෙල් කොළය මතට දැමුවා. ලේ ගලා යද්දී, වේදනා විඳිමින් ඈ සිය සැමියාගේ දෑත මත මිය ගියා. ඔවුන් දෙදෙනාට දරුවන් සිටියේ නැහැ. ඇගේ චිතකය දැල් වුණු දා, සිදු වූ දේත් වියෝ දුකත් දරාගත නොහැකි වුණු සැමියා ද ඒ දැවෙන චිතකයට පැන දිවි තොරකර ගත්තා. මෙම සිදුවීමෙන් කම්පනයට පත්වුණු රජය පියයුරු බදු ක්‍රමය ඉවත් කිරීමට පියවර ගත්තා” 

ඇගේ ඤාතීන් පසුව මුලච්හිපුරම් හැර ගොස් අසල නගර සහ ගම්මාන වෙත සේන්දු වී තිබුණි. 

පරිත්‍යාගයට නිසි වටිනාකම්

ඇගේ සොයුරාගේ මී මුණුපුරෙකු වන මනියෙන් වේලු, සිය මී මිත්තණියගේ ශ්‍රෙෂ්ඨ පරිත්‍යාගය වැඩි දෙනෙකු නොදැන සිටීම පිළිබඳ ව බොහෝ සේ කණගාටු වෙයි. 

“ඈ කටයුතු කළේ පරාර්ථකාමී ව, නිර්භීත ව තමන්ගේ ප්‍රජාව වෙනුවෙන්. ඒ පරිත්‍යාගයේ ඵලය ට්‍රැවන්කෝර් හී සියලුම කාන්තාවන් භුක්ති වින්දා. මගේ මී මිත්තණිය රජාට තමන්ගේ බද්ද අකුලා ගන්න සිද්ධ කළා.” ඔහු පවසයි. 

වයස්ගත මිනිසෙකු වන මනියෙන් සතුව ඉඩම් නැත. ඔහුගේ දරුවන් ගොවිපලක කම්කරුවන් සේ කටයුතු කරයි. ඒත් ආධාර බලාපොරොත්තු නොවන ඔහුගේ එක ම උවමනාව මේ ඓතිහාසික පරිත්‍යාගය ඉතිහාස පොතේ සටහන් වීම පමණයි. 

“අපි ඇගේ ලේ ඤාතීන්. අපි ඒ ගැන බොහොම ආඩම්බරයි. අපිට උවමනා එකම දේ ලෝකේ මිනිස්සු ඈ ගැන, ඇගේ පරිත්‍යාගය ගැන තව තවත් දැන ගන්න එකයි. මේ කළාප ඉතිහාසයේ කොටසක ඇගේ නම ලියැවීම සිදුවිය යුතු ඉතාමත් සුදුසු, වැදගත් දෙයක්” ඔහු BBC වෙත පැවසීය. 

දැනට මුරලි ටී. එම කටයුත්තේ වගකීම සිය කරට ගෙන කටයුතු කරයි. ඔහු ඇයගේ කතාව සිතුවම් තුනකට නගා ඇති අතර ඔහුගේ ‘Amana – The Hidden Pictures of History’ නම් වූ පොතට එම සිතුවම් එකතු කොට තිබේ. 

2019 වසරේ තිරගත වුනු ‘Aadai – ඇඳුම’ නැමති දමිළ චිත්‍රපටයේ ආරම්භයට නඟේලි පිළිබඳ වාර්තාවක් එක් කර තිබීම විශේෂත්වයකි. වර්තමාන ඉන්දීය කාන්තාව ලබා සිටින භාෂණයේ නිදහස, කැමති පරිදි ජීවත් වීමේ නිදහස ආදිය ඉතාමත් සරළ දේ සේ පෙනුන ද, ඒ්වා අතීතයේ සැඟ වී ගිය අප නොදත් බොහෝ දෙනෙකු ගෙනගිය අරගලයන් හී ප්‍රථිඵල බව එම වාර්තාවෙන් ගම්‍ය කරවයි. 

උඩරට සමහර කාන්තාවන් උඩුකය නිරුවතින් සිටින පැරණි පිංතූර සමාජ ජාල වල වරින් වර සංසරණය වේ. එම පිංතූර දෙස බලා වික්ටෝරියානු සදාචාරයට යටත් වන්නට පෙර මෙරට කාන්තාව අසීමිත නිදහසක් විඳි බවට කෙනෙකු අර්ථ දක්වයි. නමුදු එම පිංතූර හා සමග ම නිළමේ වරුන්ගේ බිරින්දෑවරු හැට්ට ඇඳ ඔසරියෙන් සැරසී, රන් ආභරණ පැළඳ සිටින පිංතූර ද සංසරණය වන බව සිහිකරගත යුතුය. 

කෙනෙකු විවේචනය කළ ද, තව කෙනෙකුට අඩනිරුවත හොඳ යැයි සිතෙන්නට පුළුවන. එය වඩා නිදහස් යැයි අර්ථ දැක්වෙන්නට පුළුවන. කෙනෙකුට ඒ නිදහස ලැබීම පිණිස නීතිය දිනා ගැනීමට උත්සහ කළ හැකිය. එය තෝරා ගැනීමකි. නමුදු ඒ සඳහා, සියවසකට පමණ පෙර දුගීකම නිසා නිරුවතින් සිටීම උරුමය වූ දිළිඳු කාන්තාවන් ඒ නිදහසේ ආදර්ශය කොට ඉදිරියට ගැනීම, කෙතරම් සාධාරණදැයි අතීතයෙන් එබී බලා නඟේලිලා දහසක් අපෙන් විමසනු ඔබට ඇසේ ද? ඔවුන්ගේ ලැජ්ජාවෙන් මිරිකුණු මුහුණු ඔබට පෙනේ ද?

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*