තොවිල් පවිල්, යකැදුරන්, යකුන් සහ දෙහි කැපීම ⅔

තොවිල් පවිල්, යකැදුරන්, යකුන් සහ දෙහි කැපීම ⅔

.

Lalith Karunaratne

‘ජ්‍යෝෆ්‍රී බේකන්’

.

තොවිල් පොළේ සිටි තරුණ පහේ බෙර කරුවෙක්ගෙන් … “හූනියම් යනාදිය සත්‍යදැයි”… ඇසුවෙමි. ඔහු කියා සිටියේ, … “ඒවා කල හැකි වුවද, ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සෙවීම නම් අපහසු බවය. ද්‍රව්‍ය තිබුනද, සතෙක් මරන්නේ නැතිව නම් ඒවා ලබා ගැනීමට නොහැක කියාය. ඒ මොනවාද කියා, මා ඇවිටිළි කරන විට ඔහු ඒ දේවල් වල ලැයිස්තුවක් කියා සිටියේය.

මතකයේ ඇති ඒ කිහිප දෙයක් නම්, … “තොටිල, හොඬල අල, පස්පාට බත්, පස්පාට මල්, උණහපුළු ඇස් දෙක, කොරවක් දිව, කටුස්සාගේ උරයේ ලෝම, දියබරි ඉස, ඉබි මාළු, මොණර පිත, හිකැනල් දිව, ඇහැටුල්ලෙක් ගේ වළිගය, කිරි වවුල් ඇස්, කබර තෙල් … වේ. කබර තෙල් ගන්නට කබරයෙක් ගසක එල්ලා යටින් ගිණි ගොඩක් ගැසිය යුතුය.

එවිට කබරයා මැරී පිච්චෙන විට කටෙන් එන දියර වලින් කබර තෙල් ගනු ලැබේ.

පිල්ලියක් අරිනවා නම්, එක පාට බල්ලෙක් අවශ්‍ය වේ. පිල්ලිය යනු බල්ලෙක්ට වැනි සතෙක්ට යක්ෂ දිෂ්ටියක් ආරුඩ කර කිසියම් කෙනෙක් වෙත යැවීමය. බත්තරමුල්ලේ හාමුදුරුවන්ට ‘මුත්තර බල්ලා’ යයි කී, ද-සොයිසා මහත්තයාට, “හොඳයි මම උඹට මුත්තර බල්ලෙක් එවන්නම්”…කියා පිල්ලියක් සේ බැල්ලියක් යැවූ බව ඔහු කීවේය. බැල්ලිය විසින් හපා කන ලද ඔහු, පිස්සු බලු රෝගයෙන් මිය ගියේය.

මන්තර කීපයක් කියා දෙන්න කියා කියූ විට ඔහු කීවේ, මා තවම පොඩි වැඩි නිසා ඒවා කියාදිය නොහැකි බවය. ඔහුද ඒවා ඉගෙන ගන්නා බවය. ඕනෑම යකැදුරෙක් හොඳට බෙර වයන්න ඉගෙන ගත යුතුය. ඔහු මේ කාලයේ බෙර වයන්න ඉගෙන ගනී.   

ඕනා නම් බෙර වයන්න හෝ, බලි අඹන ආකාරය කියා දෙන්නම් කියා ඔහු කීවේය. සාමාන්‍යයෙන් බලි අඹන්නේ මැටියෙනි. ඒ සඳහා හුඹස් මැටි හෝ කිරි මැටි ගනී. සමහරවිටෙක රෙදි කඩක අදිනු ලැබූ රූප ද “බලි” සේ ගනී. බලි රූප ආවරණය කර ඇති කඩතිරය ඉවත් කිරීම බලි ඇරීම ලෙසට හදුන්වනු ලබයි.  නමුත් ඒ මැටි රූපය ඇතුළට පොල්පිති, පොල්ලෙලි ආදිය ඇතුළට යොදා ගෙන මහතට, ලස්සණට බලිය තනා ගනී.

සමහර බලි මෙතියෙස් මෙන් කැතය. සමහර බලි දිස්නා මෙන් ලස්සණය.

අලංකාර ලෙස පිංතාරු කර ඇති රූපයේ වටේ රාමුවේ තීන්ත ගාන්නට ඔහු මට කියා දුන්නේය. අවසානයේ බලිය  ආතුරයා ඉදිරියෙන් තබා යාගය කෙරේ. ඊළඟ තොවිලයේදී,  ‘හුරප්පට්ටුව’ වැයීමට උගන්වන බව ඔහු කියා සිටියේය. ‘හුරප්පට්ටුව’ වූ කලී, අගින් රවුම් සේ නැවුණු කුඩා කෝටු දෙකකින් වයන බෙරයකි.        

දෙහි කැපීම එතරම් විශාල සේ සහ බොහෝ මිනිසුන් එකතුව සරුවට නොකලද, අඩුම ගානේ මාසයකට කීප වතාවක් වත් ගමේ දෙහි කැපීමක් කෙරින. ආතුරයා හෙවත් ලෙඩා ගේ සරුවාංගයේ නා නා ස්ථාන වල තබන ලද ගිරයේ අඬු දෙක අතර දෙහි ගෙඩියක් තබා එය කපනු ලැබේ. ශ්ලෝකයක් කියා දෙකට කපන ලද දෙහි ගෙඩිය කහ දියර කලවම් කල ජළයට දමනු ලැබේ. දෙහි ගෙඩි විසි එකක් මෙසේ කපනු ලැබේ.

එසේ දෙහි ගෙඩිය හරි මැදින් දෙකට කපා ජළයට දමා, පසුව ඒ එකතු වූ දෙහි බෑ නොපෑගෙන තැනකට දමනු ලබයි. බොහෝ කරදර ඇත්නම්, යාගය, තොවිලය, බලි සහ දෙහි කැපීම සියල්ල එකටම කරනු ලැබේ.

ජලයේ පාවෙන දෙහි බෑ අනුසාරයෙන් ආතුරයා ගේ ලෙඩ රෝග ගැන යකදුරා කියයි. කිසියම් හේතුවක් නිසා එම දෙහි බෑ වැඩි ප්‍රමානයක් මුනින් අතට තිබුන හොත් එය එම ආතුරයාගේ අපල වැඩි බවත්, ලෙඩ රෝග වැඩි බවත්  කියන්නකි. පුදුමයකට මෙන් බොහෝ විට දෙහි බෑ මුනින් අතට පාවුණ බව මට අවබෝධ වුනද, ඊට හේතුවක් තිබිය හැකි බව මා අනෙක් කොල්ලන්ට කිව්වද උන් ඒවා කණකට නොගත්හ.

මිනිහෙක් මැරෙන කාලය ගැන එකළ සිටි වැඩිහිටියෝ අනාවැකි කීහ. උණහපුළුවන් සහ බස්සෝ විලාප දෙති. නරි අකාලයේ හූ කියති. මේවා තොවිල් පොළවල් වල එකල සාමාන්‍යයෙන් කියවෙන දේ විය.

සෝමපාලට රීරි යකා ගසා ලේ විලක් මැද මිය ගිය හැටි,… ගොපල්ලා ගැසීම නිසා සිරියාවතී පරළ වී, ගොරෝසු කට හඬකින්, එනම් ගොපළු දෙවියාගේ කට හඬ අනුව කතාකර, වසරේ කිරි දානය නොදුන් බව ප්‍රශ්ණ කිරීම, … බාලගිරි දේවතාවාට දුන් පූජා වට්ටියේ අකැප දේ තිබුණු නිසා දරුවා මිය ගිය හැටි,…

මේවාට වැඩියෙන් ඔප දමා වැඩිමනත් දේ එකතු කිරීම ගැමියන්ගේ සිරිත විය.

කන් කීරි ගැසෙන උණහපුළුවා ගේ ශබ්දය අසන්නට අපහසුය. උණහපුළුවා කෑගසන විට එය නවත්වන්නට ක්‍රම දෙක තිබේ. එකක් වන්නේ, ඒ දෙසට හැරී මෙසේ කීමය. … “ගන් ඕකගේ ඔලුව හපන්න ලුණු කැටයක් !…!!… කියා දහ වතාවක් ශබ්ද ඇතිව කීමය. අනෙක් දේ වන්නේ … “සබ්බ පාපස්ස අකරනං …ඝාතාව තෙවතාවක් කීමය.

පුදුමය වන්නේ, එසේ කියා අවසාන වනවාත් සමඟම උණහපුළුවා ඒ කර්ණ කටෝර යටිගිරියෙන් කරන වැළපිල්ල නැවත්වීමය. එක්කෝ උගේ ඔළුව කනවාට ඌ අකමැතිය. නැතිනම් බුදු හාමුදුරුවන්ගේ ආඥාවට ඌ බයය.

මා මේ සතාගේ ශබ්දය ගැන අම්මා සමඟ වාද කලෙමි. උණහපුළුවාගේ ඔලුව කන්න කරන තර්ජනයට මෙන්ම ඝාතාව කීමට යන කාලයද එකම වේ. ඒ කාලයෙන් පසුව ඌ කෑගසා හති වැටෙන නිසා විලාපය නවත්වන බව අම්මාට කීවෙමි. එය ඉන් පෙර උගේ විළාපය නවත්වන්නට හැකි බව කැටපෝලයෙන් එදෙසට ගල් විද පෙන්වූයෙමි.

ඒ වුනත් අම්මා කියන්නේ, ගල් විදිය යුතු නැති බවත්, උණහපුළුවාගේ පුතාට ඒවා වැදුනොත් එය පවක් කියාත්ය. අම්මාට මාව වටිනවා මෙන් ඌටත් උගේ පුතා මැණිකකි.

අම්මා කිව්වේ, අඳුරේ වුවද ඒ ගලක් උණහපුළුවාට හෝ උගේ පුතාට වැදුණහොත් මට පව් සිදුවන බවය. බස්සන්ගේ මුහුණ පැතලි නිසා මෙන්ම උන්ව දැකීමට එතරම් අපහසු නැති නිසා, එක ගලෙන් උන්ව බිම දැමිය හැක. දිනක් අඳුරේ එසේ විදින ලද ගලක් හරියටම උණහපුළුවෙක් ගේ හිසේ වැදී තිබිණ. කඳන් මෙතියෙස් නම් කීවේ මම කොහොමත් පව්කාරයෙක් කියාය. හේතුව වන්නේ, පව් කාරයාගේ ඉලක්ක කොහෙත්ම නොවැරදීමය.

අඳුරේ එසේ ඉලක්කය හරියටම ගැනීමට නම් සිදුහත් කුමාරයා මෙන් මාද බොහෝ පිං කල කෙනෙක් විය යුතුය කියා මා තර්ක කලෙමි.

සිදුහත් කුමාරයා ‘ශිල්ප දැක්වීමේදී’ අඳුරේ අස් ලෝමයකින් එල්ලා තිබුණු ඉලක්කයට දුන්නෙන් හරියටම විද්දේය. … “සිදුහත් කුමාරයාට උඹව සසඳන්න උඹ කව්ද?… “අනෙක, සිදුහත් කුමාරයා උණහපුළුවෝ මැරුවද?… “උඹ විශාල පවක් කර ගත්තේය”… කියා බොහෝ විපිළිසර වූ ආච්චි මට කියා … “කායෙන වාචෙන චිත්තෙන … ඝාතාව මට කියා කියෙව්වාය.

පව් දෙකක් කර ගත්තෙමි – මින් පසුව එසේ නොකරමි යයි සිතා ගතිමි.   

උණහපුළුවා ගැන ගැමියන්ගේ කතාවක් තිබුනේ, … “උණහපුළුවාට, උගේ පුතා මැණිකක්ය”…යන්නය.
උණහපුළුවෙක් දකින තුරු මේ කතාවේ තේරුමක් කෙනෙක්ට අවබෝධ වන්නේ නැත. එතරම්ම ඌ කැත සතෙකි. විශාල ඇස් දෙකක් එක ළඟ ඇති මේ සතා, නරකාදියෙන් පැමිණි එකෙක් වන්නට ඇත. එහෙත් උණහපුළුවෙක් දැකීම නම් ඉතාමත් අපහසු කාරියකි. ඌ ඉතා කුලෑටි සතෙකි.

කැත සතෙක් නිසා මැරුවාට කමක් නැත සේ තර්ක කලෙමි. ලෝකේ ලස්සණ වෙන්නට, කැත උන් නැති විය යුතුය. 

ආච්චි කීවේ, … “උණහපුළුවාගේ පුතා උඹව දැක්කා නම්, උඹද කැත සතෙක් යයි කියනු ඇත”… “කැත ඇත්තේ බලන එකාගේ ඇහේ මිසක වෙන තැනක නොවේ”… “මුරුගසං වරුසාව වැටෙන විට මිනිසුන් සහ සතුන් එකිනෙකා දෙස බලන්නේ මේ ලෙසය”… “කැත සතුන් සහ සතුරන් සේ එකිනෙකා දකිති”… “කළියුගය ආරම්භ වී ඇති හෙයින් මේවා ඒ ලකුණුය”…

… “මේ අසුර ලෝකෙන් පැමිණි කොලුවා හදන්නට බැරිය”… කියමින්, ආච්චි විස්සෝප වූවාය.

ආච්චි කී පරිදි මුරුගසං වරුසාව වූ කලී, එයට තෙමෙන කෙනෙක්ට අනෙකා පෙනෙන්නේ සතුරෙක් ලෙසිණි. වරුසාවේ ජළය ඇඟේ ගෑවී පිස්සු වැටුණු විට එකිනෙකා මරා ගනිති.  මුරුගසං වරුසාවෙන් වැටෙන ජළ බිඳු පබළු, මුතු, මැණික් කැට මෙන් ඉතා ලස්සණය. ඒ නිසා ඉන් තෙමෙන්නට ඕනා කෙනෙක්ට සිතේ. මේ කාලයේ ගුවන් විදුළියේ ‘ළමා මණ්ඩපයේ’ වැස්ස ගැන ගීතයක් ප්‍රචාරය විණි. එය මුරුගසං වරුසාව ගැන ලියුවක් විය යුතුය.

…“බුබුළු බුබුළු ජලේ නටන” – “පබළු ලෙසින් දිළෙන” – “තාලයකට අමුණාගෙන” -”ආසයි මට ගෙළ ලන්නට”…

මගේ ගල වැදී මියගිය උණහපුළුවා දැක බලා ගැනීමට බොහෝ අය පැමිණියහ. එකළ මගේ හොඳම මිතුරා වූ ඥාණරත්න කීවේ, උණහපුළුවාව භූමදානය කල යුතු බවය. එහෙත් යකැදුරෙක් එය දැන ගත්තොත්, උගේ ඇටකටු අරගෙන තව කෙනෙක්ට හූනියම් කල හැක. මා වාද කලෙමි. අවසානයේ අපි උණහපුළුවාව ආදාහනය කළෙමු. නංගි සහ දිස්නා උගේ සොහොන වටේ සුදු කොළ ඇලවූහ.

… “හදිසි අනතුරකින් කාලක්‍රියා කල සත්ගුණවත් උණහපුළුවා මහතාට නිවන් සුව ලැබේවා” …යයි කොඩියක් ඇලවීමි. 

කෙසේ වුවද උණහපුළුවා හත් වතාවක් කෑ ගැසුවහොත් නම් අනිවාර්යයෙන්ම මිනිසෙක් මිය යයි යන්න ගැන මමද එකළ විශ්වාස කලෙමි. දෙහි කැපුවද සිරිසේන මාමා මිය ගියේ එනිසාය. කපන ලද සියළු දෙහි බෑ මුනින් අතට වැටුණි. හේතුව කුමක් වත් නොව ලෙඩා ගේ අපල බව ඔවුන්ද කියූහ. උණහපුළුවා මේ ගැන දැන සිටියේය.

පාතාලයට සම්බන්ද මේ සතාට යම රජුගෙන් මියයන්නා ගැන පණිවිඩය ලැබේ.

ඒ පණිවිඩය දීම නැවැත්වුවහොත් යම රජුට කරන්නට දෙයක් නැත. මෙතියෙස් නම් කිව්වේ, .. “යම රජුගේ පණිවිඩ කරුවෙක් මැරූ නිසා, මා ප්‍රවේසම් විය යුතු බවය”…

සිරිසේන මාමා ජීවත් කරන්නට ක්‍රම දෙකක් තිබිණ. යකැදුරන් මේවා දන්නේ නැත.

එකක් වන්නේ යම රජුට බම්බු ගහගන්න කියා, උණපඳුරු දෙසට කැටපෝලයෙන් ගල් විදීමය.  අනෙක වන්නේ එදා කපන ලද දෙහි අනෙක් අතට හරවා පා කිරීමය.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*