ගෙඩි, ඉටිගෙඩි, ගුරුත්වාකර්ෂණය හා පට්ටපල් බොරු

ගෙඩි, ඉටිගෙඩි, ගුරුත්වාකර්ෂණය හා පට්ටපල් බොරු

.

Nalin de Silva

.

අප පොල් ලෙලි ගැනත් පොල් මුඩු ගැනත් කියන්න ඕන. පොල් මුඩු නැත්තන් ඇතැම් භාණ්ඩ පිරිසිදු කිරීමේ දී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පොල් මුඩ්ඩ වෙන වෙන දේටත් ප්‍රයෝජන වෙනවා. පොල් ලෙලි ගැන කතා කිරීමේ දී පොල් කොහු ආදිය පමණක් නොව ලෙලි පොල් ද මතක් වෙනවා. ඒ කියන්නෙ ලෙල්ල සහිත පොල් ගෙඩිය. ඒත් ගහකින් ගෙඩියක් වැටුණ ම අප කියන්නෙ පොල් ගෙඩියක් වැටුණ කියල මිසක් ලෙලි පොල් ගෙඩියක් වැටුණ කියල නො වෙයි. 

මේ පොල් ගෙඩි ගැන පමණයි. පොල් අතු පොල් කොළ හනසු  සහ තවත් දේ ගැන කියන්න පුළුවන්.  ඒත් අපට වැදගත් වන්නෙ පොල් වැටීම හා කැඩීම. මේ වෙලාවෙ පනස්හයේ පෙරළියෙන් පස්සෙ ජෝන් කොතලාවල කී දෙයක් මතක් වෙනවා. ඔහු කිවුවෙ දැන් ගහකින් ගෙඩියක් කඩා ගන්න එකෙක් නැති වේවි කියායි. ජෝන් කොතලාවල දැන හිටියෙ නැහැ අවුරුදු හැටක් විතර ගියාම ගෙඩි කඩන්න ගස් ඉතුරු වෙන්නෙ නැති බව. 

දැන් වැටෙනවා කියන්නෙ මොකක් ද? තරුණ තරුණියන්ගෙ වැටීම ගැන නොවෙයි ගෙඩි ආදියෙහි වැටීම. ඊනියා ආර්ථික විද්‍යාඥයන් රටේ ආර්ථිකය වැටීම ගැනත් කියනවා. පහුගිය අවුරුදු හැත්තැවක පමණ කාලයෙ ඊනියා ආර්ථික විද්‍යාඥයන් නොවැටෙන්න ද  උපදෙස් දුන්නෙ. ඔවුන් කියාවි දුන් උපදෙස් පිළිපැද්දෙ නැහැ කියල. අපි ඊනියා ආර්ථික විද්‍යාඥයන් විසිපස් දෙනකුට කියමු අදට උපදෙස් දෙන්න කියල.  ඒ විසිපස් දෙනා අඩු තරමෙන් එකිනෙකට නොගැලපෙන උපදෙස් පනහක් දේවි. මිනිසුන් හිතන පතන විධිය ක්‍රියා කරන විධිය ඔය ඊනියා සමාජයීය විද්‍යාවන්ට අහුවෙන්නෙ නැහැ. මා ආර්ථික විද්‍යාඥයෙක් නම් නොවෙයි. ඒත් අපේ රටේ ප්‍රශ්න වන්නේ විශේෂයෙන් ම මධ්‍යම පංතිය ආදායමට වඩා වියදම් කිරීම, අනාගතය ගැන ඇති අවිශ්වාසය, නිෂ්පාදනය පහත වැටීම (ඒ්කත් වැටීමක්) , අධික නිෂ්පාදන වියදම, ගනු මිස දෙනු නැති වීම,  අයිතිවාසිකම් මිස යුතුකම් නැති වීම, බොරු වාම දේශපාලනය අදියයි. ලංකාවේ භාණ්ඩ මියන්මාරයේ අලෙවි කිරීම අමාරුයි. චීනයෙන් හා තායිලන්තයෙන් අඩු මුදලට භාණ්ඩ සපයනවා. 

මිනිසුන් වගේ නොවෙයි පොල්. පොල් මිළ මිනිසුන් සමග සම්බන්ධ නිසා එහි ඉහළ පහළ යෑම කතා කිරීම අමාරුයි. ගණිතයත් භෞතික විද්‍යාවත් ඉගෙන ගන්න පහසුයි. ඒවාත් මිනිසුන්ගේ සංස්කරණ වුණත් පොල් මිල වගේ නොවෙයි පොල් ගෙඩි පහතට වැටෙනවා. ඒත් ඒ කියන්නෙ වැටෙනවා කියන එක මිිනිසුන්ගෙ සංකල්පයක් නොවන බව නොවෙයි. වැටෙන්නෙ පහතට මිසක් උඩට නො වෙයි. සංකල්පය කොහොම ඇති වුණත් පහත කියන්නෙ පාද තියෙන පැත්ත. පාතාලයටත් යටින් තමයි අපාය. පාතාලයන්ට අපායට යන්න ලේසියි. 

කොහොම හරි වැටෙනවා කියන එක මිනිසුන්ගෙ නිරීක්‍ෂණයක්. ඒක මිනිසුන්ගෙ සංකල්පයක්. දැන් පොල් වැටෙනවා කියන එක අප දැකල තියෙනවා. කොස් වැටෙනවා දෙල් වැටෙනවා මේ ඔක්කොම දැකල තියෙනවා. ගෙඩි වැටෙනවා දැකපු අයකු ඉන්නවා ද? මෙතන ගෙඩිය කියන්නෙ අහවල් ගෙඩියකට නොවෙයි පොල්, දෙල්, කෙහෙල් ආදී සියල්ලෙන් වියුක්ත වෙච්ච දෙයකට. ඉටි ගෙඩියවත් කෙං ගෙඩියවත් නොවෙයි. නිවුටන්ගෙ හිසට ඇපල් ගෙඩියක් වැටුණ හරි නැතිව හරි ඔහු උත්තර දුන්නෙ ඇපල් ගෙඩි වැටෙන්නෙ මොකද කියන එකට නොවෙයි ගෙඩි වැටෙන්නෙ මොකද කියන එකට. ගෙඩි වියුක්තයි. පුළුවන් නම් ගෙඩියක් හිතෙන් මවා ගන්න. සිංහලයන් ඒ වගේ දේ කෙරුවෙ නැහැ. 

අනෙක් අතට නිවුටන් ඇහැවුවෙ ගෙඩි වැටෙන්න හේතුව මොකක් ද කියල. හේතු හොයන එක බටහිර සංස්කෘතියෙ වැඩක්. බටහිරයන් ඇමරිකාවට ගියාම එහි වැසියන්ට මූලික ප්‍රශ්න දෙකක් තිබිල තියෙනවා. බටහිරයන් හැම එකට ම හේතු හොයන්නෙ මොක ද, වෙලාව බලන්නෙ මොක ද තමයි ප්‍රශ්න දෙක. ඇමරිකන් වැසියන් ඒවගෙ ප්‍රශ්න ඇහුවෙ නැහැ. සිංහලයන් ද හේතු ඇහුවෙත් නැහැ. අපි හේතුඵල ගැන කතා කෙරුවෙ. හේතු හොයන්නෙ රේඛීය ව හිතන මිනිස්සු. ඒක කෙළවර වෙන්නෙ දෙවියන් වහන්සේගෙන්. තර්කයෙන්වත් ප්‍රවාදවලින්වත් නො වෙයි. තර්ක හා ප්‍රවාදත් කෙළවර වන්නෙ විශ්වාසය මත. හේතුඵල චක්‍රීය චින්තනයෙ කතාවක්. 

ගෙඩි වැටෙන්නෙ මොකද එහෙමත් නැත්නම් ගෙඩි වැටීමට හේතුව මොකක් ද කියන එකට හිතළුවක් තමයි නිවුටන් දුන්නෙ. ඒ හිතළුව තමයි ගුරුත්වාකර්ෂණ බලය. ඒක වියුක්ත කතාවක්. ගෙඩි කියන්නෙත් වියුක්ත සංකල්පයක්. ඒවා හිතෙන් මවා ගන්නවත් බැහැ. හිතෙන් මවා ගන්න පුළුවන් සංකල්ප තියනවා. ඒ පංචෙන්ද්‍රිය ඇසුරෙන්. පරසතු මල් දැකල නැති වුණත් හිතෙන් මවා ගන්න පුළුවන්. එහි දී ඇහැත් බලපානවා. 

පංචෙන්ද්‍රිය ගෝචර දේත් අවසාන වශයෙන් මනස මත රඳා පවතිනවා. මනස ප්‍රධානයි. හැබැයි ඒකෙන් කියන්නෙ නැහැ මනස කියල වාස්තවික (!) දෙයක් හරි මනෝමුල දෙයක් හරි තියෙනවයි කියල. මනසත් මේසය හරි පැන්සලය හරි වගේ. එයත් සංස්කරණයක්.  කොහොම හරි මනසෙන් මවා ගන්න පුළුවන් සංකල්පත් තියෙනව බැරි සංකල්පත් තියෙනව. බැරි සංකල්පවලට තමයි වියුක්ත සංකල්ප කියන්නෙ. සරල රේඛාවත් වියුක්ත සංකල්පයක්. පුළුවන් නම් අනන්තයක් දිග පළලක් නැති ඝනකමක් නැති සරල රේඛාවක් හිතෙන් මවා ගන්න.  

ගෙඩිය වගේ ම ගුරුත්වාකර්ෂණ බලයත් හිතෙන් මවා ගන්න බැහැ. ඒවා ඉන්ද්‍රිය ගෝචර නැහැ, ෂඩේන්ද්‍රිය ගෝචර නැහැ. ගෙඩිය හිතෙන් මවා ගන්න පුළුවන් අයකුට ඉටිගෙඩියක් තෑගි දෙනවා. ගෙඩියත් හිතළුවක් ගුරුත්වාකර්ෂණ බලයත් හිතළුවක්. ඒක කඹේකින් අදිනව වගේ වැඩක්වත් පොල්ලකින් තල්ලු කරනව වගේ වැඩක්වත් නො වෙයි. පඬි නැට්ටකු කියන්න බැරි නැහැ ක්‍ෂෙත්‍රයක කතාව. ක්‍ෂෙත්‍රයත් හිතෙන් මවා ගන්න බැහැ. 

මේ වියුක්ත කතා අවසාන වශයෙන් හරි යනවද කියල බලන්න වෙන්නෙ සංයුක්ත ව. ඒකත් ප්‍රශ්නයක්. පොල් ගෙඩියක් වැටෙන්න කොච්චර වෙලා යනව ද? උසස් පෙළට දෙන ගණන්වල වගේ ගලක් විසි කළොත් පරාවලයක යනව ද වගේ කතා. ඒව හරියනව කියන එකෙන් කියන්නෙ නැහැ ගුරුත්වාකර්ෂණය හරි කියල. නිවුටන් කියන විධියට බුධ ග්‍රහයා ඇතුළු සියලු ග්‍රහ වස්තු ඉර වටා අචල ඉලිප්සවල යන්න ඕන. එකක්වත් එහෙම යන්නෙ නැහැ. ඉලිප්සත් කැරකෙනවා. අචල ඉලිප්ස තිබුණෙ නිවුටන්ගෙ මනසෙ. ග්‍රහවස්තුවලට නිවුටන් හරියන්නෙ නැහැ. ඊනියා ආරම්භක අවශ්‍යතා වෙනස් කළා කියල හරියන්නෙ නැහැ. හරි යන්නෙ නැත්තෙ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය හරි යන්නෙ නැති නිසා. 

පොල් ගෙඩියට හරි ගියාට වැඩ කළාට නිවුටන් ග්‍රහවස්තුවලට වැඩ කරන්නෙ නැහැ හරියන්නෙ නැහැ. හරි යනව කියන්නෙ හරි, නිවැරදි කියන එක නොවෙයි. හිතෙන්වත් මවා ගන්න බැරි වියුක්ත සංකල්ප නිරීක්‍ෂණ ටිකකට හරි යන්න පුළුවන්. ඒත් ඒව පට්ටපල් බොරු. ගුරුත්වාකර්ෂණ බලය කියන්නෙ පොඩි පොඩි දේවලට හරියන (හරි නෙවෙයි) පට්ටපල් බොරුවක්.  ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරු වන්නේ වියුක්ත සංකල්පයක් නිසා බව අවධාරණය කළ යුතුයි. ග්‍රහවස්තුන්ගේ ප්‍රශ්නය එහි දී වැදගත් නොවෙයි.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*