ග්‍රාමීය වැව් සහ පද්ධති යලි නගන්නේ කෙලෙසකද

ග්‍රාමීය වැව් සහ පද්ධති යලි නගන්නේ කෙලෙසකද


My photomathugama seneviruwan

.

         රට පුරා පවතින විනාශයට පත් වැව් පන්දහසක් යළි ප්‍රතිසංසකරණය කිරීමට රජය තීරණයක් ගෙන තිබේ. සිරිලක පුරා කුඩා වැව් තිස්දහසකට අධික සංඛ්‍යාවක් පැවති බව පැරණියන් ගේ මතය වී තිබෙන අතර එයින් දැනට භාවිත වන්නේ වැව් පහලොස් දහසක් පමණකි.විශේෂයෙන්ම රජරට සහ රුහුණේ පැවති අධික වැව් ඝනත්වය පැරණි සිතියම් වලින් සනාථ වේ.මේ වැව්  යළි ගොඩ නැගීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.ඒ සඳහා මේ වැව් යලි හඳුනාගත යුතුය. කැළයට යටවී පාරවල් මගින් දෙපලු වී නාගරික සංවර්ධනය නිසා විනාශ වී ගිය වැව් හඳුනාගන යළි සිතියම් ගත කිරීමේ අවශ්‍යතාවය දැඩිව තිබේ.එසේම වැව් යලි ගොඩ නැගීමට පළමු වැව් යනු කුමක්ද යන්න ගැනද අවබෝධයක් ඇති කර ගැනීම වඩා වැදගත්යයි සිතමි. චන්ද්‍රිකා බන්ඩාරනායක මැතිණිය ජනාධිපතිව සිටි සමයේ දී කළ දහසක් වැව් පුනරුත්ථාපන කටයුතු වලදී වැව යන්නෙහි තේරුම නොදැන කටයුතු කිරීම දක්නට ලැබීමට ඊට හේතුවයි.

      අප් යනු ජලයයි. ජලය උසුලා දරා ගැනීමට හැකි නිම්න භූමියට වාප් නොහොත් වාපීය යන්න යෙදෙයි.ජලය පුරාවා ගත් කුඹූරක ලියැද්දේ තිබෙන වක්කඩ නොහොත් වප්කඩ මගින් ජලය පිටතට නිකුත් කරන අතර එහිදී ලියැද්ද වාපියක් ලෙසට ක්‍රියා කරයි.මේ නිසා වාපී නොහොත් වැව ඉටු කරන්නේ සුලුපටු කාරියක් නොවේ.මහ පොළවේ භූගත ජලයත් වර්ෂා ජලයත් මැනවින් කළමනාකරණය කිරීම එහි වගකීමයි.වැව පොකුණක් නොවන්නේය.ජල තඩාගයක්ද නොවන්නේය. සොබාදහමේ පරිසර පද්ධතියකට ඇතුලත්ව වැව පිහිටා තිබීම නිසා එය හදවතක් බඳුව ක්‍රියාකරයි.

වැවේ පරිසර පද්ධතිය –

කඳු වැව් කුලු වැව් නොහොත් මූකලාන් වැව් නිවුන් වැව් ගම්වැව්  එල්ලංගා වැව් සහ මහ වැව් මෙරට පරිසර පද්ධති වල තිබෙන වැව් සුවිශේෂතා ලෙසට හඳුනාගත හැකිය.ඉහළ කදුකර නිම්නයක සකස්කළ හරස් වැටියකින් වර්ෂා ජලය එක් රැස් කර ගැනීම කඳු වැවක විශේෂතාවයයි. අහසේ සැරිසරන වැහි වළාකුලු වලින් ජලය ආකර්ෂණය කර ගැනීම මෙහි සමත්කමයි.ඉන්පසු වැවේ පැන්නුමකින් ජලය නිකුත් කරන අතර එම ජලය කඳු බෑවුමේ තිබෙන මහ කැළය දිගේ ජල උල්පත් බිහි කරමින් පහළට රූරා බසී.කුලු වැවෙන් හෝ මූකලාන් වැවෙන් සිර කර ගනු ලබන්නේ මේ ජලයයි.මහ කැළයද පෝෂණය කරමින් පහල නිම්න වලට ජලය නිදහස් කරන කුලු වැව මහවැසි වලින් පැමිණෙන සෝදා පාලුවද වළකයි.එසේම කැළයේ ජීවත්වන සතාසීපාවන් ගේ දියපවස නිවීමට ද කුලුවැව උපකාරි වෙයි. කුලු වැවෙන් නිදහස් වන ජලය ඇළදොල ඔස්සේ ගමේ වැවටත් නිවුන් වැවටත් එල්ලංගා වලටත් ගමන් කරයි.කදු වැවේ සිට ගම් වැව දක්වා වූ පරිසර පද්ධතියට ජලය හිඟ නොවන්නේ මේ සිද්දාන්තයන් මතයි.

වැවේ ආගාර –

අගාරපාරවල් යනුවෙන් හැඳින්වෙන්නේ වැවට ජලය කාන්දු කරන වැවත් හාත්පස පරිසර පද්ධතියත් සමතුලිත කරන ලවණ ජලය පාලන කරන කුඩා මසුන් ගේ පැටි පොළවල් බවට පත් කරන ජල නහර පද්ධතියයි. ආඬියා යනුවෙන් කියවෙන උල්පත් ආගාරය ගල් ආගාරය ඖෂධ ආගාරය ගෙඹි ආගාරය රැස් ආගාරය පෙණ ආගාරය කුඩුම්බා ආගාරය භූමිටි ආගාරය යනුවෙන් එය වර්ග කළ හැකිය. ගල් ආගාරය ජල පෙරනයකි. බෙහෙත් ආගාරය ඖෂධ පැලෑටි සංරක්ෂණය සඳහාය.එයින් පෙරී එනජලය වැවේ ජල තලය මෙන්ම වැවට හිතකර සතුන්ද ජීවත කරයි. ගෙඹී ආගාරය ජලජ ජීවින් ගේ පැවැත්මටයි. රැස් ආගාරය තිබෙන්නේ ජලය ජලය ගැටීමෙන් ඇති වන ශක්තිය ප්‍ර යෝජනයට ගැනීමටයි. පෙණ ආගාරය මගින් ජලයේ පිරිසිඳු බව තීරණය කෙරේ.කුඩුම්බා ආගාරය මගින් ජලය පිට කිරීම පාලනය කරයි. භූමිටු ආගාරය යනු උල්පත් පෝෂණයට උදව් දෙන ස්ථානයකි.නොහොත් භූගත ජලය උලුප්පන ස්ථානයකි.වැවක පරිසර පද්ධතිය තුළ පවතින පෝෂක ප්‍රදේශය ඉතා වැදගත්ය.වැවට ඉස්මත්තෙන් පවතින තැනිතලා භූමියක් හෝ වැව් බැම්මට යාවී තිබෙන කඳු වැටියක් මේ පෝෂක ප්‍රදේශයට අයත් විය හැකිය.මෙම කැළය තුළ පවතින ආවේණික ශාක ගහනය මගින් ජල උල්පත් පණ ගන්වන අතර වැහි කාලයේ දී ගස්වැල් වලින් උරා ගත් ජලය දීර්ඝ කාලයක් හිමින් හිමින්  වැවට නිදහස් කරයි.කුඹුක් වැනි වනස්පති වැව්බැම්ම ආසන්නයේ ද මී මයිල වීර මොර වැනි ශාක පෝෂක ප්‍රදේශය තුළද දක්නට ලැබේ.එයට අමතරව විශාල ඖෂධීය ශාක ප්‍රමාණයක් මේ කැලෑ ගහනය තුළ පවතී.

—  ඇළ බැම්ම, වැව් බැම්ම සෑදීමේදී බැම්මේ පතුලට යොදන පස්‌ විශේෂයක්‌ ගැනද සඳහන් වෙයි. ඒවා හඳුන්වන්නේ මඩාර නමිනි. මේ පස නිසා ජලයෙහි ඇති අහිතකර විෂ ස්‌වභාවයක්‌ උරාගෙන ඇළ බැම්මෙන් පිටතට අප ද්‍රව්‍යයන් වශයෙන් ඉවත් කරයි. එම අපද්‍රව්‍ය තුළින් මිනිසාට තදබල හානියක්‌ නොවුණත්, ඇළ බැම්ම පාමුල ඒවා වර්ධනය වීම වැළැක්‌වීම උදෙසා මී. ඇටඹ, කුඹුක්‌, නබඩ වැනි ශාක රෝපණය කරයි. පැරණි යෝධ ඇළ බැම්මේද මේ ගස්‌ විශේෂ නොඅඩුව දක්‌නට ලැබේ. වැව් බැම්ම මීට වඩා වෙනස්‌ ස්‌වරූපයක්‌ ගනී. අප ද්‍රව්‍යය සහිත එම ජලය එකතුවීම සඳහා වැව් බැම්මට පහළන් විශාල දිය අගලක්‌ කපනු ලැබේ. බොහෝ දෙනකු සිතන්නේ වැව් බැම්මට පස්‌ ගැනීම සඳහා එවැනි අගලක්‌ කපන ලද බවයි. නමුත් මෙහි රහස නම් වැවේ විෂ සහිත ජලය එකතුවීම සඳහා සාදාගත් දිය අගලකි. මේ අගල හඳුන්වන්නේ පූවල නමිනි. මේ පූවලෙහි ජලය කිසි විටෙකත් කුඹුරට එකතු කර ගන්නේ නැත. මෙහි වැඩි ජලය පූ ඇලට කපා හරින අතර එම ජලය පිරිසිදු කිරීම සඳහා පෙර කී ගස්‌ වර්ග සිටුවන අතර විවිධ පන් වර්ග හා පොතු කොළ ආදිය වැවෙන්නට ඉඩහරී. පූ ඇළ අද හඳුන්වන්නේ කුණු ඇළ නමිනි. පූ වළෙහි ජලය කිසි විටෙකත් ප්‍රයෝජනයට නොගන්නා අතර කුඹුරු හාන විට කෙවිටෙන් පහර කා සුළු තුවාල ඇති මී හරක්‌ පූවලට මුදා හරිනු ලැබේ. කුර රෝග සහිත හරක්‌ මේ පූවලෙහි බඳිනු ලැබේ. අංගුට්‌ටන්, මගුරන්, හුංගන් කාවයියන් වැනි මාළු වර්ගද දිය කූඩැල්ලන් ද මේ වළවල් වල බහුලව දැකිය හැකිය. “මඩාර” නමින් හඳුන්වන මේ පස්‌ විශේෂය පස්‌ වර්ග කීපයක්‌ එකතු කර සකසා ගත් මිශ්‍රණයක්‌ද නැතිනම් විශේෂ පස්‌ වර්ගයක්‌ද යන්න සොයා බැලීම වැදගත් වෙයි.

වැවක නිර්මිතයන් –

ගම් වැවක නිර්මිතයන් වශයෙන් දැක්විය හැක්කේ සොරොව් පෝටා වැටි කෙත් ඇළමං රළපනා පැන්නුම් ආදියයි.සොරොව් වර්ග කීපයක් ඇති අතර මහ වැවේ සිට ග්‍රාමීය වැව් දක්වා ඒවායේ නිර්මිතයන් වෙනස් වේ. වෑ කන්දට පහළින් වැව පැත්තට වන්නට සොරෙව්ව සෑදීම කරත්. සෙරොව් වර්ග කීපයකි. මහ කොටුව යනුවෙන් පැරණියන් වහරට ගත්තේ මහ වැව් වල බිසෝකොටුවයි. හීරු කොටුව යනු මඩ හොරොව්වයි. වැව් පතුළ තෙක් ජලය හිඳුණු පසු ගවයන් ලවා වැව මඩ කරවා රොන් මඩ කන්දරාව වෙල් කරා ගෙන යෑමට මේ සොරොව්ව සාදා ඇත. තෙවැන්න නම් බූටිය නම් සොරොව්වයි. තුංගය නමින් භාවිතා කරන පැරණි සොරොව් වර්ගයක් තිබී ඇත. එය රහසිගතය. එය පොළව අභ්‍යන්තරයේ පවතී. වැව වාන් දමන්නට ආසන්නයේ මේ තුංගයෙන් පිටවන ජලය ආසන්නයේ තිබෙන පතහ උතුරන්නට පටන් ගනී. තුංගය මගින් පිට කරන ජල‌යේ පීඩනයෙන් වැව ආසන්නයේ තිබෙන වස්තුවක් කැරකැවීමට යන්ත්‍රයක් නිර්මාණය කර ගැනීමද පැරණියන් ගේ දස්කමකි.හොරොව්පොතාන වැවේ එවැනි යන්ත්‍රයක් ක්‍රියාකරවා තිබුණූ බවට සාක්ෂි හමුවෙයි.

වැව නැවත ගොඩ නැන්වීම –

කාලාන්තරයක් තිස්සේ පරිසර පද්ධති සමගම විනාශ වී ගිය වැව යළි ගොඩනැන්වීම පහසු කාරණයක් නොවේ.ඒ සඳහා ඉහතකී පාරම්පරික දැනුම මැනවින් යොදා ගත හැකිය.විශේෂයෙන්ම වැව් එල්ලංගා පද්ධතියක් ගොඩ නැන්වීමේදී මේ දැනුම ඉතා වැදගත්ය.මේ වන විට ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මගින් වැව් එල්ලංගාපද්ධති තෝරා ගෙන නැවත ගොඩ නැන්වීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.කාලයක් තිස්සේ අත්හැර දමන ලද වැව් සහ නාගරික ජනගහනයට යටවුණු වැව් නැවත පුනරුත්ථාපනය ඉතා සෙවීමකින් බැලීමකින් කළ යුතු දෙයකි.එසේම වනසංරක්ෂණ කලාපයන්ට යටවුණු වැව් ගණනාවක්ද ඇත.මේ විෂය කරුණු ගැන විශේෂ සාකච්ඡාවක්ද ඇත. ඉඩම් ගෙවිජන කෘෂිකර්ම සහ වන සංරක්ෂණ අංශයන්හි සහයෝගය අවශ්‍ය වන්නේ මේ විෂය කරුණු බරපතල ලෙසට සාකච්ඡාවට ගනිමින් විසඳා ගැනීමටය.2004 වර්ෂයේ දී එවැනි බරපතල සංවාදයකට යෙදීමට පසුබිමක් සකස්ව තිබුණද භූමියෙහි ක්‍රියාත්මක වීමේදී බරපතල දුර්වලතා මතුවිය.වර්තමාන වැව් සංවර්ධන කටයතු වලදී එම අතීත අත්දැකීම් සලකා බැලීමේ වුවමනාවක් නිළධාරීන්ට තිබේ නම් මේ අගනා වෑයම සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබෙනු නිසැකය.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*