කොරෝනා හැදුනට පස්සෙ මොකද වෙන්නෙ ?

කොරෝනා හැදුනට පස්සෙ මොකද වෙන්නෙ ?

.

Piyal Ariyananda 

.

ලොව පුරා මේ වන විට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 94 ඉක්මවා ගොස් මිලියන දෙකකට වැඩි සංඛ්‍යාවක් මරණයට පත් වී ඇති අතර මෙහි අවසානයක් තවමත් කිසිවෙකුටත් පුරෝකථනය කිරීමට නොහැකි වී ඇත. ඒ වෛරසයේ පවතින අධික වෙනස් වනසුළු ස්වභාවය නිසායි. එය විවිධ වෙනස්කම් වලට භාජනය වී වෙනස් වෙනස් ප්‍රභේද වලට පරිවර්තනය වන අතර ඒවායේ හැසිරීම් සහ ආචරණ තවමත් හරිහැටි හඳුනාගෙන නොමැත.

කොරෝනා වෛරසය යනු ආගන්තුක වෛරස ප්‍රභේදයක් නොවේ. එය සාමාන්‍ය හෙම්බිරිස්සාව ආදී ශ්වසන පද්ධතියේ ඉහළ කොටසේ ආසාදන ඇති කිරීමට සමත් වෛරස ප්‍රභේදයක් පමණි. නමුත් SARS-COV-2 යන නාමය ලබා දුන් මේ නව ප්‍රභේදය වෙනත් වෛරස වලට වඩා භයානක වීම මේ රෝගයේ සුවිශේෂී ලක්ෂණයයි. සාමාන්‍ය වෛරස හෙම්බිරිස්සාවක් ස්වභාවික ශරීර ප්‍රතිශක්තියෙන් සුව වනවා සේම මේ වෛරසයද නිසි සහ හොඳ ප්‍රතිශක්තියක් ඇත්නම් ඉබේම සුව වීමට හැකි නමුත්, ඉන් ඉදිරියට ඇතිවන වෙනත් ආබාධ නිසා රෝගියා අනතුරට පත් වීමේ සම්භාවිතාවය ඉහළ වීම මේ වෛරසයේ භයානක බව වැඩි කරවයි. එසේම වෙනත් රෝගාබාධ වලින් පෙළෙන රෝගීන්ට මෙය දැඩි ලෙස බලපාන නිසා මිය යාමේ සම්භාවිතාවය ඉහළ යාම මෙහි විශේෂිත කරුණයි.

කොරෝනා වෛරසය වැළඳුන පසු එය බලපාන්නේ ශ්වසන පද්ධතියට පමණක් යැයි මුලින් සිතා සිටියද, තත්ත්‍වය එසේ නොවන බව ඉතා කෙටි කලකින්ම විද්‍යාඥයින්ට අවබෝධ වුනි. එය හෘදයට, වකුගඩු සහ මොළයට ප්‍රධාන වශයෙන්ම බලපාන අතර අනෙකුත් අවයව වලටද ආචරණ ඇති කරන බව සොයා ගැනීමට ලැබුණි.

කොරෝනා වෛරසය වැළඳුන සමහර මිනිසුන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් එය උණ, ඇඟපත වේදනාව, වියලි කැස්ස, තෙහෙට්ටුව, සීතල දැනීම, හිසරදය, උගුරේ වේදනාව, ආහාර අරුචිය, ගඳ සුවඳ දැනීම අඩුවීම, පොදු ලක්ෂණ වේ. සමහර රෝගීන්ට මේ පොදු ලක්ෂණ වලට වඩා දැඩිව අධික උණ, දැඩි කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකි අතර බොහෝ විට නියුමෝනියා තත්ත්‍වයන් දක්වා වර්ධනය විය හැකිය. මීට අමතරව ස්නායු සම්බන්ධ ආබාධ, ආහාර මාර්ගයේ විවිධ සංකූලතා සහ මේ දෙකම සමහරුන්ගෙන් දකින්නට ලැබේ. මේවා ශ්වසන ආබාධ සහිතව හෝ රහිතව පෙන්නුම් කළ හැකිය. උදාහරණ ලෙස සමහරුන්ගේ මොළයට බලපෑම් සිදු වන විට රස දැනීම සහ ගඳ සුවඳ දැනීම නොමැති වී යාමට පුළුවන. එසේම මාංශපේෂි දුර්වල වීම, දෑත් සහ දෙපා හිරිවැටීම, කැරකැවිල්ල, සිහි මඳ ගතිය, මනස ව්‍යාකූල වීම, හදිසි හෘදයාබාධ සහ ආඝාතය වැනි තත්ත්‍ව කරා පවා යා හැකිය. එසේම සමහරුන්ට මානසිකව විශාදය වැනි තත්ත්‍වයන් පවා ඇති වී තිබෙන බව වාර්තා වී ඇත.

සමහරුන්ට ආහාර මාර්ගයේ විවිධ සංකූලතා පැමිණිය හැකිය. උදාහරණ ලෙස ආහාර අරුචිය, වමනය, පාචනය, බඩේ රුදාව, කොරෝනා සමග පැමිණිය හැකි වෙනත් රෝග ලක්ෂණ වේ. කොරෝනා ආසාදනයට පෙර නීරෝගීව සිටි සමහරුන්ට කොරෝනා ආසානදය වීමෙන් පසු හෘදය සහ වකුගඩු දරුණු ලෙස ආබාධයට ලක් වීම දක්නට ලැබිය හැකි විය. නමුත් ඒ ආබාධයන් තාවකාලිකද එසේත් නැතිනම් සදාකාලිකද යන්න තීරණයට තවමත් කල් මදි බව විද්‍යාඥයින් සඳහන් කරති.

එසේම සමහර පුද්ගලයින්ට මේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූවත්, කොරෝනා ආසාදනයෙන් පසු පූර්ණව නැවතත් සුවය ලබා නැති බව ද ඔවුහු පවසයි. ඔවුනට ද තෙහෙට්ටුව, ඇඟපත රුදාව, හුස්ම ගැනීමේ අපහසුතා, යමකට සිත එකඟ කරගැනීම, මහන්සි වී යමක් කිරීමේ අපහසුතාවය, හිසරුදාව, නිදා ගැනීමේ අපහසුව ආදී රෝග ලක්ෂණ ඇත. බොහෝ සුව වූ රෝගීන්ට මේ ලක්ෂණ මාස තුනක් වැනි කාලයක් පුරාවට දක්නට ලැබීම ද සාමාන්‍ය කරුණකි. ඔවුනට නැවතත් සිය සාමාන්‍ය පැරණි ජීවිතයට යාමට නොහැකිව සිටීම නිසා ඔවුන් දීර්ඝකාලීන කෝවිඩ් රෝගීන් ලෙස නම් කිරීම ද සිදු වී ඇත.

සාරාංශයක් වශයෙන් ගත් කළ කොරෝනා ආසාදනය නිසා මිය යන්නේ සුළු ප්‍රමාණයක් වුවත්, සුව වීමෙන් පසු ජීවත්වන අයගේ සෞඛ්‍ය තත්ත්‍වය කුමක්දැයි තවමත් හරි හැටි කීමට ප්‍රමාණවත් දත්ත විද්‍යාඥයින් සතුව නොමැත, එසේ නමුත් සුව වන්නන් සියයට සියයක් පැරණි සෞඛ්‍ය තත්ත්‍වයට පැමිණීම ප්‍රමාද වන බවත්, ලොව පුරා දස දහස් ගණනක්, එසේත් නැතිනම් මිලියන ගණනක් රෝගී වූවන්, කිසිදා සියයට සියයක් නැවත ප්‍රකෘති තත්ත්‍වයට නොඒමට ඉඩ ඇති බවටත්, පුරෝකථනය වී ඇත.

මේ නිසා, කළ හැකි එකම සහ හොදම දේ රෝගය වැළඳීමෙන් ආරක්ෂා වීමයි. එය පැණියකින් සදාකාලිකව කළ නොහැකි අතර ඒ බව ඔප්පු වී ඇත.. ඒ සඳහා සුදුසු දීර්ඝකාලීන ප්‍රතිකාරයක් වන එන්නත් ලබා ගැනීම හෝ සිය ස්වභාවික ප්‍රතිශක්තිය වැඩි කරන ආයුර්වේදයේ භාවිතා වන කොත්තමල්ලි ඉඟුරු වෙනිවැල් මිශ්‍රණයකින් හෝ විටමින් ඩී සහ සී ක්‍රමාණුකූලව ලබා ගැනීමෙන් හෝ කළ හැකිය. එන්නත් ලබා ගැනීම වෛද්‍ය විද්‍යාත්මකව සාර්ථක සහ පිළිගත් ක්‍රමය වඩාත් උචිත වන අතර කවදා හෝ එන්නත අපට ලැබෙන තාක් කල්, සමාජ දුරස්ථභාවය, සබන් යොදා දෑත් සේදීම (සබන් නොමැති අවස්ථාවල පමණක් මද්‍යසාර සහිත විශබීජ නාශන දියර යොදා අත් සේදීම), මුව ආවරණ පැළඳීම සහ නිසි නිරෝධායන ක්‍රම මගින් රෝගය වැළඳීම වලක්වා ගැනීම හොඳම සහ සුදුසුම කටයුත්ත වේ.

මේ රෝග ලක්ෂණ පිළබඳ වෙන් වෙන්ව විස්තර ඇතත්, එය ලිපිය දිග වැඩි වන නිසා, සහ මේ පිළිබඳ මට වඩා දන්නා වෛද්‍යවරයෙකුට මටත් වඩා හොඳින් ලිවිය හැකි නිසා මෙම ලිපිය කෙටි කළ අතර, මා මිතුරු ලයිස්තුවේ සිටින වෛද්‍යවරයෙකුට එවැනි ලිපියක් ලියා පළ කරන මෙන් ආරාධනා කරනවා.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*