”අනේ මේ ධර්මපාලතුමාගේ ප්‍රතිමාව ඔයාට කොහෙන්ද?”

”අනේ මේ ධර්මපාලතුමාගේ ප්‍රතිමාව ඔයාට කොහෙන්ද?”

.

My photo

Marcus Priyantha Perera

.

දැන් ටික කාලේකට පෙර අපේ ගෙදර ආව අපේ යාළුවෙක්ගේ බිරිදක් ඔය තියෙන Bust sculpture එක දැකලා පුදුමයෙන් වගේ ඇහැව්වා ”අනේ මේ අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රතිමාවක් නේ…ඔයා කොහෙන්ද මේක ගත්තේ…” කියලා. 


ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් මම එක පාරටම ඇහැව්වේ ඔයා ඉස්කොලේ ගියේ කොලඹ ආනන්ද බාලිකාවටද කියලායි. ඒක තරමක් අමුතු/බලාපොරොත්තු නොවන (odd) ප්‍රශ්නයක් වුනත් මම එහෙම ඇහැව්වේ අනගාරික ධර්මපාලතුමගේ කෞතුකාගාරය තියෙන්නේ කොලඹ ආනන්ද බාලිකා විදුහල් භුමියේයි. එහි ඉහත වර්ගයේ ධර්මපාලතුමාගේ Bust sculpture කිහිපයක්ම තියෙනවා. එවා දැකලා පුරුද්දට ඇය එහෙම ඇහැව්වද කියලා මම හිතපු නිසයි මම එහෙම ඇහැව්වේ. නෑ ඇය එම පාසලට ගිය ශිෂ්‍යයාවක් නෙමේයි. 

මම මේ ධර්මපාලතුමා ගැන කතා කරන්න හිතුවේ පසුගිය සුමානේ එතුමාගේ ජන්ම සංවත්සරයක් යෙදී තිබුන නිසාත්, සමහර ලාංකිකයන්ගේ facebook පිටුවල වගේම ලංකාවේ පත්තරවලත් පසුගිය සතිය පුරාම ධර්මපාලතුමා ගැන පුළුල් සාකච්ඡාවක් ඇතිවි තිබුන නිසයි. 

ලංකාවේ කිතුනු අපිට කෙසේවෙතත් සිංහල බෞද්ධ සමාජයට නම් අනගාරික ධර්මපාලතුමා කියන්නේ සුවිශේෂ චරිතයක්. 

මක්නිසාදයත් අනගාරික ධර්මපාලතුමා තමයි ලංකාවේ යටත් විජිත යුගයේ සිට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් තිබු ලාංකික සමාජය තුල සිංහල බෞද්ධ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට ක්‍රියාකල තැනත්තාවුනේ. 

ඇතම් විද්වතුන්ට අනුව නූතන සිංහල බෞද්ධ අනන්‍යතාවය ගොඩනැගුවේ අනගාරික ධර්මපාලතුමාගේ මගපෙන්වීම තුලනුයි. ඔහු එහිලා දෙයාකාරයක ක්‍රියාමාර්ග අනුගමනය කලා. 
එකක් තමයි බටහිර සංස්කෘතිය, ක්‍රිස්තියානි ආගම, බටහිර සභ්‍යත්වය, බටහිර ශිෂ්ටාචාරය සහ බටහිර වටිනාකම් ප්‍රතික්ෂේප කරමින් පැරණි ලංකාවේ පැවති ශිෂ්ටාචාරය ප්‍රවර්ධනය කිරීම. 
අනෙක තමයි එසේ බටහිර සහ දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදී අනෙකුත් අනන්‍යතා ප්‍රතික්ෂේප කරන ගමන්ම ඒ ඒ අනන්‍යතාවල විවිධ අංග උපාංග, සංස්කෘතික, අංග එකතුකර ගනිමින් නුතන කාලයට ගැලපෙන ලෙස ලංකාවේ පැරණි ශිෂ්ටාචාරය පදනම් කරගත් නූතන සිංහල බෞද්ධ අනන්‍යතාවයක් ගොඩනැගිමට ක්‍රියාකිරීම. උදාහරණයක් ලෙස ක්රිස්තියනින්ගේ නත්තල වගේ වෙසක් උත්සව සැමරීමට කැරොල් වගේ භක්ති ගීත, නත්තල් කාඩ් වගේ වෙසක් කාඩ් මුද්‍රණය කිරීම..මෙකී නොකී දාහක් දේවල් දැක්විය හැකියි.

මේක හරියට දවල් මිගෙල් රැ දැනියෙල් වගේ වැඩක්. ඒත් අපි අහලා තියෙනවා නේ ”පෙදරේරුවා ඉවතදැමු ගලම එහි මුල්ගල විය” කියලා කථාවක්(The stone the builders rejected has become the capstone – Psalm 118:22). එහෙ උනෙත් එකම තමයි ප්‍රතික්ෂේප කරපු එකම අරන් එහෙමෙහෙ කරලා එකක් හදාගත්තා. ධර්මපාලතුමාගෙන් පස්සේත් ඔහුගේ ඒ වැඩ පිලිවෙල ලංකාවේ විවිධ අය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දිගටම ක්‍රියාත්මක කලා .

එහිදි යම් ආකාරයකට ලංකාවේ පැරණි ශිෂ්ටාචාරය පදනම් කරගත් නූතන සිංහල බෞද්ධ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට ලංකාවේ සිංහල බෞද්ධ ජනයාට හැකිවුනත් ශ්‍රී ලංකාවට රටක් වශයෙන් බොහෝදේ අහිමිවී ගොස් තිබෙනවා. අහිමිවූ විශාලමදේ තමයි සිංහල බෞද්ධ (සහ පසුකාලීනව ඊට ප්‍රතිපක්ෂව ගොඩ නැගුන ලංකා දෙමළ) ආදී වාර්ගික ජාතිකත්වයන් (ethnonationalism/Ethnic nationalism)ගොඩනගා ගැනීමට සමත්වුවත්: ශ්‍රී ලාංකික නම් සමස්ත දේශයම නියෝජනය කල හැකි පුළුල් සිවිල් ජාතිකත්වයක් (Civic nationalism) ගොඩනගා ගැනීමට නොහැකිවීම. එක තමයි නිදහසෙන් පස්සේ අපිට අහිමිවූ, තවමත් කීයටවත් අත්කරගැනීමටවත් පුළුවන් කියලා හිතන්නවත් බැරි විශාලතම නොලැබීම. 

ඊට අමතරව අහිමිවූ බොහෝ දේවල් තිබෙනවා. ශ්‍රී ලංකාවටම කියලා සම්භව්‍ය සංගීතයක්වත් නොතිබීමත් ඉන් එකක්. අද අපි ලග ඇති ශාස්ත්‍රීය සංගීතය කියන්නේ ඉන්දියානු දෙයක්…බටහිර සම්භාව්‍ය සංගීතය ලංකාවට තවමත් ආගන්තුකයි. මහජනයාට කිසිසේත්ම රසවිදීමට හෝ ඉගැනීමට ඉඩක් නැති, අවකාශයක් නැති ක්ෂේත්‍රයක්. එනිසා තමයි අපේ මිතුරාගේ බිරිදට අර අපේ ගෙදර තියෙන Mozartගේ Bust sculpture එක නුහුරුවෙන්නේ, අදුන ගන්න බැරිවෙන්නේ…නුහුරුවෙන්නේ…අනගාරික ධර්මපාල වගේ පෙන්නේ…

මම හිතන්නේ ලංකාවේ තරමක් හරි බටහිර සම්භාව්‍ය සංගීතය ගැන පරිචයක් සහ නැබුරුවක් ඇති පිරිසක් ඉතුරුවෙලා තියෙන්නේ ABRSM හරි Trinity College හරි music exam කරන පිරිස නිසා නෙමේ; කතෝලික/ක්‍රිස්තියානි පල්ලි නිසයි. ඒවායේ කැරොල්/පසන්/කන්තාරු/choirවලින් ආපු පිරිසක් වගේම, ඔවුන්ගෙන්, ඒවායින්, ආශ්වාදය ලද පිරිස් නිසා අදටත් ලංකාවේ බටහිර සංගීතය කියලා යමක් ඉතුරුවෙලා තියෙනවා. ඒත් එකත් බටහිරම නෙමේ. ධර්මපාලගේ පාරේ ගිහින් ලංකාවේ පැරණි ශිෂ්ටාචාරය පදනම් කරගත් නූතන සිංහල බෞද්ධ අනන්‍යතාවය අනුව ගොඩනැගුන එකකුත් නෙමේ. ලංකාවේ ක්‍රිස්තියානි ජනයාගේ අනන්‍යතාවය කියන්නේ බටහිරමත් නොවන සිංහලමත් නොවන වෙනම එකක්. එකට හේතුව ‘මුල’ බටහිර ‘කද’ දේශීය වීමයි. මල්, පලතුරු, කොළ ගැන ඉතින් අමුතුවෙන්ම හිතාගන්න ඕනේ…හැබැයි ඒ අයට ධර්මපාලවත් අදුන ගන්න පුළුවන් Mozartවත් අදුන ගන්න පුළුවන්… 

කාට හරි ඕනේ නම් එක ගැන කියන්න පුළුවන් ‘මට නම් ඒ ගැන ඇත්තේ සතුටක් වගේම ආඩම්බරයක්’ කියලා. නමුත් එකත් වැරදියි… මොකද එකට කියන්නේ ස්වොත්මවාදය (chauvinism) කියලයි. ඒ කියන්නේ තමන්ගේ දේ උසස් කියලා හිතීමවගේ දෙයක්. කිසිම අනන්‍යතාවයක්වත්, සංස්කෘතියක්වත් අනිකට වඩා උසස්වත් පහත්වත් නෑ. අරකට වඩා මේක ඉස්මතුකර දැක්වීමවත් මේකට වඩා අරක ඉස්මතුකර දැක්වීමවත් තේරුමක් නැති දේවල්. ඒවා සියල්ලම මිනිස් වර්ගයාගේ නිර්මාණ. එකක් අනෙකෙන් පෝෂණය වෙනවා. එකක්වත් ප්‍රතික්ෂේප කරන්නවත් ඉවත දමන්නවත් අවශ්‍ය නැහැ. කොහෙත්ම අපිට ධර්මපාලගේ මාර්ගයේ යන්න ඕනේ නැහැ… අපිට අවශ්‍ය සාර්වභෞමික, විශ්වදේශි (cosmopolitan) මනුෂ්‍ය ප්‍රජාවක් වීමටයි. 

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*