හමුදා පුහුණුවෙන් පසු අපේ අම්මා

හමුදා පුහුණුවෙන් පසු අපේ අම්මා

.

Dhanushka Kanchana Jayaweera

.

රටේ සෑම පුද්ගලයකුටම බලෙන් ලබා දුන් හමුදා පුහුනුවට ගිය අපේ අම්මා පුහුනුව නිමා කොට නිවසට ආ දා ඉඳං හරි අමුතුය.. වෙනදා උදේට පන්සිල් ගෙන මල් කඩා බුදුන් වැඳ දන්නා අටෝරාසියක් ගාතා කියන ඇය දැන් උදේ නැගිට බොටම් එකක් සහ ටී ශර්ට් එකක් ඇඳගෙන අල්ලපු ගෙදර පොඩි එකාගෙන් ඉල්ලාගත් සුදු කැන්වස් දෙකත් කකුලේ දමාගෙන පාර දිගේ ලෙෆ්ට්‍ රයිට් කියමින් ව්‍යායාම කරමින් දුවයි..

වෙනදා ඇගේ කාමරයේ බිත්තියේ ගසා තිබුන බුද්ධගයාවේ සහ රත්නමාලි යන්ත්‍රයෙ පින්තූර දෙක ගලවා ඉවත් කොට දැන් ඒ වෙනුවට අඟුරු කෑල්ලකින් තඩි අකුරෙන් මවු බිම නැතිනම් මරනය සහ සූදානම් නොවී නොසිටිනු යන වැකි දෙක ලියා ඇත..

දැන් අම්මා මට කතා කරන්නෙ වෙනදා මෙන් නොවේ වෙනදාට පුතේ කියා අමතන අම්මා දැන් මට අමතන්නේ ජයවීර ජේ ඒ ඩී කේ .කියාය.. මම අම්මාට කතා කල යුත්තේ චීෆ් කියාය.. වෙනදා පුරුද්දට ටිකක් දවල් වී නැගිටීම දැන් මට සපුරා තහනම්ය.. මම පරක්කු වී නැගිට කුස්සියට ගිය ගමන් අම්මා .. ජයවීර ජේ ඒ ඩී කේ අද පැය බාගයක් පරක්කුයි… ෆනිශ්මන්ට් ගේ වටේ රවුම් තුනක් හාවො පැනපං.. ඒ තුන පැනගෙන එන මට උදේ කෑම ගැනීමට දෙන්නේ විනාඩි දහයකි.. ඊට වඩා වෙලාව කිසිසේත්ම නොදෙයි.. අම්මා දවල්ටද සිටින්නේද කැමා ටී ශර්ට් එකක් ඇඳගෙනය.. අද උදේ අම්ම මිදුල අතුගගා සිටින විට පාරේ යන වාහනයක් නවත්තා වරකාපොලට යන පාර ඇසූවිට උත්තර දුන්නේද හමුදාවේ ලෙසටය..

මෙතනින් කිලෝමීටර අටක් කෙලින් බලාආආආආආ.. ගමනේඒඒඒඒ.. යා…. අලවුවා පාලමෙන් වම බලා වමට…… හැරී කිලෝ මීටර හයක් ගමනේඒඒඒඒඒ යා… නැවත ඇඹේපුස්සෙන් දකුන බලා ගමනේඒඒඒඒ යා…

මේ මග විස්තරය ඇසූ එම පිරිස ඉතා සතුටින් නික්ම ගියේ අම්මාට ඉක්මනින් සනීප වේවා කියා ආශිර්වාද කරමිනි..

දැන් මට නාගෙන තුවාය පිටින් නාන කාමරයෙන් එලියට ඒම සපුරා තහනම්ය.. සියලු ඇඳුම් නාන කාමරය තුලදීම ඇඳගෙන එලියට පැමිනිය යුතුය.. එක් වරක් මම ඉස්සර පුරුද්දට තුවාය ඇඳගෙන කුස්සිය මැදින් එන්නට ඒම නිසා මට ලැබුන දඬුවම වූයේ තුවාය ඔලුවේ බැඳගෙන ගේ වටේ රවුම් පනහක් දිවීමය..

ඉස්සර මට අම්මා බනින්නේ කඩනව තොගෙ කකුල් දෙක කියාය. දැන් ඒ වගේ සාමාන්‍ය බැනුම් නැත මම වරදක් කලොත් අම්මා කියන්නේ
ගහනව තොට මම අත් බෝම්බයක් දැනගනිං..
වෙඩි තියනව තොට මම ..
බට්ටෙක් පාගවනව දැනගනිං..
කියාය…

වෙනදාට එහා පැත්තේ ගෙදර නැන්දා සමග වැටට මරාගන්නා අම්මා බනින්නේ අනේ පලයං කුසුමො තොපේ වැට කොහෙද යකෝ මෙතන තිබුනේ අනේ තොපිට හෙන හත ගහන්ඩ ඕනෙ කියාය.. හමුදා පුහුනුවෙන් පසු අම්මා නැන්දා එක්ක රන්ඩු වෙන්නේ
අනේ පලයං කුසුමාවතී ඩී පී ආර් එම්.. වැට තියන තැන තෝ මට කියන්ඩ එපා ඒවා මේ ලෑන්ඩ් එකේ මැප් එකේ තියනවා.. අනේ තොපිට මල්ටි බැරල් එකක් හරි ආටි එකක් හරි වත් වැදිලා ඩෙත් වෙන්නෙ නෑනේ .. අම්මප මට හිතෙනව ටී පනස් හයක් ගෙනත් මැගසින් එකක් ඉවර වෙනකන් තියලා දාන්න..

ඉස්සර මිදුලේ එලවලු පැල වලට සාත්තු කිරීම අම්ම හැඳින්නුවේ පැල සාත්තුව කියාය.. දැන් ඒක අම්මා හඳුන්වන්නේ ෆ්‍රන්ට් ෆීල්ඩ් ඔපරේශන් එක කියාය.. අම්මා දැන් පාරේ යන්නේ අඩි එකහමාරක පමන වැටහිර පොල්ලක් අතින් ගෙනය.. එහි කෙරවලවල් දෙකට ඊයම් කොල ඔතා දිලිහෙන්නට සකසා ඇත.. වෙනදාට හවසට අම්මා කොන්දේ අමාරුවට බොන කසාය ටික බීවේ කුස්සියේ බංකුවේ ඉඳගෙන වුවද දැන් කසාය බොන්නේ හමුදාවේ බාර් එකේ වගේ උස ස්ටූල් එකක නැගගෙන වයින් වීදුරුවකට දාගෙන බයිට් එකක්ද සමගය.. අම්මාට වෙනදාට තිබුනේ ගෙදර දොරේ වැඩ වුවද දැන් ඇත්තේ මිශන් ය..

අතුගෑමේ මිශන් එක..
මල් කැඩීමේ මිශන් එක..
බුදුන් වැඳීමේ මිශන් එක ..
ඉවීමේ මිශන් එක..
ආදී මිශන් ගොඩක් අම්මා සතුය..

වෙනදා පෝයට අම්මා පන්සල් යන්නෙ සිල් සමාදන් වීමටය.. මේ පෝයට සිල් ගැනීමට කැමා රෙද්දෙන් මැසූ උතුරු සලුවත් දමාගෙන පාර දිගේ යන අම්මා දුටු නැන්දා කෙනෙක් අසා ඇත්තේ අනේ රත්නාවලියෙ කොහෙද මේ යන්නෙ කියාය.. අම්මාගේ පිලිතුර වූයේ

සිරියලතා ඩී එම් එන් ..හිරු නැගෙන වේලේත් හිරු බැසයන වේලේත් පලමුවත් දෙවනුවත් තෙවනුවත් කෙලෙස් සතුරන් නසා මාගේ මවුබිම තුල බුදු දහම පැතිර්වීමේ මානුශීය මෙහෙයුමට යමි කියාය.. සිල් ගන්නට ගොස් පන්සලේදීත් සිදුවී ඇත්තේ ඊට හපන් වැඩකි..

වෙනදා සිල් වැඩසටහන අම්මා විසින් හොඳට කරන නිසා අම්මා පන්සලට එනවා දුටු ලොකු හාමුදුරුවන් විසින් කියා ඇත්තේ ආ රත්නවලී උපාසක අම්මත් එනව එහෙනං උපාසක අම්මේ මම යනව දානෙකට මම දවල් එනකං මේ සිල් වැඩසටහ කරන්ඩකෝ කියාය.. හාමුදුරුවන් ගිය ගමන් අම්මා එතන ඉන්න පිරිස අමතා උපාසක පිරිස….. සීරුවේන් සිටින් … කීමත් සමග අනේ අර අහිංසක මිනිස්සු ටික හිටගෙන ඇති අතර ඉන්පසු අම්මා උපාසක පිරිස පහසුවේඒඒඒන් සිටින් කී විට උපාසක පිරිස සමහරු බිම ඉඳගත් අතර සමහරු බිම හාන්සි වී ඇත . පහසුවෙන් සිටින් කී විට උන්දැලා හිතා ඇත්තෙ ලේසි විදිහට ඉන්ඩ කියනවා කියාය.. මේ පිලිබඳ කෝපයට පත් අම්මා විසින් උන්දැලාට බනමඩුව වටේ රවුම් දෙකක් හාවො පනින්ඩ කියා ඇත.. එය කර පැමිනි පිරිස අමතා අම්මා පන්සිල් දීම අරඹා ඇත..

නමස්කාරයෝඕඕඕඕඕව්… කියන්….
කීමත් සමග කට්ටිය නමස්කාරය කීම අරඹා ඇති අතර කීප දෙනෙක් එය වැරැද්දීම නිසා අම්මා..

වැරදියි වැරදියි .. පෙරසේ පෙරසේ.. කියා නැවත පන්සිල් දී ඇත
හේතුහාමි උපාසක මහතා අවසන් සිල් පදය වන සුරාමේරය පදය නොකීම නිසා අම්මා විසින් හේතුහාමි මාමාට මිදුලට ගොස් ඔලුව බිම තියා බඩ පිනුම් තුන්සීයක් ගහන්නට කියා ඇත ..එහෙත් බඩ පිනුම් ගැසිය යුත්තේ බනමඩුව වටේට කියා කියන්නට අම්මාට අමතක වී ඇත .. එම නිසා හේතු හාමි මාමා බඩපිනුම් තුන්සීය පාර දිගේ ගහගෙන ගහගෙන ගෙදර ගොස් ඇත..

සිල් මිශන් එක අතරතුර විවිධ ආකාරයේ වැරදි සිදු වීම නිසා අම්මා විසින් උපාසක පිරිසට
ඩිප්ස් ගැසීම් .
මඩ ගොඩේ බඩගෑම්..
බෝ මලුව වටේ අවුවේ දනගසා සිටුවා තැබීම..
ආදී ෆනිශ්මන්ට් දීම නිසා හවස සිල් මුදවා බොහොමයක් උපාසක අම්මලා සහ උපාසක මහත්තුරු ගෙදර ගොස් ඇත්තේ දරුවන්ට එන්න කියා ඔවුන්ගේ වාරුවෙනි..

වෙනදා රෑ දහයට කාමරයට වැදී තුන් සූත්තරය කියා නිදියන අම්මා දැන් රෑ දහය වන විට කාමරේට ගොස් දොර වසාගන්නා අතර කිසිදු සද්දයක් කාමරයෙන් එන්නේ නැති නිසා කාමරය තුල අම්මා කරන්නෙ මොනවාදැයි බැලීමට සිතූ මම අම්මා කාමරයට ගොස් දොර වසාගත් පසු සිවිලිමට ගොඩ වූයේ අම්මා කරන්නේ මොනවාදැයි බැලීමටය.. සීලිමේ හිලකින් අම්මාගේ කාමරයට එබී බැලූ මට පෙනුනේ ලොමු දැහැගන්වන දසුනකි..

අම්මාගේ ඇඳ මත ලොකු සිතියමක් එලා ඇත .. එය දඹදිව සිතියමකි.. පොඩියට කපාගත් කොසු මිටි කෑලි එම සිතියමේ තැන් තැන් වල තියා ඇත.. අම්මා තනියම කතා කරමින් කොසුමිටි කෑලි සිතියමේ තැන් තැන් වලට මාරු කරයි… ඒ ගමන් උපදෙස් දෙනවාක් මෙන් සිතියම පෙන්වමින් අණ දෙයි…

“මේ මැප් එකේ අපි ඇරේන්ජ් කරලා තියන විදිහට අපේ ටාගට් එක වෙන්න ඕනෙ බුදු රජානන් වහන්සෙට අබ මල්‍ රේනුවක තරම් වත් හානියක් නොවී ඔපරේශන් එක වින් කරන එක…”

“මේ මිශන් එක අනුව දේවදත්ත ත්‍රස්තවාදියා මෙන්න මෙතනින් එනවා මිනිහගෙ ටාගට් එක බුදුන් වහන්සෙගෙ හිසට ගල් පෙරලීම.. එතකොට මෙතනින් රා බීපු නාලගිරි කියන එලිපන්ට්ව එවනව කිං අජාසත්ත කියන ත්‍රස්තවාදියා විසින්.. මිනිහා රජෙක් තමා බට් මිනිහ අපි හිතන තරම් ලේසි එකෙක් නෙවෙයි මොකද මිනිහා තමන්ගෙ තාත්තව මරපු දරුනුම දරුනු ත්‍රස්තවාදියෙක්… ඒ වෙලාවට හැමෝගෙම අවදානය තියෙන්නෙ ඒ සිද්දියට .. මෙන්න මේ තැන් වල අට්ටාල බැඳගෙන මිනිස්සු ඉන්නව ඒක බලන්න ඇවිත්.. අපි හරියටම ඒ වෙලාවට මෙන්න මෙතනින් චිංචි මානවිකාවට හොඳට මේකප් එකක් දාලා එයාව බැස්සුව නං එයාව දැක්කම දෙවුදත් එයාට ආසා වෙනව.. මතක ඇතුව චිංචි මානවිකාව එතෙන්ට යවන වාහනේ යු හ කියන නම්බර් එක ගලවලා යවන්න ඕනෙ.. නැත්නම් සැක හිතනවා.. චිංචි දෙවුදත්ව සෙට් කරගන්නකොටම එතනින් අපි එවනවා අනේපිඩු සිටු තුමාගෙ අශ්ව රතය.. ඒකෙ ගහලා තියන අ නේ කියන අකුරු දෙක ගලවලා ටැක්සියක් විදිහට පෙන්නන්න ඕනෙ…ඒකෙ ඩ්‍රයිව විදිහට අපිට හිතවත් කෙනෙක් දාන්න ඕනෙ… එතකොට දෙවුදත් චිංචි එක්ක නගිනව ඒකට කොහෙ හරි යන්න….ඊට පස්සෙ උන් දෙන්නව මෙන්න මේ පාර දිගේ ගිනිහින් මෙන්න මේ නලපාන විලට දානවා දිය රකුසට බිලි වෙන්න.. මතක ඇතිව අපේ කොල්ලො දෙන්නෙක් විල ගාව තියන්න ඕනෙ ඩ්‍රයිවර්ව විලෙන් ගොඩට ගන්න.. ඊට පස්සෙ මේ දුර පාරෙන් නාලාගිරි පයින් එනකොට උගෙ වෙරි හිඳෙනවා.. එතකොට ඌත් ආපහු කැලේට යනවා.. බුදුරජාණන් වහන්සෙවත් ආරක්ශා වෙනවා…

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*