71 කැරැල්ල සහ මීගමුව

71 කැරැල්ල සහ මීගමුව

.

My photo

Marcus Priyantha Perera

.

‘සිරිමාවෝ ’71 කැරැල්ල මර්දනය කළ හැටි’ යනුවෙන් දැක්වෙන වීඩියෝවක් මේ දිනවල facebook පිටුවල සංසරණය වෙමින් පවතී. ප්‍රංශ පුවත්සේවය (The Associated Pres) නිෂ්පාදන කල මෙම වීඩියෝ පටිය නම් කර ඇත්තේ CEYLON: BANDARANAIKE v THE REBELS ලෙසය. 71 කැරැල්ල ගැන මෙන්ම එකවට පැවති බණ්ඩාරනායක රජය යටතේ ශ්‍රී ලංකාව මුහුණපා සිටි ආර්ථික අර්බුධයත් රටේ පැවති තත්වයත් ඉන් නිරූපණයවේ.

විනාඩි 15කුත් තත්පර 50ක් පුරා දිගහැරෙන මෙම වීඩියෝ පටියේ 10 විනාඩියේ 40වෙනි තත්පරයේ සිට 11 වන විනාඩියේ 14වෙනි තත්පරය දක්වාවූ කොටසේ පෙන්වනුයේ මීගමුව කොටුව බන්දනාගාරයේ සිට මහේස්ත්‍රාත් අධිකරණය දක්වා රැගෙන යන 1971 කැරැල්ල නිසා අත්අඩංගුවට පත් රැදිවියන් පිරිසක් ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් පෙළපාලි යන ආකාරය. පසුබිමේ මීගමුව කොටුවත්, කන්ද උඩ පිහිටි මහාධිකරණ ගොඩනැගිල්ලත් හොදින් පෙනෙන්නට තිබේ. ඉහතින් දැක්වෙන්නේ එහි ජයාරූප කිහිපයකි.

මම 1971 කැරැල්ල ගැන විවිධ ලේඛන කියවා තිබෙන නමුත් එහෙත් 71 කැරැල්ල සහ මීගමුව අතර තිබු සම්බන්දතා, එය මීගමුවට බලපෑ ආකාරය ගැන එතරම් ඇස ගැටී නැත. ඉහත වීඩියෝවේ දැක්වෙන ආකාරයකට එම පෙළපාලියේ යන කැරලිකරුවන් ගණන 63 දෙනෙකි…ඒ අනුව පෙනී යනුවේ 1971 කැරැල්ල නිසා අත්අඩංගුවට පත් රැදිවියන් පිරිසක් මීගමුව බන්දනාගාරයේද රදවා සිටි බවය. එහෙත්, ඒ කවුද? ඒ අයට සිදුවුයේ කුමක්ද? ඔවුන් මීගමුව අවට පෙදෙස්වලින් අත්අඩංගුවට පත්වුවන්ද? මීගමුව දළුපොත තරුණ වරදකරුවන්ගේ පුනරුත්ථාපන කදවුරැ ඉදිකරන්නේ ඔවුන් සදහාද? ආදීය ගැන තොරතුරු හමුවී නැත.

මම දන්නා ආකාරයට 1971 කැරැල්ල සමයේදී මීගමුව අවට දිවුලපිටිය, කටාන, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල කැරැල්ල හා යම් යම් දේ සිදුවී තිබුනත් මීගමුව නාගරික සීමාව තුල කිසිදු සිද්ධියක් වාර්තාවී නැත. එහෙත් මීගමුව නගර සීමාව තුල තරුණයින්ව අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව පෙරියමුල්ලේ එවකට පිහිටි ලංකා පිගන් සංස්ථාවට පැමිණි පොලිස් නිලධාරීන් ලැයිස්තුවක් පෙන්වා තරුණයින්ව අත්අඩංගුවට ගෙන තිබේ. එසේ අත්අඩංගුවට ගත් පිරිස් අතර කිසිසේත්ම ජනතා විමුක්ති පෙරමුණට හෝ කැරැල්ලට සම්බන්ද නොවූ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිතිය වූ ජාතික සේවක සංගමයේ කටයුතු කල පෙරියමුල්ලේ පදිංචිව සිටි කුවින්ටස් කොලබගේ, ලෙස්ලි ප්‍රනාන්දු, බෙන්ජමින් ජයකොඩි යන අය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පන්තියකට සහභාගිවුවෙකු වූ මීගමුව තෙල්වත්ත හන්දියේ පදිංචිව සිටි කැලිස්ටස් මහතා ද විය. කුවින්ටස්, ලෙස්ලි, බෙන්ජමින් යන අයව මීගමුව බන්දනාගාරයේ දින කිහිපයක් රදවා සිට පසුව නිදහස් කර ඇති නමුත් කැලිස්ටස් මහතාව මහර පුනරුත්ථාපන කදවුරකට යොමුකර ඇත. මෙලෙස පුද්ගලයින් අත්අඩංගුවට ලැයිස්තු සැකසුවේ මීගමුව සා. පීතර පල්ලිය අසල පිහිටි බාබිටන් නම් ගොඩනැගිල්ලට රැස්වූ මීගමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලමණ්ඩලය බවත් එහිලා පෙරමුණ ගෙන ක්‍රියාකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීගමුව බලමණ්ඩලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කල ප්‍රේමානන්ද සොයිසා බවත් කියවේ.

ඒ අනුව පෙනී යන්නේ මීගමුව අවටත් ජනතා විමුක්ති පෙරමුණ සිය පන්ති පවත්වා තිබෙන බවයි. මීගමුව අවට ප්‍රදේශවල ජනතා විමුක්ති පෙරමුණේ එවකට සංවිධායකයාව සිටියේ දිවුලපිටියේ ‘ගාන්ධි’ නම් අයෙකු බවත් ඔහුව කැරැල්ල සමයේම ඝාතනය කල බවත් කියවේ…2019/01/06 දින ලංකාදීප පුවත්පතේ පලවූ ‘කැරලි ගැසූ කාන්තාවෝ’ නමින් යුතු ලිපියට අනුව දිවුලපිටිය පොල් වත්තක පිහිටි ජවිපෙ කදවුරේ සිටි එකම කැරළිකාරිය වුයේ ලීලාවතීය. ඇය එම කවුරේ නායක ‘ගාන්ධි’ සමග වෙස්වලාගෙන පලායෑමේදී අත්අඩංගුවට පත්ව මීගමුවේ පුනරුත්ථාපන කදවුරකට යොමුකරන ලද බව එම පුවතේ දැක්වේ. මේ අනුව පෙනී යන්නේ මීගමුවේ කැරලිකරුවන් පුනරුත්ථාපනය කල මධ්‍යස්ථානයක් තිබු බවය. බොහෝ දුරට දළුපත පල්ලන්චෙනේ තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය පිහිටුවන්නේ එම අරමුණින් වීමට පුළුවන එහෙත් එය පිහිටුවා ඇත්තේ 1976 වසරේය. එතෙක් අත්අඩංගුවට පත්වූ කැරලිකරුවන් / කැරලිකාරියන් මීගමුව බන්දනාගාරයේ රදවා සිටියේද? ඉහත වීඩියෝ පටියට අනුව මීගමුව බන්දනාගාරයේ සිට මහේස්ත්‍රාත් උසාවිය දක්වා රැගෙන යන අතර ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් පෙළපාලියේ යන පිරිස් අතර කාන්තාවන්ද සිටින බව පෙනීයයි. එමෙන්ම දොස්තර රුවන් ජයතුංගගේ Transylvania බොලෝග් අඩවියේ 2015/04/17 පළවූ ”71 කැරැල්ල සහ සෝමවංශ අමරසිංහ භූමිකාව” නම් ලිපියට අනුව කළු රන්ජි සහ සෝමවංස අමරසිංහ මීගමුව බන්දනාගාරයේ සිටි බව පෙනී යැයි.. ”පශ්චාත් කැරැල්ල සමයේ සෝමවංශ අමරසිංහ ව්‍යපාරය කෙරෙහි කළකිරී ජවිපෙ විරෝධි ස්ඵාවරයක සිටි බව රංජිත් දිසානායක හෙවත් කළු රංජිත් පෙන්වා දෙයිි. මීගමුව බන්ධනාගාරයේ දී ජවිපෙන් ඉවත් විය යුතු බව සෝමවංශ අමරසිංහ තමාට කියූ බව රංජිත් දිසානායක ඔහුගේ 2009 සම්මුඛ සාක්ච්ඡාවේදී පවසන ලදි.” යැයි දැක්වේ.. තවද එම ලිපියට අනුව 1971 කැරැල්ල සමයේ ජ.වි.පෙ. විදේශ කටයුතු අංශය බාරව සිටි විරාජ් ප්‍රනාන්දුද ඔවුන් සමග සිට ඇති බවක් ද කියවේ: ”විරාජ් ප්‍රනාන්දු බන්ධනාගාරයේ දී රෝහණ විජේවීර​ විවේචනය කිරීම නිසා විජේවීර​ හිතවාදීන් ඔහුට පහර දීමට තැත් කළ අවස්ථාවේ දී ඔහුව ආරක්ෂා කිරීමට ඉදිරියට ආවේ සෝමවංශ අමරසිංහ බව විරාජ් ප්‍රනාන්දු මා සමග පැවසීය.” එහෙත් ඒ මීගමුව බන්දනාගාරයේද නැතිනම් වෙනත් බන්දනාගාරයකද යන්න පැහැදිලි නැත.

තවද 1971 තරැන නැගිටිමට සම්බන්දව පුරෝගාමී වු මීගමුව-කටාන අවට ප්‍රදේශවල ක්‍රියාකාරීවූ පිලීෂියන් හෙවත් කිංග්ස්ලි නම් තැනැත්තෙක් ගැනද දැන ගැනීමට ලැබුණි ඔහු පසුව ජ වි පෙ ට විරුද්ධව සාක්ෂි දුන්බව එහි පාක්ෂිකයෝ ප්‍රකාශකර ඇත. මීට අමතරව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙක් ගැනද කියවේ ඔවුන් අවසාන වශයෙන් ඔස්කා අබේරත්න පියතුමාගේ අධ්‍යාත්මික ජීවිතයක් සොයාගිය බවද කියවේ..ඒමෙන්ම මීගමුවේ සිටි කතෝලික පියතුමන්ලා කිහිපදෙනෙකුගේ ආරක්ෂාව සදහා එවකට කාදිනල්ව සිටි ගරු තෝමස් කුරේ අගරදගුරුතුමා වහාම ඔවුන්ව කොලබ අගරදගුරු මැදුරට කැදවූ බවත් අසා තිබේ…ඒ පිලිබදව තොරතුරු සොයමින් සිටින්නෙමි

ඊට වඩා තොරතුරක් මම අසා නැත..අසා ඇති තොරතුරු ගැනත් කිසිවක් කියවී නැත..

මේ ගැන ඔබ දන්නා යමක් වේද?

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*