ශානි අබේසේකරගේ නිවසට ගියෙමි

ශානි අබේසේකරගේ නිවසට ගියෙමි

.

කේ සංජීව

.

මෑත ඉතිහාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිටි දක්ෂතම පොලිස් නිලධාරියා ශානි අබේසේකර බව බොහෝ කෙනෙකුගේ පිළිගැනීමයි. සමහරුන් ඔහු හඳුන්වන්නේ ෂර්ලොක් හෝම්ස් ලෙස ය. ඒ ඔහුගේ පොලිස් පරීක්ෂණ ඉතිහාසය නිසා ය. ශානි අබේසේකරගේ පොලිස් ආගමනය සිදුවන්නේ 1986.02.10 වන දින උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට බැඳීමත් සමගය. ඉන්පසුව 1986.07.01 දින සිට පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කෙරෙන ඔහු පසුව මෙහෙයුම් රාජකාරි සඳහා 1986.12.09 වන දින මඩකලපුව කිරාන් කඳවුරට යවන ලදි. එලෙස ආරම්භ වෙන ඔහුගේ පොලිස් දිවියට වසර 34කි. ආධුනික උප පොලිස් පරීක්ෂකයෙකු සේ සේවයට බැඳී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තනතුර දක්වා සේවයේ ඉහළට ඔහු ගමන් කරන්නේ දක්ෂතාව සහ සුපිළිපන්භාවය නිසා ය. ඔහුට කැළැල් සහිත පොලිස් ජීවිතයක් තිබුණේ නැත. අපි සාමාන්‍ය බාසාවෙන් කියන්නා සේ ඔහු ජරාව කෑ පොලිස් නිලධාරියෙක් නොවේ. එනිසාම ඔහුට ඔහුගේ රාජකාරි ජීවිතය තුළ නොයෙකුත් අපහසුතාවලට සහ දේශපාලන පළිගැනීම්වලට, කෙනෙහිලිකම්වලට ලක්වන්නට සිදුවී ඇත.

ප්‍රශස්ත පරීක්ෂකයා

මෑත දශකයේ අපි ශානි අබේසේකර හඳුනන්නේ රෝයල් පාක් මිනිමැරුමේ විමර්ශන ප්‍රධානියා ලෙසටය. භාරත ලක්ෂ්මන් ඝාතන පරීක්ෂණයේ ප්‍රධානියා ලෙසටය. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට නීතිය ක්‍රියාත්මක කළ, ඔහුගේ නීතියට පටහැනි ක්‍රියාවන් විමර්ශනය කළ පොලිස් නිලධාරියා ලෙසය. මීට අමතරව පසුගිය යහපාලන ආණ්ඩුව පැවති කාලයේ ඔහු වඩාත්ම ප්‍රසිද්ධියට පත්වුණේ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, වැලිකඩ සිරගෙදර සමූහ ඝාතනය, රතුපස්වල උද්ඝෝෂණයට වෙඩි තැබීම, පාස්කු ප්‍රහාරය ආදි වූ පරීක්ෂණ නිසා ය. මේ පරීක්ෂණ බොහෝමයක් ඔහු මෙහෙයවූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සේ කටයුතු කරමින් ය. මේ බොහෝ පරීක්ෂණ නිසා පසුගිය යහපාලන කාලයේ සිට ශානි අබේසේකරට දේශපාලන බලපෑම් මෙන්ම ජීවිත තාර්ජනවලටද මුහුණ දෙන්නට සිදුවිය. එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෙම පරීක්ෂණ පිළිබඳව ඔහුට බලපෑම් කළ බව මාධ්‍යට වාර්තා විය. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයට පත්වීමත් සමග මෙම පොලිස් නිලධාරියාට තිබුණ එම දේශපාලන බලපෑම දෙගුණ තෙගුණ විය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු සිදුවූ පළමු සිද්ධිය නම්, ශානි අබේසේකර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධුරයෙන් ඉවත් කර ගාල්ලට මාරු කර යැවීමයි. දැන් කුරිරු හස්තය ඔහුගේ පොලිස් සේවයට විලංගු ලා ඇත. මුලින්ම ඔහු සීඅයිඩීයේ අධ්‍යක්ෂ තනතුරේ සිට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර බවට පත් කළ අතර දැන් ඔහු තාවකාලිකව පොලිස් සේවයෙන් ඉවත් කර ඇත. ඊට අමතරව මේ වෙන විට ඔහු, අභූත චෝදනාවක් මුල් කරගනිමින් නඩුවක් පටලවා රිමාන්ඞ් බන්ධනාගාරයට තල්ලු‍කර දමා ඇත.
මහර බන්ධනාගාරයේදී ඔහුට කෝවිඞ් ආසාදනය වී ඇති බව මාධ්‍ය වාර්තා කළේ ය. ආණ්ඩුව සහ රජය ඒ අවස්ථාවේද හැසිරුණේ මේ උසස් පොලිස් නිලධාරියාට වැටෙන්න ගහන්න තමන්ට චාන්ස් එකක් ආවා විලසය. ආණ්ඩුවකට එසේ හැසිරිය හැකි වුණත් රාජ්‍යයකට එලෙස හැසිරිය හැකිද? එය නීතියේ ආධිපත්‍යය පිළිබඳව බරපතළ ගැටලු‍වක් නිර්මාණය කරයි. ශානි අබේසේකර ගැන දැනට කෙරෙන විමර්ශන පිළිබඳව කිසිවක් කියන්නට අදහසක් නැත. එහෙත් නීතිගරුක පුරවැසියෙකු ලෙස අපට පෙනෙන්නේ ඔහු දඩයම් කිරීමට යමෙකු හෝ කණ්ඩායමක් උත්සාහ කරන බවය. එනිසා එහිම දිගුවක් ලෙස ශානි අබේසේකර නම් පොලිස් නිලධාරියා, පොලිස් කාකි කෝට් එක අවභාවිත කරමින් යහමින් මුදල් ඉපයූ කෙනෙක් යැයි කතාවක් හදන්නට, ඔහුට මාකඳුරේ මධුෂ් වැනි පුද්ගලයන් සමග සම්බන්ධතා තිබුණ බවට සමාජය තුළ මතයක් නිර්මාණය කරන්නට පුළු‍වන් ය. මෙවැනි තත්ත්වයක් තිබියදී මම ඔහුගේ කොළඹ පිහිටි නිවස සොයා ගියෙමි.

ශානිගේ 550 ‘බංගලාව’

කාකි කෝට් එක අවභාවිත කරමින් මාලිගා හැදූ පොලිස් නිලධාරීන් ගැන ඕනෑ තරම් නිදර්ශන දෙන්නට හැකිය. එයින් කියවෙන්නේ ඕනෑ නම් පොලිස් සේවයේදී හොඳටම ජරාව කා ඇති තරම් මහත දෙහෙතට ශරීරයමද පවුලමද වඩවා ගත හැකි බවය. විමල් වීරවංශ වැනි දේශපාලකයන්ගේ මාලිගා ගැන මඳකට කල්පනා කරන්න, දේශපාලනයෙන් හරිහම්බ කිරීමේ, බඩ වඩාගැනීමේ සාහිත්‍යය එතරම්ම පුළු‍ල් ය. මේ කල්පනාවන් සමග මම ශානි අබේසේකර කියන පොලිස් ලොක්කාගේ ගෙදර සොයා ගියෙමි. අහෝ..! වර්ග අඩි 550ක කොටුවක් අස්සේ ඔහු සහ ඔහුගේ බිරිඳ, දරුවන් ජීවත් වෙමින් සිට ඇත. මේ හුංඩු ගේ අස්සේ කැමරාව හෝ තබා ගන්නට ඉඩක් නැත. සාලයේ පසෙක මේසයකි. දරුවන්ගේ අධ්‍යාපන වැඩ එහි වෙන බව පසක් වෙයි. ඒ හතර කොටු සාලයේ එක පැත්තක පරණ පන්නයේ වීදුරු කබඩයකි. එහි ඉහළ හිස මත ශානි අබේසේකරගේ නෙක ඡායාරූප වෙයි. කුස්සිය මෙන්ම මේ වර්ග අඩි 550 තුළ නිර්මිත නිදන කාමරද ඉඩ ඇහිරුණු කොටු පවුරුය.

වංචාවට දූෂණයට සිය භාවිතාවෙන්ම විරුද්ධවූ දක්ෂ පොලිස්කාරයෙකුගේ ගෙදර මේ ආකාරයෙන් නොවී වෙන කුමන ආකාරයක් ගන්න ද? මම සිතමි. වී එයිට් වර්ගයේ වාහන පැදගෙන යන්න තරම් වාසනාවන්ත දරුවන් සමහර උසස් පොලිස් නිලධාරීන්ට සිටින විට ශානි අබේසේකරගේ දරුවන්ට කොළඹ කොන්ක්‍රීට් වනාන්තරයේ මී ගුලක සිරවන්නට සිදුවන්නේ ඇයි? ඒ වංචාවෙන් දූෂණයෙන් ධනය පොදි ගසාගන්නා පොලිස් නිලධාරියෙකු ලෙස නීතියට පිටතින් ශානි අබේසේකර කටයුතු නොකළ නිසා ය.

බිරිඳගේ කතාව


කේ එස් අබේසේකර, ශානි අබේසේකරගේ ප්‍රිය බිරිඳ, මම ඇය සමග කතා කළෙමි. ඇය ඡායාරූප ගන්නවාට විරුද්ධ ය. ඒ ඔවුන් වර්තමානය තුළ බියෙන් සහ චකිතයෙන් කල් ගත කිරීම නිසා ය. හෙට කුමක් වෙයිද? ඔවුහු බරපතළ අවිනිශ්චිතතාවක කරවටක් ගිලී සිටිති.

‘අපි අත්අඩංගුවට ගත්ත මුල් කාලේ ශානිව බලන්න යනකොට සමහර දවසට බලන්න දුන්නේ නැහැ. කීප දවසක්ම හැරිලා ආවා. මේ කාලෙටම දවස් 3ක් විතර තමයි බලන්න ලැබුණේ. ඔහු හරියට රාජකාරිය කළා, ගෙදර ගැන, ළමයි ගැන පවා බැලු‍වේ මම. ඔහුට ඒවාටවත් වෙලාවක් තිබුණේ නැහැ. එහෙම නිවැරදිව රාජකාරි කළ නිසා තමයි අද අපි මේ සේරම කරදර විඳින්නේ.

ගාල්ලට මාරු කරලා එහේ වැඩ කරනකොට නේ රස්සාව නැතිවුණේ, ඒ රස්සාව නැතිවුණ දවසෙම කෝල් එකක් ඇවිත් තිබුණා, උඹේ ගෑනියි ළමයිනුයි මරලා උඹේ කරපිටින්ම තමයි යවන්නේ කියලා. ඉතිං අපි හරි බයෙන් තමයි ඉන්නේ. වාස් ගුණවර්ධනගේ කේස් එක නිසා මුල ඉඳලාම තර්ජන තිබුණා. මාකඳුරේ මධුෂ්ගේ කේස් එකටත් සම්බන්ධ කරලා මොන ප්‍රශ්නයක් දායිද කියලාත් අපි බයයි. කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ශානිට විරුද්ධව බොරු සාක්ෂි ලබාදෙන්න කියලා බලපෑම් කරලා තියෙනවා කියලා අධිකරණයටත් කරුණු ඉදිරිපත් වුණා. ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අන්තර්ජාල වෙබ් අඩවියකට කරලා තිබෙන ප්‍රකාශයත් සැකසහිතයි. මේ දේවල් නිසා අපිට ඇත්තටම බයයි ශානිගේ ජීවිතය ගැන”‍

වින්දිතයන්ට යුක්තිය ලබාදීමට වෙහෙසුණ පොලිස් නිලධාරියෙකුගේ බිරිඳකට අද මාධ්‍ය ඉදිරියට පැමිණ කරන්නට සිදුවී තිබෙන කතාව මේකය. මෙයින් පෙනෙන්නේ ලංකා රාජ්‍යය තුළ නීතියේ ආධිපත්‍යය කෙළෙසී ඇති ආකාරය මිස අන් කුමක්ද?

‘අපි 1994 තමයි කොළඹට ආවේ. වර්ග අඩි 550යි මේ ගෙදර. මෙහෙම ඉඩක අපි හිරවෙලා ජීවත්වුණත්, ශානි ගැන මට මගේ දරුවන්ට ගොඩක් සතුටු වෙන්න පුළු‍වන්, ඒ ඔහු හරියට රාජකාරිය කළා කියලා. ශානිට කෝවිඞ් හැදිලා කියලා, පොලොන්නරු ගෙනිච්චා කියලා, වැලිකඩට ගෙනාවා කියලා, ඊට පස්සේ අයිඩීඑච් එකට ඇතුල් කළා කියලා අපි දැන ගත්තේ මීඩියාවලින්. ඒක තමයි ඇත්ත. අපිට පොලීසිය හරි බන්ධනාගාරය හරි වගකිවයුතු කවුරුවත් කිසිම දෙයක් කියන්නේ නැහැ. බලන්න හෝ හමුවෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මාස දෙක තුනකින් කතා කරලා නැහැ.’‍

මේ අවස්ථාවේ පොලීසියේ සමහර ශානි අබේසේකර සමග එකට රාජකාරි කළ නිලධාරීන්ද අහක බලාගෙන සිටින බව දැනගන්නට ලැබෙයි.

‘‍පොලිසියේ කොටසක් නම් අපි එක්ක කතා කරන්නවත් කැමති නැහැ. එකට වැඩ කළ අයම පහර ගහනවා. ආණ්ඩු මාරුව එක්ක බයක් තිබුණා. මට මෙහෙම දේවල් වෙන්න පුළු‍වන් කියලා එයා මාත් එක්ක කියලා තියෙනවා. ඒත් ඔහු නිතරම කිව්වේ ‘අපි හරි දේ කරලා තියෙනවා ඇයි බයේ රටින් පැනලා යන්නේ’ කියලා.’

හරි දේම පමණක් කළ ශානි අබේසේකර වෙනුවෙන් රාජ්‍ය සේවකයන් වාගේම පුරවැසියාද පෙරට පැමිණිය යුතුය. ඔහු රාජකාරි කර තිබෙන්නේ රාජ්‍යය වෙනුවෙන් ය. එහි නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් ය. යුක්තිය වෙනුවෙන් ය. එනිසා ඔහු දේශපාලකයන්ගෙන් ආරක්ෂා කරගැනීම රාජ්‍යයේ වාගේම පුරවැසියාගේද වගකීමය.■

Image may contain: 1 person, indoor
Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*