විස්සට පසුව දේශපාලන ගමන් මග

විස්සට පසුව දේශපාලන ගමන් මග

.

Jayadewa Uyangoda

.

විසිවැනි සංශෝධනය සුළු සංශෝධන සහිතව සම්මත කරගැනීමට ආණ්ඩුව දැනට සූදානම් වන බව පෙනේ. එම සුළු සංශෝධනවලින්, ලංකාවේ දේශපාලනය නැවත වරක් ව්‍යවස්ථාමය ඒකාධිපතිවාදය කරා පරිවර්තනය වීමේ ක්‍රියාවලියට බාධාවක් නොමැති වනු ඇත. ආණ්ඩුවේ එකම දේශපාලන අධිෂ්ඨානය වී තිබෙන්නේ එම පරිවර්තනය ඉක්මනින් සිදුකිරීමය. එයට අධිකරණයෙන් බාධාවක් නැති බවද පෙනේ.


මේ අතර, විසිවැනි සංශෝධනයට සහ එයින් අපේක්ෂා කරන ඒකාධිපතිවාදී දේශපාලන පරිවර්තනයට සමාජයෙන් මතුවන විරෝධයද කුළුගැන්වෙමින් පවතී. රාමඤ්ඤ-අමරපුර ඒකාබද්ධ (සාමශ්‍රී) සංඝ සභාවත්, කතෝලික බිෂොප්වරුන්ගේ සම්මේලනයත් ඒ ගැන බරපතළ විරෝධය පළකරමින් ප්‍රකාශ නිකුත් කර ඇත. විසිවැනි සංශෝධනයේ වේගවත් ගමන නැවැත්වීමට ඒවා කොතරම් සමත් වනු ඇත්ද යන්න පැහැදිලි නැත. එවැනි විරෝධ නොතකා සිටීමට ආණ්ඩුවට අපහසුතාවක්ද නැත.

මේ පසුබිම තුළ ලංකාවේ දේශපාලනය ගැන අපට සිතන්නට සිදුවන්නේ මේ සතිය ගැන නොව, ලබන සතියෙන් පසු කුමක්වනු ඇත්ද යන්නයි. එනම් විසිවැනි සංශෝධනය සම්මතවීමෙන් පසුව ලංකාවේ දේශපාලනය ගැනයි.


විස්සෙන් පසුව


විස්සෙන් පසුව, එනම් විසිවැනි සංශෝධනය ව්‍යවස්ථාගත වීමෙන් පසුව, ලංකාවේ ඉතා තීරණාත්මක දේශපාලන පරිවර්තනයක ආරම්භයක් වීමට ඉඩ තිබේ. එය නම් චීනයේ දැනට පවතින ආකාරයේ දේශපාලන සහ ආර්ථික ව්‍යුහයක් ගොඩනැගීමේ පළමු පියවර ගැනීම බව අනුමාන කළ හැකියි. චීනයේ ආර්ථික සහ දේශපාලන මාදිලියේ ප්‍රධාන ලක්ෂණය නම් එය, තනිකර සමාජවාදී හෝ ධනවාදී හෝ නොවන, සමාජවාදී හා ධනවාදී දේශපාලන සහ ආර්ථික මාදිලි සංයෝග කිරීමෙන් සකස් කරගත්, චීනයටම සුවිශේෂී දෙමුහුන්, එනම් හයිබි්‍රඞ් මාදිලියක් වීමයි.
මෙම හයිබි්‍රඞ් මාදිලිය තුළ චීනයේ තිබෙන්නේ සමාජවාදී ආර්ථියක් නොව, ධනවාදී ආර්ථිකයකි. ලිබරල් – ධනවාදී රාජ්‍යයක්, නොව පශ්චාත් සමාජවාදී රාජ්‍යයකි. එය වනාහී වැඩවසම්වාදයේ සහ යටත්විජිතවාදයේ සිට, ‘සමාජවාදය’ හරහා ධනවාදයට පරිවර්තනය වූ ආර්ථික ක්‍රමයකි. චීනයේ ඇත්තේ පශ්චාත්-සමාජවාදී බලාධිකාරී රාජ්‍යයන් විසින් මෙහෙයවනු සහ පාලනය කරනු ලබන ධනවාදී ආර්ථික සහ සමාජ ක්‍රමයකි. එම මතවාදය බටහිර මතවාදය සමග සමාන නැත. එය දැඩි නිලධාරිවාදී රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදයකි. එහෙත් එය බටහිර ධනවාදී ලෝක ආර්ථිකය සමගද සම්බන්ධතා පවත්වයි. ලෝක ධනවාදී වෙළෙඳපොළ සමග බන්ධනගතවී සිටියි. එහෙත් ධනවාදී ලෝක ආර්ථික බලවේග සමග කේවෙල් කිරීමේ හැකියාවද අත් කරගෙන සිටී. තමන්ගේම ලෝක ධනවාදී ජාලයක් පවත්වා ගැනීමේ හැකියාවද ලබාගෙන සිටී. චීනය විකල්ප යටත්විජිතවාදයක් ලෙස මතුවන්නේද මෙම හැකියාව පසුබිම් කරගෙනය.
දැන් චීනය ගැන කරන මෙම සාකච්ඡාව, විසිවැනි සංශෝධනයෙන් පසු ලංකාවට අදාළවන්නේ කෙසේද? මෙම කරුණ ගැන දැන් අපි මඳක් විමසා බලමු.


නව ලිබරල් ගෝලීයකරණයේ අවසානය?


2020 වසර නොයෙක් හේතු නිසා ඉතිහාසයට එකතු වන්නට පුළුවන. එහෙත් ඒ අතර ප්‍රධාන හේතුව වනු ඇත්තේ මෙම වසර නව ලිබරල් ගෝලීයකරණයේ අවසානය ආරම්භ කළ වසර ලෙසය. 2019 වසරේදී කිසිවෙකු බලාපොරොත්තු නොවූ කොවිඞ් වසංගතය විසින් ලෝක ධනවාදී ආර්ථිකයට සිදුකරන ලද බරපතළ හානියේ පසුබිම තුළ, නව ලිබරල් ධනවාදයද දුර්වල වී තිබේ. එයට යථා තත්ත්වයට පත්වීමට තවත් අවුරුදු දෙකක්වත් යනු ඇතැයි අනුමාන කළ හැකිය. එයද, ලෝක මට්ටමෙන් දැනට සිදුවන කොවිඞ් අර්බුදය පාලනය කිරීමට ජාතික- රාජ්‍යවලට හැකිවනු ඇත්ද යන කරුණ මත රඳා පවතිනු ඇත. මේ අවිනිශ්චිතතාව තුළ පැහැදිලිවම සිදුවන බව පෙනෙන්නේ නව ලිබරල් ගෝලීයකරණයද අර්බුදයට සහ අවසානයට පත්වීමයි.


මේ පසුබිම තුළ කාර්මික ධනවාදී රටවලද ප්‍රමුඛත්වය ලැබෙනු ඇත්තේ ජාතික -රාජ්‍ය රාමුව මට්ටමෙන් ආර්ථිකයත් යළි ගොඩනගා ගැනීමේ ක්‍රියාමාර්ගවලටය. එය එම දියුණු ධනවාදී රටවලද නව පන්නයේ ආර්ථික-ජාතිකවාදයක්, රාජ්‍යයේ ආර්ථික කාර්යභාරයට නව අදාළත්වයක් සහ අර්ථයක්ද සපයමින්, මතුවීමට හොඳටම ඉඩකඩ තිබෙන බව පෙනේ. ඉදිරි කාලයේ ලෝකය ගෝලීයකරණයේ නොව, ජාතික-රාජ්‍ය ජාතිකවාදය අධිපති දෘෂ්ටිවාදය බවට පත්වන ලෙස, යළි සකස් වීමකට තල්ලුවීමටද ඉඩ තිබේ.


මෙම පසුබිම තුළ පශ්චාත් කොරෝනා ලෝකය තුළ, ඉතා දුර්වල ජාතික ආර්ථිකයත්, දුර්වල ලෝක ආර්ථිකයක පසුබිම තුළ යළි ගොඩනැගීමේ අභියෝගයට සෑම ලොකු කුඩා ජාතික රාජ්‍යයක්ම මුහුණ දීම අනිවාර්යය. එම මුහුණදීම කරනු ඇත්තේ කෙසේද යන්න තවම පැහැදිලි නැත. හේතුව, බොහෝ රටවල්, තම ආර්ථිකය යළි ගොඩනැගීමේ විකල්ප පිළිබඳව තවමත් සිටින්නේ අඳුරේ අතපතගාන තත්ත්වයක නිසාය. කොවිඞ් 19 වසංගතයේ අවිනිශ්චිත ඉදිරි ගමන සහ එය විසින් ලෝකය ඉදිරියේ තබා තිබෙන අවිනිශ්චිත අනාගතය එයට ප්‍රධාන හේතුවයි. ලෝකයේ ආර්ථික සහ දේශපාලන සම්බන්ධතාවල නව ආකාරයේ ව්‍යාකූලත්වයක් ඉදිරි කාලයේ ඇතිවන්නටද බොහෝවිට ඉඩ තිබේ. ‘සාපේක්ෂ – අරාජකත්වය’ යනු මෙම තත්ත්වය විස්තර කිරීමට යොදාගත හැකි එක් සංකල්පයකි. නව ලිබරල් ගෝලීයකරණය මහා අර්බුදයකට පාත්‍රවීමට ඉඩ තිබීමේ අනිවාර්ය අර්ථයක් වන්නේ, එය විසින් මෙම ‘සාපේක්ෂ අරාජකත්වය’ ලෝක ආර්ථික සහ දේශපාලන සම්බන්ධතාවල කරනු ලැබීමයි. ඇමරිකාවේ ලබන මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන්, දිනන්නේ ට්‍රම්ප්ද, බයිඩන්ද යන්න මේ කරුණට ඒ තරම් අදාළ නැත. හේතුව ඇමරිකානු පාලක පන්තියේ එකිනෙකාට පසමිතුරු පාර්ශ්ව දෙකටම මේ කරුණු ගැන සවිඥානකත්වයක් නැති නිසාය. එවැන්නක් තිබෙන බව ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ට්‍රම්ප් සහ බයිඩන් යන දෙදෙනාම කියන සහ කරන දේවලින් පෙනෙන්නේ නැත.


චීනයේ ‘දිව්‍ය ඥානය’


එහෙත් මේ කරුණ ගැන හොඳින් වැටහී තිබෙන එක් ලෝක බලයක් තිබේ. එය නම් ජනාධිපති ක්සි යටතේ පාලනය වන චීනයයි. චීන කොමියුනිස්ට් පක්ෂය සමාජවාදය අතහැරියත්, මාක්ස්වාදී විග්‍රහය සහ ලෝකය පිළිබඳ මාක්ස්වාදී න්‍යායික තේරුම් ගැනීම අතහැර නැති බව පෙනේ. චීනය ජනාධිපති ක්සි යටතේ, ලෝකයේ නව අධිරාජ්‍යය බවට පත්වන්නට යන්නේද, මෙවැනි තේරුම් ගැනීමක් ආධාර කරගෙන බව වන්නට බොහෝ විට ඉඩ තිබේ.


අපේ සාකච්ඡාවේ මූලික තේමාවට ආපසු යන්නේ නම්, ලංකාවේ පොහොට්ටු පක්ෂයේ නායකත්වය, ලෝක දේශපාලන ආර්ථිකයේ ඇතිවෙමින් යන මෙම උඩු-යටිකුරුවීම ගැන සවිඥානකව සිටින ලංකාවේ ඇති එකම දේශපාලන කණ්ඩායම බවද පෙනේ. තමන්ගේ පවුල් දේශපාලන අභිලාෂ සහ අපේක්ෂා, මෙම ගෝලීය පරිවර්තනය සමග ගැට ගසා ගැනීමට පොහොට්ටු පක්ෂයේ නායකත්වය සමත්වීම ලංකාවේ ඉදිරි කාලයේ සිදුවන දේශපාලන පරිවර්තනයේ ගාමක බලවේගය බවට පත්වී ඇත යන්න අතිශයෝක්තියක් නොවේ. එය බැරෑරුම් දේශපාලන කාරණයකි.


‘දිව්‍ය ඥානය’ යන වචනය අප මෙහිදී භවිත කළයුත්තේ වචනාර්ථයෙන් නොවේ. සංකේතාත්මක අර්ථයෙනි. එය වනාහී අන්‍යයන් නොදකින ලෙස අනාගතය දැකීමේ හැකියාව පිළිබඳ රූපකයකි.


විසිවැනි සංශෝධනය සහ පොහොට්ටු පක්ෂය


විසිවැනි සංශෝධනය නිසා පොහොට්ටු පක්ෂය ඇතුළත මතභේද සහ දුක්ගැනවිලි ඇතිවී තිබෙන බව පෙනේ. එහෙත් ඒවා නිසා පොහොට්ටු පක්ෂ නායකත්වයේ දේශපාලන ව්‍යාපෘතිය සෙළවෙනු ඇතැයි සිතිය නොහැකිය. ඔවුන්ගේ දේශපාලන ඉදිරි ගමන, චීනයේ ගෝලීය න්‍යාය පත්‍රය සමග අන්තහ්කරණයට පාත්‍රවී තිබෙන බව පෙනේ. මෙහි අර්ථය නම් විසිවැනි සංශෝධනයෙන් පසු ලංකාවේ දේශපාලන පරිවර්තනය, චීනයේ මාදිලිය අනුකරණය කරන, එහිම ක්ෂුද්‍ර මුද්‍රණයක් බවට පත්වීමට බොහෝවිට ඉඩ තිබෙන්නේය යන්නයි. ජේ.ආර්. ඇමරිකානු සැටලයිටයක් වූ සිංගප්පූරුව ආදර්ශයට ගත්තේ යම්සේද, ජනාධිපති ගෝඨාභය ආදර්ශයට ගත්තේ මහ චීනයම බව පෙනේ. එහි ආර්ථික සහ දේශපාලන මාදිලිය බව පෙනේ.


මෙය වනාහී කොරෝනා වසංගතය විසින් ලංකාවේ විවෘත කරන ලද ප්‍රධාන දේශපාලන මාවක යැයි කෙනෙකුට පැහැදිලිව පෙනෙන්නට ද පුළුවන.


විසිවැනි සංශෝධනය වෙතින් සංකේතවත් වන්නේ, 1978 ව්‍යවස්ථාව තරම්ම තීරණාත්මක දේශපාලන පරිවර්තනයකි. 1978 ව්‍යවස්ථාව, යුරෝපීය දේශපාලන ආදර්ශයක් මත, ප්‍රජාතන්ත්‍රවාදයේ සිට ඒකාධිපතිවාදය කරා වන පරිවර්තනයක ආරම්භය සලකුණු කළ ආකාරයටම, විසිවැනි සංශෝධනය සලකුණු කරන්නේ ගිනිකොන දිග සහ නැගෙනහිර ආසියාතික දේශපාලන ආදර්ශය මත, ප්‍රජාතන්ත්‍රවාදයේ සිට ඒකාධිපතිවාදය කරා සිදුවන නව පරිවර්තනයක ආරම්භයකි. කොරෝනා අර්බුදය විසින් මෙම පරිවර්තන ක්‍රියාවලිය ඉක්මන් කරනු ලැබ තිබේ.


නව පරිවර්තනයේ ගාමක සාධක


රටක තීරණාත්මක දේශපාලන පරිවර්තනය සිදුවන්නේ සාමාන්‍යයෙන් ‘ගාමක සාධක’ යන වචනයෙන් හැඳින්විය හැකි, එනම් එම පරිවර්තනය ඉදිරියට තල්ලු කරන්නා වූ බලය සපයන සාධක ගණනාවක සංයෝගයකිනි. මෙම සාධක, සාම්ප්‍රදායික මාක්ස්වාදී භාෂාවට අනුව, පුද්ගල බද්ධ සහ ද්‍රව්‍ය මූල යන ප්‍රභේද දෙකකින් සමන්විත වේ. ප්‍රධාන පුද්ගලබද්ධ සාධකය වන්නේ, එම දේශපාලන පරිවර්තනය අවශ්‍ය යැයි සිතෙන සහ එයට නායකත්වය දෙන පුද්ගල කණ්ඩායමක් සිටීමයි. මෙම පුද්ගල කණ්ඩායම, පොහොට්ටු පක්ෂය පිහිටුවා එහි නායකත්වය ලබාගෙන තිබෙන, රාජපක්ෂ පවුලේ සාමාජික පිරිසයි. එම පිරිසේ ඇති එක් විශේෂත්වයක් නම්, දේශපාලන බලය පිළිබඳ ‘යථාර්ථවාදී’ වැටහීමක්ද, තමන්ට නැතිවූ දේශපාලන බලය නැවත ලබා ගැනීම සම්බන්ධ අසීමිත කැපවීමක්ද, එසේ ලබා ගත් බලය තම ග්‍රහණයෙන් නැවතත් ගිලිහී යෑමට ඉඩ නොතබමින් ආරක්ෂා කර ගැනීමේ අධිෂ්ඨානයක්ද, උපාය ඥානයක්ද ඔවුන් සතු බවයි. පසුගිය අවුරුදු පහ තුළදී මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන නායකයන් දෙදෙනා බලයේ සිටියදී හැසිරුණ ආකාරයත්, මේ දිනවල එම දෙදෙනා පාස්කු ඉරිදා කොමිසම ඉදිරියේ දෙන සාක්ෂි දෙසත් බලන විට පෙනෙන්නේ, එම දෙදෙනාම දේශපාලන බලය යනු කුමක්ද යන්න ගැන නිසි අවබෝධයක් නැති, දේශපාලන ළදරුවන් බවයි. රටක ඒකාධිපති පරිවර්තනයකට අවශ්‍ය ප්‍රධානතම පුද්ගලබද්ධ සාධකය වන්නේ දේශපාලන බලය ගැන යථාර්ථවාදී අවබෝධයක්ද, බලය ලබා ගැනීම සහ ආරක්ෂා කිරීම පිළිබඳව නොසැලෙන අධිෂ්ඨානයක්ද, බලය සඳහා සීමාවක් නැති ආශාවක්ද සහිත දේශපාලන නායකත්වයක් තිබීම නම්, ලංකාවේ සමාජය, එහි වාසනාවට හෝ අවාසනාවට හෝ එම පූර්ව කොන්දේසිය සපුරා ඇති සන්ධිස්ථානයක වර්තමානයේදී සිටින බව පෙනේ.


ඉහත කී ආකාරයේ පරිවර්තනයකට සුදුසු ද්‍රව්‍යමය සාධක තුනක්ද දැනට සම්පූර්ණ වී තිබේ. ඒවා පහත සඳහන් පරිදි ඉතා කෙටියෙන් දැක්විය හැකිය. පළමුවැන්න නම්, රාජ්‍ය බලය තමන් අතට ලබා ගෙන, එය තම ඒකාධිකාරය බවට පත්කර ගැනීම අපේක්ෂා කරන නව ධනවත්, දේපළ හිමි සහ සෞභාග්‍යමත් සමාජයන්හි ස්ථරයක් අප සමාජයේ බිහිවී තිබීමයි. පොහොට්ටු පක්ෂයේ නායකත්වය සහ මෙම සමාජ ස්ථරය සන්ධාන ගතවී සිටින අතර, ‘රාජ්‍යය අත්පත් කරගැනීම’ එම සන්ධානයේ පැහැදිලි දේශපාලන අරමුණද වී තිබේ. රාජ්‍යය අත්පත් කරගැනීම යනු, ‘ආණ්ඩුව අත්පත් කරගැනීමට’ සම්පූර්ණයෙන් වෙනස් දෙයකි. ආණ්ඩුව ආරක්ෂා කර ගත්තෝ තම බලය තාවකාලික බවත්, ජනතාව ‘එපා’ කියන විට ගෙදර යාමට සිදුවන බවත් දනිති. ඊට වෙනස්ව, රාජ්‍යය අත්පත් කරගන්නන්, එසේ කරන්නේ ජනතාවට ඕනෑ හැටියට ගෙදර යන්නට නොවේ. තම න්‍යාය පත්‍රය සම්පූර්ණ වනතුරු, ජනතාවට ඕනෑ වුවත්, එපා වුවත්, තම ග්‍රහණයේ ඇති රාජ්‍ය බලය අත නොහැරීමටය. ලංකාවේ වර්තමාන ඒකාධිපති පරිවර්තනයේ සමාජ සහ පන්ති මූලය මෙයයි.


දෙවැනි සාධකය දැනට රටේ පවතින, කොරෝනා අර්බුදය විසින් උග්‍ර කරන ලද ආර්ථික අර්බුදයයි. ලංකාවේ ආර්ථිකය සම්පූර්ණ පරිවර්තනයකට පත් කළ යුතු බවත්, එම රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදයක් විය යුතු බවත්, ඒ සඳහා නව මහා පරිමාණ මිලිටරි-සිවිල් නිලධාරිවාදී ව්‍යුහයක් ගොඩනැගිය යුතු බවත්, එම නව බල ව්‍යුහය මහජනතාව, ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට හෝ වගකිවයුතු නැති බවත්, දැනට සිටින දේශපාලන නායකත්වය සිතයි. විසිවැනි සංශෝධනය ඇත්තටම සකස් කර තිබෙන්නේ මෙම වටහා ගැනීමේ නෛතික සූත්‍රගත කිරීමක් ලෙසය. ශ්‍රේෂ්ඨාධිකරණයද එම පරිවර්තනයට අකමැති නැති බව පෙනේ.


තුන්වැනි සාධකය ජාත්‍යන්තර දේශපාලන ආර්ථිකයයි. ඒ ගැන අපි මේ ලිපිය මුලදීම ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදු කළෙමු. ලංකාවේ දැනට බිිහිවී තිබෙන නව පාලක ස්ථරය/බල හවුල තීරණය කර තිබෙන බව පෙනෙන්නේ, චීන ආර්ථික සහ දේශපාලන මාදිලිය වැලඳ ගැනීම, ලංකාවට තිබෙන වඩාත් ප්‍රායෝගික සහ සුදුසු විකල්පය බවයි.
2020 වසර 1978 වසරටත් වඩා ලංකාවේ තීරණාත්මක දේශපාලන සන්ධිස්ථානයක් ලකුණු කරන බව පැහැදිලිය. එහෙත් මෙම පරිවර්තනය සුමට සහ සාමකාමීව සිදුනොවන්නටද බොහෝවිට ඉඩ තිබේ. එය සාමකාමීව නොවන, ව්‍යාකූල සහ දේශපාලන අස්ථාවරභාවයද ඇති කරන අවිනිශ්චිත ප්‍රතිඵල සහිත ක්‍රියාවලියක් වන්නේ නම් අප පුදුම වියයුතු නැත. ■

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*