විකල්ප සංවිධානයක වැඩ රටාව

විකල්ප සංවිධානයක වැඩ රටාව

,

Deepthi Kumara Gunarathne

.

20 වැනි සියවස ආරම්භයේ දී ලංකාවේ දේශීය ප්‍රභූ පැලැන්තියක් යටත්විජිත ආර්ථිකය පදනම් කොටගෙන බිහි විය. යටත්විජිත ස්වාමියා ලංකාවේ පාලකයා වශයෙන් සිටියදී ම ලංකාවේ දේශපාලනය වම සහ දකුණ වශයෙන් ධ්‍රැවීයකරණය විය. 1945 වන විට, නිදහස අපට ආරෝපණය වූ අතර එහි දී ලංකාවේ දේශපාලනය ‘සමසමාජ පක්ෂය’ සහ ‘එක්සත් ජාතික පක්ෂය’ වශයෙන් පසමිතුරු කණ්ඩායම් දෙකකට බෙදී ගියේය. ඉන්පසු, ලංකාවේ ආරම්භ වූයේ පන්ති දේශපාලනය (CLASS POLITICS) යි.

                  නමුත් වසර 5ක් වැනි සුළු කාලයක දී කපටි දේශපාලකයෙකු වූ බණ්ඩාරනායක තමන්ට UNPයේ නායකත්වය හිමි නොවන බව දැන ඉන් ඉවත් වී ස්වාධීනව තවත් කණ්ඩායම් සමග එක්වී 1956 දී පාර්ලිමේන්තුව හරහා ‘බලය’ තම අතට ගත්තේය. මින් ලංකාවේ පන්ති දේශපාලනය දුර්වල වූ අතර ඒ වෙනුවට නව පසමිතුරුභාවයක් බිහි විය. එය පසුව, දේශීය චින්තනය සහ විජාතික චින්තනය ලෙසින් භේද විය.

                      ‘සමසමාජ පක්ෂයේ’ ඉතිහාසය කියවන විට සහ ඔවුන්ට ප්‍රතිචාර දක්වන විවිධ ට්‍රොට්ස්කිවාදී කණ්ඩායම් දෙස බලන විට, ලංකාවේ 1956 දී සිදු වූ ඛණ්ඩනය (BREAK) න්‍යායිකව ඔවුන් වටහා ගත්තා ද? 

                       අප දන්නා තරමින්, සමසමාජ පක්ෂයට හෝ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට ‘පර්යේෂණ සහ සංවර්ධන’ අංශයක් (RESEARCH AND DEVELOPMENT) පැවතියේ නැත. එම පක්ෂවලට අනුබද්ධ බුද්ධිමතුන් සහ ඔවුන්ගේ න්‍යායික අරගලය පැවතියේ, පක්ෂයෙන් පිටත සෞන්දර්ය සහ සංස්කෘතික කව තුළ ය. මේ හේතුව නිසා, සමසමාජ සහ කොමියුනිස්ට් යන පක්ෂ ‘දශක 3ක’ පමණ කාලයක් ගමන් කරනු ලැබුවේ කපිතාන්වරයෙකු නැති නාවික යාත්‍රා පරිදි ය. ඒවායේ දිශාණතිය තීන්දු කරනු ලැබුවේ, මතවාදී චණ්ඩ මාරුත විසිනි. 70 දශකය අග වන විට, පැමිණි විවෘත ආර්ථිකය සමඟ ඔවුන් විනාශ වී ගියේය.

                       1956 දී ආර්ථික තලයේ දී නොව දෘෂ්ටිවාදී තලයේ සිදු වූ විපර්යාසය පිළිබඳව න්‍යායික විවරණයක් ‘නිව්ටන් ගුණසිංහ’ විසින් කරන තෙක් ‘සමසමාජය’ ද ඇතුළත්ව සියලුම වමේ ව්‍යාපාර දේශපාලනය කළ ලද්දේ, අන්ධයන් සේ ය. පක්ෂයකට ‘පර්යේෂණ අංශයක්’ අවශ්‍ය යැයි අප කියන්නේ, මෙම සන්දර්භය තුළිනි.

                      ගුණසිංහ මේ පහත කරන නිරීක්ෂණය සමසමාජ සහ කොමියුනිස්ට් නායකයන්ට වැටහී නො ගියේ මන්ද?

         “එක්සත් ජාතික පක්ෂය පටු ඥාතීත්ව ජාලයක කොටු වී හිර වී සිටින විට, එය සමතික්‍රමණය කරමින් දේශපාලනමය වශයෙන් වැදගත්කම වැඩි වෙමින් පැවති ඇතැම් සමාජ ස්ථර සමඟ ද්විඝටනාත්මක සම්බන්ධතා ආරම්භ කළේය. මෙහි මානව විද්‍යාත්මක මානය මෙසේ ගොනු කළ හැකි ය. (මිනිසුන් සාමූහික අනන්‍යතා ලෙස අධ්‍යනය කිරීම මානව විද්‍යාවේ පශ්චාත්-යටත්විජිත ව්‍යුහයයි.) විවිධ කුල, පන්ති, සංස්කෘතික සහ වාර්ගික පසුබිම් වලින් පැමිණි සමාජ කණ්ඩායම් ‘සන්ධානගත’ කිරීමට බණ්ඩාරනායක සමත් විය.      අභ්‍යන්තරයෙන් ඔහු කෙතරම් අසංවිධිත සහ විදේශික වූවත්, ඔහුට මෙය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කරන ප්‍රතිචාරාත්මක මතවාදයක් බාහිරින් අවශෝෂණය කර ගැනීමට තරම් විවෘතභාවයක් තිබුණි. ඔහු ප්‍රභූ පන්තියේ ස්ටැන්ලි ද සොයිසා සමඟ ගැමියෙකු වූ ටී. බී ඉලංගරත්න කළවම් කළේය. නමුත් ඔහුගේ මූලික දුලබතාවය වූයේ, මෙම මිශ්‍රණය සඳහා සුළු ජාතීන් එකතු කර නො ගැනීමයි. මෙමගින්, අදටත් අප අත්විඳින ප්‍රචණ්ඩ වාර්ගික අර්බුදය නිර්මාණය විය”.

                           1988 වර්ෂයේ නිව්ටන් ගුණසිංහ විසින් ‘බණ්ඩාරනායක වාදය’ වටහා ගැනීමට අවශ්‍ය ඉහත න්‍යායික අදහස නිර්මාණය කරන තුරු සමසමාජය ඇතුළුව සියලු දෙනා ඉදිරියට ගමන් කරන ලද්දේ, අන්ධව සහ ප්‍රතිචාරාත්මක ප්‍රවේශයකිනි. එනම්, දළ වශයෙන් වසර 32ක් යනතුරු සිදු වූයේ කුමක් ද? යන්න පවා වටහාගත නොහැකි විය. දේශපාලනයට අදාළව මතවාදී තලයේ වූ මෙම ඛණ්ඩනය අදටත් ජවිපෙ ඇතුළුව වමේ අය නොදනිති.

                         නිව්ටන් ගුණසිංහ තම ප්‍රවාදය ඉදිරිපත් කළ වර්ෂය 1988 ලෙස ගතහොත්, එතැන් සිට අද දක්වා කාලය නැවතත් වසර 32 ක් ගතවී ඇත. ලංකාවේ ‘පන්ති දේශපාලනය’ වෙනුවට බණ්ඩාරනායක නිසා එය ඛණ්ඩනය වී එතැනට වාර්ගික සහ සංස්කෘතික, ආගමික දේශපාලනය ආදේශ වී පූර්ණ වශයෙන් ගත වූ කාලය වසර 64 කි. මෙය තනි පුද්ගලයෙකුගේ සම්පූර්ණ ආයු කාලයට සමීපය. එතෙක් අප කර ඇත්තේ, කුටුම්භ සංරක්ෂණය සහ ඔහේ ජීවත් වීම යි.

                          ‘නිව්ටන් ගුණසිංහ’ තමන්ව අනෙක් වාමාංශිකයන්ගෙන් විඝටනය කරනු ලැබුවේ, ලූවී අල්තූෂර්ගේ ඛණ්ඩනය (BREAK) නම් න්‍යායික අදහස හරහා ය. ඔහු තම තිසීසය අරඹන්නේ මෙසේ ය.

               “මගේ මතය අනුව මූලික ප්‍රශ්නය වනුයේ, 1956 ට පෙර සහ පසුව අඛණ්ඩත්වය සහ ඛණ්ඩනය පිළිබඳ ගැටලුවයි…. ආර්ථික ව්‍යුහය පිළිබඳ මට්ටමේ දී ඛණ්ඩනයක් ඇති වන අවස්ථාවකදීත් (උදා:- 1978 දී ඇති වූ විවෘත ආර්ථිකය) සංස්කෘතිය සහ මතවාදී මට්ටමේ දී එවැනි ඛණ්ඩනයක් සිදු වීමට ඉඩක් නොමැති විය හැකිය”.

                         ‘ලුවී අල්තූෂර්’ නම් න්‍යායවේදියා මාක්ස්වාදයට කළ මූලික ප්‍රතිපාදනය වූයේ, එතෙක් තහවුරුව පැවති න්‍යාය/ භාවිතාව පිළිබඳ සහසම්බන්ධ ප්‍රතිපක්ෂය විසංයෝජනය කිරීමයි. ඔහුට අනුව ඇත්තේ, න්‍යාය සහ භාවිතාව වශයෙන් අංශ දෙකක් නොව ‘න්‍යායික භාවිතාව’-THEORETICAL PRACTICE- පමණි. න්‍යායික භාවිතාව ඔහු හඳුන්වන්නේ, විචාරය (CRITIQUE) යන පදයෙනි. නිව්ටන් ගුණසිංහ සහ එන්.එම් පෙරේරා අතර වෙනස වන්නේ, නිව්ටන් ‘න්‍යායික භාවිතාවක’ නියැලෙන අතර එන්.එම් න්‍යාය සහ භාවිතාව අතර බෙදුම්කඩනයක් නිර්මාණය කිරීමත්ය. පක්ෂය තුළ පර්යේෂණ අංශයක් තිබුණා නම් මෙම න්‍යායික ප්‍රවේශය පක්ෂය අභ්‍යන්තරයෙන් පක්ෂ න්‍යායාචාර්යවරයා මඟින් හමුවන අතර එය නායකත්වයට තම පක්ෂයේ දේශපාලන සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට හැකිව තිබුණි.

                        සමකාලීන දේශපාලන තත්වය තුළ අපගේ සංවිධානය ඉදිරියට ගමන් කරන්නේ, න්‍යායික භාවිතාව ආලෝකයක් කොටගෙන ය. විප්ලවවාදී දේශපාලනයට හරියටම කැපී යන චරිත තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ වලින් අපගේ ව්‍යාපාරය ‘දෘෂ්ටිවාදය විශ්ලේෂණය’ කිරීම නම් න්‍යායික භාවිතාවට එළඹ තිබේ. වෙනත් අය දිය වෙමින් යන සන්දර්භයක අප දිදුලමින් පවතින්නේ මේ නිසා ය. සංස්කෘතික දේශපාලනය සහ ලිබරල් දේශපාලනය වෙනුවට අප පසමිතුරුභාවයට මුල් තැන දෙන්නේ අහම්බයකින් නොවේ. 56 දී සිදු වූ දෙය යළි යළිත් පුනරාවර්තනය වන නිසා සංස්කෘතිය සමතික්‍රමණය කරන ශිෂ්ටාචාර දේශපාලනයකට අප අවතීර්ණ විය යුතු ය. තමන් අල්තූෂර් පිළිබඳව අතැඹුලක් සේ දන්නා බව පෙන්වන අය පවා සමකාලීන මාධ්‍ය දේශපාලනය තුළ ඉටු කරමින් සිටින්නේ, ‘අනන්‍යතා දේශපාලනය’ සහ ‘සමාජ පිළිගැනීම’ (මෙය අවසන් වශයෙන් ලිබරල් අදහසකි.) සඳහා සටන් වැදීම යි.

REF- 1956 දී ලංකාවේදී සිදුවූ දේශපාලනමය විපර්යාසයන් හා ඉන් ජනිත වූ සමාජ දේශපාලනමය ක්‍රියාදාමයන් පිළිබඳ සමාජ විද්‍යාත්මක සටහනක්.
නිව්ටන් ගුණසිංහ

DKG

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*