වස විස පිරි ෆොන්ටෙරා කිරි හා කැන්සර් කොකනට් ඔයිල්

වස විස පිරි ෆොන්ටෙරා කිරි හා කැන්සර් කොකනට් ඔයිල්

.

Kasun Pussawela

.

මීට අවුරුදු 8කට කලින් කිරිපිටිවල කෘශි රසායන අඩංගු බව විද්‍යාගාර පරීක්ෂණවලින් තහවුරු වුණාට පස්සෙ රටේම මිනිස්සු කළේ කඩේ තියෙන කිරිපිටි ගන්න එක නතර කරපු එක. කම්පැනිකාරයො කලේ නවසීලන්තයෙන් නොගෙන්වන බවට තම තමන්ගෙ කිරිපිටි පැකට්වල මුද්‍රණය කරපු එක සහ සල්ලි විසි කරල මහා වෙළෙඳ කැම්පේන් එකක් කරපු එක. ඒ අතරෙ නවසීලන්තයෙන් කිරිපිටි ගෙන්නපු ප්‍රධාන කොම්පැනි කලේ රසායනාගාර සහ දේශීය ආයතන අල්ලගෙන දෙවන සහ තෙවන පරීක්ෂණ වාර්තාවන් කිසිම අවුලක් නැති බවට පත්කරගන්න දතකාපු එක. ඒ වගෙම කිරිපිටි සාම්පල සිංගප්පූරුවටත් යවල කිසිම අවුලක් නැති බව ප්‍රකාශ කලා. දැන් හැමෝම කිරිපිටි බොනව.

කොහොම නමුත් කිරිපිටිවල කෘශි රසායන අඩංගු බව 2013 අප්‍රේල් මාසෙ රාවයෙ ලිව්වට පස්සෙ විවිධ දේවල් සිදු වුණා. ඒ අතරින් වැදගත්ම සිදුවීම වුණේ කිරිපිටි පැකට් වෙළෙඳපොළට එන එක නතර කරල ඒ වෙනුවට ඒ කිරිපිටි අයිස්ක්‍රීම්, බිස්කට් නිෂ්පාදනවලට යොදවපු එක. ඇත්තනෙ. අපි පාරිභෝගිකයන් විදියට කිරිපිටි කිව්වම හිතන්නෙ බොන්න විතරයි ඒව තියෙන්නෙ කියල. (ඒකත් ඉන් පස්සෙ සතියක රාවයෙ ප්‍රධාන පුවතක් වුණා. ඒ පත්තර පිට හොයාගන්න නෑ මෙවෙලෙ)

මෙවෙලෙ බිස්කට එකක්, බනිස් ගෙඩියක්, කේක් කෑල්ලක් වගෙම අයිස්ක්‍රීම් ටිකක් කමින් ඉන්නව නම් ලේබලේ බලන්න. කිරිපිටි ප්‍රධාන අමුද්‍රව්‍යයක් විදියට ගහල තියෙනව. කොම්පැනි සහ වෙළෙඳපොළ කියන්නෙ එහෙම එකක්. අපි එදා කොහොමවත් දැක්කෙ නෑ කිරිපිටි එක ග්‍රෑම් එකක් විනාශ කරනව හෝ ප්‍රති අපනයනය කරනව. ඒක මාෆියාවක්. දේශපාලන නාරටිය එක්ක තදින්ම බැඳුනු ගහට පොත්ත වගේ බැඳීමක්. ඒ කාලෙ වුණු සමහර සිදුවීම් ගැන දැනගත්තෙ ඉන් අවුරුදු ගාණක් ගියාටත් පස්සෙ. සමහර කිරිපිටි ආනයනය කොම්පැනි ‍රාවයට සල්ලි දෙන්නත් කතා කරල තිබිල. ඉතිං කිරිපිටි මතක් වුණේ මේ රටේ පොල්තෙල් කතාවත් එක්ක. කවුරු කොහොම කිව්වත් මේ රටේ වරායට කිරිපිටි එන්නෙ කිලෝ 25 සිමෙන්ති පාට බෑග්වල අසුරල. ඒව එක එක නම් ගහල පැකට් කරල ගෙනාවෙ අරහෙන්‍ ය. මෙහෙන්‍ ය කිව්වට 99%ක්ම කිරිපිටි කියන්නෙ එකම සුදු පාට කුඩු ජාතියකට. අපි වගේ ආහාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නැති, ආහාර ප්‍රමිතිය ගැන මෙලෝ නෛතික රාමුවක් ක්‍රියාත්මක නොවෙන රටකට ලෝකෙ අනික් රටවල කොම්පැනි එවන්නෙත් එවන්න පුලුවන් අන්තිම ජරා රොඩ්ඩ. අපේ අය ගෙන්වන්නෙත් අන්තිම ලාබෙට ගන්න පුලුවන් කුණුම කුණු ආහාර.

අපි ඌරු කොටුවක ඌරො. හැබැයි අපි මේ දේශපාලනයෙ කුණු කකා උන්ටම අපේ මස් ඇට නහර ටික දන් දීල වද විඳල මැරිල යනව. මේ ටික ලියන්න හිතුනෙ පොල් තෙල් කතාවත් එක්ක. කිරිපිටි වගෙම තමයි පොල් තෙල් එන්නෙත්. අසුරන්නෙත් එහෙමමයි.. මේ විෂ පොල් තෙල් එක දශමයක් ප්‍රසිද්ධියේ විනාශ කෙරෙයි කියල දශම කාලක විශ්වාසයක් පුරවැසියෙක් විදියට මට නැහැ. මේව ද්‍රාවණිත තෙල් බෝතල් විදියට නාවත් අනිවාර්යයෙන්ම කිරිපිටි කතාවෙදි වගේම මාජරින්, අයිස්ක්‍රීම්, කේක්, බිස්කට් හරහා අපේ කුසටම එන්න නියමිතයි. අනික් හැමදේම කර්මය, පව, අවාසනාව කියල හිත හදාගන්නව වගේම අපට වෙන්නෙ උන්ගෙ කුණු කාල අපේ ලේ ඇට මස් නහර දන්දීල මැරිල යන්න විතරයි!

මේ මීට අවුරුදු 8කට කලින් රාවයෙ පළවුණු ලිපියක් –
කිරිපිටිවල ස්වයං පරීක්ෂාව ප්‍රතිඵලදායකවන්නේ කෙසේද?

කසුන් පුස්සවෙල [Sunday, May 19, 2013]
ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන කිරිපිටිවල ‘ඩයිසයින මයිඞ්’ නමැති කෘෂි රසායනිකය අඩංගු නොවන බවට මින් ඉදිරියට සහතිකයක් ඉදිරිපත් කළයුතුයැ’යි සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය 15 වැනිදා මෙරට සියලූ කිරිපිටි සමාගම්වලට දැනුම් දී තිබේ. ජාත්‍යන්තරව පිළිගත් රසායනාගාරයක් මගින් කරන ලද පරීක්ෂණයක් හරහා එම සහතිකය ඉදිරිපත් කළයුතු බවත් එලෙස තත්ත්ව සහතිකය ඉදිරිපත් නොකරනු ලබන කිරිපිටි මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බවත් බෙදාහැරීම තහනම් කරන බවත් ප‍්‍රධාන ආහාර බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල ඇතුළු ආහාර උපදේශක කමිටුව එදින ප‍්‍රකාශ කර ඇත. තවද එහිදී ප‍්‍රකාශ වූ තවත් කාරණාවක් වූයේ කිරිපිටි සමාගම් විසින් ඉදිරිපත් කරනු ලබන සහතිකයක් තිබුණද එම කිරිපිටි නිරන්තරයෙන් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවත් ඩයිසයිනමයිඞ් කෘෂි රසායනය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනුකමිටුවක්ද පත්කරන බවයි. ඩයිසිනමයිඞ් නමැති කෘෂි රසායනය අඩංගු බවට සැක කෙරෙන කිරිපිටි සාම්පල් 5ක් සිංගප්පූරුවේ රසායනාගාර පරීක්ෂාවට යවා තිබූ බව පසුගිය අපේ‍්‍රල් 7 වැනිදා රාවය පුවත්පත පළමුවරට වාර්තා කළ අතර පසුගිය සතියේදී රාවය නැවතත් වාර්තා කළේ එලෙස යැවූ කිරිපිටි සාම්පල් 5 තුළම එම කෘෂි රසායනිකය අන්තර්ගතව ඇති බවට සඳහන් වාර්තාවක් මෙරටට ලැබී ඇති බවකි. ඒ සමගම මාධ්‍ය මගින් ඊට පුළුල් ප‍්‍රචාරයක් ලැබුණු අතර අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය පරණ පුරුදු ලෙසම අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීමේ කලාව නැවත නැවතත් පසක් කරමින් මින් ඉදිරියට ආනයනය කරනු ලබන කිරිපිටි සඳහා තත්ත්ව සහතිකයක ඇති අවශ්‍යතාව හා නිරන්තර පරීක්ෂාවන් පිළිබඳව අවධානය යොමු කර ඇත. ශ‍්‍රී ලංකාවට වාර්ෂික කිරිපිටි මෙටි‍්‍රක් ටොන් අසූපන්දහසත් අනූදහසත් අතර ප‍්‍රමාණයක් ආනයනය කරනු ලබන අතර වේ පවුඩර් (අයිස්ක‍්‍රීම්, බිස්කට් ආදිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය කිරිපිටි වර්ගයක්) ලෙසද අතිවිශාල කිරිපිටි ප‍්‍රමාණයක් ප‍්‍රධාන වශයෙන් නවසීලන්තය හා ඕස්ටේ‍්‍රලියාව යන රරටවල්වලින් මෙරටට ආනයනය කරනු ලබයි.

මේ දිනවල ‘ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස්’ ලංකා ආයතනය සෑම පුවත්පතකම පාහේ දැන්වීම් පළකරමින් ‘ඔබේ විශ්වාසය කවදත් දිනනා උසස්ම තත්ත්වය’ යන මැයෙන් දැන්වීම් පළකරමින් තම ආයතනයේ නිෂ්පාදනයන් පිළිබඳව විශ්වාසය තබාගන්නා ලෙස මහජනතාව වෙත නිවේදනය කරයි. එලෙසම මැලිබන් මිල්ක් ප‍්‍රඩක්ට්ස් (ප‍්‍රයිවෙට්) ලිමිටඞ් විසින් ‘ඬේරි ඕස්ටේ‍්‍රලියා විසින් සහතික කළ මැලිබන් කිරි’ යන මැයෙන් තමන් විශ්වාස කරන ලෙස ඉල්ලා දැන්වීම් පළකරමින් ඇත. පසුගිය මාර්තු මස මුල් සතිය තුළදී පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සිංගප්පූරුවට යැවූ කිරිපිටි සාම්පල් පිළිබඳව තොරතුරු මාර්තු 20දා එම රසායනාගාරයෙන් විමසා තිබූ අතර අපේ‍්‍රල් මාසයේ මුලදී කිරිපිටි සාම්පල් 5 තුළම ඩයිසයිනමයිඞ් කෘෂි රසායනය අඩංගුව ඇති බව සනාථ කරමින් රසායනාගාර වාර්තාව පාරිභෝගික කටයුතු අධිකාරියට එවා තිබුණි. එලෙස මෙරටින් යැවූ කිරිපිටි සාම්පල් ඇන්කර්, රත්තී, ලක්ස්පේ‍්‍ර, නෙස්පේ‍්‍ර සහ මැලිබන් යන වර්ග වන අතර මීට පෙර මෙලමයින් රසායනිකය පිළිබඳව පර්යේෂණය සිදු කළ රසායනාගාරය විසින්ම මෙම ඩයිසිනමයිඞ් කෘෂි රසායන පරීක්ෂාවද සිදුකර තිබුණි. බළලා මල්ලෙන් එළියට පනින්නේ පසුගිය අපේ‍්‍රල් 30 වැනිදා නවසීලන්ත රජයේ කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ නියෝජිතයන් දෙදෙනකු පරමාණු බලශක්ති අධිකාරියටත්, ඉන් අනතුරුව පාරිභෝගික කටයුතු අධිකාරියටත් පැමිණ කරන ප‍්‍රකාශය හා ඉල්ලීම හරහාය. එහිදී පරමාණු බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන මහතා හා පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.ඒ. ඩග්ලස් මහතා ඇතුළු නිලධාරීන්ට ඔවුන් පවසා ඇත්තේ මෙරටදී කරනු ලබන විකිරණ පරීක්ෂාව කරදරකාරී බවත්, ඩයිසයිනමයිඞ් ඉතා සුළු ප‍්‍රමාණයක් කලින් ගෙන්වූ කිරිපිටිවල තිබූ බව පිළිගන්නා නමුත් දැන් මෙරටට ගෙන්වන කිරිපිටි තුළ එවැනි කෘෂි රසායන කිසිවක් අඩංගු නොවන බව තහවුරු කළහැකි බවත්ය. එසේ නම් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී නවසීලන්තයේ වෙළෙඳපොළ තුළ ඇති කිරිපිටි සාම්පල් පරීක්ෂා කිරීමේදී සාම්පල් 371ක් තුළ තිබී හමුවූ ඩයිසයිනමයිඞ් කෘෂි රසායනය මෙරටට ආනයනය කර ඇති කිරිපිටි තුළ නැතැ’යි කිව නොහැකිය.

කවර බලපෑම් හමුවේ වුවද ආහාර හා කිරිපිටි සම්බන්ධයෙන් දැඩි ප‍්‍රතිපත්තියක් ඇති කිරීමේ අවශ්‍යතාව අද වනවිටත් ප‍්‍රමාද වී ඇති කාරණාවක් වීම සැබැවින්ම බරපතළය. කිරිපිටි සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ විධිමත් වියයුතු බවත්, ඒවා ඉතා ඉක්මනින් අවසන් කළයුතු බවත් අප අවධාරණය කරමු. මේ වන විට ලෝකයේ සෑම රටක්ම පාහේ කෘෂි රසායන හා විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු ආහාර ආනයනය කිරීම තහනම් කර ඇතුවා සේ ම දැඩි පරීක්ෂාවකටද ලක්කරමින් ඇත. එවැන් වටාපිටාවක් තුළ අප රටේ ඊට අදාළ රසායනාගාර පහසුකම් හා තත්ත්ව පරීක්ෂාවත් යුහුසුලූව වර්ධනය කළ යුතුව ඇත.

එලෙසම සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ට ලැබුණු වාර්තාව හෙළි නොකිරීමටත්, එම කෘෂි රසායනිකයන් අඩංගුව තිබූ ප‍්‍රමාණයත් පිළිබඳවත් මෙරට විශේෂඥයන්ට නිශ්චිතව හෙළි නොකිරීමත් හේතුවෙන් එහි බරපතළකම පිළිබඳව නිශ්චිතව සොයා බැලීම වැළැක්වීමට මෙරට උගතුන්ට කළ වැට බැඳීම බව කිව හැකිය. කිරිපිටි සාම්පල් පරීක්ෂා කළ ආයතනය හා නැවත පරීක්ෂා කිරීමට යවන ආයතනයන් පිළිබඳව ප‍්‍රකාශ නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු බලධරයන් ක‍්‍රියාකිරීම කාලෝචිතය. මන්දයත් අතිවිශාල ධනස්කන්ධයක් ඇති කිරිපිටි ගෙන්වන බහුජාතික සමාගම් එම රසායනාගාර මුදලට ගැනීම වැළැක්වීම සඳහා එම රහස්‍යභාවය වැදගත්ය. නමුත් මින් ඉදිරියට තමන්ගේ කිරිපිටි සාම්පල් තමන්ම පරීක්ෂා කර ගෙනෙන්න කීම තවත් එක් අර්ථශූන්‍ය හා මහජනතාව අනතුරක දැමීමේ තීරණයක් බව කිව යුතුය. කෙදිනකවත් තමන්ගේ කිරිපිටි තත්ත්වයෙන් බාල බව එම සමාගම් ප‍්‍රකාශ කරාවියැ’යි සිතිය නොහැකිය. වාර්තාවට අනුව සොයන්න අවශ්‍යයි

ජේ.එම්.ඒ. ඩග්ලස්,අධ්‍යක්ෂ ජනරාල් ,පාරිභෝගික කටයුතු අධිකාරිය

පසුගිය අපේ‍්‍රල් 30 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී නවසීලන්ත නියෝජිතයන් දෙදෙනෙක් අප හමුවන්න ආවා. කලින් ආනයනය කරපු කිරිපිටිවල ඩයිසයිනමයිඞ් අඩංගු වුණානම් ඒ අඩංගු වුණේ සුළු කොටසක් බව ඔවුන් ප‍්‍රකාශ කළා. දැන් වෙළෙඳපොළට එන කිරිපිටි තුළ ඩයිසයිනමයිඞ් නැති බවට සහතික වන බවත් ප‍්‍රකාශ කළා. ඒ අනුව ඔවුන් පිළිගන්නවා ඩයිසයිනමයිඞ් කිරිපිටි තුළ තිබූ බව. මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආහාර සුරක්ෂිත කමිටුව තීරණ කිහිපයක් අරගෙන තිබෙනවා. අපි විසින් කලින් සිංගප්පූරුවට යැවූ සාම්පල් 5 තුළම එම රසායනය අඩංගු බවට තහවුරු කරලා වාර්තාව ලැබුණා. ඒ වාර්තාව අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දුන්නා. ඒ අනුව දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා නැවතත් එම වාර්තාව වෙනත් රටකට යවන්නත්, මින් ඉදිරියට කිරිපිටි ගෙන්වන ආයතන විසින් තමන්ගේ ආනයනයන් පිළිබඳව සහතිකයක් ඉදිරිපත් කළයුතු බවටත්, මේ පිළිබඳව සොයා බැලීමට අනුකමිටුවක් පත්කිරීමටත් පියවර අරගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී අපට ලැබෙන නියෝග අනුව අපි කටයුතු කරනවා.

විකිරණ නැහැ කියන්න බැහැ

ආචාර්ය රංජිත් විජේවර්ධන,සභාපති – පරමාණු බලශක්ති අධිකාරිය

කිරිපිටිවල ඩයිසයිනමයිඞ් පරීක්ෂා කිරීමේ හැකියාවක් අපට නැහැ. මාධ්‍ය වරදවාගෙන අපව මේකට පටලවාගෙන තිබෙනවා. නමුත් අපි දිගින් දිගටම ආනයනික කිරිපිටි හා ටින් ආහාර විකිණ පරීක්ෂාවට ලක් කරනවා. පසුගිය මාසයේ 30 වැනිදා නවසීලන්ත නියෝජිතයන් දෙදෙනෙක් ඇවිත් අපත් සමග සාකච්ඡුාවක් පවත්වා කිව්වා අපේ රටේදි කිරිපිටි විකිරණ පරීක්ෂාවකට ලක්කිරීම තමන්ට කරදරයක් බව. නමුත් අපි ඊට එකඟ වුණේ නැහැ. මොකද වසර ගණනාවකට පෙර ගොඩබිමේ කළ න්‍යෂ්ටික පිපිරවීම් හේතුවෙන් ඉහළට ගිය විකිරණශීලී දූවිලි තණබිම්වල තැන්පත් වෙනවා. ඒවා ගවයින් හරහා කිරිපිටි තුළට එන්න පුළුවන්. පසුගිය වසරේ පෝලන්තයෙන් ආනයනය කළ වේ පවුඩර් තුළ තිබී එවැනි මූලද්‍රව්‍ය අපට හමුවුණා. 2003 වසරේදී අවදානම් සීමාවට වඩා වැඩි ප‍්‍රතිශතයකින් විකිරණශීලී මූලද්‍රව්‍ය කිරිපිටි තුළ තිබී හමුවුණා. ඒවා රට තුළට ගන්නේ නැහැ. මෙවැනි අන්තරාදායක වටාපිටාවක් හා මේ පරීක්ෂණ නැවැත්වීමේ බලපෑම් සහිත වටාපිටාවක් තුළ ඉදිරියටත් මේ පරීක්ෂණ පැවැත්විය යුතුයි. ඒ සඳහා තව තවත් තාක්ෂණය හා උපකරණ අපට අවශ්‍යයි. මේ තොරතුරු මත අපට එකහෙළාම ප‍්‍රකාශ කරන්න බැහැ කිරිපිටි තුළ කෘෂි රසායන හෝ විකිරණශීලී මූලද්‍රව්‍ය අඩංගු නොවන බව. ඒවා නිරන්තරයෙන් පරීක්ෂා කළ යුතුයි. මොකද ඒවා අධිකවම ආහාරයට ගන්නේ කුඩා ළමුන්.

Kasun Pussewela

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*