වරාය නැගෙනහිර පර්යන්තයේ දේශපාලනය

වරාය නැගෙනහිර පර්යන්තයේ දේශපාලනය

.

Nalin De Silva

.

මෙවර (2021 ජනවාරි) මුද්‍රිත කාලය සඟරාවේ පළ වූ ලිපියක  සඳහන් කොටස් කිහිපයක් මෙසේයි.  

“අප රටේ දේශපාලනය තීරණය කරන ප්‍රධාන සාධකයක් වනුයේ ඉන්දු චීන බල අරගලයයි. එය අපට වැඩිය ඇඟට නො දැනෙයි. එහෙත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද ඇති වී තිබෙන්නේ මෙරට දේපොළවලට මැදිහත් වීමට ඉන්දියාව හා චීනය අතර ඇති තරගයේ එක් අදියරක් බව පැහැදිලියි. අප අපේ සමහර දේපොළ මේ වන විටත් දීර්ඝ කාලීනව බදු දී ඇත. ඒ විකුණා නැති විය හැකියි. එහෙත් ඒ විකුණුවා වගේ කියා කිසිවකු කියනු අභියෝගයට ලක් කළ නො හැකි බව පැහැදිලි වෙයි.

ඉන්දියාවට වඩා චීනය ආර්ථික අතින් බලවත් වී ඇත. අද චීනය ලෝකයේ දෙවැනි විශාල ම ආර්ථිකයට හිමිකම් කියයි. චීන ආණ්ඩුව කොමියුනිස්ට් හරි සමාජවාදී හරි ආණ්ඩුවක් නො වෙයි. එහෙත් චීනය ආණ්ඩු කරන පක්‍ෂය හැඳින්වෙන්නේ කොමියුනිස්ට් පක්‍ෂය ලෙසයි. එහි කොමියුනිස්ට් අදහස් නැතිවා නො වෙයි. එහෙත් ඒ වගේ ම චීන සාම්ප්‍රදායික අදහසුත් බටහිර ලිබරල් අදහසුත් ගැබ් වී තිබෙනු දැකිය හැකියි. 

චීනය දැනටමත් අග්නිදිග ආසියාවේ පමණක් නොව  ඕස්ත්‍රේලියාව ජපානය නවසීලන්තය ද ඇතුළු කලාපයේ ම ආර්ථික බලවතා වෙයි. චීනයට ජපානය අභිබවා යැමට ගත වී ඇත්තේ ඉතා කෙටි කාලයක් බව අප තේරුම් ගත යුතුව ඇත. පසුගිය දා මේ රටවල් ද අග්නිදිග රටවල් ද සම්බන්ධ කර ගනිමින් කලාපීය පරිපූර්ණ ආර්ථික හවුල (RCEP) පිහිටුවා ගන්නා ලදී. ඉන්දියාවට සාක් රටවල් සමග එකතු වී මේ හවුලට මුහුණ දිය නො හැකි ය. මෙහි දී ඉන්දියාව පසුගිය කාලයෙහි සාක් රටවල් අමතක කර කටයුතු කර ඇති බව අමතක කළ නො හැකි ය. 

වර්තමානයේ චීන ආයෝජන මගින් හා චීන ජන සංයුතියේ වර්ධනයත් මගින් අග්නිදිග ආසියාව චීන කලාපයක් වෙමින් පවතියි. අග්නිදිග ආසියාව මේ බලපෑම සතුටින් ඉවසන්නේ යැයි නොසිතිය යුතුයි. එහෙත් ඒ රටවලට අද විකල්පයක් නැති වෙමින් පවතියි. කලින් සඳහන් කළ පරිදි චීනය ආර්ථික බලපෑමෙන් පමණක් සැහීමකට පත් නොවනු ඇත. එයට හොඳ ම උදාහරණය  දකුණු චීන මුහුද සම්බන්ධයෙන් චීනය දරණ ආක්‍රමණශීලි පිළිවෙත වෙයි. ඒ හේතුවෙන් වියට්නාමය කාම්බෝජය ලාඕසය ඇතුළු රටවල් ගණනාවක් චීනය සමහ හොඳ හිතක් පවත්වා ගෙන යන්නේ යැයි කිව නො හැකි ය.      

ඉන්දියාවට ලෝක මට්ටමෙන් එතරම් දෙයක් කිරීමට නො හැකි වෙයි. ඉන්දියාවට වැඩිම වුවහොත් එක්සත් රාජ්‍යවල දකුණු ආසියාතික කලාපීය නියෝජිතයා බවට පත් වීමේ හැකියාව වෙයි. අප අයත්වන්නේ අග්නිදිග ආසියාවට නොව දකුණු ආසියාවට ය. ඉන්දියාව හා චීනය අතර දකුණු ආසියාතික කලාපයේ සිදු වන බල අරගලයේ විශාල බලපෑමකට  අප හසු වනු ඇත. අප එය කළමනාකරණය කරන්නේ කෙසේ ද? 

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ප්‍රශ්නය පහසුවෙන් විසඳිය හැක්කක් නො වේ. මෙය හුදෙක් පර්යන්තය බදු දීමේ ප්‍රශ්නයක් නොවන බව පැහැදිලි ය. පර්යන්තය විකිණීමක් සිදු නොවන බව ආණ්ඩුව එකහෙළා ප්‍රකාශ කරයි. ඒ සම්බන්ධ සියලු ලියකියවිලි ප්‍රසිද්ධ කරන්නේ නම් ජනතාවට එය වැදගත් වනු ඇත. 

මේ ක්‍රියාව සිදුවන්නේ චීන නව සේද මාර්ගය හා පෝට් සිටිය හෙවත් වරාය නගරය ද පසුබිම් කර ගෙන ය. වරාය නගරය යථා කාලයේ දී චීන නගරයක් වීමට ඉඩ ඇත. චීන නව සේද මාර්ගය කිසිසේත් පැරණි සේද මාර්ගය මෙන් නොවනු ඇත. නව සේද මාර්ගයට ඉන්දියාව හා එක්සත් රාජ්‍ය කැමති වේ යැයි සිතීම මුළාවක් වෙයි. අග්නිදිග ආසියාවේ රටවලට අද ඒ රටවල චීන ජන සංයුතිය ප්‍රශ්නයක් වී ඇත. චීන සේවකයන් ව්‍යාපාරිකයන් ඒ රටවල දකින්නට ඇත. ඒ ගැන ඒ රටවල ජනතාව ඉතා විමසිල්ලෙන් සිටිනු දැකිය හැකි ය. ලංකාවේ ද විවිධ චීන ව්‍යාපෘතිවල චීන කම්කරුවන් සේවය කරනු දැකි ය හැකි ය. චීන වරාය නගරය චීන නගරයක් වී කොළඹ වරාය නව සේද මාර්ගයේ මර්මස්ථානයක් වනු දැකීම ඉන්දියාව ඉවසා සිටින්නේ අප කිසිසේත් නොසිතිය යුතු ය. 

අද ලොව නැවතත් කඳවුරු දෙකකට බෙදී ඇත. ඒ එක්සත් රාජ්‍ය හා චීනය ලෙස ය. බටහිර රටවල් හා ඉන්දියාව පොදුවේ ගත් කල චීන විරෝධී වෙයි. චීනය අග්නිදිග ආසියාවේ හා ශන්තිකරයේ රටවල් එකතු කිරීමට උත්සාහ දරයි. එහෙත් චීනය දේශපාලන වශයෙන් හා ආර්ථික වශයෙන් ඉතා නග්න ව ක්‍රියා කරයි. නව සේද මාර්ගයේ සේද රෙදි එලිමට බොහොා රටවල් සූදානම් නැත. දෙවැනි සීතල යුද්ධය පළමුවැනි සීීතල යුද්ධය මෙන් නො වූව ද කෙරී ගෙන යයි. 

අග්නිදිග ආසියා කලාපයෙන් පිටත චීනයට වැදගත් ම රට ලංකාව වෙයි. ලංකාව බෙදා ගැනීමට චීනය හා ඉන්දියාව (එක්සත් රාජ්‍ය) අතර ඇත්තේ විශාල තරගයකි. අපි කල්පනාවෙන් වැඩ කරමු. අපට චීන කොලනියක්වත් බටහිර (ඉන්දීය) කොලනියක්වත් වීමේ අවශ්‍යතාවක නැත. එය කීමට පහසු ය. එහෙත් ක්‍රියාත්මක කිරීම අපහසු ය. නමුත් බැරි නැත. අපි අවුරුදු දහස් ගණනක් අපේ ස්වෛරීභාවය රැකගතිමු. අවසානයේ දී ගිවිසුම් නිසා පරාජයට පත් වීමු. එම්සීසී ගිවිසුම වේවා නගෙනහිර පර්යන්ත ගිවිසුම වේවා වරාය නගර ගිවිසුම වේවා ණය උගුල් විය හැකි ය. එහෙත් ඒවා එයට වඩා මරඋගුල් ය. ගිවිසුම් ඉතා පරීක්‍ෂාකාරීව අධ්‍යයනය කළ යුතු ය. ” 

මා ඉහත සඳහන් කොටස් උපුටා දක්වන්නේ නැගෙනහිර පර්යන්ත ප්‍රශ්නයේ දේශපාලනය සාකච්ඡා කිරීමටයි. සම්පූර්ණ ලිපිය කාලය මුද්‍රිත සමරාවේ පළ වී තියෙනවා. මේ ආණ්ඩුව කියන විධියට යහපාලන ආණ්ඩුව නැගෙනහිර වරාය පර්යන්තය ඉන්දියාවට විකිණීමටත් ජපානයෙන් ණයක් ගැනීමටත් යම් එකඟතාවක් ඇති කර ගෙන තිබුණ. එහෙත් මේ ආණ්ඩුව එය වෙනස් කර ජපානයේ ණය මුදල නොගැනීමටත් ඉන්දියාවට නැගෙනහිර වරාය පර්යන්තය නොවිකිණීමටත් කටයුතු කරල. දැන් කරන්න යන්නේ නැගෙනහිර පර්යන්තය සමාගමකට පැවරීමටත් එහි කොටස්වලින් 51%ක් වරාය අධිකාරියටත් 49%ක් ඉන්දියානු සමාගමකටත් ගැනීමට හැකි වන අයුරින් සැලසුම් කිරීමයි. මෙය ආයෝජන මණ්ඩලය යටතේ කෙරෙන්නක් ද කියන එක පැහැදිලි නැහැ. 

සමාගමක කොටස්වලින් 51%ක් තිබෙන අය සමාගම හසුරුවනවා. මෙහි දී ඉන්දියානු සමාගමට ඇත්තේ 49%ක කොටස් ප්‍රමාණයක් වුණත් ඉන්දීය ආණ්ඩුව තීරණ ගැනීමේ දී බලපෑම් කරාවි යන සැකය ඇති වෙනවා. මා හිතන්නේ ගිවිසුමක් අත්සන් කරන විට පැහැදිලි ව සඳහන් කළ යුතු කරුණක් වන්නේ තීරණ ගැනීම කොටස්වලින් 51%ක් සතු වරාය අධිකාරියට සම්පූර්ණයෙන් හිමි වන බවටත් ඉන්දියානු සමාගමට ලාභයෙන් අදාළ ප්‍රතිශතය පමණක් ලැබෙන බවත් අවධාරණය කිරීමයි. එමෙන් ම ඉන්දියානු සමාගමට අයත් කොටස් යම් කාල සීමාවක දී ක්‍රමයෙන් වරාය අධිකාරියට මිළ දී ගැනීමටත් හැකි වන පරිදි ගිවිසුම සකස් කරන්න ඕන.    

ඒ සමග චීනය හා වරාය සම්බන්ධ ගිවිසුම් ද නැවතත් සාකච්ඡා කරන්න ඕන. හම්බන්තොට වරාය අවුරුදු 99කට චීනයට බදු දීල. චීන වරාය නගරය කොළඹ වරාය අසළ ම තියෙන්නෙ. චීනය තම වෙළෙඳපොළ පුළුල් කරමින් ඉන්නවා. ඔවුන්ට විශාල ආර්ථීක ශක්තියක් තියෙනවා. ඉන්දියාව ඔවුන්ගේ ම වරාය නගරයක් ඉදිකරන්න යනවා. අපට දැනට සිදු වෙනවා ඉන්දියාව හා චීනය අතර අපේ ආර්ථික ගිවිසුම් දේශපාලනයත් සැලකිල්ලට ගනිමින්  කළමනාකරණය කිරීමට. 

අප දිවයිනක්. අපට වරාය ඉතා වැදගත්. කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය පමණක් නොව තවත් වරාය ඓතිහාසිකවත් අපට වැදගත් වෙලා තියෙනවා. වරාය සියල්ල අවසානයේ දී අපේ කළමනාකාරීත්වය යටතේ අපට පමණක් කටයුතු කිරීමට හැකි තැන් වෙන්න ඕන. නිදහසෙන් පසුවත් ත්‍රිකුණාමල වරාය කලක් යන තුරු ඉංගිරිසි පාලනය යටතෙ තිබුණෙ. අවුරුදු හැත්තැතුනකට පස්සෙ ඒ ඒ මෝරු ඒ ඒ වරායවලට එනවා. අපට දැනට මෝරුන් හසුරුවන්න වෙලා. ඒත් අපි හාල්මැස්සකු ලෙස හිතන්න ඕන නැහැ.     

අපේ අවසාන ඉලක්කය වෙන්න ඕන ආර්ථික දේශපාලනික හා සංස්කෘතික (දැනුම ද ඇතුළත්) වශයෙන් ස්වාධීන වීම. අතරමග අපට බටහිර, ඉන්දියාව, චීනය, ජපානය සමග ගණුදෙනු කරන්න වෙනවා. ඒ ගණුදෙනු අපට වාසි සහගත අයුරින් කළමනාකරණය කිරීම අපේ වගකීමක්.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*