වරාය නගර ඝෝෂාව

වරාය නගර ඝෝෂාව

.

Waruna Chandrakeerthi

.

වරාය නගරය හදන්න පටන් ඇරගෙන අවුරුදු අටක් විතර ගතවෙලා. මේ වැඩේ පටන්ගත්තේ 2014 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ. කොහොම වුනත් මේකට අදාළ මහ සැලසුමක් තියෙන බවක් නම් අපි දන්නේ නෑ. මේක මහ විශාල ව්‍යාපෘතියක්. මේ වගේ ලොකු වැඩ ඒකට ගැලපෙන මහ සැලැස්මක් නැතුව කරන්න බෑ. ඒ ගැන නොතකා වැඩ පටන්ගත්තාම මහ ආරවුල් ඇතිවෙනවා. ඉතින් වරාය නගරය ගැන ඇතිවෙන ඝෝෂාව තවමත් ඉවර වෙලා නැත්තේ මේ හින්දා කියලයි මට හිතෙන්නේ.

මහවැලි සංවර්ධන ව්‍යාපෘතියත් එක්ක මේක සන්සන්දනය කරලා බලන්න පුළුවන්. මහවැලියෙන් වැඩගන්න පුළුවන් ද කියලා හොයන්න පටන්ගත්තේ 1956 අවුරුද්දේ. ඒ අධ්‍යයනවල ප්‍රතිඵල සහ යෝජනා ඇතුළත් වාර්තා ප්‍රසිද්ධ කළේ 1961 අවුරුද්දේ. ඊට පස්සේ ඒ යෝජනා ක්‍රියාත්මක කරන අදහසින් 1962 දී පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළා.

ඒත් ඒ යෝජනාවෙන් කියපු විදිහට කොටස් වශයෙන් ඒක කරන්න බෑ කියලා ඒ කාලයේ තිබුණු සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව තීරණය කළා. මහවැලි ග‍ඟෙන් වැඩගන්න පුළුවන් විදිහ ගැන හොයලා අංගසම්පූර්ණ වැඩපිළිවෙළක් හදන්න ඕන කියලාත් ඒ ආණ්ඩුව කිව්වා. ඉතින් ඒ අනුව මහවැලියෙන් වැඩගන්න පුළුවන් මහ සැලැස්මක් හදන්න තීරණය කෙරුණා.

මේ සැලැස්මට අදාළ අධ්‍යයන කටයුතු පටන්ගත්තේ 1964 අවුරුද්දේ. මේ විදිහට පටන්ගත්ත ඒ වැඩේ ඩඩ්ලි සේනානායක මහත්තයාගේ ආණ්ඩුවත් නැවැත්තුවේ නෑ. ඉතින් අදාළ අධයන කටයුතු අඛණ්ඩව කරගෙන යන්න ඒ සඳහා යොමුකරපු අයට පුළුවන් වුනා. අන්තිමේ දී ඒ අය කරපු අධ්‍යයනයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේ විශේෂ වාර්තා 14 ක් ඇතුළත් කාණ්ඩ තුනක සංග්‍රහයක් විදිහට. ඒ තුළින් තමයි මහවැලි සංවර්ධන මහ සැලැස්ම ගැන රට ම දැනගත්තේ. මේ සැලැස්ම 1968 දී පාර්ලිමේන්තුවෙන් අනුමත වුනා.

මේ විදිහට හදපු මහවැලි සංවර්ධන සැලැස්ම අවුරුදු පනහකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ කාලය තුළ ආණ්ඩු කීයක් නම් මාරුවෙලා තියෙනවා ද? ඒත් ආණ්ඩු මාරුවුනා කියලා මහවැලි සැලැස්ම ක්‍රියාත්මක කිරීම වෙනස්වුනේ නෑ.
මහවැලි සංවර්ධන මහ සැලැස්ම ගැන අපේ ඉස්කෝල පොත්වලත් තිබුණා. ඉතින් ඒ වැඩේ කරන විදිහ ගැන හැම කෙනෙක් ම දැනගත්තා. සෑහෙන පිරිසකට තමන්ගේ ගම්බිම් අහිමිවුනා. තෙල්දෙණිය වගේ නගරත් අලුතින් හදන්න වුනා. මෙහෙම අලාභ වෙද්දිත් මිනිස්සු ඒවා ඉවසුවා. ඒ අය තමන්ගේ පාරම්පරික ගම්බිම් අත ඇරලා ඈත දුෂ්කර පළාත්වල පදිංචියට ගියා.

මම මේ කියන්නේ මහවැලි සංවර්ධනයෙන් කරපු වැඩේ හරියට ම හරි කියන එක නෙවෙයි. මේ කියන්නේ විධිමත් සැලැස්මක් යටතේ ඒ වැඩේ කරපු හින්දා ඒ සම්බන්ධයෙන් මහා ආරවුල් ඇතිවුනේ නෑ කියන කාරණය විතරයි.
මහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න ඕන විධිමත් සැලැස්මක් යටතේ. ඒ ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕන. ඉතින් අදාළ ප්‍රතිලාභ ගැන දැනගත්තාම මිනිස්සු කලබල කරන්නේ නෑ.

ඒත් වරාය නගර ව්‍යාපෘතියට අදාළව එහෙම සැලැස්මක් තිබුණේ නෑ. ඒකට අදාළව මුල දී ම පනතක් සම්මත කරගත්තේ නෑ. ඉතින් වැඩේ පටන් ඇරගෙන මාස හතරක් ගතවෙන්න කලින් ඒකට බාධා ඇතිවුනා. වැඩේ අතරමත නවත්තන්නත් වුනා. අන්තිමට වැඩේ පටන්ගත්තේ අලුත් විදිහකට. ඒත් ඒ වෙලාවෙත් අදාළ පනතක් සම්මත කරගත්තෙත් නෑ. දෙන්නම් කාසිවලට වැඩකරනවා වගේ වරාය නගරය හදාගෙන ගියා.
යහපාලන ආණ්ඩුවේ අදහස් අනුව කලාපීය මූල්‍ය මධ්‍යස්ථානයක් විදිහට වරාය නගරය හදන්න තීන්දු කළා. ඉතින් ඒකට අදාළ පිරැවීම් සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු කරන අතර මේ වැඩේට අදාළ අංගසම්පූර්ණ පනතක් සම්මත කරගන්න තිබුණා. ඒත් මේ අවුරුද්ද වෙනකල් ම ඒක වුනේ නෑ. මේ වෙද්දි නගරය ඉදිකිරීමට අදාළ මූලික යටිතල පහසුකම් සංවර්ධනය කරලා ඉවර කරන්නත් ළඟයි. වැඩේට සම්බන්ධ වුණු චීන පාර්ශ්වය තමන්ගේ වැඩේ නියමිත කාල සීමාව ඇතුළේ අවසන් කරලා තියෙනවා.

අපේ පැත්තෙන් කරන්න තිබුණේ මේ නගරයට අදාළ අණ පනත් සම්මත කරලා ඒක පාලනය කරන්න ඕන කරන අධිකාරිය (කොමිසම් සභාව) පිහිටුවන එක. ඒත් අපේ ජනතා නියෝජිතයෝ පාර්ලිමේන්තුවට යන්නේ නීති අණ පනත් හදන්න නෙවෙයි. ඒ අයට කරන්න වෙන වැඩ ගොඩක් තියෙනවා. ඉතින් වරාය නගරයට අදාළ පනත හදලා ඒක සම්මත කරගන්න එක මේ දක්වා ම කල් ගියා.

හෙට විභාගයට අද පාඩම් කරනවා වගේ වැඩක් තමයි දැන් වෙලා තියෙන්නේ. අපි කොහොමත් මේ වගේ දඩිබිඩි වැඩ කරන්න දක්‍ෂයි. මේ අප්‍රේල් 14 වැනි දා සිංහල අවුරුද්ද සමරනවා කියලා අපි ගිය අවුරුද්දේ ම දන්නවා. ඒත් අවුරුද්ද වෙනුවෙන් දිළින්දන්ට රුපියල් 5000 ක් දෙන්න ඕන කියලා තීරණය කළේ අන්තිම දවස් කීපය ඇතුළේ.. මේ හින්දා අනවශ්‍ය ආරවුලක් ඇතිවුනා. අදාළ රාජකාරි කරන හුඟක් නිලධාරීන්ට අප්‍රේල් 10, 11, 12 කියන නිවාඩු දවස්වලත් වැඩ කරන්න සිද්දවුනා.
වරාය නගර කොමිසම් පනත ගැසට් කරන්න තීන්දු කළේ අප්‍රේල් 6 වැනි දා. මේ අවුරුදු දවස්වල මේවා ගැන හිතන්න වෙලාවක් අපිට නෑ. ඒත් අවුරුද්දේ රතිඤ්ඤා සද්දේ ඉවරවෙන්නත් කලින් පෝර්ට් සිටි සද්දේ ඇහෙන්න පටන්ගත්තා.

අදාළ පනත පිටු 80 ක් තියෙන මහ විශාල එකක්. ඊයේ හවස රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියට ගිහිල්ලා තමයි මම ඒක බාගත්තේ. මේකට අදාළ හුඟක් කාරණා දවසකින් දෙකකින් පැහැදිළි කරන්න අමාරුයි. මේ වගේ පනතක් ගැන හොයලා බලන්න තරමක කාලයක් ඕන.

බැලූ බැල්මට නම් මේ පනතේ ලොකු වැරැද්දක් පේන්නේ නෑ. අදාළ කොමිසම් සභාව පත්කරන්නේ මේ පනත යටතේ. ඒකට සභිකයන් පත් කරන්නේ ජනාධිපතිතුමා විසින්. කොමිසම් සභාව විසින් නිකුත් කරන නියෝග ගැසට් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. මේ නගරයට එන විදේශිකයෝ ආගමන විගමන පාලකගේ පාලනයටත් යටත් වෙනවා.

කොමිසම් සභාවට අදාළ වගකීම් විශාල ප්‍රමාණයක් ජනාධිපතිවරයාට පැවරෙනවා. ඒවා විෂයය භාර ඇමැතිවරයෙක්ට පවරන්න පුළුවන් කියන එක නම් අවුලක්. ජනාධිපතිවරයා කවුරු වුනත් ඔහු තුළ ජනතාවට තියෙන වගකීමත් මේ වැඩේ පවරන ඇමැතිවරයෙක් තුළ තියෙන වගකීමත් එක සමාන නෑ.

උදාහරණයක් විදිහට මේ පනතේ කීප තැනක ම දක්වලා තියෙන සූදු ක්‍රීඩා කටයුතු ගැන හිතලා බලන්න. පනතේ 52, 53 සහ 71 වැනි වගන්තිවල සහ III වැනි උපලේඛනයේ සඳහන් කරුණු සමස්තයක් විදිහට සළකලා බැලුවා ම සූදු ක්‍රීඩාව “ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර” තුළට ඇතුළත් වෙන බව පැහැදිළියි. 53 (2) වගන්තියේ හැටියට මේ වැඩේ කරන්න නම් ජනාධිපතිතුමාගේ හෝ විෂයය භාර ඇමැතුතුමාගේ අනුමැතිය අවශ්‍ය වෙනවා. රුවන්වැලි මහා සෑය ළඟ දිවුරුම් දීලා වැඩ භාරගත්ත වර්තමාන ජනාධිපතිතුමාට මෙහෙම අනුමැතියක් දෙන්න අමාරුයි. ඒත් මේ වැඩේ ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ ඇමැතිවරයෙක්ට පැවරුවා කියලා හිතන්න. එහෙම වාතාවරණයක් ඇතුළේ වගකීමේ ස්වරූපය වෙනස් වෙනවා. මේ දේවල් තීරණය වෙන්නේ නීතියේ සඳහන් අකුරුවල හැටියට නෙවෙයි.

මේ වගේ ප්‍රශ්න ගණනාවක් වරාය නගර කොමිසම් සභා පනතේ තියෙනවා. මම මෙතැන සූදු කතාව ඉස්මතු කළේ ඒ කාරණ හැමෝටම තේරුම්ගන්න පහසු හින්දා මහ මූල්‍ය ව්‍යාපාරවලට අදාළ කරුණු අපේ අයට තේරුම්ගන්න අමාරුයි.

මූල්‍ය නගරයක් විදිහට මේ ව්‍යාපෘතිය සාර්ථක වෙයි ද කියන සැකයත් මට තියෙනවා. වරාය නගරය වටේට දේශ සීමාවක් පනවන්න, දැඩි පාලනයක් කරන්න අමාරුයි. ඉතින් ඇතුළෙයි පිටයි මහා වෙනසක් තියෙද්දි යම් යම් මගඩි වැඩ සිද්දවීමේ ලොකු ඉඩක් ඇතිවෙනවා. වරාය නගරයට මිනිස්සු ඇතුළුවීමත් පිටවීමත් ගුවන් තොටුපොළේ වගේ පාලනය කරන්න අමාරුයි. මේ නගරයේ ඉන්න අය, වැඩ කරන අය නිතර නිතර එයින් පිටට එන්නත් ඕන. එළවළු, මස්, මාළු ඇතුළු විවිධාකාර සැපයුම් වාහන නගරයට යන්නත් ඕන. ඉතින් මේ හරහා විදේශ මුදල් පිටකිරීම සහ ගෙන ඒම අමාරු වැඩක් වෙන්නේ නෑ දැනටත් අපේ ගුවන් තොටුපොළ හරහා මේ සෙල්ලම වෙන විදිහ අපි දන්නවා.

වරාය නගරය තුළ සහ එයින් පිටත පරතරය එච්චර විශාල එකක් නෙවෙයි නම් මෙහෙම දේවල් වෙන්නේ නෑ. චීනයේ ආර්ථික ප්‍රතිසංස්කරණ පටන්ගත්ත මුල් කාලයේ හොංකොං සහ කුවං-තුං පළාත අතර ඇති වෙච්ච මගඩි වැඩ නැවතුනේ තද නීතිවලින් නෙවෙයි. නීති අස්සෙන් රිංගන විදිහ මිනිස්සු හොයාගන්නවා. ෂන්-චන් ප්‍රදේශයේ ආර්ථිකය ඉතාමත් ඉහළට වර්ධනය වුනාට පස්සේ තමයි මේ මගඩි වැඩ නැත්තට ම නැතිවෙලා ගියේ.

කොහොම වුනත් වරාය නගරය හින්දා මේ රටේ ලොකු ආර්ථික වෙනසක් වෙයි කියලා හිතන්න පුළුවන්. ඒ වෙනස සුබවාදී එකක් වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරමු.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*