ලංකාව පිළිබඳ අවධානය අලුත් කළ යුතුයි – මානව හිමිකම් මහකොමසාරිස්

ලංකාව පිළිබඳ අවධානය අලුත් කළ යුතුයි – මානව හිමිකම් මහකොමසාරිස්

.

samabima.com

.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරය ඊයේ දිනයේ (සැප්තැම්බර් 14) ආරම්භ විය. එය එළැඹෙන ඔක්තෝබර් 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. එහි ලංකාව සම්බන්ධයෙන් වන සාකච්ඡාව වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. ඒ යහපාලන රජය විසින් 2015 සහ 2019 වසරවලදී සමඅනුග්‍රහකත්වය දැක්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 40/1 යෝජනාවලින් ශ්‍රී ලංකාව ඉවත් වන බවට නව රජය පසුගිය මාර්තුවේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දීම නිසාය.

ඊයේ දිනයේ ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරයේ සමාරම්භක දේශනය පවත්වමින් මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේ, “ශ්‍රී ලංකාව විසින් මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කර ගන්නා ලද 30/1 යෝජනාවෙන් ඉවත් වීමට නව ආණ්ඩුව තීරණය කිරීමත් සමඟ නව රජය මානව හිමිකම් කවුන්සිලය හා වන බැඳීම් කඩිනම් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීම ගැන මම කනස්සල්ලට පත් වී සිටිමි,” ප්‍රකාශ කළාය.

විශේෂයෙන්ම ඇය 20 සංශෝධනය ඔස්සේ මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට ඇති විය හැකි බලපෑම කෙරෙහිද සිය අවධානය යොමු කළාය.

‘අනෙකුත් වර්ධනයන් සැලකිල්ලට ගත් කළ, යෝජිත විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය විසින් ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු මුල් පෙලේ ආයතනවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් අනිසි බලපෑමක් සිදුකරනු ඇත.”

පසුගිය මාර්තු මාසයේදි පුද්ගල ඝාතනයන්ට වරදකරුවෙකු වූ හමුදා සොල්දාදුවෙකුට ජනාධිපති සමාවක් ලැබ නිදහස් වීම සම්බන්ධයෙන්ද මහකොමසාරිස්වරිය සිය අවධානය පළ කළාය.

‘නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු හමුදා සැරයන්වරයෙකුට මාර්තු මාසයේදී සමාව දීම; යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධවලට සම්බන්ධ බවට චෝදනා ලබන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ප්‍රධාන පෙලේ සිවිල් රාජකාරි සඳහා යෙදවීම සහ එවැනි අපරාධ ගැන කෙරෙන පරීක්ෂණ වලට බාධා කිරීම සඳහා පොලිසියේ සහ අධිකරණ ක්ෂේත්‍රයේ ගනු ලබන පියවරද විසින් නිශේධනීය ප්‍රවණතා ඇති කරයි.’

“වින්දිතයන්, ඔවුන්ගේ ඥාතීන්, මානව හිමිකම් ආරක්ෂකයන්, මාධ්‍යවේදීන් හා නීතිඥයන් පිළිබඳ සෝදිසි කිරීම් සහ රාජ්‍ය මැදිහත්වීම් වහාම නතර කළ යුතුය. සාමයට, සංහිදියාවට හා තිරසාර සංවර්ධනයට එල්ල වන තර්ජන වළක්වා ලීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගත් කළ, ශ්‍රී ලංකාව කෙරේ අලුතින් අවධානය යොමු කිරීමට මම මානව හිමිකම් කවුන්සිලය දිරි ගන්වමි.” යැයි ඇය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය.

සම්පූර්ණ වාර්තාව 

සටහන ජයනි අබේසේකර 

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*