” මිලිටරි පාලනයක ඉල්ලුම ජනතාවගේ වරදක්ද ?…

” මිලිටරි පාලනයක ඉල්ලුම ජනතාවගේ වරදක්ද ?…

Vidarshana Kannangara

Image may contain: Vidarshana Kannangara, closeup

.

හමුදා පාලනයන් සම්බන්දයෙන් පකිස්තානය හා බංගලාදේශය වැනි දකුණු ආසියාතික රටවල් වලට ඇති අද්දැකීම් ලංකාවට නොමැති බව සැබෑය.දේශපාලන මර්දනයන් හා ප්‍රචණ්ඩත්වය පිළිබද කුපක්‍රට අතීතයන්ගේ සෙවණැලි අතරින් වුවද ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රමයේ අඛණ්ඩතාවයක් පවත්වා ගැනීමට රටක් ලෙස අප සමත් විය.ඊට අනුබලය සපයන ‘ප්‍රජාතන්ත්‍රවාදය’ පිළිබද යම් කතිකාමය සහනුමැතියක් ද සාමාන්‍ය පොදු ජන වහර තුළ පැවතිණි.මෙම ප්‍රජාතන්ත්‍රවාදයේ පරික්ෂාව හා වෙනත් ඓතිහාසික ව්‍යුහාත්මක සීමා හේතුවෙන් හමුදා පාලනයක් අපට අත් නොවීය.අදටත් එවැනි හමුදා පාලනයක් නිර්මාණය වීමට බාධාකරන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සම්ප්‍රදායේ ව්‍යාප්තියක් අන්තිම අදියර ලෙස හෝ ශේෂ වී ඇත.එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්දයෙන් වූ පොදු ජන අවබෝධයේ හා අනුමැතියේ සසල වීමක් නම් මේ වන විට තීව්‍ර ලෙස පෙනෙන්නට තිබේ.ඊට සමාන්තරව සිංහල-බෞද්ධ දකුණේ සැලකිය යුතු තරමේ ජන කොටසක් මේ වනවිට හමුදා පාලනයක් ඉල්ලා සිටින බව පැහැදිලිය.

.

පසුගිය ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමේ සිට මෙම හැරවුම සලකුණු කෙරුණු අතර අද වන විට අධිකාරීවාදී පාලනයක් දෙසට වන නැඹුරුව ඔහු ප්‍රමුඛ බලාධිකාරිය විසින් ප්‍රදර්ශනය කරමින් තිබෙයි.එහිදී හමුදා පාලනයක් නොවුනද එහි අනාගත වියහැකියාවක් පවා අනුමාන කළ හැකි තරමේ මිලිටරිකරණයක් දෙසට වන පරිවර්තනයක් මතුවෙමින් ඇත.එවැනි ලාංකේය පන්නයේ මිලිටරිකරණයක් වෙනුවෙන් රාජ්‍යයේ ආයතන ක්‍රමය යළි ව්‍යුහගත කිරීම මේ වනවිටත් අරඹා තිබෙයි.ගෝඨාභය ප්‍රමුඛ පාලක ස්ථරය එවැනි මිලිටරිකරණයක් සදහා වන අධිෂ්ඨානය පළ කිරීමට සමත් ය.

.

ජනාධිපතිවරයා සිය ඒකමතික බලය යටතේ පරිපාලන ක්ෂේත්‍රයේ නිලධරය සදහා විශ්‍රාමික හා සේවා නියුක්ත හමුදා හා පොලිස් නිලධාරීන් පත් කිරීම හරහා මෙකී මිලිටරිකරණ ව්‍යාපෘතිය සාමාන්‍යකරණය කෙරෙමින් පවතී. රාජ්‍යය තුළ සිවිල් හා වෘත්තිමය සේවා අකාර්‍යක්ෂමව ඇතැයි කලක් තිස්සේ ගොඩ නැගී ඇති ජනමතය ජනාධිපතිවරයා මෙහිදී සිය සැලැස්ම සදහා සියුම්ව ගසා කමින් ඇත.ඒ අතර මේ වන විට ඉක්මන් ජනාධිපති කාර්‍ය සාධක බලකායන් දෙකක් ද ස්ථාපනය කර තිබෙයි.ඉන් එකක් නිර්මාණය කර ඇත්තේ ඊනියා ‘සුරක්ෂිත රටක්, විනයගරුක,ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩ නැගීම’ වෙනුවෙනි.මෙහි ප්‍රධානියා ලෙස පත් කර ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාය.අනෙකුත් සාමාජිකයන් වන්නේ ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ඉහළම තනතුරු දරන්නන් ය.ඒ සදහා කිසිදු සිවිල් හෝ නීති ක්ෂේත්‍රයේ නිලධාරියෙකු වත් නැත.මෑතම පිහිටවූ අනෙක් කාර්‍ය සාධක බලකාය වන්නේ ‘ නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමණාකරණය’ සදහා පිහිටවූවකි.මෙහිද ප්‍රධානියා ආරක්ෂක ලේකම්වරයා වන අතර මිලිටරි-ආරක්ෂක අංශ නිලධාරීන් හා භික්ෂූන්ගෙන් එහි සාමාජිකත්වය ආවරණය කර ඇත.එම සියල්ලන්ම සිංහලයන්‍ ය.ඒ හැරුණු විට ජනාධිපතිවරයාගේ පත් වීමේ සිට මේ දක්වා ‘කාර්ය සාධක බලකා’ හා වෙනත් හැදින්වීම් සහිත හදිසි ආයතන රැසක් නිර්මාණය කර තිබෙයි.මෙම සියලු පිහිටුවීම් ප්‍රකාශ කර ඇත්තේ අති විශේෂ ගැසට් පත්‍රයන්ගෙනි.මේවායේද සාමාජික නිලධාරීන් බහුතරය මිලිටරි නියෝජනයන්‍ ය.

.

ජනාධිපතිවරයා සිය පාලනයේ ඉදිරි දිශානතිය සැලසුම් කරමින් තිබෙන ආකාරය මේ අනුව පැහැදිලිය.ආණ්ඩුවේ පාලන යාන්ත්‍රණය වෙනුවට සිය අභිමතය මත ඊට ඉහළින් පිහිට වූ මිලිටරි නිලධාරී තන්ත්‍රයක් හරහා ආණ්ඩුකරණයක නිරත වීම ජනාධිපතිවරයාගේ අභිප්‍රාය බව පැහැදිලිය.සිවිල්-වෘත්තීය පරිපාලනය වෙනුවට මිලිටරි අධිකාරිත්වය සහිත නිලධර තන්ත්‍රයක් ආණ්ඩු කිරීම යනු පූර්ව හමුදා පාලනයක් පිළිබද අභ්‍යාසයකි.මේ වනවිට සිංහල බෞද්ධ දකුණේ සැලකිය යුතු ජනකොටසක් කෙලින්ම හමුදා පාලනයක් ඉල්ලා සිටින නිසාත් මූලික බහුතරය අධිකාරී පාලනයක් අපේක්ෂා කරන නිසාත් ජනාධිපතිවරයාගේ මිලිටරි ආණ්ඩුකරණය හා සිංහල බෞද්ධ පොදු ජන වහර අතර සමාන්තර සම්මුතියක් ගොඩ නැගී ඇත.ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව පසුගිය සියවස පුරාම බෙදා ගත් ජනතා විශ්වාසයන්,වතාවත් හා පොදු ජන අවබෝධයන් මෙම නව තත්වය තුළ පෙර නොවූ විරූ අභියෝගයකට ලක් ව තිබෙන බව සැකයක් නොමැත.ජාතික ආරක්ෂාව,දැඩි පාලනය හා මිලිටරිකරණය සදහා දකුණේ බහුතර ජන මනස සූදානම් ව ඇත්තේ මන්ද ?.එය රාජපක්ෂය ප්‍රමුඛ වාර්ගික ජාතිකවාදී සන්ධානය සිය දෘෂ්ටිවාදී දේශපාලනය සදහා රණකාමය ආයෝජනය කිරීමේ සමාජ ඵලයක්ද ?.නොඑසේනම් වෙළදපොල ලිබරල්වාදී පඩියන් හා ‘ටොයියන්’ දකින්නට කැමති පරිදි ‘බයියන්ගේ’ උපන්ගෙයි අසනීපයක් ද ?

.

මගේ විග්‍රහයට අනුව මෙලෙස අධිකාරී පාලනයක් හෝ මිලිටරි ආණ්ඩුකරණයක් සදහා දකුණේ අධිපති ජන මනස තුළ ඇති ඉල්ලුම නිර්මාණය කෙරුණේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය නාමයෙන් නව ලිබරල්වාදී ප්‍රතිශංස්කරණ යෝජනා කළ පාලක හා මතවාදී ශ්‍රේණීන් අතින් බවයි.නිදසුනකට 90 දශකය මැද නව පාලනයක් තහවුරු කරගත් ඊනියා සාමයේ පරෙවි රැජිණිය ඇතුළු ඇයගේ සහචර බල හවුල විසින් දියත් කළ ආර්ථික-දේශපාලන ගැලපුම් සිහිකළ හැකිය.චන්ද්‍රිකා ඇතුළු ව්‍යාපාරික-පාලක කල්ලිය ‘ධනවාදය මානුෂික කිරීමේ’ නාමයෙන් එවක ඉදිරියට ගනු ලැබුවේ නව ලිබරල්වාදයේ මූල්‍ය ආයතන හා නව ලිබරල් ගෝලීය තාක්ෂණ කළමනාකරණ පංතීන් විසින් අනුදත් ආර්ථික ප්‍රතිශංස්කරණ යෝජනාවන්‍ ය.එහි ප්‍රතිඵල ලෙස සමාජ ශුභසාධනය හා පොදු ජන සහන කප්පාදු කිරීම,රාජ්‍ය දේපළ හා පොදු වත්කම් හැකිතරම් විකුණා දැමීම, ආර්ථික සංවර්ධනය නාමයෙන් ‘පෞද්ගලිකරණය’ ඒකායන ආර්ථික වැඩපිළිවෙල බවට පත් කිරීම ඇතුළු පරිවර්තනයන් සිදුකෙරිණි.’ලිබරල් සාමය’ හා ප්‍රජතන්ත්‍රවාදය ගැන අණබෙර ගසමින් ඇය කළ දේශපාලනය මෙයයි.

.

ඇය පමණක් නොව රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් යුතු එජාපය විසින් අනුගමනය කළ ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියද මීට සමාන විය.ජනතා ශුභ සාධනය හා ජනතාවාදී ආර්ථිකය අතහැර දමා ව්‍යාපාරික ලාභය හා පොදු සම්පත් පෞද්ගලිකකරණය එම පාලනයේ ඒකායන මාවත විය.වික්‍රමසිංහට පෙර ආර්.ප්‍රේමදාස ගේ නායකත්වය සහිත වූ එජාපය ජනතාවාදී ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තීන් පිළිබද යම් නැමියාවක් ප්‍රදර්ශනය කළේය.එහෙත් වික්‍රමසිංහගේ එජාපයට නව ලිබරල් ආර්ථිකවාදය සම්බන්දයෙන් කිසිදු විචාරයක් තිබුණේ නැත. ලංකාවේ ජන වාර්ගික ප්‍රශ්නය සම්බන්දයෙන් එදා එජාපය ප්‍රවේශය වූයේද චන්ද්‍රිකාගේ ශ්‍රීලනිප-පොදු පෙරමුණ අනුදත් ‘ලිබරල් සාමවාදය’ම විය.මෙතැනදී මම ජනවාර්ගික ප්‍රශ්නයට සාමකාමී දේශපාලන විසදුමක ඇති අවශ්‍යතාවය මුළුමනින්ම පිළිගනිමි.එහෙත් මේ 90 දශකය කාලයේ පැන නැගි ‘ලිබරල් සාම කතිකාව’ යනු ගෝලීය නව ලිබරල් ආයතන ප්‍රතිපත්තීන්ගේ ගැලපුමකි.ඉන් අරමුණු කෙරුණේ නව ලිබරල්වාදයේ ආර්ථික උපනතීන්ට අවශ්‍ය පරිදි ලංකාවේ රාජ්‍යය යළි ව්‍යුහගත කිරීමක් හා දේශපාලනය ඊට අවශ්‍ය පරිදි කළමණාකරණය කිරීමකි.ඊනියා ජනවාර්ගික සාමය යනු එම නව ලිබරල්වාදී ආර්ථික-දේශපාලනය හා බැදුණු උපක්‍රමයක් විය.එහි එක් ප්‍රතිඵලයක් වූයේ උතුරු-නැගෙනහිර ජනයාගේ ජාතික විමුක්ති අරගලය ගෝලීය ධනේෂ්වර හස්තයන්ට කොටුවීමකි.අනෙක් තියුණු සංකීර්ණතාවය වූයේ රණකාමී සිංහල බෞද්ධ ජාතිකවාදී නව රැල්ලක් දකුණේ හිස එසවීමයි.දකුණේ සිංහල බෞද්ධ ජනතාව භෞතිකව සංවිධානය කිරීමට සමත් වූ මෙම ප්‍රවනතාවය හුදු ජාතිවාදී අහම්බයක් නොවන බව සිහි කළ යුතුය.

.

එම රණකාමී ජාතිකවාදී ප්‍රවනතාවය පැන නැගුණේ සම්ප්‍රදායික ප්‍රභූ ධනේෂ්වර දේශපාලන පක්ෂ නියෝජනයන් විසින් අනුගමනය කළ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තීන්ගේ ඵලයක් ලෙසය.කලින් දැක්වූ පරිදි එම සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනය විසින් තවදුරටත් පොදු ජනතාව නියෝජනය නොකරන තත්වයක් නිර්මාණය විය.ශ්‍රීලනිප-එජාප ප්‍රභූ පාලකයන් ඊනියා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් ගැන දෙසා බෑව ද සැබවින්ම ඔවුන් අතින් සිදුවූයේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම් බිමට පෙරළා දැමීමයි.ඉන් එක් පාදමක් නම් ‘ආර්ථික සමානාත්මතාවයයි’.අනෙක් පාදම වනාහී ‘ජනතා ස්වාධිපත්‍යයි’ .ඉහත කී සම්ප්‍රදායික ප්‍රභූ ධනේෂ්වර දේශපාලනය විසින් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන් දේශපාලනය නාමයෙන් ක්‍රියාත්මක කිරීමේ විපාකය වූයේ මෙයයි.රටේ ජනතා ආර්ථිකය ව්‍යාපාරික සුළුතරයක් අතට පත්කිරීමත් ව්‍යාපාරිකයන්ගේ ආර්ථික බලය වෙනුවෙන් ජනතා නියෝජනය ගසාකෑමත් මේ යුගයේ එළිපිට රගදැක්වුණු ‘දේශපාලනය’ විය.මෙසේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කෙරුණු දකුණේ ජනතාවට තවදුරටත් සම්ප්‍රදායික ප්‍රභූ-ධනේෂ්වර දේශපාලන නියෝජනයන් මත විශ්වාසය තැබිය නොහැකි යුගයක් උදා විය. මේ 2000 දශකයේ ඇරඹුමයි.ජනතාවගේ මෙම කළකිරීම වෙතට ආමන්ත්‍රණය කිරීම සදහා ඉදිරියට පැමිණුනේ නව සංවිධානාත්මක ප්‍රවනතාවයන්‍ ය.එක් අතකින් ධනවාදී පෞද්ගලිකරණයට එරෙහිව ජනතාවාදී ආර්ථිකය සුරක්ෂිත කර ගැනීමේ අවශ්‍යතාවය මෙම නව ප්‍රවනතාවය විසින් මතු කෙරිණි.අනෙක් අතින් සිංහල බෞද්ධ වාර්ගවාදය උත්සන්න කිරීමේ මතවාදී දේශපාලනයක් ද ඊට සන්ධි කර ඉදිරිපත් කෙරිණි.(සෝමවංශගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණ 2000 දශකය මුල දකුණේ ජනතාව සංවිධානය කළ ආකාරය මීට කදිම සාක්ෂියකි).

.

මෙම කෙටි සටහනට සීමාවෙමින් මට කියන්නට අවශ්‍ය වූයේ දකුණේ ජනතාව අතර රණකාමය පිළිබද උද්වේගයක් නිර්මාණය කෙරුණේ හුදු වාර්ගික ජාතිකවාදය විසින් නිර්මාණය කළ මතවාදී අනුරාගයක් නිසාම නොවන බවයි.ඊනියා ‘යහපාලන සම්මුතියද’ පසු කර විත් අද දවසේ මිලිටරි පාලනයක් ඉල්ලා සිටින සැලකිය යුතු ජනතාවක් නිර්මාණය වීමේ යටි පෙළ හිතනවාට වඩා සංකීර්ණ බවයි මට කියන්නට අවශ්‍ය වූයේ..තවත් විදියකින් කිවහොත් එය මෙසේය..2000 දශකයේ මැද යුධවාදී මානසිකත්වයක් කරා ජනතාව සංවිධානය කිරීමේ ඔප්පුව නව ජනතාවාදී-වර්ගවාදී සංවිධාන වලට ලියා දුන්නේ 90 දශකයේ නව ලිබරල්වාදය හා සම්මුතිගත වූ චන්ද්‍රිකා-රනිල් ප්‍රමුඛ සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන හවුල විසිනි.අද දවසේ මිලිටරිවාදයකට අවශ්‍ය නව සමාජ මනෝභාවයක් නිර්මාණය කිරීම සදහා රාජපක්ෂවාදී සිවිල් මිලිටරි කතිකාවට සුජාතබවක් ලබා දුන්නේ පසුගිය ‘ නව ලිබරල් යහපාලන සම්මුතිය’ විසින්ය.පුදුමයකට එම ‘යහපාලන බල හවුල’ ලංකාව තුළ පිහිටුවීමේ නියමුවන් වූයේද රනිල්-චන්ද්‍රිකා ප්‍රමුඛ සම්ප්‍රදායික ප්‍රභූ-ධනේෂ්වර දේශපාලන නියෝජනයන්ය. ඔවුනගේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තිය වූයේ ද එදා ක්‍රියාවට නැගූ නව ලිබරල්වාදී ගැලපුම්ම මිස අන් යමක් නොවෙයි .ඊට මතවාදී පිටුබලය සපයන ‘ලිබරල් සිවිල් සමාජ තීරුවක්ද’ එදා මෙන්ම මෙදාද පැවතිණි.ඒ අනුව මිලිටරි පාලනයක් සදහා වන දකුණේ ජන කැමැත්ත වනාහී ජනතා ප්‍රජාතන්ත්‍රවාදය යටින් බිදදැමීමේ සංකීර්ණ ප්‍රතිවිපාකයකි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් කෙරුණේ එළිපිට පෙනෙන රාජපක්ෂ යාන්ත්‍රණය නිසාම නොවෙයි.ලංකාවේ සම්ප්‍රදායික ප්‍රභූ ධනේෂ්වර නායකත්වය හා ඊට මතවාදී සුජාත බව ලබා දෙන ලිබරල් සිවිල් සමාජ කණ්ඩායම් ද ඊට සපුරා වග කිව යුතුය.”

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*