මාක්ස්වාදී රංජන් රාමනායක සහ දඬුවම

මාක්ස්වාදී රංජන් රාමනායක සහ දඬුවම

.

කැලුම් ජයසුමන

.

රංජන් රාමනායකට වසර 4 ක සිර දඬුවම හිමි වීමත් සමඟම ඔහු පිළිබඳ කවි,නිසඳැස්,රචනා,විග්‍රහයන්,නීති තර්ක බොහෝ ප්‍රමාණයක් කියවන්නට ලැබුණි. නමුත් ඉන් එකකවත් ඇත්තටම රංජන් මේ තත්වයට පත් වීමේ හේතුව කියවී තිබුණා යැයි මා සිතන්නේ නැත. පාර්ලිමේන්තුවේ 225 අතුරෙන් රංජන් රාමනායකට කිට්ටු කරන්නට හැකි අය තවත් ඉන්නේ නම් ඒ ජවිපෙ මංත්‍රීවරු තිදෙනා පමණි. ජවිපෙ මංත්‍රීවරු තිදෙනා අතරිනුත් හරිනි අමරසූරිය එතනට දැමීමට හැකිදැයි සැක සහිතය. එය සහසුද්දෙන්ම කියන්නට තව කල් වැඩිය. ඊට පෙර පාර්ලිමේන්තුවේ නම් රංජන් සමඟ ටිකක් පෑහෙන්නට හැකි කෙනෙක් ලෙස පාලිත තෙවරප්පෙරුම සිටි බව කිව හැකිය.

ලෝකයේ රංජන්ලා වැනි ෆැන්ටසි ලෝකවල ජීවත්වන පිරිස් බහුල කිරීමට හේතු වූයේ කාල් මාක්ස්ගේ ප්‍රවාදයන්ය. සමාජවාදය,කොමියුනිස්ට් සමාජය වැනි අදහස් අමු යුතෝපියාවක් බව ඕනෑවටත් වඩා ලෝකයේ බොහෝ අය තේරුම් ගෙන තිබුනද නායකයින්ගේ පැවැත්ම වෙනුවෙන් නඩත්තු කරන සමාජවාදී පක්ෂ සහ කොමියුනිස්ට් ව්‍යාපාර මේ යුතෝපියානු ෆැන්ටසිය දිගටම නඩත්තු කරන බව පෙනේ. එහි දැනුවත් ගොදුරු ලෙස ජවිපෙ සහ වෙනත් මාක්ස්වාදී පක්ෂ තිබුණද නොදැනුවත් ගොදුරක් බවට රංජන් රාමනායක පත්වී ඇති බව ඔහුගේ හැසිරීම් දෙස් දෙයි. අනිත් අතින් මේ ක්‍රමය තුලම පාදඩ ජීවිතයක් ගත කරන බැක්සයිඩ් ඕකේ රංජන් රාමනායක මැලේසියාවේදී හඳුන්නෙත්තිලා රෑම් මේට්ලා වෙන්නේ ඒ අර්ථයෙනි.

මේ මාක්ස්වාදී යුතෝපියානු අදහස් වලට පණ දීමට ගොස් ලාංකීය තරුණ පරපුරෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් දෙවතාවකදී තම ජීවිත වලින් වන්දි ගෙවූ අතර තවත් ලක්ෂ ගණනක් තම ජීවිතයේ වටිනාම කාලය නිකරුනේ කා දමන ලද කාලකන්ණින් බවට පත් වී හිඳ තනා නිම නොකරන ලද අර්ධ ජීවිත ගෙවා ලෝකයටම වෛර කරමින් පස් යට සැඟව ගිය බව බොහෝ දෙනෙකු නොදන්නා නොසිතනා කරුණකි. සමාජයක ප්‍රතිවිරෝධතාවන්,විසම්මුතීන්,ගැටුම්,ප්‍රශ්ණ,පසමිතුරුතාවයන් වැනි මිනිසාගේ ජාති ලක්ෂණයන් සහමුලින්ම නැති කරන යුතෝපියාවක් බිහි කිරීම අමාරු වැඩක් නොව කල නොහැකි වැඩකි. කල හැකි එකම දෙය නම් මේවා අවම කරමින් පවත්වාගෙන යාමේ සම්මුතියකට එළඹීම පමණකි.

රංජන්ට වරදින්නේ එතනය. ඒ වරද අනුර කුමාරලා දැන් කරන්නේ නැත. එවුන් ජවිපෙ කාඩරය සමාජවාදී යුතෝපියාවට දක්කන්නේ එය කල නොහැකි කාර්‍යයක් බව දැනගෙනය. වන්ෂොට් ෆැන්ටසියේ සිරවුන රංජන් යුතෝපියාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ සම්පූර්ණ සද්භාවයෙන් යැයි කීමට බැරි උනත් රංජන් අනුරලාට වඩා අවංකය. ඒ මෝඩ චූන් ලඟ පිකප් එක නිසා රංජන්ට වසර 4කට සිර දඬුවමකට යටත් වන්නට සිදු විය. රංජන් අනුරලා අනුගමනය කලේ නම් ප්‍රගතිශීලී හැව පරිස්සම් කරගෙන මේ අකරතැබ්බයෙන් බේරී ඔය කතාව කියන්නේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවාවී පාර්ලිමේන්තුව තුල මිස හංඳි ගානේ මයික් ඉස්සරහා නොවේ.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*