බෙන්ස් එකක යනවද…හර්ස් එකෙන් යනවද..?

බෙන්ස් එකක යනවද…හර්ස් එකෙන් යනවද..?

.

Henry Warnakulasuriya

,

රනිල් කොටිත් එක්ක සටන් විරාම ගිවිසුම් ගහපු කාලෙ ලකී ජාතික රූපවාහිනියෙ ප්‍රවෘත්ති අංශයට සම්බන්ධ වෙලා උන්න. ඒ නිසා යෙදෙන ආකාරයට රට වටේ යන්න සිද්ධ වුණා.

වතාවක් උතුරේ උත්සවයක් කවර් කරන්න ෆ්ලයිට් එකේ ලකී පලාලි යමින් උන්නා. ඒ ගුවන්‍ යානයේ ලකී අසලින් යාපනේට වැඩම කළේ හෙද සේවා සංගමේ හාමුදුරුවන්.
හාමුදුරුවෝ ලකීත් එක්ක හිතවත්. තමන්ට සිද්ධ වුණ මේ කතාව කිව්වෙ හාමුදුරුවෝ තමයි.

“මේක සිද්ධ වුණේ ප්‍රේමදාස ජනාධිපතිගෙ අවසන් කාලයේදී. හෙදියන්ගෙ නිල ඇඳුම වෙනස් කරල බාල යුනිෆෝම් එකක් දෙන්න ආණ්ඩුව තීරණය කළා. එතෙක් දුන්න ජාත්‍යන්තරව පිළිගත් ඇඳුම වෙනුවට වෙන කඩමාල්ලක් දෙන්න ගත්ත තීරණයට විරුද්ධව සමස්ත හෙදි සංගමයම දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කළා.

ආණ්ඩුව විවිධ තර්ජන ගර්ජන කළා. ඒත් හෙද සංගමය සරෙන්ඩර් වුණේ නෑ. වැඩවර්ජනය සීයට සීයක් සාර්ථක වුණා.

එක දවසක් මාව මුණගැහෙන්න ජනාධිපතිගේ නියෝජිතයෙක් පන්සලට ආවා. ප්‍රේමදාස ජනාධිපතිතුමාට මා එක්ක සාකච්ඡාවක් අවශ්‍ය බව කියා සුචරිතේට වැඩම කරන ලෙසත් ඉල්ලා හිටියා.

රටේ ජනාධිපතිගේ ඉල්ලීම වැඩවර්ජනයේ නියමුවා විදිහට ඉවත දාන්න කියලයැ. මං සංගමේ නිලධාරීන් දැනුවත් කරල සුචරිතේට ගියා.

මට කවුරුත් නැති කාමරයක අසුන් පනවා තිබුණා. ටික වෙලාවකින් ජනාධිපති කාමරේට ආවා. හාමුදුරුවනේ ඔය ස්ට්‍රැයික් එක වහාම නවතන්න ඕනෑ. ජනාධිපති නියෝගයක් කළා. ඒක කොහොමවත් ඉටු කරන්න බැරි ඉල්ලීමක් බවත්, හෙද ඉල්ලීම් ඉතා සාධාරණ බවත් මං පැහැදිලි කළා. කොහෙද ප්‍රේමදාසගෙන් කිසිම බුරුලක් නෑ. ස්ට්‍රැයික් එක නවත්තන්නම කියනවා. අන්තිමේට මං කිව්වා ජනාධිපතිතුමා, මේ කතාබහේ තේරුමක් නෑ. මං පන්සලට වැඩම කරන්නම් කියලා.

ප්‍රේමදාස අසුනෙන් නැගිට්ටා. මා ළඟටම ආවා. බෙන්ස් කාර් එකක යතුර මට දික් කළා.

හාමුදුරුවනේ ….මෙන්න බෙන්ස් කාරෙකේ යතුර. තමුන්නාන්සේ පන්සලට වැඩම කරන්නෙ බෙන්ස් කාර් එකකින්ද…හර්ස් එකකින්ද..කියල තීරණය කරන්න. මං මිනිත්තු පහළොවකින් එන්නම්. එහෙම කියල උන්නැහේ ගියා.

මට මෙලෝ සිහියක් නැති වුණා. මේ යකා කිව්වොත් කරන බව මං දැනන් උන්නා. කොල්ලෝ කෙල්ලෝ හැටදාහක් නොයෙන ගමන් යවපු එකේ මේක මොන කජ්ජක්ද.. ෂුවර් එකටම පන්සලට යන අතරමඟදි වැඩේ සෙට්වෙන බව මං දැන ගත්තා.
මං හිතුවා. නිකං මැරුං කාල නාඳුනන තුවක්කුකාරයෙකුගේ බිල්ලක් වෙනවද…නැත්නං ඇක්සිඩන්ට් එකකින් අපවත් වෙනවද…අන්තිමේට තීරණය කළා බෙන්ස් කාර් එකෙන් යන්න.

ප්‍රේමදාස කිව්ව වගේම ආපහු ආවා. මොකක්ද හාමුදුරුවන්ගේ තීරණය කියලා ඇහුවා. බෙන්ස් කාර් එකෙන් යනවා.

වෙන මොනවත් කතාවක් නෑ. යතුර මගෙ අතට දුන්නා. රියැදුරෙක් දුන්නා පන්සලට යන්න. මං යනකල්ම කල්පනා කළා. දැන් මොනවද සංගමේ අයට කියන්නේ..? වැඩවර්ජනය නවතන්න හේතුවක් එපැයි.

ඕනැ දෙයක් වෙද්දෙන්. එන හැටියකට බලා ගන්නවා කියල හිතලා ගිහිං කිව්වා ජනාධිපති ඉල්ලීම් දෙන්න කැමති වුණා . ස්ට්‍රැයික් එක නවත්තමු.

වැඩවර්ජනය නැවැත්තුවා. දවස් දෙකයි ගියේ පරණ යුනිෆෝම් එක දෙන්න ජනාධිපතිතුමා තීරණය කළා.

වැඩෙත් කෙරුණා. බෙන්ස් එකත් ලැබුණා.”

එකීමෙකීනොකී_කතා

(කාලීන වැදගත්කම සලකා නැවත පළ කිරීමකි.)

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*