බයිඩන් මුහුණ දෙන අභියෝග..

බයිඩන් මුහුණ දෙන අභියෝග..

.

Damith Kethaka

.

ජෝ බයිඩ්න් ජනාධිපතිවරයාට මුහුණ දෙන්නට තිබෙන ප්‍රධානම අභියෝගය වන්නේ මහජන චීන සමූහාණ්ඩුවේ නැගීම සහ එහි ගෝලීය භූ දේශපාලනික වාසි අත්කරගැනීමේ ක්‍රියාන්විතයටය….

ජාත්‍යන්තර වශයෙන් මේ අභියෝගයට මුහුණ දීමට ඔහුට සිදුවන්නේ, දේශීය වශයෙන් අභියෝග රැසකට මුහුණ දෙන අතරතුරය –

– ට්‍රම්ප් යනු අපට සාපේක්ෂව ප්‍රතිගාමී මතවාද සහිත වුවද, කැරිස්මැටික් නායකත්වයකි…..අනෙකුත් ඇමරිකානු ජනාධිපතිවරුන්ට වඩා ට්‍රම්ප්ට “උමතු රසික රසිකාවියන්” සුවිශාල ප්‍රමාණයක් රටපුරා සිටිති….( ඊයේ දිනයේදී සී.එන්.එන් බුද්ධි මණ්ඩල සාකච්ඡාවලට ඔබ සවන් දුන්නා නම්, ගම සහ නගරය අතර මතවාදයන් උඝ්‍රව ධ්‍රැවීකරණය වී තිබෙන අයුරුත්, ට්‍රම්ප් කවර කාරණයක් යටතේ වුවද සිය “ෆෑන් බේස්” එක පවත්වා ගන්නා අයුරුත් ඔවුහු හොඳින් පැහැදිලි කළා ඔබට මතක ඇති…..එය සත්‍යයකි…)… මේ රසික ප්‍රජාව ට්‍රම්ප් සිය ධුර කාළයේ මොනවා කළත් ඔහුව අත් නොහැරි පිරිසක් වන අතර, ඉදිරියට ට්‍රම්ප් නැතත්, ට්‍රම්ප් ඔස්සේ විරාජමාන වනු ඔවුන් දුටු මතවාදයන් එකතුව අත් නොහරින පිරිසකි….මේ සුවිශාල ප්‍රජාවගෙන් ඩිමොක්‍රටික් පක්ෂ පාලනයට බොහෝ තැන්වල දැඩි අභියෝග එල්ලවනු ඇත….කැරිස්මැටික නායකත්වයකට ඉන්නා උමතු රසික ප්‍රජාව යනු සොම්බීන් බඳු පිරිසකි…..මේ වනවිට ඉච්ඡා භංගත්වයට සහ වේදනාවට පාත්‍රව සිටින ඔවුන්ගේ ඒ වේදනාව ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් නික්ම යන දිනය ( එවැන්නක් සිදුවුවහොත්… මේ කථා කරන මොහොතේ තවමත් ඡන්ද ගැණෙමින් පවතී ) වනවිට තවත් දැඩිවනු ඇති අතර, එය ට්‍රම්ප්ගේ පාක්ෂිකයන් විසින් උසිගැන්වීමද සිදුවනු ඇත….

ඉන් පසුව එළඹෙන අවුරුදු හතර තුළ, මේ පිරිසගේ වේදනාව බොහෝ තැන්වල, බොහෝ ස්වරූප වලින් කථා කරනු ඇත…මෙය ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා මුහුණ දෙන කටුක යථාර්තයකි…..මෙහිදී බයිඩ්න් ජනාධිපතිවරයා මේ පිරිසට ආමන්ත්‍රණය කරන්නට තෝරාගන්නා දේශපාලනික උපාය මත, සියල්ල රඳා පවතිනු ඇත…..

ජනාධිපතිවරයා, තමන්ගේ හෝ තමා දිනවන්නට එක්වූ පිරිසගේ න්‍යායන් ඔස්සේ මෙම පිරිසට ආමන්ත්‍රණය කරන්නට ගියහොත්, එය අතිශය නරක ප්‍රතිඵල ගෙන දෙන තත්වයක් විය හැක….තමාගේ අභිමානයට තුවාල වී සිටින, පිරිස් බලයෙන් විශාල, සියළු දෙනා “එකට සිතන සහ එකම විදියට හැසිරෙන” කල්ලි යනු කිසිවිටකත් අවතක්සේරුවට ලක් කළ යුතු නැති ප්‍රජාවන්ය….මේ කල්ලි වලට අමතරව, ඔවුන්ගේ ක්‍රියාකාරකම් හමුවේ ඔවුන්ට ප්‍රතිවාදී මත දරන පිරිස්ද, තමන්ට අනන්‍ය වූ අන්තවාදයන් ගොඩ නඟාගැනීම හේතුවෙන් මුළු මහත් එක්සත් ජනපදයම මින් පෙර නොවූ විරූ අන්දමට ධ්‍රැවීකරණය වී සිටිති…..

මේ නිසා රට පුරා දේශපාලනිකවත්, ජනපදවාසීත්වය අනුවත්, භූමිය අනුවත්, ආගමිකවත්, වාර්ගිකවත්, ඡවි වර්ණය අනුවත්, ට්‍රම්ප් පාලනය තුළ සිදුවී ඇති බරපතළ ධ්‍රැවීකරණයේ තුවාල සුව කර, යළිත් ඇමරිකානු ජාතියක් ලෙස මධ්‍යස්ථව සිතන තැනකට මේ සියලු දෙනා ගෙන ඒමේ දැවැන්ත අභියෝගය බයිඩ්න් ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම වෙත පැවරෙනු ඇත….

ඇමරිකාවේ කැරිස්මැටික දේශකයන් වටා එකතුවුනු සුවිශාලම ආගමික කල්ලි වලින් සියට අනූවක්ම ට්‍රම්ප් හරහා පිළිඹිබු වූ මතවාදයන් දරන අය වීම නිසා, මෙම අභියෝගය ජයගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇත…..

අභ්‍යන්තර තත්වය මෙසේ තිබියදී බාහිරයෙන් ඇමරිකාවට මුහුණ දෙන්නට සිදුවන ප්‍රතිවාදියා කෙබඳුද?….

මහජන චීන සමූහාණ්ඩුවේ වාර්ගික විවිධත්වය, එම රාජ්‍යයේ විවිධ කළාප මත පදනම්ව තිබුණද, ජානමය පදනම සළකන කළ එම රාජ්‍යයේ වත්මනේදී ජීවත් වන එකසිය හතළිස් කෝටියක් පමණ වන ජනතාවගේ, ඔවුනොවුන් අතර පැහැදිලි වෙනස්කම් නැත…..

එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රාජ්‍ය වැඩි වශයෙන්ම පෞද්ගලිකත්වයට සහ පුද්ගල අනන්‍යතාවයට නැඹුරු වෙද්දී, පසුගිය වසර 71 ක කාළය පුරා මහජන චීන සමූහාණ්ඩුවේ පරම්පරා දෙකක් හුරුකර තිබෙන්නේ තමන් දැවැන්ත යාන්ත්‍රණයක කුඩා කොටසක් පමණක් බව සිතන්නටය…..චීන ජාතිකයාගේ අනන්‍යතාවය පෞද්ගලික සීමා මායිම් මත නොවන, තමා සුවිශාල යන්ත්‍රයක ඇණ, මුරිච්චි, බෙල්ට්, පිස්ටන්, හෝස් පයිප්ප, වයර්, වැනි බව සිතීම මත ගොඩ නඟා ඇත….

මීමැසි ජනපදයක් බඳුවූ චීනය මේ වනවිට ආර්ථික සුපිරි බළයක් බවටත්, තාක්ෂණික සුපිරි බළයක් බවටත්, ගෝලීය නිෂ්පාදනාගාරය බවටත් පත්ව ඇත….ඉස්සර මහා නාගරිකයන් සම්බන්ධයෙන් මිනිසුන්ගෙන් ප්‍රමෝදය සහ ෆැන්ටසිය පිළිඹිබු කලේ ඇමරිකාවේ නගර වුවද, වත්මනේ චීනයේ යෝධ නගර වල ගෘහ නිර්මාණකරණයේ සහ සිවිල් ඉන්ජිනේරුකරණයේ හාස්කම් මුළු ලොවම මවිත කර ඇති අතර, එක්සත් ජනපදයේ නගර වල මහේශාඛ්‍ය බව චීනයේ මහ නගර හමුවේ පසුබසිමින් පවතී…..

මේ සියල්ලට යටින් දිවෙන “කලු ආර්ථිකයක්ද” චීනයට ඇත….චීනයේ ඔබ දකින ආර්ථිකය වනාහි, ඔවුන් ලොවට හෙළිදරව් කරන භාණ්ඩ සහ සේවා නිෂ්පාදන වටිනාකම් එකතුව පමණි……චීනය යටිබිම්ගතව ලොව පුරා මෙහෙයවන කලු ආර්ථිකය ගණනය කළහොත්, ඔවුන් දැනටමත් එක්සත් ජනපදය අබිබවා සිටින බව පෙනිය හැක…..ඒකත් හරියට රටක මත්පැන් භාවිතයේ පරිමාව ගැන නීත්‍යානුකූල මත්පැන් භාවිතයෙන් පමණක් කීම නිවැරදි නොවන්නා සේමය….

1970 දශකයේ සිට අවුරුදු පනහක කාළ සීමාවක් තුළ, ලෝකයේ භාණ්ඩ නිෂ්පාදනාගාරය වන්නට චීනය ගොඩනගාගත් ප්‍රඩක්ෂන් ඇන්ඩ් මැනුෆැක්චරින් කැපෑසිටි එක බටහිර ලෝකයේ රටවලට යළි අත් කරගන්නට නොහැකි තැනක පවතී….20 වැනි සියවසේ මුල් භාගයේදී මේ සා දැවැන්ත කාර්මික සහ කෘෂිකාර්මික නිෂ්පාදනාගාරයක් වූයේ එක්සත් ජනපදයයි….ඔවුන්ව ලෝක සුපිරි බළවතෙකු බවට පත් කලේ මෙන්න මේ නිෂ්පාදන ශක්‍යතාවයයි…..චීනය එය පටන් ගත්දා සිට කාර්මික නිෂ්පාදනය ඇමරිකාවෙනුත්, යුරෝපයෙනුත් ඉවතට තල්ලුව ගොස් තිබේ…..මේ වනාහි බටහිර ශිෂ්ඨාචාරයන් විසින් කෙටි කාළීනව “ප්‍රොෆිට් මැක්සිමයිසේෂන්” පමණක් අරමුණු කරගෙන කරගත් විශාල මෝඩකමකි……ඇමරිකාව චීන අභියෝගය හමුවේ ලෝකයේ අංක එකේ බළවතා ලෙස දිගටම පවතින්නට නම්, නිෂ්පාදන ආර්ථිකයේ ශක්තිය සිය රටතුළ යලි වගා කරගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි…..වඩා කල්පනාවෙන් බලන්නේ නම්, 1973 වසරේදී රිචඩ් නික්සන් ජනපතිගේ චීන සංචාරය මොහොතේ තිබුණු “අප ඔබේ දේ මිළට ගන්නා බැවින් අපව හොඳින් තියාගන්න ” යන ආර්ථික – දේශපාලනික තත්වය වෙනස් වී, “අප ඔබට නිෂ්පාදනය කර දෙන බැවින්, අපව හොඳින් තියාගන්න” කිව හැකි තැනකට එන්නට, සමස්ථ ගෝලීය කාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රය අත්පත් කරගනිමින් චීනය කටයුතු කර ඇති බව පෙනෙනු ඇත….

චීනයේ අභියෝගයට මුහුණ දෙන්නට ඇමරිකාව සතුව තිබෙන විශාලතම සවිය කුමක්ද?……

මේ පැණයට ඇත්තේ එකම පිළිතුරකි….එනම් “නොනවතින සංක්‍රමණික ක්‍රියාවලියකි” යන්නය….

ඇමරිකාව කාර්මික බලවතෙකු, ලොව ප්‍රථම න්‍යෂ්ඨික බලවතා, සහ අසමසම මිලිටරි බලයක් කරන ලද්දේද, එරට ක්‍රීඩා ක්ෂේත්‍රය පවා ලොව සෙළවිය හැකි තැනකට ගෙන යන ලද්දේද, ලෝකය පුරා සිට ඇමරිකාව සොයා පැමිණි සහ ඇමරිකාවට ගෙන එන ලද සංක්‍රමණිකයන් විසිනි…..

සරල නිදසුනක් කිවහොත් : දෙවැනි ලෝක යුද්දය අවසානයේ ජර්මනියේ සිටි විශිෂ්ඨතම මොළගෙඩි ටික ඇමරිකාව සොයාගත්තේ “ඔපරේෂන් ඕවර්කාස්ට්” නම් විශේෂ මෙහෙයුමක් මඟිනි….. එසේ හොයාගත් හොඳම ඔලුගෙඩි ටික ඇමරිකාවට රහසේම ගෙන්නා ගැනීමට ඔවුන් දියත් කළ මෙහෙයුම වූයේ “ඔපරේෂන් පේපර්ක්ලිප්” ය….මේ මෙහෙයුම් දෙක මඟින් ඇමරිකාවට ගෙන්වා ගත් ජර්මානු බුද්ධි මණ්ඩලය ඇමරිකාවේ අභ්‍යවකාශ වැඩසටහන ඇරඹූ අතර, නාසා ආයතනයද ඔවුන්ගේම ප්‍රතිඵලයකි…..අදටත් ඇමරිකානු අභ්‍යවකාශ වැඩසටහන මෙහෙයවන්නේ ඉසුරු සොයා එරටට පිටින් පැමිණෙන බුද්ධිමත් සංක්‍රමණිකයන් සහ ඒ සංක්‍රමණිකයන්ගේ දෙවැනි පරපුර විසිනි…..

චීනයට මුහුණ දීමට ඇමරිකාවට තිබෙන ලොකුම ශක්තිය වන්නේ, ලොව පුරා බුද්ධිමතුන් සහ ශක්තිමත් ශ්‍රමිකයන් මිලියන ගණනක් ඇමරිකාවට සංක්‍රමණය වන්නට පුලපුලා බලා සිටීමයි….

නැවතත් ඇමරිකාව ඒ සංක්‍රමණික මොහොත සොයාගත යුතුය…..

ඇමරිකාව බඳු “සුභසාධනය සඳහා එතරම් ජනප්‍රිය නොවන” රාජ්‍යයකට සංක්‍රමණිකයන්ගෙන් බහුතරය එන්නේ, පුලුවන් තරම් වැඩකර, තමන්ගේ දිළිඳු රටවල සිටියදී දුටු “ඇමරිකානු සිහිනය” සැබෑ කරගන්නටය……ඒ සිහිනය සැබෑ කරගත්තා හෝ නැතා, ඔවුන්ගෙන් බහුතරය ඇමරිකාවට ආ පසුව පුලුවන් තරම් වැඩෙහි යෙදෙති……මේ එන අයගේ බුද්ධිමය ශ්‍රමය, සහ කායික ශ්‍රමය ඇමරිකා එක්සත් ජනපදයේ ගෝලීය බළය තහවුරු කරන විශාලම මානව සම්පත සපයයි……ඔබාමා අට ලක්ෂයක් පමණ වන ලතින් සම්භවයක් සහිත අනවසර සංක්‍රමණිකයන්ට වීසා බළපත් ලබාදෙද්දී, ඔහු අවබෝධ කරගෙන සිටියේ මෙන්න මේ සත්‍යයයි……ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පටු මානසිකත්වයට කිසිදා හසු නොවුනේද මෙන්න මේ නව ලිබරල් ධනවාදී සත්‍යයයි…..

චීනයේ කැපෑසිටිය මැච් කරන්නට ඇමරිකාවට දෙවියන් දෙන තෑග්ග වන්නේ මේ සංක්‍රමණිකයන්ය…..ඇමරිකානු නූතන පරිභෝජනයේ සිහින සාප්පුව පෙන්වා, ලොවපුරා සිටින ශ්‍රේණිගත බුද්ධිමතුන් සහ පුහුණු ශ්‍රමිකයන් නොකඩවා එක්සත් ජනපදයට ගෙන්වා ගැනීම යනු චීන අභියෝගයට මුහුණ දෙන්නට ඇමරිකාව ගත යුතු හොඳම පියවරයි…..

“මේක් ඇමරිකා ග්‍රේට් අගේන් !” යන උදෘත පාඨය තුළ ට්‍රම්ප් සෙව්වේ කොකේසියානු ජානමය පදනමේ, ඇන්ග්ලෝ ප්‍රභේදය පමණක් උඩට උස්සාගෙන දඟලන ක්‍රමවේදයකි…..නමුත් ඇත්තටම ඇමරිකාව “ග්‍රේට්” කරන්නට නම් කළ යුතු වන්නේ, ලොව පුරා විවිධ ජාන කිටු ගෙන්වාගෙන, ඉතාම පුළුල් ජාන සංචිතයක් එරට තුළ ගොඩ නගාගැනීමයි…..එහි ජීව විද්‍යාත්මක සහ සංස්කෘතික බලපෑමේ පුළුල් බව අනුව, පුළුල් ප්‍රඥාවක් ඇති අය බිහිවෙති……චීනය විසින් “නිපදවාගෙන” යන අතිශය බුද්ධිමත්, උගත් තරුණ පරපුරට මුහුණ දෙන්නට ඇමරිකාව හැකිවන්නේ, ඉතාම පුළුල් “ජීන් පූල්” එකකින් උපදින තරුණ පරපුරක් සමඟ පමණි……සාම්ප්‍රදායික බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව එක්ව “ඇන්ග්ලෝ කොකේසියානු” ජාතිකත්වයේ පොදු ලක්ෂණ සෙව්වාට, ඇමරිකාව නැවත ග්‍රේට් වන්නේ නැත….

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*