දිලිප් වෙදආරච්චි ජාත්‍යන්තරයට

දිලිප් වෙදආරච්චි ජාත්‍යන්තරයට

.

Hirantha Herath

.

අමු මාළු කෑ දිලිප් වෙදආරච්චි ගැන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලේ මෙන්න මෙහෙම….


ලංකාවේ පාර්ලිමේන්තු මංත්‍රී කෙනෙක් තියා ඇමති කෙනෙක්, ජනාධිපති අගමැති කරන දෙයක්වත් ජාත්‍යන්තර මාධ්‍යවලට ප්‍රවෘත්ති නෙවෙයි.


ඒත් දිලිප් වෙදාආරච්චි වැනි ලංකාවේ මාධ්‍යවලටවත් අහුනොවන චරිතයක් අද ජනප්‍රිය ජාත්‍යන්තර අන්තර්ජාල මාධ්‍යවල ප්‍රධානම ප්‍රවෘත්තියක් වෙනවා.

අනෙක් රටවලට තවම බදාදා උදෑසන වී නැති නිසා ඒවා ගැන කීමට නොහැකි උවත් මැලේසියාවේ මුද්‍රිත මාධ්‍යවලත් මේ අමුමාළු කෑම වාර්තා කොට තිබෙනවා.

මේවායේ ඇති කමෙන්ට් බැලූවිට ලංකාවේ ජීවත්වන්නෙ වනචාරී මිනිසුන් පිරිසක් බවට වෙනත් රටවල අය සිතුවොත් එහි පුදුමයක් නෑ.

Trump reborn in Sri Lanka ලෙස අයෙක් මීට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

Man vs Wild වැනි වාර්තා වැඩ සටහන් ඇතුලු තවත් වැඩසටහන් වල සතුන්ගේ මස් අමුවෙන් කන අවස්තා පෙන්වනවා. යුධ හමුදා විශේෂ කැලෑ පාඨමාලාවලා හැදෑරීමේදීත් එම සෙබලුන්ට ජීවිතය බේරාගැනීමට යම් යම් සතුන්ගේ සිරුරු අමුවෙන් ආහාරයට ගැනීමට සිදුවෙනවා.

සශිමි, සුෂී වැනි ජපන් ආහාරත් oyster 🦪 නම් බෙල්ලන් ආහාරයට ගන්නේත් අමුවෙනුයි. ඒත් ඒවා විශේෂ ලෙස පිලියෙල කොට සෝස් වර්ග සහ වසබි නම් මොලෙත් දැවිල්ල අල්ලන විශේෂ මිරිස් විශේෂයක් සමගයි ආහාරයට ගන්නේ.

ඒත් සමහරුන්ට මේ ආහාරවත් අමුවෙන් කෑමට බැහැ. දිනක් මාත් සමග වැඩ කරන කොරියන් ජාතිකයෙකුගේ නිවසට අප කිහිප දෙනෙකුට ආරාදානා කලා. අපේ කොරියන් මිතුරාගේ මව බොහෝම ලෙන්ගතුව ආදරයෙන් ගෙදර හැදූ සුෂී අපට කෑමට පිලිගැනුවූ අතර, අපත් සමග සිටි අයෙකු අමු මාලු බව දැනගත් විට කෑම මේසයේම වමනය කරනු ලැබූවා.

හරක් මස් steak වර්ග පිසීමේ ක්‍රම Rare, Medium rare, Medium, Medium-well සහ Well ලෙස පස් ක්‍රමයකට පිසිනු ලබනවා. Rare යනු මස් පෙත්ත යන්තම් දෙපැත්ත දමා ලේ බේරි බේරි කෑමයි. මට මෙසේ ලේ පෙරි පෙරී මස් කනවා දුටුවත් ඔක්කාරයට පැමින දින කිහිපයක්ම ආහාර ගැනීමට පවා නොහැකි වනවා. එය එතරම්ම අපුල දර්ශනයකි.

මහාචාර්‍ය නන්දසේන රත්නපාලගේ පොතක ඇති පරිදි ලංකාවේ ගවයන් ඝාතනය කරන්නෙක් ඝාතනය කිරීමට පණ පිටින් සිටින ගවයන්ගේ ඇස උලකින් උගුල්ලා අමුවෙන්ම කෑමට ගන්නා බව දක්වා තිබෙනවා. බොහෝ දඩයක්කරුවන් සතෙකු ඝාතනය කල වහාම පැමිණ පණ අදිමින් සිටින සතාගේ හෝ උණුසුම් ලේ ගලන සතාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වන අක්මාව, හෘදය වස්තුව, වෘෂණ ආදිය අමුවෙන් ලේ පෙරි පෙරී ආහාරයට ගන්නා බව මා අසා තිබෙනවා.

මගේ හිතවත් නීතිඥ මිතුරෙකු වරක් සිංහල සහ වෙනත් ජාතියක් අතර ඇතිවූ ගැටුමක නඩුවකට හම්බන්තොට උසාවියේ පෙනී සිටියේය. පලාතෙ නීතිඥවරු වෙනත් ජාතිය වෙනුවෙන් පෙනී නොසිටිය මේ නඩුවට මා මිත්‍රයා ගියේ කොළඹ සිටය.

නඩුව අවසන් වී රාත්‍රියේ, අර අන්‍ය ජාතියේ අය මගේ මිතුරාව දඩයමේ කැදවාගෙන ගොස් ඇත. සෑහෙන වෙලාවකට පසුව හාවෙකු දඩයම් කල අන්‍ය ජාතික දඩයක්කරු පණ අදින හාවාගේ බඩ පිහියකින් පලා අභ්‍යන්තර ඉන්ද්‍රියක් අතින් කඩා කැරට් අලයක් මෙන් සපා කා ඇත. මගේ මිතුරාටත් යමක් කඩා දී ඇත.

“ඉතිං උඹත් කෑවද?” මගේ මූණ දෙහිබෑයක් අමුවෙන් කෑවාක් මෙන් වන්නට ඇත.
“කෑවෙ නැත්තන් ඌ මාවත් මරන්න තිබ්බා. ඒක කාලා මට සතියක් බඩ ගියා. නවලෝකේ දවස් තුනක් ඉදලා අර නඩුවට ගත්ත ගාන නවලෝකෙට දීලා ආවේ.” මිතුරා එසේ පැවසීය.

ඔබට ඉහත කතා ඇසූ විට අපුලක් දැනුනේද? එසේම දිලිප් වෙදආරච්චි අමු මාළු, ඩිස්කවරි චැනලයේ ඉන්නා හිම වලසෙක් මෙන් කෑම ලෝකයේ බොහෝ දෙනා මවිත කරවන අපුල දනවන සිදුවීමකි. ඔක්කාරයට එන ක්‍රියාවකි.

“මේ බලන්න ලේ බේරෙන මාලු අපි කන්නෙ ඔහොම තමයි.” වෙදාඅරච්චි කියන දේ ඉංග්‍රීසි සබ්ටයිටල් වලත් යයි.

මෙය දකින ලෝකයේ අනික් මිනිසුන් හිතන්නේ ලංකාවේ ඉන්නා සෑම දෙනාම වෙදාඅරච්චි මෙන් වනචාරීන් කියාය.

මම සාමාන්‍යයෙන් මිනිසුන් කන ඕන මසක් මාලුවක් කමි. ප්‍රතිපත්තියක් ලෙස දඩමස් නොකන්නෙමි. ඒත් අර පැරණි කියමනක් ඇති පරිදි බෙල්ලේ එල්ලාගෙන මස් නොකමි.
වෙදආරච්චි ඒ දේ කලේ සද්භාවයෙන් වීමට පුලුවන. ඒත් ඔහුගේ ක්‍රියාව ශිෂ්ඨ සම්පන්න සමාජයට අපුල දනවන, පිළිකුලක් ඇතිවන ක්‍රියාවක් බව ඔහුට නොතේරීම කණගාටුදායකය.
2/3 බලයක් ඇති ප්‍රබල ආණ්ඩුවකට අභියෝග කරනා විපක්ෂය මෙයයැයි හැගෙන විට කණගාටුව තවත් වැඩිවෙයි.

(මෙය සනාත කිරීම සඳහා හිරන්ත හේරත් මහතා තමාගේ ෆෙස්බුක් ගිණුමේ එවන් වාර්ථා රාශියක් පලකොට ඇත.)

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*