දහනවය අහෝසි කිරීම හා පරිසරය රැකීම

දහනවය අහෝසි කිරීම හා පරිසරය රැකීම

.

කාළය බ්ලොග් අඩවිය

.

ඊයේ පාර්ලිමේන්තුවේ කළ ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වුණා දහනවය අහෝසි කරනවා කියා. එය පැහැදිලි මදි. ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියන්නෙ විස්තරාත්මක ලියවිල්ලක් නො වෙයි. විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සෙ තමයි විස්තර දැනගන්න පුළුවන් වෙන්නෙ. ප්‍රතිපත්තියක් ලෙස ගත්ත ම දහනවය අහෝසි කරන එක හොඳයි. එහෙත් එහි සාධනීය දෙයක් තියෙනව නම් එය ව්‍යවස්ථාවට විස්ස මගින් ඇතුල් කරන්න ඕන. 

දහනවය ගෙනාවෙ සිරිසේනටත් රාජපක්‍ෂලාටත් පහර දෙන්න මිසක් වෙන දේකට නොවෙයි. සිරිසේන ජනාධිපති කෙරුවෙ රනිල්ලවත් චම්පකලවත් (රතන හිමි හා යුග පෙරළිකාරයන්) රාජිතලවත් නොවෙයි බටහිර රටවල්. මා හිතන්නෙ ඉන්දියාවත් ඒක දැන ගත්තෙ පස්සෙ. ඒක අන්තිමට ම දැන ගත්තෙ සිරිසේන. සිිරිසේන වැඩේට කැමති වුණෙ ඔහුට ශ්‍රී ල නි පක්‍ෂෙ තිබුණු කෙණහිළිකම් නිසා. 

රනිල් සිරිසේනට කැමති වෙන්න ඇත්තෙ වෙන කරන්න දෙයක් නැති නිසාත් තම ස්වාමීන්ට විරුද්ධ වෙන්න බැරි නිසාත්. ඔහුට අවශ්‍ය වුණා ජනාධිපති බලතල කපල අගමැති බලතල වැඩි කර ගන්න. ඔහු එදා දැන ගෙන හිටිය තමාට සම්මජාතියෙ ජනාධිපති වෙන්න බැරි බව. අද ඔහු දන්නවා තමාට ඡන්දයෙන් පාර්ලිමේන්තුවටවත් එන්න බැරි බව. ඔහු දක්‍ෂ පාර්ලිමේන්තුවාදියෙක්. ඔහු එංගලන්තෙ ඉපදුණා නම් ඉතිහාසගත වන අගමැති කෙනකු වෙන්න තිබුණා. එහෙත් ඔහුට ලංකාවට ඕන විධියට හැඩ ගැහෙන්න බැරි වුණා. 

දහනවයෙන් බල කේන්ද්‍ර දෙකක් ඇති කෙරුණා. ඒ විධායක, ව්‍යවස්ථාදායක කියල නොවෙයි. එය ඊනියා බල තුලනයෙ සැකැස්මක්. දහනවයෙන් කෙරුණෙ විධායකය බල කේන්ද්‍ර දෙකකට කැඩීම. එසේ බල කේන්ද්‍ර දෙකකට කැඩීම  අසාර්ථක වන බව තේරුම්ගත යුතුව තිබුණ කියල  කිව්වත් ඒ වෙලාවෙ බටහිරයන්වත් රනිල්වත් එහෙම හිතන්නෙ නැතිව ඇති. මේ බල කේන්ද්‍ර දෙක ඇති කරන ගමන් රාජපක්‍ෂලවත් කොන් කරන්න වගන්ති කිහිපයක් ඇතුල් කළා.

එදා පාර්ලිමේන්තුවේ හිටි අද පාර්ලිමේන්තුවෙ ඉන්න මන්ත්‍රීවරන්ගෙන්  දහනවයට විරුද්ධ වුණෙ සරත් වීරසේකර පමණයි. මහින්දත් සිරිසේනත් දෙන්න ම එයට කැමති වුණා. මා හිතන්නෙ එය රනිල්ගෙ දක්‍ෂ රැවටවීමක් කියා. රනිල් විශ්වවිද්‍යාලෙ නීති පීඨයෙ ඉගෙන ගන්න කාලෙ ඔහුට පුළුවන්කම තිබුණ එම් ඒ ජස්ටින් සහෝදරයාවත් මෙහෙයවන්න. ජස්ටින් කියන්නෙ කතානායක පුටුවෙ වාඩිවෙච්ච කොළඹ විශ්වවිද්‍යාලෙ ශිෂ්‍ය සංගමයෙ සභාපති. 

මා හිතන්නෙ දහනවයෙ පසුබිම එහෙම වුණත් එහි සමහර කරුණු තියෙනවා ව්‍යවස්ථාවෙ තිබිය යුතු. උදාහරණයකට ද්විත්ව රටවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීමට බැරි වන විධියට නීති පැනවීම. එය තවත් තනතුරුවලටත් බලපාන විධියට පළල් කරන්න ඕන. එය කාටවත් විරුද්ධ ව නොවෙයි අදාළ තනතුරු දරන්නන් රටවල් දෙකකට පක්‍ෂපාති වීමෙන් ඇලීම් ගැටුමක් ඇති වීම වැළැක්වීමට.

ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සිංහරාජ අඩවිය හරහා නෙළුව ලංකාගම හා පිටදෙණිය පාර තැනීම නවත්තලා. එය කිසිම ජාතිකවාදී සංවිධානයක මැදිහත් වීමෙන් කෙරුණක් නො වෙයි. පරිසරවේදීන් තමයි ඒ ගැන උනන්දු වුණෙ. පරිසරවේදීන් අතර ජාතිකවාදීනුත් ඉන්න පුළුවන්. ඒ වගේ ම බටහිර පරිසරවේදීන් අනුකරණය කරන්නන් ඉන්නත් පුළුවන්. කෙසේ නමුත් පාර හදන එක නවත්තපු එක හොඳයි. 

පරිසරය රැකීම කියන එක ගැන මා ලියල තියෙනවා. පරිසරය අනෙක් දේ මෙන් ම වෙනස් වෙනවා. ඒක නවත්තන්න බැහැ. ඒ වගේ ම මිනිසා පරිසරය වෙනස් කරනවා. එයත් නවත්තන්න බැහැ. පරිසරය රකින එක යන්නෙන් මා අදහස් කරන්නෙ පරිසරයේ ගතික සමතුලිතතාව රැකගැනීම. ඒ ගැන මා ලියල තියෙනවා. ගතික සමතුලිතතාව කියන්නෙ ස්ථිතික දෙයක් නොවන බව දැනගන්න උසස් පෙළට ගතිකය කරල තියෙන්න ඕන නැහැ. ඒත් පඬි නැට්ටන්ට ඕව තේරෙන්නෙ නැහැ.

මා පරිසරය ගැන අසූවෙ දශකයෙ ඉඳලා කියනවා. ඒ අදහස් හා දැන් අදහස් අතර මූලික වෙනස්කමක් නැහැ. බටහිරයන්ට පරිසරය මොන ම අර්ථයකින්වත් රැක ගන්න බැහැ. ඒ පිළිබඳ පරිසරය හා බටහිර ආකල්ප පොතේ ඇති. ඒ පොත දැන් මුද්‍රණයේ නැහැ. ඒ ගැන මා කණගාටුවෙනවා. වායු දූෂණයේ සිට ඕසොන් ස්ථරය විවෘතවීම දක්වා ඒ පොතේ ඇති. මා දින කිහිපයකට රාජකාරි කටයුතු සඳහා මියන්මාරයේ අගනුවර වූ නෙපිටෝ නගරයට ආවා. එය අලුත් නගරයක්. එහි වායු දූෂණයක් කියා එකක් නැහැ. හරි ම රමණීය ප්‍රදේශයක්. එය ඉතා හොඳින් සැලසුම් කර තියෙනවා. මට සිහි වුණෙ මහාවංසෙ තියෙන පණ්ඩුකාභය රජු සැලසුම් කළ අනුරාධපුරය.  

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ දහනවය අහෝසි කිරීම ගැන කියල පරිසරය රකින්න  සිංහරාජ අඩවියේ තනන පාර නවත්තල තියෙන්නෙ මගේ පොත කියවල නො වෙයි. එහෙත් ඒ ගැන මා ඔහුට කෘතඥ වෙනවා. පරිසරය ගැන නොතකා ඊනියා සංවර්ධනයක් අත් කර ගැනීමේ විපාක අද අප ටික ටික භුක්ති විඳිනවා. ගෝලීය උෂ්ණත්වය වැඩි වීම, ගොඩබිම් යටවීම් ආදිය සුලබ උදාහරණ පමණයි. එහි රඟ අපටත් දැනේවි මාල දිවයින්  යට වෙලා එහි වැසියන් ලංකාවට ඒමට පටන් ගත් විට. අපි පරිසරය හා ඊනියා සංවර්ධනය ගැන පසුව කතා කරමු.          

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*