ඩෝසරයට එරෙහි වන අමනයෝ සහ “යුක්තිය, සාධාරණත්වය, සහ සමානාත්මතාවය”ඉල්ලා සිටින තකතීරුවෝ

ඩෝසරයට එරෙහි වන අමනයෝ සහ “යුක්තිය, සාධාරණත්වය, සහ සමානාත්මතාවය”ඉල්ලා සිටින තකතීරුවෝ

.

Madawa Ruwanpatirana

.

වත්මන් ආණ්ඩුවේ පළමු ප්‍රධාන කාර්යක් වූයේ රජයේ සේවකයින් සඳහා 9%යේ පොලියට නය ලබා දීමයි. උදාහරණයක් ලෙස දීමනා සහිතව සාමාන්‍ය මාසික වේතනය 50000ක් පමණ වන අයෙකුට ලක්ෂ 25ක පමණ මුදලක් 9%යේ පොලියට ලබා ගැනීමට හැකි විය. වෛද්‍යවරුන්, ගුරුවරුන් වැනි අය රජයේ සේවයට අමතරව පුද්ගලිකව උපයන්නේ නම් ඒවාද පෙන්වා නය ප්‍රමාණය වැඩි කොට ගැනීමේ හැකියාවද ලබා දී තිබුණි. ඒ අනුව අවම වැටුප සහිත වෛද්‍යවරුන් වැනි අය අවම වශයෙන් ලක්ෂ හැත්තාපහක් පමණ නයක් ලබා ගැනීමේ හැකියාව තිබූ අතර ආදායම් බදු ගෙවන වෛද්‍යවරුන් ගුරුවරුන් වැනි අය කෝටියට වැඩි නය ලබාගත් අයද සිටී. නමුත් රජයේ කාර්යාල වල සේවය කරනා සේවකයින්ට ලබා ගත හැකි වූයේ ඔවුන්ගේ වැටුප් පරිමාවට සරිලන නය ප්‍රමාණයකි. එහිද අවමය ලක්ෂ 15ක් පමණ වී ඇත.

එම නය යෝජනා ක්‍රමය අවසන් වූ සැනින් ආණ්ඩුව සිදු කරන ලද්දේ නිවාස නය පොලී අනුපාත අඩු කිරීමයි.

ඒ අනුව පවුලක දෙදෙනාම රජයේ සේවකයින් නම් 9%යේ නය යෝජනා ක්‍රමය තුලින් අවම වැටුප ලබන රජයේ සේවකයාට ලක්ෂ 40ක-50ක සීමාව කරා යාමට හැකි වූ අතර නිවාස නය තුලින් ලක්ෂ 60ක සීමාව කරා යා හැකිය.

මෙම නය යෝජනා ක්‍රම දෙකෙන් පළමු නය යෝජනා ක්‍රමය වූ 9%යේ නය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පෙර ස්ථිර තැන්පතු පොලිය පහල හෙලීමට ආණ්ඩුව කටයුතු කරන ලදී. ආණ්ඩුව බලයට පත්වීමේදී උපරිම 14%( වසර 5ක් සඳහා ) පමණ තිබූ ස්ථිර තැන්පතු 6.75% දක්වා පහල හෙලීය.

9%යේ නය යෝජනා ක්‍රමය ගෙන එන්නේ ඉක්මනින් රජයේ සේවකයින් හට නය නිකුත් කිරීමට අවශ්‍ය වූ බැවිනි. එනම් නිවාස නය වැනි දෑ සඳහා අදාළ ක්‍රියා පටිපාටිය තුල ගත වන කාලය වැඩි බැවිනි ( බිම් සවිය යටතේ හිමිකම් සහිතක නිකුත් කොට ඇති ඉඩම් සඳහා නම් සති තුනක් පමණ ඇතුලත නය නිකුත් කල හැකිය ). ලංකා ඉතිහාසයේ වඩාත්ම ඉක්මනින් සහ සක්‍රියව ක්‍රියාත්මක වූ නය යෝජනා ක්‍රමය වූයේ 9%යේ නය යෝජනා ක්‍රමයයි. එනම් එසේ නය ලබා දෙන බව ප්‍රකාශ කෙරුනේ 2020 ජූලී මාසයේය. නමුත් සැප්තැම්බර් මාසය වන විට නය නිකුත් කිරීම පවා ඇරඹුණි. දෙසැම්බර් වන විට නය නිකුත් කොට අවසන් කෙරුණ අතර 2021 ජනවාරි සිට නිවාස නය සඳහා පොලි අනුපාත අඩු කරන ලදී.

රජයේ නිලධාරීන් බොහෝ දෙනෙකු 9%යේ නය ලබා ගත් අතර ඉතුරු වූ පිරිසක් ද ඇති බව පෙනී යන්නේ නිවාස නය සඳහා වන පොලී අනුපාතික අඩු කල බැවිනි. ඒ අනුව රජයේ සේවකයින් සියලු දෙනාටම නය ලබා දීමේ අවශ්‍යතාවයක් ආණ්ඩුවට ඇති බව දැකිය හැක්කේ මුලින් ලබා දුන් 9%යේ නය ලබා දුන්නේ නිවාස නය ලබාගැනීමට අපොහොසත්( කලින් නිවාස නය ලබාගෙන ඇති හෝ ඒ සඳහා ඉඩමක් නොමැති ) හෝ ඉක්මනින් ලබා ගැනීමට අවශ්‍ය රාජ්‍යය සේවකයින් ඍජුවම ඉලක්ක කරගනිමින් වීම සහ පසුව නිවාස නය සඳහා වන පොලී අනුපාත විශාල වශයෙන් අඩු කල බැවිනි. එනම් මුල් ලක්ෂ පහ සඳහා 4%ක් ඊළඟ ලක්ෂ පහේ කොටස් දෙක සඳහා 8%ක් සහ ඉන් පසුව ලබාගත හැකි ලක්ෂ පහලව සඳහා 12%ක්ව පැවති පොළී ප්‍රතිශතය පළමු රු. ලක්ෂ 5 කොටස් දෙක සඳහා 3% දක්වාත් රු. ලක්ෂ 10 සිට ලක්ෂ 30 දක්වා වන කාණ්ඩය සඳහා 7% දක්වාත් අඩු කරන ලදී. එය විශාල පොලි අනුපාත අඩු කිරීමිකි. ඒ අනුව නිවාස නය අවශ්‍යව සිටි අය මෙන්ම අවශ්‍ය නොවන අයද මෙම වාසියෙන් ගොඩනැගිලි ඉදි කිරීම සඳහා නය ගැනීමට මේ වන විට පෙළඹී ඇත.

රජයේ සේවකයින් ලක්ෂ 16ක් පමණ සිටී. ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් මේ වන විට වර්තමාන ආණ්ඩුව යටතේ නය ලබාගෙන ඇත. එසේම ලබාගනිමින්ද සිටී. එබැවින් මේ වන විට ඉදි කිරීම් ක්ෂේස්ත්‍රයේ මහා පිබිදීමක් ඇති වී තිබේ. අලුත් ඉදි කිරීම්, නිවාස වලට කොටස් එකතු කිරීම්, නිවාස සඳහා කලානුරූප වෙනස් කිරීම්, නිවාස කරා යන මාර්ග ඉදි කිරීම්, අමතර නිවාස හෝ අනාගත ව්‍යාපාර සඳහා ඉදි කිරීම් වැනි කුඩා හා මාධ්‍ය පරිමාන ගොඩනැගිලි ඉදි කිරීම් ආරම්භ වී ඇත. විශාල ටිපර් රථ වලින් මාර්ග පිරී ගොස් ඇත. බැලූ බැලූ අත ගල්, වැලි, පස්, දැව ප්‍රවාහන කටයුතු දැකිය හැක.

පසුගිය ආණ්ඩුව යටතේ විශාල ටිපර් රථ සඳහා රාත්‍රී කාලයේ පමණක් ගල් සහ වැලි ප්‍රවාහනයට දී තිබූ අවසරය දහවල් කාලයටද ලබා දීම වත්මන් ආණ්ඩුවේ ප්‍රථම සහ ප්‍රමුඛ කාර්යක් විය, එසේම ගල් කැඩීම, වැලි ගොඩ දෑම මෙන්ම පස් කැපීම සහ ප්‍රවාහනය සඳහා ද තිබූ සීමා කිරීම් වහා ඉවත් කරන ලදී. මෛත්‍රීපාල සිරිසේන යටතේ නීති තද කොට, වැලි ගොඩ දෑම, පස් කැපීම දැඩි ලෙස සීමා කොට අනවසර වැලි සහ පස් ප්‍රවාහනය වලකා ලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබුන අතර මේ වන විට පොලීසි වලට පවා දන්වා ඇත්තේ එවැනි ප්‍රවාහනයන් පිළිබඳව සොයා නොබලන ලෙසය.

මේ මහා පරිමාන නය නිකුත් කිරීමේ රහස ඉතාම පැහැදිලිය. ඒ අන් කිසිවක් සඳහා නොව පොහොට්ටු මැතිවරණ යාන්ත්‍රණයේ ප්‍රධානතම ගාමක බලවේගය වූ ගල්, වැලි, පස් සහ ගස් ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර සරු කොට ඔවුන්ගේ සහාය දිගටම පොහොට්ටුව වෙත රඳවා ගැනීම සහ ලක්ෂ 16ක් පමණ වන රජයේ සේවකයින් තෘප්තිමත් කිරීම යන කාර්යන් දෙකම එක විට සපුරා ගැනීම මෙම නය ක්‍රියාවලියේ ප්‍රධානතම අරමුණකි.

ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයේදී මූලික වශයෙන් අවශ්‍ය වන්නේ ගල්, වැලි, පස්, දැව සහ සිමෙන්තිය ( ටයිල්, විදුලි ලාම්පු වැනි දෑ මේ කාලයේ මිල වැඩි බැවින් කුඩා හා මාධ්‍ය පරිමාන ඉදිකිරීම් කරුවන් එවැනි දෑ පසුවට තබයි ). ඉහත මූලික ද්‍රව්‍ය අතරින් ඍජුව විදේශ විනිමය වැය වන ද්‍රව්‍යක් ඇත්තේ සිමෙන්ති පමණකි. සිමෙන්ති නිෂ්පාදනයේදී අවශ්‍ය වන clinker ආනයනය සඳහා පමණක් විදේශ විනිමය වැය වේ. ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවයෙන් 35%ක් පමණක් ලංකාවේ නිපදවන බව කියෙවෙන අතර ඉතුරු 65% විදේශ වලින් ආනනයනය කරයි. නමුත් සාමාන්‍යයෙන් විදේශ වලින් ආනයනික සිමෙන්ති කුඩා හා මාධ්‍ය පරිමාන ඉදිකිරීම් කරුවන් බහුලව භාවිතා නොකරයි. ඊට අමතරව ඍජුව විදේශ විනිමය වැය වන්නේ ප්‍රවාහන වියදම් සඳහාය.

ඒ අනුව මුදල් අච්චු ගසා රජයේ සේවකයින්ට නය ලබා දීම තුලින් අරමුණු කරනුයේ පොහොට්ටු මැතිවරණ යාන්ත්‍රණයේ ගාමක බලවේගය වූ ගල්, වැලි, පස්, ලී වැනි ව්‍යාපාරිකයින් සහ ඊට අදාළ නිෂ්පාදන සිදු කරන ( බ්ලොක් ගල්, ගඩොල්, උළු වැනි…) ව්‍යාපාරිකයින් මෙන්ම පොහොට්ටු ඡන්ද පදනමේ ප්‍රධානතම ප්‍රභේදයක් වන එම ව්‍යාපාරවලට අදාළ රැකියාවල් වල නියුතු අය, මේසන්, වඩු, අත්වැඩ, පින්තාරු වැනි කම්කරු රැකියා කරන්නන් වෙත මුදල් ගලා යාමට සැලැස්වීමය. ඒ අනුව ඒ තුලින් සිල්ලර වෙළඳ සැල් හිමියන්, එළවලු ගොවීන්, වැනි අය කරාද යම් මුදල් සංසරණයක් සිදු වේ.

ඉහත විස්තර කරන ලද නය ලබා නොදුන්නේ නම් පොහොට්ටු ඡන්ද පදනමේ ප්‍රධානතම විභවයන් දෙක වූ රජයේ සේවකයින් සහ ගල්, වැලි, පස්, ගස් ව්‍යාපාර සහ ඒ හරහා ගොඩනැගී ඇති විශාල රැකියා ක්ෂේස්ත්‍ර රැසක් අර්බුධයට යනු ඇත. එසේ වූයේ නම් පොහොට්ටු ඡන්ද පදනම ඛාදනය වීම නොවැලැක්විය හැකිය. මේ වන විට Facebook වැනි සමාජ ජාල තුල ආණ්ඩු විරෝධයක් පැවතියද සාමාන්‍ය මිනිසුන් අතර එවැන්නක් නොමැත. සාමාන්‍ය මිනිසුන් පවසන්නේ කොරෝන තත්වය යටතේ මෙසේ හෝ පවත්වාගෙන යාම හොඳ බවය. අත්‍යවශ්‍ය ආහාර සහ බඩු මිල ඉහල යාම එතරම් ප්‍රශ්නයක් නොවන්නේ බත් හෝ පාන් සමග මොනවා හෝ ආහාරයට ගෙන නිවාස ඉදි කිරීම, නිවාස ඇති අය අනාගත ව්‍යාපාරික ස්ථාන ඉදි කිරීම, නිවාස වලට කොටස් එක් කිරීම, නිවාස සඳහා පාරවල් ඉදිකිරීම හෝ හැඩ වැඩ දැමීම ඒ මිනිසුන්ගේ ප්රෝමොදයේ කාරණාවක් බැවිනි. එසේම එම ආර්ථිකය නිසා තවත් බොහෝ පිරිසකටද මුදල් සංසරණය වීමද සිදු වන බැවිනි.

නමුත් ඉහත සඳහන් කල තත්වයට අදාලව නිගමනයන් කිහිපයකට එළඹිය හැකිය.

* එනම්, ඉදිකිරීම් වැනි දෑ නවතා දැමිය නොහැකිය ( මේ වන විට ලංකාවේ පවුල් සංක්‍යාවට අදාලව නිවාස අතිරික්තයක් ඇතත් නිවාස ඉදි කිරීමේ සහ වෙනස් කිරීම හෝ අංගෝපාංග එක් කිරීමෙහි අඩුවක් නොමැත. එසේම කොරෝන වසංගතයට පෙර සංගණන වාර්තා අනුව ලංකාවේ ජනගහනයෙන් දිනකට ලක්ෂ හතක පමණ ප්‍රමාණයක් සාමාන්‍ය වශයෙන් හෝටල් කාමර වල වාසය කරයි ). එනම් ඒවායේ සීමාවක් තිබිය නොහැකිය. එසේ වුවහොත් ඉදිකිරීම් වලට අදාළ නිෂ්පාදන සමාගම්, මහා පරිමාන ඉදිකිරීම් සමාගම්, කුඩා පරිමාන ඉදිකිරීම් සමාගම් වල සිට ගඩොල් කපන ව්‍යාපාරිකයා දක්වා ව්‍යාපාර රැසක් අර්බුධයට යනු ඇත. එසේම සිවිල් ඉංජිනේරු කෙශ්ස්ත්‍රය, මිනින්දෝරු, ප්‍රමාන සමීක්ෂණ, තාක්ෂණ නිලධාරි වැනි රැකියා වල සිට අත් වැඩ දෙන කම්කරුවා දක්වා රැකියා රැසක් අර්බුධයට යනු ඇත. ඒ අර්බුධය නැවතත් ඍජුව සහ වක්‍රව ධනේශ්වර ආර්ථිකයේ වෙනත් ක්ෂේස්ත්‍ර වෙත බලපානු ඇත. ඒ අනුව ධනවාදී ආර්ථිකයක අනීවාර්ය ප්‍රධාන සාධකයක් වන්නේ ඉදි කිරීම් ඒකාකාරීව පවත්වාගෙන යා යුතු වීම හෝ තව තවත් තීර්ව කිරීමයි.

* ඉදිකිරීම් නවතා දැමිය නොහැකි තත්වයක් යටතේ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නම් මූලික ද්‍රව්‍ය වන සිමෙන්ති( සිමෙන්ති නිෂ්පාදනය සඳහා ආනයනය කරනුයේ ක්ලින්කර් පමණි ) වලට අමතරව නිරන්තර ගල්, වැලි, පස්, දැව සැපයුමක් අත්‍යවශ්‍ය වේ.

* නොනවතින ඉදිකිරීම් අවශ්‍ය වන සහ වර්ධනය කල හැකි තත්වය පවත්වාගෙන යා යුතු හෝ වැඩි දියුණු කල යුතු වේ ( ජනතා බලාපොරොත්තුව එම තත්වය වැඩි දියුණු කිරීමය ).

මේ දිනවල “ඩෝසරයට එරෙහිව” නමින් සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන ජවිපෙ හෝ පරිසරය රැකීමට කැප වී සිටින සියලු දෙනා කියා සිටින්නේ කුමක්ද ? ඉහත සඳහන් කල නිගමනයන් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේද ?

“ඩෝසරයට ඉඩ නොදී” මේ ඉදිකිරීම් තත්වය පවත්වාගෙන යාමට හෝ වැඩි දියණු කිරීමට නොහැකි බව ඔවුන් නොදනී. ඔවුන්ට අනුව නිසි විද්‍යාත්මක ප්‍රවේශයක් තුලින් “ඩෝසරයට ඉඩ දීමෙන්” ඉහත සියලු ප්‍රශ්න පරිපූර්ණව විසඳිය හැකිය. ඒ අනුව ඔවුන් එරෙහිවන්නේ ඉදිකිරීම් වලට හෝ ඒවායේ සංවර්ධනයට නොව “ඩෝසරයට ඉඩ දීමේ” විද්‍යාත්මක ක්‍රමවේදයට පිටු පෑම නිසාය. ඒ අනුව ඔවුන් කිසි විටක මිනිසුන්ගේ ඉදිකිරීම් ආශාවට එරහි නොවේ.

පසුගිය ආණ්ඩුව පරාජය වීමට හේතු වූ ප්‍රධානතම කාරණයක් වූයේ ඉහත සඳහන් තත්වය පවත්වාගෙන යාම සඳහා පැන වූ සීමාවන්ය. මෛත්‍රීපාල සිරිසේන නොවන්නට රනිල් වික්‍රමසිංහ එම සීමාවන් නොපනවන අතර නැවත ආණ්ඩුව රාජපක්ෂලාටද ලබා නොදෙනු ඇත.

මෙම නය ආර්ථිකය කෙතරම් දුරට පවත්වාගෙන යා හැකි වේද යන්න තීරණය වන්නේ චීනයේ මැදිහත් වීම අනුවය. ඒ සඳහා චීනයට දිය යුතු දේවල් බොහෝ ඇත. ඔවුන්ගේ “One Belt, One Road, One Currency” ව්‍යාපෘතියේ මධ්‍යස්ථානයක් වීමට නියමිත ලංකාව පිළිබඳව චීනයට දීර්ග සැලසුමක් ඇති බව පෙනේ.ඒ අනුව රාජපක්ෂ ආණ්ඩුව ලෙහෙසියෙන් කඩා වැටීමට චීනය ඉඩ නොතබනු ඇත. එසේ නොවීමට නම් ජනතාවට තව තව ආතල් දිය යුතුය. ඒ අනුව බැසිල් ඊළඟට යොමුවිය යුත්තේ ජනතාවගේ වාහන සිහින සැබෑ කිරීම වෙතය. ඒ සඳහා රටේ ඇති විශාල වනාන්තර බිම් ප්‍රමාණයක් සහ නාගරික ඉඩම් විශාල ප්‍රමාණයක් චීනයට අවශ්‍ය පරිදි හැසිරවීමට ඉඩ දිය යුතුව ඇත.

අනුර කුමාර දිසානායක පසුගිය දිනක පාර්ලිමේන්තුවේ පවසා සිටියේ වාහන ගෙන්වීම නවතා ඇති හෙයින් ජනතාවට වාහන මිල දී ගැනීමේ හැකියාව අහිමිව ඇති බවය. ඊට පෙර ඔහු ප්‍රකාශ කොට සිටියේ සාමාන්‍ය ජනතාවගේ සිහිනය වන ඇල්ටෝ, මරුටි සඳහා අති විශාල බදු පැනවීම තුල සාමාන්‍ය ජනතාවගේ වාහන සිහිනය බොඳ වී ඇති බවය. එබැවින් බැසිල් සහ චීනය නිසි පරිදි ක්‍රියාත්මක වුවහොත් ඉන් පසුව අනුර කුමාර දිසානායකට වෙනත් සටන් පාඨ සොයා ගැනීමට සිදු වනු ඇත.

ඉහත ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය උදාහරණයක් පමණක් ලෙස සැලකුවහොත් අවධාරණය කල හැකි ප්‍රධාන කාරණය වන්නේ ධනවාදය තුල අනෙකුත් සියලු ක්ෂේස්ත්‍රයන්ගේ ක්‍රියාකාරීත්වයද ඉහත ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයේ ක්‍රියාකාරීත්වයෙන් වෙනස් නොවන බවය. පවතිනෙන් ඒ කිසිවක් කිසිම හේතුවක් නිසා අත්හිටවිය නොහැකි තත්වයකි. ඒ අනුව Covid-19 එන්නත සතුව කොතරම් අහිතකර බලපෑම් තිබුනද ඒවා නොසලකා සියලු දෙනාගේ බලාපොරොත්තුව එන්නත විදගෙන අදාළ කාරයන්ගේ නිරත වීමය.

එසේ නම් මේ තත්වය යටතේ ඉල්ලා සිටින “යුක්තිය, සාධාරණත්වය, සහ සමානාත්මතාවය” යනු කුමක්ද ? දාර්ශනික මෙයසොවාදීන් සහ තකතීරු වාමාංශිකන්ගේ දේශපාලන ප්‍රවේශය වන “යුක්තිය, සාධාරණත්වය, සහ සමානාත්මතාවය” ඉහත විස්තර කරන ලද දේශපාලන පසුබිමේ ස්ථානගත කල හැක්කේ කොතනද ?

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*