ජොනීගේ බස් ඉස්ටෑන්ඩ් එකේ ඇත්ත කතාව..

ජොනීගේ බස් ඉස්ටෑන්ඩ් එකේ ඇත්ත කතාව..

.

Abeetha Edirisinghe

.

මේ ගැන ගොඩාක් දෙනෙක් ගොඩාක් ඒවා කියලා තියෙනවා දැක්කා.. මම හිතන්නේ ඒ සම්භන්ධව සහ තවත් ගොඩාක් දේවල් සම්භන්ධව ලියන්න වෙලාව ඇවිත්…

ජනාධිපතිවරණයෙන් පස්සෙ වත්මන් රජය පිහිටවලා මාස දෙකකට පස්සෙ අමාත්‍ය Johnston Fernando මැතිතුමා විසින් කැලුම් ජයසුමන අයියාටයි මටයි බරපතල වගකීමක් භාර දෙනවා.. ඒ තමයි 100% කොටස්වල අයිතිය රජය සතුව තියෙන Expressway Transport Company Private Limited නමින් හැඳින්වෙන, හොඳටම බංකොලොත් වෙලා තිබ්බ මෙම ආයතනය ලාභ ලබන තැනක් බවට පත් කරන්න..

2015 ජනපතිවරණයේදී ආණ්ඩුවට ගහන්න කට්ටිය මේ සමාගම හැඳින්වූයේ රාජපක්ෂලාගේ බස් කොම්පැණිය කියලා.. රුපියල් මිලියන 55ක මුදලක් එක්කයි මේ සමාගම යහපාලන රජය භාරගන්නේ… 2019 දෙසැම්බර් මාසෙ කැලුම් ජයසුමන සහෝදරයා සභාපති විදිහට පත් වෙද්දි මේ ආයතනයේ තිබ්බේ රුපියල් මිලියන 1.8යි… බස් රථ 20න් 7ක් පමණක් ධාවනය වන තත්ත්වයේ තිබියදී 13ක්ම ගරාජවල බිල්පත් නොගෙවීම නිසා ගරාජ් හිමියන් විසින් තම අඩස්සියට තබාගෙන තිබිණි. සේවකයින්ට වැටුප් ගෙවීමට පවා අපහසුවට තීබූ මෙම ආයතනය වසා දැමීමට පවා වරක් මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබිණ.

සභාපති ධූරයට කැලුම් ජයසුමන සභාපතිතුමා පත්වද්දී, මා එහි සාමාන්‍යාධිකාර තනතුරේ වගකීම භාර ගත්තෙමි.. ෆේස්බුක් පෝස්ට් පිංතූර, රචනා වලින් මිදී වැඩ විතරක් කලෙමු. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමන් විසින් ලබා දුන් නිදහසත්, කැලුම් ජයසුමන සභාපතිතුමාගේ සෘජු සහ දැඩි තීරණත් මත දින 60ක කාලයක් තුල ආයතනයේ ආදායම මිලියන 16ක් දක්වා ඉහල ගෙන ආවෙමු. ඒ වගේම ආයතනයේ සේවකයන්ගේ ගුණාත්මක භාවය දියුණු කරන්නට කටයුතු කලෙමු. බැහැරගත පුහුණු, දුරකතන පහසුකම්, රක්ෂණ ආවරණ සේවකයන්ට ප්‍රධානය කෙරිණ. කොවිඩ් 19 හේතුවෙන් රට වසා තබන ආරංචිය සමඟ කාර්‍යාලයේ සේවකයින්ට ලැප්ටොප් පරිඝණක, ජංගම රවුටර්, ස්මාර්ට් ෆෝන් ලබා දෙමින් ගෙදර සිට වැඩ කිරීමේ හැකියාව ලබා දුන්නෙමු. සියළු ආයතන කොරෝනා හමුවේ කඩා වැටෙද්දී, ඉතිහාසයේ පළමු වරට ETC ආයතනයේ සේවකයින් 2020 අප්‍රේල් මාසයේ තම වැටුපට සමාන මුදලක් ප්‍රසාද දීමනාවක් ලෙස ලබා ගත්තෝය…

මාස හයක් පුරා එක බස් රථයක් ධාවනය නොවූවත්, ආයතනයක් විදිහට එක සතයක් හම්බ නොකලත් අපි සේවකයන්ගේ වැටුප් අඩු නැතුව ලබා දෙන්නෙමු. මේ වසරේත් ප්‍රසාද දීමනා ලබා දීමට අප සූදානම්‍ ය. රක්ෂණ ප්‍රතිලාභ, දුරකථන පහසුකම් මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙයි..

මේක තත්ත්වය හමුවේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමන් විසින් ලබා දෙන්නේ තවත් අභියෝගයකි.

ඔය ආයතනය දියුණු කරන්න අළුත් කන්සෙප්ට්ස් හදන්න.. හදලා මට කියන්න.. මම උදව් කරන්නම්…..

ඒ අනුව කැලුම් ජයසුමන සභාපතිතුමාගේ උපදෙස් මත අප තවත් සංකල්ප දෙකක් ගැන කටයුතු කරන්නට සැලසුම් සැකසුවේය..

“SBS 3000” හෙවත් “3000 Smart Bus Stops”

රජයේ බදු මුදල් කියන ඡෝදනාව මටත් කැලුම් සභාපතිතුමාටත්, ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාටත් එන බව අපි කලින්ම දැන සිටියෙමු. මේ සංකල්පය බිහි කරන්නෙම රජයේ මුදල් සතයක්වත් වැය නොකරන පදනමක සිටය. දෙවැන්න පිට රට සමාගම් කියන සිහිනයෙන් මිදී දේශීය ආයෝජකයෙක් සහ ව්‍යවසායකයෙක් සමඟ වැඩකිරීමේ යථාර්ථය උදා කරගැනීමයි.. මේ කාරණා දෙකටම ගරු ඇමතිතුමන්ගෙන් හිමිවූයේ ඉතාම ධනාත්මක සහ දිරි ගන්වන සුළු අනුමැතියකි. ඒ වගේම මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. පේමසිරි මැතිතුමන්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති මැතිතුමන්, ක්‍රියාකාරී අධ්‍යක්ෂ මැතිතුමන් සෑම වෙලාවේම ඒ වෙනුවෙන් තම උපරිම දායකත්වය සහ උපදෙස් ලබා දෙන ලදී….

මොකක්ද මේ ලොකුවට කියැවෙන Smart Bus Stop එක….

ඔබ අද දැක්කේ මෙම බස් නැවතුම් පල ව්‍යාපෘතියේ පළවෙනි අදියරේ පළවෙනි එක. මෙවැනි බස් නැවතුම්පලවල් 3000ක් ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති A ශ්‍රේණියේ සහ B ශ්‍රේණියේ මහා මාර්ග දෙපස ඉදිවෙනු ඇත. දෙවන අදියරදී මුදල් තැන්පතු යන්ත්‍රයක් සහ තෙවන අදියරේදී 7 – 11 කුඩා retail shop එකක්ද මෙම බස් නැවතුමට එකතු වෙනු ඇත.

මොනාද මේකේ තියෙන පහසුකම්…

ප්‍රධාන වශයෙන්ම මගියාගේ ආරක්ෂාව තහවුරුය.. මෙම බස් නැවතුමේ රැඳෙන මගියා රුපියල් මිලියනයක රක්ෂණාවරණයකට යටත්‍ ය.

ඒ වගේම මේ සියළු බස් නැවතුම් CCTV කැමරා දෙකක් හරහා නිරීක්ෂණය වේ.

ජංගම දුරකථන වල Battery Charging Facility අන්තර්ගතය.
එකවර ජංගම දුරකථන නවයක බැටරි ආරෝපණය කර ගැනීමට ඔබට හැකිය….

ඒ වගේම එහි ඇති කසල බඳුන අවට පරිසරය පිරිසිදු කිරීම පිළිබඳ සාධකයක් වේවි..
බස් නැවතුම්පලේ පිරිසිදු භාවය සහ එහි ගුණාත්මක භාවය රකින්නට වෙනම වැඩපිළිවෙලක් අප ආයතනය සතුව ඇත.

එහි සවිකර තිබෙන Smart Television එක හරහා විකාශය වන්නේ SBS TV නම් වෙනම රූපවාහිණී නාලිකාවකි.
මේ තුලින් ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන, ප්‍රවාහනය පිළිබඳ තොරතුරු, මගී විනය, රියදුරු විනය, සංවර්ධන ක්‍රියා මාර්ග, පදිකයන්, මගියන්, රියදුරන් සඳහා වන වැඩසටහන් විකාශය වනු ඇත.

සූර්‍ය කෝෂ හරහා බල ගැන්වෙන මෙම බස් නැවතුම, විනාශ කරන්නන් හඳුනා ගැනීම පිණිස CCTV පද්ධතියට අමතරව sensors හරහා Back Office එකට පණිවිඩ සන්නිවේදනය වනවා සේම, අදාල බලධාරීන් 10 දෙනෙක් වෙත Security Mobile Alerts ලැබෙන ක්‍රියාවලියක්ද මෙහි ඇතුලත්…

ඒ වගේම හානිකර අවස්ථාවකදී අඛන්ඩ Security Alarm එකකින් ඒ පිළිබඳ අවට ජනතාව දැනුවත් කෙරෙනු ඇත.

මේ තුල තමන්ගේ ව්‍යාපාර පිළිබඳව ජනතාව දැනුවත් කර ගැනීමේ අවස්ථාවද, ව්‍යාපාරිකයින්ට ලැබෙනවා…

ප්‍රචාරක පුවරු 5ක් වගේම SBS TV නාලිකාව හරහා තමන්ගේ දැන්වීම් රට පුරා ප්‍රචාරය කරවා ගැනීමේ හැකියාව තිබෙනවා…

මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම රුපියල් බිලියන 4.5ක්… මෙම වියදම සම්පූරණයෙන්ම ආයෝජකයින් හරහා ආවරණය කෙරෙනවා… බස් නැවතුම්පලවල් 3000 සම්පූර්ණ වීමෙන් පසු මෙම ව්‍යාපෘතියෙන් වසරකට රජය වෙත ලැබෙන අවම ආදායම රුපියල් බිලියන 1.453ක්…

මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම වසර පහක් තුල පියවීමට අප සතුව පැහැදිලි වැඩ පිළිවෙලක් තිබෙනවා..

මේ සමඟම අප ආයතනය ක්‍රියාත්මක කරන නවතම අනෙක් සංකල්පය ETC Tourism නමින් තව නොබෝ දිනයකින් ජනගත වේවි. ශ්‍රී ලාංකික දේශීය විදේශීය සංචාරකයන්ට නැවුම් අත්දැකීමක් මේ තුලින් උදාවෙනු ඇත.

ඒ වගේම මෙම පළමු බස් නැවතුම විවෘත කරන්නට ගරු අමාත්‍යතුමන්ට ආරාධනා කල අවස්ථාවේදී ඇමතිතුමා විසින් කැලුම් ජයසුමන සභාපතිතුමා වෙත කී කතාවක් ද ඔබ හමුවේ තැබිය යුතුය.

“කැලුම්, බස් හෝල්ට් එකක් open කරන්න cabinet minister කෙනෙක් එද්දි මිනිස්සු හිනාවෙයි.. හැබැයි අලුත් concepts ගේන මිනිස්සුන්ට දෙන ධෛර්‍යයක් විදිහට මම ඕක ඕපන් කරන්න එනවා..”

ඔබගේ ඡෝදනා, යෝජනා, නින්දා, ප්‍රශංසා අපගේ ආයතනයේ දියුණුව පිණිසම වන්නේය.. ඒ වෙනුවෙන් ඔබ සැමට ස්තූතිවන්ත වෙන්නෙමු.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*