ජිනීවා එන්නත සාර්ථක වෙයිද ?

ජිනීවා එන්නත සාර්ථක වෙයිද ?

.

Samabima.com

.

මානව හිමිකම් කවුන්සිලයේ 46 සැසිවාරයට
ශ්‍රී ලංකාවේ පෙර සූදානම පිළිබඳ විමසුමක්

එළැඹෙන පෙබරවාරි 22 වැනිදාවේ සිට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ආරම්භ වීමට නියමිතය. එය මාර්තු 19 වැනිදාව දක්වා පැවැත්වෙනු ඇත. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාර්තාව සාකච්ඡාවට ගැනෙනු ඇති අතර මෙම වාර්තාව ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ලබා දී ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා ජනවාරි 27 දක්වා කාලය ලබා දී තිබුණි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව සිදුව ඇති මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ උත්සුකයන් විසින් ආසන්නයේ එන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡාව වෙත ජාත්‍යන්තරයේ දැඩි අවධානය පළව ඇති බව නිරීක්ෂණය කළ හැක.  ඉවත් වීමේ යෝජනාව

යහපාලන රජය විසින් 2015 සහ 2019 වසරවලදී සම අනුග්‍රාහකත්වය දැක්වූ, ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1  සහ 40/1 යෝජනාවලින් ඉවත්වන බව පසුගිය පෙබරවාරියේ පැවති 43 වැනි සැසිවාරයේදී විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිල වශයෙන් කවුන්සිලය වෙත දැනුම් දුන්නේය. ඒ මෙම යෝජනාවලිය, ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට එරෙහිවීම, එවකට අමාත්‍ය මණ්ඩලයේ, පාර්ලිමේන්තුවේ, ජනාධිපතිවරයාගේ සහ පොදුවේ මහජනතාවගේ අදහස් නොසලකා ඉදිරිපත් වීම, යුද්ධයේ තත්ත්වයන් සහ මියගිය පුද්ගලයන් පිළිබඳ සාවද්‍ය කරුණු ඇතුළත්වීම, රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙලීම සහ පාස්කු ප්‍රහාරය ඇති වීමට එය හේතුවක් වීම, රටේ ස්වාධිපත්‍යයට සහ අභිමානයට කැළලක් වීම යනාදි හේතු ගණනාවක් පෙන්වා දීමෙන්ය.

 ඒ සමඟම මෙම යෝජනාවලිය ඉවත් කර ගැනීම ඇතුළත්ව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ යෝජනා පහක් අමාත්‍යවරයා විසින් කවුන්සිලය වෙත ඉදිරිපත් කළේය. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි නියෝජිතායතන සමඟ අඛණ්ඩව කටයුතු කිරීමටත්, දේශීයව නිර්මාණය කරනු ලැබ ක්‍රියාත්මක කෙරෙන සංහිඳියා හා වගවීමේ ක්‍රියාදාමයක් වෙනුවෙන් කැපවීත්, මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය වීම් පිළිබඳ චෝදනා විමර්ශනය කළ පූර්ව විමර්ශන කොමිසම් වාර්තා සමාලෝචනය කිරීමටත්, ඒවායෙහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය තක්සේරු කොට නව රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු පිණිස, ක්‍රියාත්මක කළ හැකි පියවර යෝජනා කිරීමටත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු යටතේ විමර්ශන කොමිසමක් පත්කිරීමත් ඊට ඇතුළත් විය.

විශේෂයෙන්ම රජය සමඅනුග්‍රාමකත්වයෙන් ඉවත් වන බව නිල වශයෙන් දැනුම් දුන් අවස්ථාවේ කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝව සහ එක්සත් රාජධානිය යන මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ ලක්ෂ්‍ය කණ්ඩායම හෙවත් Core group වෙනුවෙන් එක්සත් රාජධානියේ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර තානාපතිනි රීටා ෆ්‍රෙන්ච් අවධාරණය කරමින් කියා සිටියේ, “රජය විසින් සංහිඳියාව සම්බන්ධයෙන් නව වැඩසටහනක් යෝජනා කරන්නේ නම් එම නව වැඩසටහන පෙර පැවති එවැනි දේශීය උත්සාහයන්ගෙන් වෙනස් වන්නේ කෙසේද යන වගත් එහිලා එම වැඩසටහන ගැටුම්වලින් විපතට පත්වූ වින්දිතයින් කේන්ද්‍ර කර ගනිමින් ගොඩනගන්නට රජය විසින් කටයුතු කරනුයේ කෙසේද යන්න පිළිබඳවත් විශේෂයෙන් අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය, හානිපුරණ කාර්යාලය ඇතුලු‍ ස්වාධීන කොමිෂන් සභාවල අනාගතය කෙරෙහි අවධානය යෙමු කළ යුතු බවත්ය.”  අලුත්ම කොමිසම

රජයේ එකී පොරොන්දුව ප්‍රකාරව මෙවර ජිනීවා හි 46 වැනි සැසිවාරය ආරම්භ කිරීමට ආසන්නව තිබියදි පසුගිය 21 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මඟින්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස්ගේ සභාපතීත්වයෙන් යුතුව විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත කොමිෂන් සභාවක් පත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇත. මීට පෙර පත්කරන ලද කොමිෂන් සහ කමිටු මඟින් මානව හිමිකම් උල්ලංඝනයන් සහ බරපතළ ගණයේ ජාත්‍යන්තර මානූෂීය නීති කඩ කිරීම් සහ වෙනත් එවැනි වරදවල් අනාවරණය කරගෙන තිබේද, නිර්දේශ නිකුත් කර තිබේද යන්න සහ ඒවා වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්තිය සමග අනුකූල වේද ආදිය අධීක්ෂණය නව කොමිසමේ විෂය පථය ලෙස දැක්වේ.කොමිසමට විරෝධය

මෙම යාන්ත්‍රණය කෙරෙහි ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විවේචන එල්ලවන අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් ගුවන් විදුලි සාකච්ඡාමය වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ, ‘රජය විසින් පත් කරන ලද මානව හිමිකම් කමිටුව ඇස්බැන්දුමක් පමණක්’ බවයි.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරන හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ දකුණු ආසියානු කලාපය බාර අධ්‍යක්ෂිකා මීනාක්ෂි ගංගුලි සඳහන් කරන්නේ, ‘මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර පීඩනය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති දශක කිහිපය තුළ අවම වශයෙන් දේශීය කොමිෂන් සභා දුසිමක්වත් පත් කර ඇත ද කිසිවකුට එරෙහි නඩු පැවරීමක් හෝ අතුරුදහන් වූ ඥාතීන් සොයා ගැනීමට පවුල්වලට උදව්වක් හෝ එයින් සිදුව නැත. ඔවුන්ගේ සොයාගැනීම් බොහෝ විට ප්‍රකාශයට පත් නොවූ අතර නිර්දේශ කිසි විටෙකත් ක්‍රියාත්මක නොවුනු’ බවයි.

‘අඛණ්ඩව අධීක්ෂණය කිරීම මෙන්ම අනාගත නඩු පැවරීම් සඳහා සාක්ෂි එකතු කිරීම, විශ්ලේෂණය කිරීම සහ සංරක්ෂණය සහතික කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලය නව යෝජනාවක් සම්මත කර ගැනීම ඉතා වැදගත්ය. ශ්‍රී ලංකා රජයේ අව්‍යාජ පොරොන්දු වලට සාමාජික රටවල් යටත් නොවිය යුතු’ යැයි ඇය දැඩිව අවධාරණය කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා අවධාරණය කරන්නේ, “ජාත්‍යන්තර පරිමාණයේ බරපතළ අපරාධ ශ්‍රී ලංකාවේ සිදුවුනිදැයි විමසා බැලීමට තවත් කොමිසමක් පත් කිරීමේ සිතුවිල්ලම ඒසා විකාරයක් මෙන්ම වින්දිතයන්ට අපහාසයක්ද බවයි.

කොමිසමේ සභාපතිවරයා වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් අවම වශයෙන් හතර වාරයක් (2010 නොවැම්බර්, 2011 ජූනි, 2011 සහ 2013 සැප්තැම්බර්) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටිමින් රජයේ ආරක්ෂාව වෙනුවෙන් කළ භූමිකාව සබැඳියාවන් අතර ගැටුම් ගණනාවක් මතු කරන බව සූකා අවධාරණය කරයි.සංහිඳියා කාර්යාලයට පණ දීම

ජනාධිපතිවරණයෙන් අනතුරුව අක්‍රීයව පැවති ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලය (ONUR) යළි සක්‍රීය කිරීම සඳහා නව සභාපතිවරයෙකු, පාලක මණ්ඩලයක් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් අලුතින් පත් කිරීමට ද තීරණය කර තිබේ. ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලය යළි සක්‍රීය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවත් මෙරට ජනවාර්ගික ආගමික පාරිසරික හෝ වෙනත් සාමාජීය ආරවුල්වලදී ආරම්භක අවස්ථාවේ දී මැදිහත් වී ඒවා සමනය කිරිමට යාන්ත්‍රණයක් සකස් කළ යුතුව ඇති බවත් අමාත්‍ය අලි සබි්‍ර කැබිනට් මණ්ඩලයට දන්වා ඇතැයි මාධ්‍ය වාර්තා පළ විය. ඒ අනුව එම කාර්යාලයේ නව සභාපතිවරයා වශයෙන් නීතිඥ ෂර්ලි මහින්ද කුෂාන් ද අල්විස් සහ සාමාජිකයන් වශයෙන් මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස්, මහාචාර්ය රිස්වි හසන්, නීතිඥ සී.ජේ.ජී රණතුංග, කොළඹ හිටපු දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර, නීතිඥ හසන්ති වීරසූරිය ඇතුළු සාමාජිකයින් 11 දෙනෙකු පත් කිරීමට නියමිතව ඇති බව මාධ්‍ය වාර්තා පළ වේ.  දෙමළ දේශපාලන පක්ෂ ඉල්ලීම

රජයේ මෙම හදිසි සුදානම මධ්‍යයේ පසුගිය 15 වැනිදා දෙමළ දේශපාලන පක්ෂ ගණනාවක් එක්ව ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන සාමාජික රටවල් 47 ක් වෙත ලිපියක් යවමින් මෙරට දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් යුද සමයේ සිදු කළ බවට චෝදනා කෙරෙන මානව හිමිකම් කෙළසීම් අරඹයා ලංකාව සම්බන්ධයෙන් තීරණාත්මක ක්‍රියාමාර්ගයන් ගන්නා ලෙස ඉල්ලා තිබේ.

‘ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ නව යෝජනාවක් සම්මත කිරීම මගින් ශ්‍රී ලංකාවෙහි සිදුව ඇති ජන සංහාරය, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳව ජාත්‍යන්තර යුද අධිකරණයට සහ එවැනි අනෙක් ඵලදායි අන්තර් ජාතික වගවීමේ යාන්ත්‍රණයන්ට යොමු කරන ලෙස’ එම ලිපියේ දැක්වේ.කඩාවැටීම්

පසුගිය සති කිහිපය තුළ මෙරට මානව හිමිකම් වාතාවරණය මෙන්ම නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමට ලක් කෙරුණු සිදුවීම් ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්විය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට බරපතළ වැඩ සහිතව සිව් වසරක සිර දඬුවම් නියම වෙද්දී, මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කරගනු ලැබීම දෙස් විදෙස් අවධානයට ලක් වූ එවැනි එක් සිදුවීමකි.

හිටපු මන්ත්‍රී පරරාජසිංහම් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ නඩුවෙන් පිල්ලෙයාන් මන්ත්‍රීවරයා ඇතුළු චුදිතයන් පස් දෙනාම නිදොස් කොට නිදහස් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ICJ හෙවත් නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම, යුද සමයේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත්වීම දැඩිව හෙළා දැක තිබේ. චුදිතයන්ට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගන්නේ ඇයිද යන්න නීතිපතිවරයා හෙළි කර නොමැති බවත් වසර පහකට පසුව චෝදනා ඉල්ලා අස්කර ගැනීම හඳුන්වන්නේ ප්‍රහාරයේ වින්දිතයන්ට එල්ලකරන ලද බරපතළ පහරක් ලෙසින් බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ජනවාරි 14 වැනිදාවේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, මෙරට මානව හිමිකම් තත්ත්වය අඛණ්ඩව පිරිහීම; මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය සහ මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයින්ට එරෙහි ප්‍රහාර වැඩි වීම; වගවීම ඇතුළුව මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී සීමිත ප්‍රගතියක් ලබා ගැනීම; සහ ශ්‍රී ලංකාවේ 30/1 ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීම තුළ වගවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වහා පියවර ගත යුතුව ඇති බවයි.

අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ සිවිල් පරිපාලන ක්ෂේත්‍රයට හමුදා නිලධාරීන් 39 දෙනෙකු පත් කිරීම සහ මෙරට ඉහළ යන හමුදාකරණය වූ ප්‍රතිචාරයන් පිළිබඳ සවිස්තරාත්මක නිවේදනයක් නිකුත් කරන සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය හා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) ‘එය කිළිපොළා යන සුළු අත්පත් කර ගැනීමක්’ බව කියා සිටියි.

මේ අතර හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය වාර්ෂික වාර්තාව පසුගිය 13 වැනිදාවේ නිකුත් කරමින් කියා සිටින්නේ, රාජපක්ෂ ආණ්ඩුව විසින් සම්මතකර ගනු ලැබූ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින්, අධිකරණයේ ස්වාධීනත්වය යටපත් කෙරුණ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැනි ආයතන දුර්වල කෙරුණ බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගමික නිදහස සහ විශ්වාසයන් පිළිබඳ විශේෂ වාර්තාකරු අහමඩ් ෂහිඩ් ඇතුළු විශේෂ වාර්තාකරුවන් හතර දෙනෙකු එක්ව පසුගිය 25 වැනිදා ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයේ අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය දැඩිව හෙළා දැක තිබේ. “කෝවිඩ් 19 ආසාදිත සිරුරු බලහත්කාරයෙන් ආදාහනය නවත්වා දමන ලෙසත්, අසත්‍ය තොරතුරු, වෛරී ප්‍රකාශ සහ මුස්ලිම් හා වෙනත් සුලු‍තරයන් වසංගතයේ රෝග වාහකයා ලෙස ගර්හාවට ලක් කිරීම් වලට එරෙහිව සටන් වැදීමට අවශ්‍ය සියලු‍ පියවර ගන්නා ලෙසත්, වැරදි සහගත ලෙස සිදුකරන ලද ආදාහන සම්බන්ධයෙන් පිළියම් යොදා වගවීම තහවුරු කරන ලෙසත් අපි රජයට බලකර සිටිමු,”යැයි එය අවධාරණය කරයි.

මේ අතර ශ්‍රී ලංකාවේ බලහත්කාරී ආදාහන ප්‍රතිපත්තිය ඇතුළු මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ බි්‍රතාන්‍යය සිය අවධානය යොමු කර ඇති බවත් එළැඹෙන සතියේ නිකුත් කිරීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව සමඟ අපගේ ප්‍රවේශය දැනුම් දෙනු ඇති බවත් ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහකොමසාරිස් සාරා හූල්ටන් සහ බි්‍රතාන්‍යයේ දකුණු ආසියානු මානව හිමිකම් කටයුතු පිළිබඳ අමාත්‍ය තරීක් අහමඩ් සාමීවරයා ද තමන් මේ පිළිබඳ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන සමඟ දුරකතනයෙන් සාකච්ඡා කළ බව ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කියා සිටිති.  මහකොමසාරිස්වරියගේ වාර්තාව

මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේගේ වාර්තාව මේ වන විට නිල වශයෙන් නිකුත්ව තිබෙන අතර ශ්‍රී ලංකාවේ අතීත මානව අයිතිවාසිකම් ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් විමෙන් මානව අයිතිවාසිකම් නැවත කඩ කිරීමේ අවදානම සැලකිය යුතු ආකාරයෙන් උත්සන්න වී ඇතැයි එම වාර්තාව අනතුරු හඟවයි.  

“බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් හෝ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු හෝ වගකිව යුතු යැයි විශ්වාස කෙරෙන ශ්‍රී ලාංකික පුද්ගලයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි ඉලක්කගත සම්බාධක පැනවිය යුතු යැයි එම වාර්තාවේ දැක්වේ. තවද, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) අපරාධ නඩු විභාග කිරීම සහ යුද අපරාධ පිළිබඳ චෝදනා සොයා බැලීමට හා සාක්ෂි රැස් කිරීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීමට ද එම වාර්තාව නිර්දේශ කර තිබේ.

සිවිල් කටයුතු සඳහා හමුදාව යොදාගැනීම නතර කිරීම සහ හමුදා භටයන් වෙනුවෙන් වගවීම ක්‍රියාත්මක කිරීම ඇතුළු සංක්‍රාන්ති යුක්තිය සඳහා දායකවන පරිසරයක් නිර්මාණය කිරීම 30/1 යෝජනාවට ඇතුළත් වූ නමුත් ආණ්ඩුවේ සිවිල් කටයුතු හමුදාකරණයට ලක් කිරීම උත්සන්න කිරීම ගිය වසරේ දක්නට ලැබෙන බව එම වාර්තාවේ සඳහන් වේ.

2020 ඔක්තෝබර් 22 වෙනි දින තුනෙන් දෙකේ බහුතර බලයෙන් සම්මත කරගන්නා ලද 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුවේ විවිධ කොටස් අතර පැවති බලතුලනය වෙනස් කරන ලද බව වාර්තාව පෙන්වා දෙයි. “සංශෝධනය මගින් ජාතික මානව හිමිකම් කොමිසම, මැතිවරණ කොමිසම, ජාතික පොලිස් කොමිසම සහ අධිකරණය ඇතුළු ආයතනවල ස්වාධීනත්වය මූලික වශයෙන්ම අඩපණ කර දැමීම ගැන මහකොමසාරිස්වරිය අවධානය පළ කරන්නීය.”

ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය ක්‍රමයට කලක් මුළුල්ලේම දේශපාලන බලපෑම් එල්ල වූ නමුත් අතීත අපරාධ සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කරනු ලැබීමට වත්මන් ආණ්ඩුව ක්‍රියාකාරීව බාධා කරන ලද  බව වාර්තාව පවසයි.

විශේෂයෙන්ම “දේශපාලන පළිගැනීම් පිළිබඳ” ජනාධිපති කොමිසම පොලිස් පරීක්ෂණවලට පමණක් නොව අධිකරණ කටයුතුවලට පවා මැදිහත් වූ බව පෙන්වාදෙන මහකොමසාරිස්වරියගේ වාර්තාව, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ හිටපු නාවික හමුදා ප්‍රකාශක ඩී.කේ.පී දසනායකට එරෙහි පරීක්ෂණ නවත්වන මෙන් කොමිසම නීතිපතිවරයාට නියෝග කළ බවද විශේෂයෙන් සිහිපත් කරයි.

මෙම කොමිසම පසුගියදා සිය අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත බාරදුන් අතර යහපාලන රජය යටතේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුව සහ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය පිහිටුවීමේදී ඔවුන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ, ආර්.සම්පන්දන්, අනුර කුමාර දිසානායක, මංගල සමරවීර, පාඨලි චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා,  ජයම්පති වික්‍රමරත්න, ජේ.සී.වැළිඅමුණ ඇතුළු දේශපාලනඥයින් සහ සිවිල් පුද්ගලයින් රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව එම කොමිසම විසින් තීරණය කර තිබේ. ඒ අනුව මේ අයට දඬුවම් පැමිණවීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීමට නව ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව නිර්දේශ කරයි. මෙම කොමිසමේ සභාපතිව සිටි ශ්‍රේෂඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මේ වන විට අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා ද වේ.

‘මෙම වාර්තාව මහකොමසාරිස්වරියගේ පසුගිය වාර්තාවන්ට වඩා බරපතළ වන අතර එය පදනම් වී ඇත්තේ සිවිල් සමාජ සංවිධාන විසින් යොමු කරන ඡායා වාර්තා (Shadow Reports) සහ දෙමළ ඩයස්පෝරාවේ බලපෑම මත බව විශ්වාස කරන්නේ’ යැයි අද්මිරාල් කොළඹගේ සන්ඩේ ටයිම්ස් හා අදහස් දක්වා තිබේ. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, මෙම අවස්ථාවේදී අපට සම්පූර්ණයෙන්ම අවශ්‍ය නොවන බව හැ`ගෙන සමහර කරුණු වාර්තාවේ ඇති බවයි. ‘අපව අපකීර්තියට පත්කිරීමට උත්සාහ කරන ඕනෑම රටකට වඩා ශ්‍රී ලංකාව සාමකාමී හා ස්ථාවර යැයි අපට හැඟේ.’ යැයි ඔහු පවසා ඇත.

මේ අතර 46 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝව සහ එක්සත් රාජධානිය යන මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ ලක්ෂ්‍ය කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ඇති අතර ඊට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලැබෙනු ඇතැයි ජිනීවා ආරංචි මාර්ග කියා සිටින බව ශ්‍රී ලංකා බී්‍රෆ් වෙබ් අඩවිය වාර්තා කරයි.යුරෝපා සංගමයේ පණිඩුඩය

සුදුසු සංශෝධන සිදුකිරීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) විධිවිධාන නැවත සලකා බැලීමේ අපේක්ෂාව ශ්‍රී ලංකා රජය සනාත කළ බව ශ්‍රී ලංකා – යුරෝපා සංගමය ඒකාබද්ධව ප්‍රකාශයක් කරමින් පවසන බව ඩේලි මිරර් පුවත්පත පසුගිය 26 වැනිදා වාර්තා කළේය. මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය පිළිබඳ ඨීඡූ යෝජනා ක්‍රමය මගින් ආවරණය වන ජාත්‍යන්තර සම්මුතීන් 27 ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වූ කැපවීම් ශ්‍රී ලංකාව යළිත් තහවුරු කළ අතර යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කොට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවට යළිත් අවධාරණය කළ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. කෙසේ නමුත් 30/1 යෝජනාවට සමඅනුග්‍රාහකත්වය දැක්වීමෙන් ශ්‍රී ලංකාණ්ඩුව ඉවත්වීම පිළිබඳ යුරෝපා සංගමය සිය කණගාටුව පළ කොට තිබේ.
 
ආණ්ඩුවේ පිළිතුර

43 වැනි සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස්, පැවසු අයුරින්ම, ‘…වසර හතරහමාරකට වැඩි කාලයක් තිස්සේ සැබෑ සංහිඳියාවක් සලසා දීමට අපොහොසත්වූ බාහිර පාර්ශ්වයන් මගින් ක්‍රියාත්මක කරවන කාර්ය රාමුවක් තුළ තවදුරටත් ක්‍රියා කිරීම තෝරා ගැනීම වෙනුවට, ශ්‍රී ලංකාවේ යහපත තකා, ජනතාව විසින් ලබා දෙන ලද ජනවරම මත පිහිටා, සාක්ෂාත් කර ගත හැකි සංහිඳියා පියවර කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය’ කොතෙක් දුරට යොමුව තිබේදැයි මෙවර මානව හිමිකම් කවුන්සිලය තුළ විමසා බැලෙනු ඇත. මහකොමසාරිස්වරියගේ වාර්තාවේ ‘ජේදයෙන් ජේදයට’ ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු ලේකම් අද්මිරාල් කොළඹගේ පවසා තිබේ. මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු කෙරෙන ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට සමඅනුග්‍රාහකත්වය දැක්වීම හෝ විරෝධය පළ කිරීමෙන් වැළකී සිටීම රජයේ ස්ථාවරය වී ඇති බවට වෙබ් අඩවි සහ පුවත්වල වාර්තා පළවේ. එමගින් ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර ක්‍රියාරීත්වයට සෘජු බලපෑමක් නොවුනත්, රට තුළ කෙටිකාලීන ජනප්‍රියභාවයට හේතුවනු ඇත.  නව කොමිසමක් පත් කිරීම හෝ සංහිඳියා කාර්යාලය නැවත සක්‍රීය කිරීම හෝ ඇල්මැරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හෝ ඒ සඳහා ප්‍රමාණවත් පිළිතුරක් වනු ඇතැයි සිතිය නොහැකිය. මේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවට මෙන්ම ක්‍රියාත්මක විය යුතු යැයි අපට යෝජනා කළ නොහැක, බලයේ සිටි ආණ්ඩු විසින් එම පාලන කාලය තුළ ගෙන තිබෙන යම් යම් දේශපාලන තීන්දු බලයට පත්වන නව ආණ්ඩුවකින් සිය ජනවරම අනුව නැවත විමසා බැලීමේ එතරම් වරදක් නැත. රාජ්‍යයේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමත් ජාත්‍යන්තරයේ හොඳ හිත පවත්වා ගැනීමත් ආර්ථික සංවර්ධනය සඳහා යුරෝපා සංගමය වැනි ජාත්‍යන්තර ආයතනයන්ගේ සහය ශක්තිමත් කර ගැනීම සඳහාත් මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ අවංක විමර්ශනයක් සිදුකර වගවීම තහවුරු කිරීම කාගේ හෝ බලපෑමකට වඩා රට වෙනුවෙන් ආණ්ඩුව කළ යුතු කාර්යයකි. කොමිෂන් සභාවල කාර්යන් විමර්ශනය කිරීමට කොමිෂන් සභා පත් කරමින් මේ ගැටලුව තව ගෙන යා හැකි දුරක් නොමැත. 

සමබිම ඉරිදා අතිරේකය සඳහා ජයනි අබේසේකර විසින් ලියන ලද ලිපියකි. 

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*