ජිනීවා: අලු‍ත් ප්‍රශ්න සහ පරණ පිළිතුරු

ජිනීවා: අලු‍ත් ප්‍රශ්න සහ පරණ පිළිතුරු

.

Samabima.com

.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය පසුගිය 22 වැනිදාවේ ආරම්භ විය. එය එළැඹෙන මාර්තු 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව සම්බන්ධයෙන් වන සාකච්ඡාව වෙත ජාතික හා ජාත්‍යන්තර අවධානය පළවෙමින් තිබේ. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේගේ වාර්තාව හා එය ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුව දක්වන ලද ප්‍රතිචාර නිසාත් කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ, එක්සත් රාජධානිය සහ මෑතක දී මෙම කණ්ඩායමට එක්වූ අප්‍රිකානු රාජ්‍යයක් වන මලාවි යන ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ලක්ෂ්‍ය කණ්ඩායම (Core-Group) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබීමත් නිසාය.

ලක්ෂය කණ්ඩායම් යෝජනාව

බි්‍රතාන්‍යය මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අඛණ්ඩව ක්‍රියාකරනු ඇති අතර, ප්‍රතිසන්ධානය හා වගවීම තහවුරු කිරීම වෙනුවෙන් නව යෝජනාවක් ගෙන එන බව බි්‍රතාන්‍යයේ විදේශ කටයුතු ලේකම් ඩොමිනික් රාබ්, මානව හිමිකම් කවුන්සිලයේ ආරම්භක සැසියේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ යන තේමාවෙන් යුතු පිටු තුනහාමාරකින් යුතු එම වාර්තාවේ මූලික කෙටුම්පත 23 වැනිදාවේ සභාගත කළ බවත් සියලු යෝජනා කෙටුම්පත් සලකා බැලීම මාර්තු 22-23 යන දිනයන්හි සිදුවන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රකාශක රොනල්ඩ් ගෝමස් ප්‍රකාශක කළ බව ඩේලී මීරර් පුවත්පත වාර්තා කරයි. ඒ සඳහා සියලු සාමාජික රටවලට ආරාධනා කෙරෙන අතර ඔවුන්ට යෝජනාව සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීමට අවස්ථාවක් ලැබේ. එහිදි එම යෝජනාව තවදුරටත් වෙනස්කම්වලට භාජනය වීමට ඉඩ ඇත.

පූර්විකා සහ ක්‍රියාකාරීත්ව ජේදයන් අඩංගු එම වාර්තාවේ ක්‍රියාකාරීත්ව ජේදයන් තීරණාත්මකය.  යෝජනාව සම්මත වුවහොත් ගත යුතු පියවරයන් එම ක්‍රියාකාරීත්ව ජේද මඟින් පෙන්වා දෙයි.  විශේෂයෙන්ම 2015-2019 කාලය තුළ මානව හිමිකම් කවුන්සිලය සමග පැවැති සාධනීය සබඳතාවය එමඟින් අගය කරයි. ශ්‍රී ලංකාවේ සිදුවූ සියලු මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ පුළුල් වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම අවධාරණය කරන අතර මෑතකාලීනව හඳුනාගත් ප්‍රවණතාවයන් ඔස්සේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිරිහෙමින් පවතින්නේද යන්න පිළිබඳ එම වාර්තාව දැඩි ලෙස අවධානය යොමු කරයි.

කෙසේ වෙතත්, ‘ප්‍රතිසන්ධානය හා වගවීම පිළිබඳ ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සිය අධීක්ෂණය සහ වාර්තාකරණය වැඩි දියුණු කරන ලෙසත්, මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසියේදී ලිඛිත යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරන ලෙසත් 51 වන සැසියේදී වගවීම ඉදිරියට ගෙනයාම සඳහා තවත් විකල්ප ඇතුළත් පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් එම වාර්තා දෙකම කවුන්සිලයෙහි අන්තර් ක්‍රියාකාරී සාකච්ඡාවන්ට ඉදිරිපත් කරන ලෙසත් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටී.’

ඒ අනුව දේශීය යාන්ත්‍රණයක් මගින් ශ්‍රී ලංකාවේ සිදුවු බවට කියැවෙන බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් විමර්ශනය කර අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට 2022 අග දක්වා කල් ලැබෙනු ඇත.

ඊට අතිරේකව අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය, හානිපූරණ කාර්යාලය ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවේ ඵලදායී ක්‍රියාකාරීත්වය සහතික කරන ලෙසත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කරන ලෙසත්, දේශීය විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීනතාව, දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව සියලු‍ම පළාත් සභා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට සහතික වීම ඇතුළත් ක්‍රියාකාරී වගන්ති ගණනාවක් ඇතුළත්ය.

ආණ්ඩුවේ අදහස්

විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන 23 වැනිදාවේ මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ මට්ටමේ අංගය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් සිය ප්‍රකාශය සිදුකරනු ලැබීය.

මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාවට ‘පෙර නොවූ විරූ’ අන්දමේ ප්‍රචාරයක් ලබා දී ඇතැයිද මානව හිමිකම් කවුන්සිලය හා එහි යාන්ත්‍රණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කොටස් මෙම මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාව මත පදනම්ව, රටට විශේෂිත වූ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කිරීම කණගාටුවට කරුණක් බවත් අමාත්‍යවරයා සිය අදහස් දක්වමින් පැවසීය.

ශ්‍රී ලංකාවට එරෙහිව සනාථ නොකළ යෝජනාවක් ගෙන ඒමේ දී ආධිපත්‍යවාදී බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව සහයෝගයෙන් කටයුතු කළ අතර, ශ්‍රී ලංකාව සමඟ සිටින මිත්‍ර ජාතීන්ගේ සහයෝගයෙන් ඒවා පරාජයට පත් කිරීමට හැකි වූ බව අමාත්‍යවරයා එහිදි පෙන්වා දෙනු ලැබීය.

‘30/1යෝජනාවෙහි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන සහ ඉටුකළ නොහැකි බැඳීම් රාශියක් අඩංගු විය. මෙය සිය ගණනක් මිය යාමට හේතු වූ 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නැවත පණ ගැන්වීම දක්වා ජාතික ආරක්ෂාව අඩපණ කිරීමට හේතු වීය.’

‘මෙම කවුන්සිලය සිය පරිමාණයන් සමව තබා ගත යුතුය. කටකතා, ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග හෝ එක් කෝණයකින් එන සැක සහිත මූලාශ්‍රයක් අනුගමනය නොකොට එහි මාර්ගෝපදේශ මූලධර්ම පිළිපැදිය යුතු’ යැයි අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

‘මෙම කවුන්සිලයේ හදිසි අවධානයට ලක්විය යුතු තත්ත්වයක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ද, නැතහොත් මෙම උද්ඝෝෂණය අත්‍යවශ්‍යයෙන්ම මෙම කවුන්සිලය පිහිටුවා ඇති සාරධර්ම හා මූලධර්මවලට පටහැනි දේශපාලන පියවරක්ද යන්න පිළිබඳව ඔවුන්ගේම තීන්දුවක් ගැනීමට මම මෙම කවුන්සිලයේ සාමාජිකයින්ට සහ නිරීක්ෂකයින්ට භාර කරමි.’

‘මෙකී සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව සභාව විසින් ප්‍රතික්ෂේප කොට එය අවසානයක් කරා ගෙන එන ලෙස ඉල්ලා සිටිමි’යි අමාත්‍යවරයා එහිදි කවුන්සිලයේ සාමාජික රටවල් වෙතින් ඉල්ලා සිටියේය.

ආණ්ඩුවේ තවත් අදහස්

ජිනීවා සැසිවාරයට සුදානම් වෙමින් සිටින ආණ්ඩුව පාර්ශ්වයෙන් එකම කරුණ සම්බන්ධයෙන් වෙනස් අදහස් පළවෙමින් තිබේ. එයට හේතුව මහකොමසාරිස්වරියගේ වාර්තාව ප්‍රතික්ෂේප කිරීම හෝ යෝජනාවලියට සහය නොදීම තුළ ඒවා ගෙන එන මූලධාර්මික පදනමට තාර්කික පිළිතුරක් රජය පාර්ශ්වයෙන් ගොනු කර ගැනීමට අසමත් වීම නිසාය.

පසුගිය 22 වැනිදාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ප්‍රතිභා මහනාමහේවා පෙන්වා දෙන්නේ, ‘යුද්ධය අවසන් වෙලා වසර 12ක් තිස්සේ දැන් මේ ප්‍රශ්නය ඇදගෙන ඇවිත් තියෙනවා. 13 වැනි වසරටත් මෙය රැගෙන යනවා වෙනුවට එය පරාජය කිරීමට සියලු‍ දෙනා එකතු වීම වැදගත්, එහෙත් රටේ තානාපති කාර්යාල තවමත් නිසි ලෙස ක්‍රියාකාරීවෙලා නව යෝජනාව පරාජය කිරීමට අවශ්‍ය සහයෝගය ගැනීමට අවශ්‍ය සාකච්ඡාවන් සිදුකරලා නැහැ යනුවෙනි.

පසුගිය සඳුදා හිරු-සලකුණ රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් කියා සිටියේ මේ ක්‍රියාදාමයත් සමග රජය දිගටම කටයුතු කරන බවයි. ‘මානව හිමිකම් කවුන්සිලය සමඟ අපි දිගටම වැඩ කරනවා. පළවෙනි ප්‍රශ්නේ අපි යූඑන් සිස්ටම් එකෙන් අයින් වෙච්ච රටක් නෙවෙයි. ….මේකත් එක්ක අපි එන්ගේජ් වෙන්න ඕන. ….ඔවුන් කියන දේ අපිට පිළිගන්න බැහැ. ඒ නිසා ඒකට තියෙන ඩිප්ලෝමැටික් ලැන්වේජ් එක තමයි, අපි ඒකට ඇහුම් කන්දෙනවා. අපේ මතය යවනවා. ඔවුන් ඒක පිළිගන්නේ නැත්නම් ආයේ එවනවා… මේක ක්‍රියාදාමයක්. අපි ඒ ක්‍රියාදාමයත් එක්ක වැඩකරනවා.’

එම රූපවාහිනි වැඩසටහනට පෙරබරවාරි 08 වැනිදාවේ එක්වෙන අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කළේ, මෙරට ස්ථාපිත කරන ලද අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය හා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට එරෙහි සම්මුතිය අත්සන් කිරීම මඟින් රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයකට ගෙන යාමේ මාර්ගය සැකසෙන බවයි. එම ප්‍රඥප්තියෙන් ලංකාව දැන් ඉවත්නොවන්නේ මන්දැයි එහි මාධ්‍යවේදීයා නැගු පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, ‘ඒක තමයි දැන් එයින් ඉවත්වෙන්න පුළුවන් වෙයි. බලන්න ඕන’ යනුවෙනි. මහ කොමසාරිස්වරියගේ වාර්තාව සම්බන්ධයෙන් ඩේලී මිරර් පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසන්නේ, ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මානව හිමිකම් සම්බන්ධයෙන් කිසිවක් නොකරන නමුත් මුළුමනින්ම දේශපාලනයක පැටලී සිටින’ බවයි.

එහෙත් පසුගිය දා Roar.LK යූටියුබ් සාකච්ඡාවකට එක්වෙමින් විදේශ කටයුතු ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ප්‍රකාශ කළේ, අපට OMP  සමඟ ඉදිරියට යාමට අවශ්‍යයි. වන්දි ගෙවීමේ කාර්යාලය සමඟ ඉදිරියට යාමට අවශ්‍යයි. ‘රටේ සියලුම මානව හිමිකම් ආයතන සමඟ ඉදිරියට යාමට අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි එම ආයතන සවිබල ගැන්වීමට අවශ්‍යයි. ඒවා සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැලසීමටත් ඊට අවශ්‍ය විවිධ තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමටත් අවශ්‍ය වන අතර 2021 වසර සඳහා අපි ඔවුන්ගෙන් ක්‍රියාකාරී සැලැස්මක් ඉල්ලා තිබෙනවා. ඒ නිසා මේ ආයතන ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක තලයේ තබා ගැනීම අපට අවශ්‍යයි’ යනුවෙනි.

තාරක බාලසූරිය අමාත්‍යවරයා පසුගිය 23 දා සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ නව යෝජනාව පරාජය කිරීමට ආණ්ඩුව රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග ගනිමින් සිටියත් එය පරාජය කිරීම සිදුකළ නොහැකි වනු ඇති බවයි.

මෙම යාන්ත්‍රණයන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා වන රජයේ අභිලාෂය මේ වන විටත් මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාර්තාවට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩුව පළ කර තිබෙන වාතාරවරණයක් යටතේ මෙම යාන්ත්‍රණයන් පිළිබඳ බිල්ලෙක් මවනවා වෙනුවට යථාර්ථවාදී ලෙස ගනුදෙනු කිරීම ඉතා වැදගත්ය. මෙම යෝජනා රණවිරුවන් විදුලි පුටුවට යවන  මර උගුලක් බවට හුදු අලංකාරෝක්ති ගොඩනැගුවේ වත්මන් ආණ්ඩුවේ පිරිස් විපක්ෂයේ සිටියදීය. මෙම යෝජනාවලියට සමඅනුග්‍රහය දැක්වූ යහපාලන ආණ්ඩුව යටතේ නිත්‍යනුකූලව මෙරට ස්ථාපිත කළ අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය මන්දගාමීව වුවත් වසර හතරක් තිස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබුනද එකඳු හමුදා නිලධාරියෙකුට එරෙහිව හෝ නඩුවක් පවරා ඇති බවක් අප දන්නේ නැති අතර එවැනි විමර්ශන කිරීමේ බලයක් ද එම ආයතනයට නොමැත.

මේ අතර මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ පෙර පැවති කොමිෂන් සභා සහ කමිටු විමර්ශනය කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ආසන්නයේ වහ වහා පත් කළ කමිටුව, මහජන අදහස් ලබා ගැනීමට මාර්තු 12 වැනිදා දක්වා කල් ලබා දී තිබෙන බව පසුගිය 19 වැනිදා පුවත්පත් දැන්වීමක් පළ කර තිබේ.

ප්‍රශ්නය ජිනීවා ද?

ආණ්ඩු පාර්ශ්වයේ බොහෝ දෙනා ජිනීවා හි සමස්ත ක්‍රියාදාමය ලඝු කර ඇත්තේ ලංකාවට එරෙහි දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරීත්වයක් වශයෙනි. ඉරිදා ලංකාදීප පුවත්පත හා සාකච්ාඡාකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන කියා තිබුනේ, ‘…මේ හුදෙකලා පැමිණිල්ල මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ලෝකයේ පරදවන්න බෑ කියපු දරුණුතම කොටි සංවිධානය පරාජය කරපු නිසා ඉන් පස්සේ ඇති වුණ දැවැන්ත ශ්‍රී ලංකා විරෝධී, විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාව මෙහෙයවන ක්‍රියාදාමයක් තමයි මේ ඇදි ඇදි එන්නේ’ යනුවෙනි.

ආණ්ඩුව මහකොමසාරිස්වරියගේ වාර්තාවට එරෙහිව ගෙන එන ප්‍රධාන තර්කයක් වන්නේ එය යුද්ධයක් සිදුවූ අවුරුදු 12කට පෙර තත්ත්වය නොතකා හරිමින් ආණ්ඩුව බලයට පත්ව ගෙවුණු වසරක කාලය වාර්තාවට බරපතළව විෂය කර ගැනීම ස්වෛරී රටක අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමක් බව සහ වාර්තාව ගෙන එන කරුණු සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීමට අසමත්ව ඇති බවයි. මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාර්තාවේ අඩංගුව විමසා බැලීමේදී පෙනී යන්නේ එය යුද සමයේ සිදුව ඇති අපයෝජනයන් සම්බන්ධයෙන් අර්ථාන්විත වගවීමේ ක්‍රියාදාමයක් ඉල්ලා සිටිනවා මෙන්ම ඉන් අනතුරුව රටේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් කෙරෙහි විශාල අවධානයක් යොමු කර ඇති බවයි. එහිදී වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුව ගෙවුණු වසරක කාලය තුළ සිදුව ඇති මානව හිමිකම් උල්ලංඝනයන් කෙරෙහි වැඩියෙන් සඳහන්ව ඇත්තේ අයිතිවාසිකම් අවදානමට ලක්වූ සිදුවීම් බහුලවී ඇත්තේ එම වකවානුවේ නිසා මිස ආණ්ඩුව කෙරෙහි පෙෘද්ගලික තරහකින් නොවේ. එය ආණ්ඩුව කෙරෙහි වන ද්වේෂයෙන් පක්ෂපාතීව සිදුකරන ලද ක්‍රියාවක් හැටියට පෙන්වා දීමට ආණ්ඩුවේ පාර්ශ්වයන් ගන්නා උත්සාහය එතරම් තාර්කික නොවන්නේ, ස්වාධීන කොමිෂන් සභාවන් සඳහා කෙරෙන ඍජු දේශපාලනික පත් කිරීම්, හමුදාකරණය ඉහළ යෑම, කොවිඩ් මරණ ආදාහනය කිරීමේ අනිවාර්ය ප්‍රතිපත්තිය, මානව හිමිකම් කොමිසම අවස්ථා ගණනාවකදී සිදුකරන ලද ඉල්ලීම් නොතකා හරිමින් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේස්කරගේ ජීවිතය අවදානමට ලක් කිරීම, නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් නොකර මාස 10ක කාලයක් රඳවා තබා ගැනීම, පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකට හිමි වූ දඬුවම, දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ ක්‍රියාකාරීත්වය, සිවිල් සමාජයට සහ මාධ්‍ය සමාජයට ඇති අවකාශය ඇහිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳ ජිනීවා වල නොව රට තුළත් විරෝධතාවයන් ඇති වී තිබෙන නිසාය.

ජිනීවා ප්‍රශ්නය රට තුළ යුද අපරාධ සිදු වූවාද නැද්ද යන වර්ගයේ ප්‍රශ්නයක් නොවේ. ප්‍රශ්නය එසේ නම් ගියවර ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩුගේ සමබිම ලිපියේ ලියා තිබූ ආකාරයට තාර්කික විධිමත් පිළිතුරු සැපයීමකින් එය විසඳාගත හැකි වනු ඇත. එහෙත් මෙම වාර්තා අධ්‍යයනය කළ විට පැහැදිලි වන්නේ යුද්ධයෙන් පසුවත් රට තුළ ඇතිවූ  මානව හිමිකම් උල්ලංඝනයන්ට අදාළ සිදුවීම් රාශියක් සමග මෙම යෝජනාව සමඟ ගැට ගැසී ඇති බවයි. එය හුදෙක් වත්මන් ආණ්ඩුව පමණක් වගකිව යුතු කාරණයක් නොවේ. නමුත් වත්මන් ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් නියෝජනය කරන අයිතිවාසිකම් විරෝධය සහ ජිනීවා බිල්ලෙකු දැකීමේ මානසිකත්වය මේ තත්ත්වය කලමනාකරණය කර ගැනීමට නොහැකි වීමට සෘජුව වග කිව යුතුය.

#596 වැනි සමබිම ඉරිදා අතිරේකයට ජයනි අබේසේකර විසින් ලියන ලද ලිපියකි.  

සහයෝගයෙන් කටයුතු කරන්න හැකියාව තිබියදී විරුද්ධව යෝජනා අනවශ්‍යයි
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

1. මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ පිළිබඳ පෙර නොවූ විරූ අන්දමේ ප්‍රචාරක ව්‍යාපාරයක් සිදුකර තිබේ.

2. ලෝකයේ වඩාත්ම කුරිරු බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයෙන් සිය ඒකීය රාජ්‍යය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ආත්මාරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළේය.

3. ශ්‍රී ලංකාවේ සේවයේ යෙදී සිටි ජනාධිපතිවරයෙකු සහ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ඝාතනය කළ ලොව එකම ත්‍රස්ත සංවිධානය එල්ටීටීඊයයි.
4. ත‍්‍රස්තවාදය අවසන්කිරීම මඟින්, සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු‍ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන අයිතිය සහතික කරන ලදී.

5. ශ්‍රී ලංකාවට එරෙහිව සනාථ නොකළ යෝජනාවක් ගෙන ඒමේ දී ආධිපත්‍යවාදී බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව සහයෝගයෙන් කටයුතු කළ අතර, ශ්‍රී ලංකාව විසින් කාර්ය පටිපාටික නුසුදුසුකම් සහ එවැනි ක්‍රියාදාමයන් එක්සත් ජාතීන්ගේ සියලු‍ම සාමාජික රටවලට බලපාන භයානක පූර්වාදර්ශයක් සපයන්නේ කෙසේද යන්න ඉදිරිපත් කරන ලදී.

6. 2015 දී බලයට පත් වූ රජය, ජනාධිපතිවරයාගේ හෝ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් තොරව රටට එරෙහි 30/1 යෝජනාවේ සමඅනුග්‍රාහකයන් ලෙස සම්බන්ධ විය. එම යෝජනාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන සහ ඉටුකළ නොහැකි බැඳීම් රාශියක් අඩංගුය. මෙය සිය ගණනක් මිය යාමට හේතු වූ 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නැවත පණ ගැන්වීම දක්වා ජාතික ආරක්ෂාව අඩපණ කිරීමට හේතු විය.

7. ජනතාව මෙම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලැබුණු ජනවරම මගින් පැහැදිලි වේ. එම ජනවරම මත පදනම්ව, 43 වන සැසියේ දී ශ්‍රී ලංකාව එම යෝජනාවට සමඅනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වන බවත් තවදුරටත් මෙම කවුන්සිලය ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම සඳහා රජයේ කැපවීමත් ප්‍රකාශ කළෙමි.

8. පවත්නා යාන්ත්‍රණයන් අඛණ්ඩව පවත්වාගෙන යාම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම, තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම, ඉඩම් ආපසු ලබා දීමේ ප්‍රගතිය, බිම් බෝම්බ ඉවත් කිරීම සහ නව ජීවනෝපාය මාර්ග නිර්මාණය කිරීම වැනි මෙතෙක් සිදු කර ඇති බැඳීම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව 2020 දෙසැම්බර් සහ 2021 ජනවාරි මාසවල මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය වෙත යාවත්කාලීන කිරීම් ලබා දී ඇත.

9. පසුගිය වසර පුරා ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතයේ බලපෑම් සමඟ පොරබදමින් සිටිය දී පවා මෙම පියවර ගෙන ඇත. මෙම අභියෝග මධ්‍යයේ වුවත් 2020 අගෝස්තු මාසයේ දී නිදහස් හා සාධාරණ මහ මැතිවරණයක් පවත්වා, ආසියාවේ පැරණිතම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහිත රටක තුනෙන් දෙකක බහුතරයක් සහිතව නව රජයක් තෝරා පත්කර ගත්තෙමු.

10. මානව හිමිකම් කවුන්සිලය හා එහි යාන්ත්‍රණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කොටස් මෙම මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාව මත පදනම්ව, රටට විශේෂිත වූ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කිරීම කණගාටුවට කරුණකි. ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මෙම වාර්තාව අසාධාරණ ලෙස සිය විෂයය පථය පුළුල් කර ඇති අතර, ඕනෑම ස්වයං-ගෞරවයක් සහිත ස්වෛරී රටක පවතින මූලික ගෘහස්ථ කාරණා සහ පාලන කරුණු රාශියක් ඇතුළත් කර ඇත.

11. කවුන්සිලයේ හදිසි අවධානයට ලක්විය යුතු තත්ත්වයක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේද, නැතහොත් මෙම උද්ඝෝෂණය අත්‍යවශ්‍යයෙන්ම මෙම කවුන්සිලය පිහිටුවා ඇති සාරධර්ම හා මූලධර්මවලට පටහැනි දේශපාලන පියවරක්ද යන්න පිළිබඳව ඔවුන්ගේම තීන්දුවක් ගැනීමට මෙම කවුන්සිලයේ සාමාජිකයින්ට සහ නිරීක්ෂකයින්ට භාර කරමි. විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් නීති සම්පාදනය විටෙක මෙය චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පෙන්වීමකි.

12. මෙම කවුන්සිලය සිය පරිමාණයන් සමව තබා ගත යුතුය. කටකතා, ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග හෝ එක් කෝණයකින් එන සැක සහිත මූලාශ්‍රයක් අනුගමනය නොකොට එහි මාර්ගෝපදේශ මූලධර්ම පිළිපැදිය යුතුය. මෙම කවුන්සිලය සමඟ පවත්නා අපගේ අඛණ්ඩ සහයෝගය සහ සම්බන්ධතාවය නොතකා, නිරන්තරයෙන් ව්‍යාප්ත වන බාහිරව මෙහෙයවනු ලබන උපදෙස් කෙරෙහි අවධාරණය කිරීම මඟින් අභියෝග රැසකට මුහුණ දිය හැකිය.

13. මෙම කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ අපගේ කුසලතාවන් හා අපගේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය හා සහයෝගීතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව එන ඕනෑම යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම තුළින් අපට සහාය වන ලෙසයි. මෙම කවුන්සිලයේ සම්පත් හා කාලය අනවශ්‍ය ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කොතරම් දුරට උපයෝගී කර ගෙන ඇත්දැයි යන්න, ගෝලීය දකුණේ ස්වෛරී රාජ්‍යයන් වෙත අධෛර්යමත් කරවන පණිවිඩයක් රැගෙන යන බවට අපි විශ්වාස කරමු.

14. පෙර නොවූ විරූ වසංගතයක් හමුවේ කාලීන අවශ්‍යතාවය වන්නේ, මෙම කවුන්සිලය තුළ පවතින බෙදීම්වලින් පැන නගින ද්වේශය හා සැරපරුෂ බවට වඩා සහයෝගීතාවයකි. ඉහත දක්වා ඇති තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, මෙම යෝජනාව සභාව විසින් ප්‍රතික්ෂේප කොට, එය අවසානයක් කරා ගෙන එන ලෙස අපි ඉල්ලා සිටිමු. 

විදේශ කටයුතු අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ මට්ටමේ අංගය අමතමින් පසුගිය 23 වැනිදාවේ සිදුකරන ලද වාචික ප්‍රකාශනයේ සංක්ෂිප්තයකි.
Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*