ජාතිකත්ව ජයග්‍රහණ හමුවේ දේශපාලන පක්‍ෂ

ජාතිකත්ව ජයග්‍රහණ හමුවේ දේශපාලන පක්‍ෂ

.

කාළය බ්ලොග් අඩවිය

.

එක්සත් ජාතික පක්‍ෂයකට නායකයකු හොයනවා. මා කියන්නේ පත්තරේ දැන්වීමක් දාන්න කියල නො වෙයි. අද ඒ පක්‍ෂයට තියෙන්නෙ හැම පක්‍ෂයකට ම වගේ තියෙන ප්‍රශ්නයක්. එය දෙමළ කතාකරන ජනයාගේ පක්‍ෂවලටත් මුස්ලිම් පක්‍ෂවලටත් තියෙනවා. ඒ ප්‍රශ්නය නැත්තෙ පක්‍ෂ දේශපාලනයක නොයෙදෙන සකර්බර්ග් පඬි නැට්ටන්ට. ජ වි පෙරමුණටත් ඒ ප්‍රශ්නය තියෙනවා. සකර්බර්ග් පඬි නැට්ටන් ජ වි පෙරමුණට අද සහාය දුන්නත් පඬි නැට්ටන් අනාථ වන දවසක් එනවා. ඒ වැඩි ඈතක නොවෙයි. ජ වි පෙට අද මාඕවාදයවත් ජාතිකවාදයවත් නැහැ. ඔවුන්ට අනාගතයක් නැහැ. එදාට නාථ දෙවියන්වත් ඔවුන්ගේ පිහිටට එන්නෙ නැහැ.  

සමහර සකර්බර්ග් පඬියන් කියනව අප දේශපාලනයක් කරන්නෙ නැහැ කියල. අප දේශපාලන පක්‍ෂයකට අයත් නැති බව ඇත්ත. අපට ජනමාධ්‍යයෙන් ප්‍රචාරයක් නොලැබෙන එකත් ඇත්ත. ඒත් අපේ සංවිධාන තියෙනවා. ඒවා දේශපාලන පක්‍ෂ නොවන නමුත් දේශපාලන සංවිධාන. පහුගිය අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ අප කර ඇත්තේ කුමක් දැයි මා කියන්න යන්නේ නැහැ. අප කිසිම දේශපාලන ජයග්‍රහණයක් කර නැතැයි කවුරු හරි කියනව නම් ඒකත් අපට ප්‍රශ්නයක් නො වෙයි.  

අද සියලු දේශපාලන පක්‍ෂවලට ඇති ප්‍රශ්නය තමයි තහවුරු වී ඇති සිංහල ජාතිකත්වය හමුවේ  ක්‍රිය කරන්නේ කොහොම ද කියන එක. අද ඉතා දක්‍ෂ ශිල්පීය වේදීන්ටත් පක්‍ෂ නායකයන් වෙන්න බැහැ. ගෝඨාභය රාජපක්‍ෂ කියන්නෙ කිසිම අරුතකින් ශිල්පීය වේදියෙක් නොවෙයි. සකර්බර්ග් පඬි නැට්ටන්ට ඒක තේරෙන්නෙ නැහැ. ඔහු යම් ආකාරයක ජාතිකවාදියෙක්. එහෙම කිව්ව ම ඇතැම් ජාතිකවාදීන්ට තරහ යනවා. අරය මෙහෙම කියල තියෙනව නේ ද මෙයා අරෙහෙම කරල තියෙනව නේ ද කියල අහනවා. අර ධන සෘන එකතු කරල බලන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් මා කියන එකේ තේරුම දැන ගන්න. සර්ව සම්පූර්ණ මිනිසුන් ලෝකෙ නැහැ.  

පොදු ජන එක්සත් පෙරමුණු සංධානය ජයග්‍රහණය කෙළෙ ශිල්පීය වේදයක් හින්ද නො වෙයි. ජාතිකත්වය හින්ද. ශී ල නි පක්‍ෂය ගැන බොහෝ දෙනා හිතන්නෙ 2015 දි ජාතිකත්වයට විරුද්ධ වූ පක්‍ෂයක් ලෙස. ඇතැමුන් මට සිරිජාතිකවාදියා කිවුවත් මා එය වැරදි බව කියනවා. ඡන්දදායකයන් සිරිසේනත් ඇතුළු ව ශ්‍රී ල නි පාක්‍ෂිකයන් දහසය දෙනකු පාර්ලිමේන්තුවට පත් කර තියෙනවා.  ඒත් අද ශ්‍රී ල නි පක්‍ෂයට  ගොඩ එන එක අමාරුයි. ඒ ගෝඨාභය රාජපක්‍ෂ අද ජාතිකත්වයට නායකත්වය දෙන නිසා. ශ්‍රී ල නි පක්‍ෂයට පොදු ජන එක්සත් පෙරමුණු සංධානය තුළ ක්‍රියාත්මක වීම හැර වෙනත් විකල්පයක් නැහැ.  

අද ඉංගිරිසින් විසින් ඇති කරන ලද සිංහල විරෝධී විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධී දෙමළ ජාතිවාදය පරාජය කරල ඉවරයි. දෙමළ ත්‍රස්තවාදය 2009 දි පරාජය වුණා නම් දෙමළ ජාතිවාදය 2019 දි ජනාධිපතිවරණයෙ දි පරාජය වුණා. ඉතිහාසය ප්‍රථම වරට සිංහලයන්ගෙ ඡන්දවලින් පමණක් ජනාධිපති (අගමැති) කෙනකු පත් වුණා පමණක් නොව ඒ ජනාධිපති ඒ බව පිළිගත්තා. ඒ වෙන තැනක දි නොවෙයි සිංහල බෞද්ධ සංකේතය බඳු වූ රුවන්වැලි මහා සෑ මළුවෙ. කවුරු හරි හිතනව නම් ජනාධිපතිවරණයත් මහා මැතිවරණයත් ජය ගත්තෙ ශිල්පීය ඥානයකින් කියල ඒ මෝඝ පුරුෂයෙක්. මහා මැතිවරණයෙ දි මහා රැස්වීම් තිබුණෙත් නැහැ. මහා සංවිධාන ශක්තියක් අවශ්‍ය වුණෙත් නැහැ. ජාතිකත්වය හොඳට ම ප්‍රමාණවත් වුණා. 

අද දෙමළ පක්‍ෂ සී සී කඩ වෙලා. ඒ සිංහලයන්ගෙ බහුතරයක එක්සත්කම නිසා. සිංහලයන් සම සම ව වගේ බෙදිල ඉන්නකන් තමයි දෙමළ හා මුස්ලිම් ජාතිවාදීන්ට තමන්ගෙ කේවල් නැත්නම් ඩීල් දේශපාලනය ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණෙ. එක් පක්‍ෂයකටවත් පැහැදිලි බහුතරයක් නැති වෙලාවට ජාතිවාදීන් ඔවුන්ගෙ ඉල්ලීම් මුල් කරගෙන ආණ්ඩු පිහිටුවන්න සහාය දුන්න. අද එය කරන්න බැහැ. ඔවුන් අද නන්නත්තාර වෙලා. ඒකෙන් කියන්නෙ නැහැ අප තනි සිංහල ආණ්ඩුවක් හදන්න ඕන කියල. දෙමළ මුස්ලිම් අයත් කැබිනට් හරි කැබිනට් නොවන හරි ඇමතිවරුන් හැටියට ඔවුන්ගේ කොන්දේසි යටතේ නොව අපේ කොන්දේසි යටතෙ පත් කරන්න ඕන. මා කැමතියි අතාවුල්ලට තැනක් ලැබුණ නම්. එහෙත් එයට විරුද්ධ අභ්‍යන්තර හේතු තියෙනවා ද කියල මා දන්නෙ නැහැ. 

අද සුමන්තිරන්ටත් ප්‍රශ්න මතුවෙලා. දෙමළ ජාතික සංධානයෙ බලය අඩුවෙලා. විග්නේෂ්වරන්ට ඇති ශක්තියක් නැහැ. ඔහුගේ පක්‍ෂයට යාපන දිස්ත්‍රික්කයෙන් ලැබුණු ඡන්ද සංඛ්‍යාව ශ්‍රී ල නි පක්‍ෂයට ලැබුණු ඡන්ද සංඛ්‍යාවට අඩුයි. ඉංගිරිසින්ට අද විසුරුණු දෙමළ ජනයා මෙහෙයවන්න බැහැ.  මේ තමයි පොදු ජන එක්සත් පෙරමුණට උතුරේ සෘජු ව දේශපාලනය කිරීමට ඇති අවස්ථාව. තම ප්‍රතිපත්ති දෙමළෙන් කීමට අවස්ථාව. තමිළන් පත්තරේට තැනක් හදා ගන්න පුළුවන් වෙන්න ඕන. දෙමළ කතා කරන ජනයාට ඇති ඊනියා අසාධාරණය කුමක් ද කියා පඬි නැට්ටන්ට හොයා ගන්න බැරි වෙලා. ඒ අතර දෙමළ කතා කරන ජනයා තමන්ට ඇති ප්‍රශ්නය කුමක් ද කියා නායකයන්ට කියා තියෙනවා. පඬි නැට්ටන් දැන් අර නැති යථාර්ථය හොයනවා.  

එ ජා පක්‍ෂයට ඉතා හොඳ ශිල්පීය ඥානයක් ඇති නායකයකු හිටියා. ඒ රනිල් වික්‍රමසිංහ. සජිත්ට ඔහුගෙ අහළකටවත් එන්න බැහැ. රනිල් ඉතා හොඳ කොන්සර්වැටිව් නායකයෙක්. ඔහු සුුදුසු බිරිතානියේ අගමැතිකමට. ඔහුගේ ප්‍රශ්නය ඔහු ලංකාවට නුසුදුසු වීමයි. ඔහුට ජාතිකත්වය තේරෙන්නෙ නැහැ. ඔහු පොත පත කියෙව්වා. සිංහල ජාතිකත්වය ගැනත් කියෙව්වා. රතන හාමුදුරුවන් යහපාලන මුල් දවස්වල ඒකට සාක්‍ෂි කිව්වා. ජාතිකත්වයක් පොතෙන් පතින් ගන්න බැහැ.  

1814 පමණ සිට ලංකාවේ ඉංගිරිසි උගන්නනවා. මා දන්නා එක් අයකු පහුගිය දවසක තමන් ඉංගිරිසි ඉගෙන ගත් අන්දම කියා තිබුණා. ඔහු විද්‍යාව හා තාක්‍ෂණය ඉගෙන ගත්තා. ඒත් මා හිතන්නෙ නැහැ ඔහුටවත් වෙන කිසිවකුටවත් ඉංගිරිසි ජාතිකත්වය ලබා ගන්න පුළුවන් වුණා කියල. ඔහුට එය අවශ්‍ය වුණා කියන එක නොවෙයි මා කියන්නෙ. එය පොදුවේ කියන එකක්. මා ඉංගිරිසි ජාතිකත්වය කියන්නෙ රටවැසිකමට නො වෙයි. රටවැසිකම ලියවිල්ලකින් ගන්න දෙයක්.  

රනිල්ගෙ අම්මා විජේවර්ධන වුණත් සිංහල බෞද්ධ වුණත් කැලණිය පන්සලට සම්බන්ධ වුණත් විජේවර්ධනලාවත් වික්‍රමසිංහලාවත් ජාතිකත්වයක හිටියෙ නැහැ. එස්මන්ඩ් වික්‍රමසිංහ වැඩ කෙළෙ විජේවර්ධනගෙ ලේක්හවුසියෙ. ලේක්හවුසියෙන් තමයි ධර්මපාලතුමාට පහර දුන්නෙ. අර කියන්නා වගේ රනිල්ගෙ ඇඟේ ජාතිකත්වයක් නැහැ. රතන හාමුදුරුවන්ගෙ ඇඟෙත් නැහැ. ඇඟේ සිවුරක් තිබුණු පමණින් ජාතිකත්වය ඇඟට කාන්දු වෙන්නෙ නැහැ. ජාතික හෙළ උරුමය කියන්නෙ ජාතිකත්වය ගසාකන්න හදපු පක්‍ෂයක්. ඒකෙ නම විතරයි ජාතික හෙළ. ඒකෙ උරුමය අවස්ථාවාදය.  

එ ජා පක්‍ෂය අද නායකයකු හොයනවා. ඔවුන්ට තේරෙනවා නායකයා ජාතිකත්වයේ විය යුතු බවත් ජනතාවට ආකර්ෂණීය පුද්ගලයකු විය යුතු බවත්. එහෙත් එහෙම අයකු එ ජා පක්‍ෂයේ නැහැ. එවැන්නන් එ ජා පක්‍ෂයට යන්නෙත් නැහැ. අද ඔවුන් එක් එක්කෙනා සුදුසු ද කියා බලනවා. සජිත්ට ඇති ජාතිකත්වයක් නැහැ. ඔහු යළි උපන් අයෙකු. ඔහුට ඇති ආකර්ෂණයකුත් නැහැ. ඔහු සුදුසු මොන තනතුරට ද කියල පියාණන් ඉන්න කාලෙ අහගන්න තිබුණෙ. රනිල් දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්න ඕන කාලෙ.  

මංගල සමරවීර එ ජා ප නායකත්වයට ඉව අල්ලන බවක් පේනවා. කිසිම ජාතිකත්වයක් නැති මංගල පත් කළොත් එ ජා පක්‍ෂයේ භූමදාන කටයුතු කරන්න වෙන්නෙ මංගල ආදාහනයකට කැමති වෙන එකක් නැති නිසා. කරු ජයසූරියට වැඩිම වුණොත් කරන්න පුළුවන් වැඩ බැලීමක් පමණයි. ඩී එස්ගෙ කාලෙ ඉඳන් එ ජා පක්‍ෂෙය ජාතිකත්වයක් තිබුණෙ නැහැ. ඒකෙ නම එක්සත් විජාතික පක්‍ෂය.  

මේ සියල්ලෙන් සිංහලයන් හා පොදුජන එක්සත් පෙරමුණු සංධානය පාඩම් ඉගෙන ගන්න ඕන. අපට විවිධ විජාතික බලවේග පරාජය කරන්න පුළුවන් වුණා. ඒ ජාතිකත්වය මත. අපට එකතු වෙන්නත් පුළුවන්කම තිබුණා. එත් ජාතිකත්වය මත. මාක්ස්වාදය ලිබරල්වාදය ආදිය අපට බාධා කළ එක පමණයි කෙළෙ. මාක්ස්වාදය අද සකර්බර්ග්ට පින්සිද්ද වෙන්න බඩගානවා. සාමාන්‍යයෙන් දරුවකු බඩ ගා දණ ගා ඇවිිදිනවා. ලංකාවෙ මාක්ස්වාදය ඒකෙ අනෙක් පැත්ත. ලිබරල්වාදය අද ලංකවෙ ඇත්තෙ බටහිරට පින් සිද්ද වෙන්න.  

ජාතිකවාදීන්ගෙ එකතුව ඉතා වැදගත්. ජාතිකවාදීන් අතර නොගැලපීම් හැල හැප්පීම් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නො වෙයි. ඒ කුමක් වුණත් අපට ජාතිකත්වයෙන් තොර මගක් නැහැ. මාක්ස්වාදීන් ලිබරල්වාදීන් අවසානයේ දී බටහිර ගැත්තන් පමණයි. අප තේරුම්ගත යුතු අනෙක් කරුණ තමයි ශිල්පීය දක්‍ෂතාවන් තිබූ පමණින් ජයග්‍රහණය කරන්න බැරි බව. රනිල් තමයි එයට හොඳ ම නිදර්ශනය. අපේ නායකත්වයේ ලක්‍ෂණ විය යුත්තේ ජාතිකවාදී වීම හා ජනතාවට විරුද්ධ නොවී ඔවුන් දිනා ගැනීම.  

සත පහකට වැඩක් නැති පඬි නැට්ටන් එයට ෆැසිස්ට්වාදය කියාවි. පඬි නැට්ටන් ද ඇතුලු සියලු සත්වයන්ට මෛත්‍රි කරන බෞද්ධයන්ට ෆැසිස්ට්වාදීන් වෙන්න බැහැ. ෆැසිස්ට්වාදයත් ලිබරල්වාදය හා මාක්ස්වාදය මෙන් ම බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියෙ නිර්මාණයක්. පඬි නැට්ටන් දැන් බෞද්ධයන් මිනීමරන්නෙ  නැත් ද වගේ ප්‍රශ්න අසාවි. ඒව ස්ටැන්ලි තම්බයියහෙ මිතුරන්ගෙන් අහන්න.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*