චීන ණය උගුල් මිත්‍යාව

චීන ණය උගුල් මිත්‍යාව

.

Waruna Chandrakeerthi

.

රොයිටර්ගේ බොරු උගුල

තිආ-යූ කියන දූපත සම්බන්ධයෙන් ජපානයත් චීනයත් අතර ආරවුලක් තියෙනවා. මේක තායිවානය පේන මානයේ තියෙන දූපතක්. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇමෙරිකාව අල්ලාගෙන හිටිය මේ දූපත 1972 දී ජපානයට පැවරුවා. ඉතින් ඊට පස්සේ මේ සම්බන්ධයෙන් විශාල ආරවුලක් ඇතිවෙලා තියෙනවා. 2012 අවුරුද්දේ මේ ගැන සද්දේ මහ ඉහළින් ඇහෙන්න පටන් ගත්තා. මම මේ සද්දයට අදාළ පොඩි පර්යේෂණයක් කළා. ඒ පර්යේෂණයෙන් මම හෙව්වේ මේකට අදාළ වාර්තා අපේ ඉංග්‍රීසි පත්තරේක පළ කරලා තිබුණු විදිහ ගැන. ඒ හැම වාර්තාවක් ම ඇරගෙන තිබුණේ ප්‍රංශ පුවත් සේවයෙන්.

ඊට පස්සේ මම හෙව්වා ඒ පත්තරේ ශින්-හුආ පුවත් සේවයෙන් ලැබෙන ප්‍රවෘත්ති පළ කරනවා ද කියන එක. ඒ මාර්ගයෙන් ලැබෙන ප්‍රවෘත්තිත් පළ කරනවා. හැබැයි චීනයට කෙළින් ම අදාළ තිආ-යූ දූපත් ප්‍රශ්නය ගැන ප්‍රවෘත්ති එකක්වත් ශින්-හුආ එකෙන් ඇරගෙන නෑ.

මෙහෙම වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ලෝකයේ තියෙන ප්‍රවෘත්ති ආධිපත්‍යය. ඒ බලය තියෙන්නේ බටහිර මාධ්‍යවලට. නොබැඳි සම්මේලනය මුල් වෙලා මේක වෙනස් කරන්න ගත්ත උත්සාහය සාර්ථක වුනේ නෑ. ඉතින් තාමත් රොයිටර්ලාට තමයි මාධ්‍ය ආධිපත්‍යය තියෙන්නේ. දෙවැනි කාරණය තමයි චීනයේ මාධ්‍ය තුළ පළකරන ප්‍රවෘත්ති නැගලා යන්නේ නැතිකම. විශේෂයෙන් ම කිසියම් විදේශ රටකට අදාළ ප්‍රවෘත්තියක් පළ කරද්දි චීන මාධ්‍ය ආයතන ඒ රටේ ආණ්ඩුව විවේචනය කරන්නේ නෑ. අපේ ආණ්ඩුවට බනින ප්‍රවෘත්ති කියවන්න තමයි අපි කැමැති. චීන්නු ඒක කරන්නේ නෑ.

“චීන ණය උගුල” ගැන ප්‍රවෘත්තිය ඉස්සරහට ආවේ මේ පසුබිම ඇතුළේ. ඒ ප්‍රවෘත්තියෙන් කියපු කතාව බොරුවක් කියලා තහවුරු කරපු පර්යේෂණ පත්‍රිකා ඕන තරම් පළවෙලා තියෙනවා. ඒත් “චීන ණය උගුල” ගැන කියපු කතාව මිනිස්සුන්ගේ ඔළුගෙඩි ඇතුළේ මුල් ඇදලා ඉවරයි. ඒක ඇත්තට ම රොයිටර්ලාගේ කතන්දරයක් විතරයි.

2017 අවුරුද්ද අවසන් වෙද්දි අපි ඇරගෙන තිබුණු මුළු විදේශ ණය ප්‍රමාණයෙන් සියයට 10 ක් විතරයි චීනයෙන් ලැබිලා තිබුණේ. ඒ අතරිනුත් විශාල ප්‍රමාණයක් සහන ණය. වානිජ පදනමින් ගත්ත ණය ප්‍රමාණය එච්චර ලොකු නෑ. ඒ වෙද්දි අපි ඇරගෙන තිබුණු විදේශ ණයෙන් සියයට 39 ක් ම බැඳුම්කර විකුණලා ගත්ත ඒවා. ඩොලර් බිලියන පහකට ආසන්න බැඳුම්කර ණය 2109 – 2022 අතර කාලය ඇතුළේ ආපහු ගෙවන්නත් ඕන. ඒත් චීනයෙන් ඇරගෙන තිබුණු හැම ණයකට ම සහන කාලයක් තියෙනවා. ඉතින් චීන ණය ආපහු ගෙවිල්ලේ මහා හදිස්සියක් අපිට තිබුණේ නෑ.

ඇත්තෙන්ම 2017 වෙද්දි ගෙවුම් ශේෂයේ අවුලකටයි අපි මුහුණ පාලා හිටියේ. ඒක තමයි අපිට තිබුණු ප්‍රශ්නය. එහෙම නැතිව ණය ආපහු ගෙවන ප්‍රශ්නයක් අපිට තිබුණේ නෑ. ණය ආපහු ගෙවන එක සුළු දෙයක් කියන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. මේ කියන්නේ ඒ වෙද්දි අපිට තිබුණු ලොකුම ප්‍රශ්නය ගැන. අපේ අපනයන දිගින් දිගට ම පහළ වැටෙනවා. සෘජු විදේශ ආයෝජන ලැබෙන්නේ ම නැති තරම්. ඒ මදිවට තව තවත් ණය වෙනවා. අපනයන ලැබීම්වලට සාපේක්‍ෂව ණය ගෙවීම් අනුපාතය 2011 අවුරුද්දේ ඉඳලා ම සියයට 20 ට උඩින් තියෙන්නේ. ඉතින් මේ අවුල විසඳගන්න තමයි ආණ්ඩුව හම්බන්තොට වරායයි මත්තල ගුවන් තොටුපොළයි බදු දෙන්න තීරණය කළේ.

මේක තමයි ඇත්ත කතාව. ඒත් මේ මැද්දට රොයිටර්ලා පැන්නා. “චීන ණය උගුල” කියන ගුලිය අඹරලා අපේ මිනිස්සුන්ට පෙව්වා. ඒ කතාව හරි සරලයි. ඒකත් හරියට අර “225 ම එපා!” කියලා හදපු ගුලිය වගේ ම තමයි. “අපනයන ලැබීම්වලට සාපේක්‍ෂව ණය ගෙවීම් අනුපාත” වගේ අපභ්‍රංශ කාට ද තේරෙන්නේ? ඉතින් අපි තාමත් රොයිටර්ගේ ගුලියේ රස ගැන කියවනවා.

චීනය බලවත් වෙන එකට බටහිර රටවල් කැමැති නෑ. “මාවතක් – තීරයක්” කියන වැඩසටහන හරහා සිද්ද වෙන්නේ චීනයේ විදේශ සංචිත ලෝකය පුරා ආයෝජනය කරන වැඩේ. ඒක හරහා චීනයේ දේශපාලන බලය තවත් වැඩි වෙන්න පුළුවන්. එහෙම වෙන කල් බලාගෙන ඉන්න පුළුවන්කමක් බටහිර රටවල්වලට නෑ. මේකට විරුද්ධ බලවේගයක් අනිත් රටවල්වලිනුත් මතු කරගන්න ඕන. ඒක හොඳින් කරන්න පුළුවන් රොයිටර්ලාට.

ඉතින් රොයිටර්ලා වැඩට බැහලා ඉන්නේ. ඒ අය ඉවරයක් නැතුව චීන කොලනි කතා, ණය උගුල් කතා කියනවා. චීනය කියලා කියන්නේ මහා භයානක යකෙක් කියන පිංතූරය අනිත් මිනිස්සුන්ගේ ඔළුවේ ඇතුළේ පැල කරනවා. චීනයේ පරිසර දූෂණය, ඒකාධිපති පාලනය වගේ ඒවා ගැනත් කියනවා. නොකියන දෙයක් නෑ.

මේ සෙල්ලම්වල අරමුණ අපි තේරුම් ගන්න ඕන. අපේ මාධ්‍ය ආයතනත් මේවා ගැන හිතන්න ඕන. අපේ රට ගැනත් රොයිටර්ලා මොන තරම් බොරු වපුරනවා ද? කොටි පැරදූ මෙහෙයුම ගැන මොන වගේ කතා කිව්වා ද? පාස්කු ප්‍රහාරයත් බෞද්ධයෝ කරපු වැඩක් කියලා කීවේ නැද්ද? මේවා ගැන හිතලා මේ බොරු උගුලෙන් මිදෙන එක තමයි අපේ හපන්කම. එහෙම නැතිව රොයිටර්ලා අඹරන ගුලි ඒ විදිහට ම ගිලින්න ගියොත් අපිට අත් කරගන්න පුළුවන් සුගතියක් නෑ.

Chinese loans not main source of debt trap, says think tank | Verité  Research
Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*