ගල වැටිලා ගොඩක් කල්..!

ගල වැටිලා ගොඩක් කල්..!

.

කේ සංජීව

.

පහුගිය දොහක පස්සර වෙච්ච බස් අනතුරෙන් පස්සේ රටම ගලක් ගැන කතා කළා. ගොඩක් අය ගලට බැන්නා, ගල නිසා තමයි බසෙක පෙරලුණේ කියලා කිව්වා. තවත් සමහරු කිව්වා මේ පාර අයිති රාජ්‍ය ආයතනය ගල අයින් කරපු නැති නිසා මේකේ වඟකීම මාර්ග සංවර්ධන අධිකාරියට යන්න ඕනෑ කියලා. සමහරු කිව්වා මේ ගල පාරට වැටුණට පස්සේ පොලීසිය අනතුරු සංඥා පෝරුවක් ගැහුවනම් මේ විපත වෙන්නේ නෑ කියලා. ඔහොම ඔහොම කතන්දර අහපු මට හිතුනේ රාජ්‍ය සේවයට නේද මේ බනින්නේ කියලා. මම නිතරම කලවාන රත්නපුර පාරේ යනවා. පෑබොටුවට ආසන්න තැනක වංගුවක කන්ද නාය ගිහිං පාරේ එක මන්තීරුවක් පහළට තල්ලුවුණ පස් කන්දෙන් යටවෙලා දැන් අවුරුදු පහකට වැඩියි. තවම අයින් කරලා නෑ. අයින් නොකරන්නේ නාය යයි කියලා බය නිසාද කියලා කියන්න නම් මම දන්නේ නෑ. හැබැයි මේක ප්‍රධාන පාරක් හින්දා ඕනෑ නම් පස්ටික අයින් කරලා බෑවුම සංරක්ෂණය කරන්න පුළුවන්. හැබැයි එහෙම දේවල් වෙන්නේ නෑ. ඒකටත් හේතුව මේ රාජ්‍ය සේවයම තමයි.

ඉතිං මම කියන්නේ ලංකාවේ රාජ්‍ය සේවය කියලා කියන්නේ ලංකාවේ සංවර්ධන මඟට කඩාපාත් වුණ මහා ගලක් කියන එක. මේ ගල බෝරදාලා කඩලා දාන්න සෑහෙන්න ගේමක් ගහන්න වෙනවා. ඒකට හේතුව තමයි ඡන්දයකදී මේ ප්‍රජාව ගොඩාක් වැදගත් වීම. හේතුව මේ පොකුරේ විශාලත්වය.


ඉතිං ඇයි මම මේකට ගල් පර්වතයක් කියන්නේ. ලංකාවේ සංවර්ධනය කාබාසිනියා කරපු එක ගල් පර්වතයක් තමයි රාජ්‍ය සේවය. ඒක මම සිය දහස් වාරයක් කියන්න බය වෙන්නේ නෑ. දවසක් මම රත්නපුර පළාත් සභා ගොඩනැගිල්ලේ බිම්මහලට ගියා. යන්න බෑ මිනිස්සු මැස්සෝ වගේ ඇගේ වදින නොවදින ගනන්. බැලුවාම ඒ මිනිස්සු අස්සේ ඉන්න ගොඩක් දෙනෙක් පළාත් සභා සේවකයෝ!.

මේ වෙනකොට රාජ්‍ය සේවයේ සේවකයෝ ලක්ෂ 16ක් ඉන්නවා. මේක සමස්ත ජනගහනයෙන් නිකමට බෙදලා බලන්න. එක ගමක් ගත්තොත් ඒ ගම ගැන බලන්න රාජ්‍ය සේවකයෝ කීයක් ඉන්නවද? අඩුම තුන් දෙනෙක්වත් ඉන්නවා. හැබැයි ගමේ අඩුපාඩු බලන්න ජනාධිපතිවරයාට ගමට යන්න වෙනවා.

භාන්ඩාගාරයේ හිටපු ලේකම් ආර්.එච්.එස්. සමරතුංග කියනවා ආණ්ඩුවේ සමස්ත ආදායමෙන් 44%ක් රජයේ සේවකයන්ගේ වැටුප්වලට වියදම් කරන්න වෙලා තියෙනවා කියලා. ඔහු කියන විදිහට ලැබෙන හැම රුපියල් 100කින්ම රුපියල් 43ක් රජයේ සේවකයන් වෙනුවෙන් වියදම් කරන්න වෙලා තියෙනවා.

රාජ්‍ය ආයතන 1251 ක රාජ්‍ය සේවකයන් ආසන්න වශයෙන් ලක්ෂ 16ක් ඉන්නවා, පහුගිය 2018 රජය රුපියල් බිලියන 2040ක ආදයමක් අපේක්ෂා කරනකොට එයින් බිලියන 900 ක් ම රාජ්‍ය සේවයට වැටුප්වලට සහ විශ්‍රාම වැටුප්වලට වියදම් කරන්න රජය ඇස්තමේන්තු කරනවා. මෙහෙම බැලුවාම පේන්න ඕනෑ මේක සුළුපටු කෙළියක් නෙවෙයි කියන එක.

මම මේ ගැන නිකං ගූගල් එකේ හොයාගෙන යනකොට දැක්ක දෙයක් තමයි 2005 මහින්ද රාජපක්ෂ බලයට එනකොට තිබුණ රාජ්‍ය සේවයේ ප්‍රමානය 2015 වෙනකොට තුන්ගුණ වෙලා කියන එක. මේකෙන් පේන්නේ මොකද්ද? දේශපාලකයෝ ඡන්දය ගන්න තමන්ගේ ඡන්දදායකයින්ට කිසිම සැළසුමක් නැතුව රස්සා දුන්නා කියන එක. ඊළඟට කිසිම සැළසුමක් නැතුව, වැටුප් ප්‍රථිපත්තියක් නැතුව පඩි වැඩි කළා කියන එක.

රත්නපුරේ හොඳටම දේශපාලන පත්වීම් දුන්න තුන් දෙනෙක් තමයි ගාමිණී අතුකෝරල, ජෝන් සෙනෙවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණී අතුකෝරල ඇරුණාම ඉතුරු දෙදෙන අදටත් නිශ්චිත මනාප පොකුරක හිමිකරුවන් වෙලා තියෙන්නේ මේ පත්වීම් දීමේ දේශපාලන චාරිත්‍රය හින්දා. මාතර මංගල සමරවීර ගත්තොත්, ඒත් එහෙමයි. ඔහු වැඩකරපු අමාත්‍යාංශ අස්සේ පොඩ්ඩක් රෙද්ද උස්සලා බැලුවොත්, මාතර රස්සා පොකුරු බලන්න පුළුවන්. කබීර් හෂීම්, රාවුෆ් හකීම් වගේ අයත් එහෙමයි. මම මේ කියන්නේ මම දන්න අය ගැන. හැම ඇමතිම රාජ්‍ය සේවය කියන බරවා කකුලට පණුවෝ පිරවීම කළා.

රාජ්‍ය සේවකයාට තියෙන වරදාන වරප්‍රසාද සේරම ගණනය කරලා බලන්න නිකං. ඊටපස්සේ රාජ්‍යය ඔහුට සලසන පහසුව ගණනය කරන්න. ඊළඟට ඔහු රාජ්‍යයට කරන සේවාව ගණනය කරන්න. එතනදී තමයි පස්ස බිම ඇනෙන්නේ. ඇත්තටම රාජ්‍ය සේවකයෝ තමන් ගන්න ඒ වැටුපට වරදානවලට පහසුකම්වලට ඒ වටිනාකමට හරියන්න වැඩ කරනවද? උත්තරේ නැහැ කියන එක..

අද ලෝකයම පරිගණක තාක්ෂණය වෙලාගෙන ඉවරයි. මේ යුගයේත් ෆයිල් කවර එහෙට මෙහෙට වීසි කරකර ඉන්න තමයි තවමත් රාජ්‍ය සේවකයෝ කැමති. 2015දී මට හම්බවුණ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් හරි අපූරු කතාවක් කිව්වා. ‘මල්ලි මම කාවෝ කන්නේ නැති පේපර් එකක් ගේන්න හැදුවා. මේක අස්සේ ඉන්න සේවකයෝ ඒකට විරුද්ධයිනේ. මුන්ට ඕනී කාවොන්ට මීයන්ට කන්න පුළුවන් වෙන කොළවල වැඩ කරන්න..’ මෙහෙම ඇයි? පොතක් ෆයිල් එකක් කාවෙක් කෑවොත් විනාශ වුණොත් තමයි ගේමක් ගහලා අතයට පඩියට අමතරව ගානක් හොයාගන්න පුළුවන් වෙන්නේ. බොහෝ රාජ්‍ය සේවකයෝ මේ දුෂ්ඨ චක්‍රයේ කැරකෙනවා. බඩවියත, යාන වාහන වගේ නොයේක් හේතු නිසා.

තව නිරීක්ෂණයක් මම කියන්නම්, හවස 3.45ට (මතක විදිහට) මරදානෙන් මාතර යන්න පටන් ගන්න කෝච්චියට කියන්නේ කාර්‍යාල දුම්රිය කියලා. ඒකට මරදානෙන් කොටුවෙන් හවස හතරටත් කළින් රාජ්‍ය සේවකයෝ කොච්චර නඟිනවද? මේ සේවකයෝ හැමදාම එකම කෝච්චියේ තමයි යන්නේ. ඊළඟට මේ රාජ්‍ය ආයතනවල ඉන්න ගැහැනු බලන්න, උන් බලන් ඉන්නේ සේවයක් ඉල්ලගෙන තමන් ළඟට එන මිනිහගෙන් ගේම ඉල්ලන්න. පඩි ගන්නවා අතිකාල ගන්නවා පහසුකම් ගන්නවා හැබැයි සේවය ඉල්ලගෙන ආවාම පස්ස පැත්ත මූනට අරං වඩිඟ පටුන නටනවා. පිරිමිනම් ඉතිං සොච්චමක් අතමිට මොලවපුවාම සුටුස්ගාලා වැඩේ කරලා දෙනවා. එක මේසෙකින් තවත් මේසයකට ෆයිල් එකක් යන්න ගතවෙන කාලේ මුදලේ වටිනාකම එක්ක අනුලෝමව සමානුපාතික වෙනවා කියලා තමයි මගේ අත්දැකීම් අනුව කියන්න වෙන්නේ.

දවසක් අපේ ගෙදර ලයිට් කපලා. මොනා කරන්නද ගිහිං සල්ලි බැන්ඳා. ඊට පස්සේ උදේ ඉදලා විදුලිය දෙනකම් බලන් ඉදලා බැරිම තැන හවස ගියා කෙළින්ම විදුලි ඉංජිනේරුවනුවා බැහැදකින්න. තාම කරන්ට් දුන්නේ නෑ කියලා කිව්වාම මිනිහා කෝල් එකක් එහෙම අරං කතා කරලා බලලා මට කියනවා ඔයා ගෙදරට යන පාර හරියට ඇඳලා නෑ කියලා. මම ඉතිං දඩාස් ගාලා ගත් කටටම ඇහුවා කපන්න ආවේ ඇඳලා දීලා නෙවෙයි නේ කියලා. මිනිහා රෑවෙන්න කළින් විදුලිය දුන්නා. ඔන්න ඔහොම තමයි ලංකාවේ රාජ්‍ය සේවය.

ඉතිං මේ රට දුවවන්න රාජ්‍ය සේවකයෝ ලක්ෂ 5ක් හිටියාම හොඳටම ඇති කියනඑක තමයි මගේ අදහස. සමහර ආයතන දුවන්න කම්පියුටර් එකක් එක්ක එක සේවකයෙක් හිටියාම හොඳටම ඇති. ඈලී මෑලී හෝන්දු මාන්දු හෝන්තු ගැන හොයලා බලලා මානුෂීය විදිහට හිතලා මානසික උපදේශනය වගේ දේවල් දීලා රාජ්‍ය සේවකයා සම්පුර්ණයෙන්ම අනික් පැත්ත හරවන්න ඕනී මුලින්ම. එහෙම කරලා හොඳම පිරිස ඉතුරු කරගෙන අනෙක් අය ස්වේච්ඡාවෙන්ම විශ්‍රාම ගන්වන ක්‍රමයකට හරි වෙන ක්‍රමවේදයකට හරි ගිහිං, මේ පොකුරේ ප්‍රමානය අඩු කරන්න ඕනෑ.

මේ සියලු දේවල් එක්ක තමයි මම කියන්නේ ලංකාවේ සංවර්ධනයේ මාර්ගයට වැටුණ ලොකුම ලොකු ගල තමයි මේ රාජ්‍ය සේවය කියලා. මෙහෙම කියනකොට බොහෝ දෙනෙක් විරුද්ධ වෙන්න පුළුවන්, නමුත් ඇත්‍ත තිත්තයි. කවුරුහරි නායකයෙක් මේ රට දියුණු කරන්න හිතෙනවානම් මේ බරවා කකුල කපලා දාන්න ඕනෑ. ඒක කරන්න ඉතිං ලේසි නෑ. කැරට් අලේ තියෙන වසවිෂේ ඉදලා පොල් තෙල් එක්ක එන පිළිකාකාරකය දක්වා යාන්ත්‍රනයට මේ රාජ්‍ය සේවය වගකියන්න ඕනෑ. හැබැයි අපි අද දේශපාලකයා කියන මුව හමට තලනවා විතරයි. රාජ්‍ය සේවයේ බහිරවයෝ වගේ ඉන්න උර්තීය සමිති වුණත් රාජ්‍ය සේවය නැතිබංගස්තාන කළා මිසක් මේක ගොඩගන්න කරපු බක්කක් නෑ. හොඳම උදාහරණය රේල්ලුව.

වරාය, ගුවන්තොටුපළ, ගුවන්සේවාව මේවෑයින් තමයි ලංකාව ගොඩදාන්න පුළුවන්, ඒක එහෙමනම් ඒ තැන්වල ඉන්න රාජ්‍ය සේවයකයෝ වංචාවෙන් දූෂණයෙන් තොර කාර්‍යක්ෂම සේවකයෝ කරන්න ඕනී. සිංගප්පූරු වගේ රටක් ගොඩගියේ එහෙම. හැබැයි ඉතිං ඒකට නායකත්වයක් තියෙන පැහැදිලි චින්තනයක් එක්ක කටයුතු කරන පාලකයෙක් එන්න ඕනී. අනාගතයේ හෝ මේරට හදන්න මිනිස්සු හිතනවනම් මේවගේ ප්‍රථිසංස්කරණ බයනැතුව කරන්න පුළුවන් නායකයෙක් පත් කරගන්න ඕනී නායකත්වයට.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*