අබුඩාබි ශ්‍රීලංකා තානාපතිට ගැලපෙන රජයක් අවශ්‍යයය!

අබුඩාබි ශ්‍රීලංකා තානාපතිට ගැලපෙන රජයක් අවශ්‍යයය!

.

Indika Kodithuwakku 

.

.

ඩුබායි කොන්සල් කාර්‍යාලයේ අතිශය අප්‍රසන්න සිදුවීමෙන් පසු අද දින කිලෝමීටර් එකසිය හතලිහක් ගෙවා, DPI test එකකින් කොරෝනා නැති බව තහවුරු කොට බෝඩර් ක්‍රොස් කර මාත් හසිතත් අබුඩාබි තානාපතිතුමා හමුවන්නට ගියෙමු.

දහවල් 11 පමණ වන විට අප අබුඩාබි තානාපති කාර්‍යාලයට ඇතුල් වූ අතර, ඩුබායි සිට තානාපති තුමන් මුන ගැසීමට පැමිණි බව සහ හේතුව පැවසීමෙන් අනතුරුව ඔවුන්ගේ ප්‍රථිචාරය සිහි කලේ නලපාන ජාතකයේ “එන්න, මේ සිහිල් පැන් බොන්න, මේ ජලයේ සැනහෙන්න” යැයි කල රකුසාගේ ආරාධනයය. එහෙත් මොහොතකින් එය රකුසකුගේ වංචාවක් නොව, සැබවින්ම දුර බැහැර සිට පැමිණි අප කෙරේ වූ අවංක ආදරයෙන් කල සංග්‍රහයක් බව පසක් විය.

විශේෂයෙන්ම කිව යුත්තේ, මගේ මැදපෙරදිග අවුරුදු 16ක ජීවිතයේ මුල්ම වරට තානාපති කාර්‍යාලයක නිළධාරියෙකු අපට වතුර බෝතලයක් දී, තේකක් ඔෆර් කර, ඉඳගෙන ඉන්න යැයි කාරුණිකව පැවසූ පළමු අවස්ථාව මෙය බවයි.

එය සැබවින්ම මිනිසුන්ට වැදගත්ව සහ කාරුණිකව සලකන, උදව් කරන්න්ට උත්සාහ කරන තැනක් බව රැඳී සිටි වෙලාවේදී පසක් විය.

අබුඩාබිහි ශ්‍රිලංකාවේ තානාපති මල්රාජ් ද සිල්වා මහතා සමඟ පැයකට වැඩි කාලයක් සාකච්ඡා කල අතර, එහිදී පැහැදිලි වූ කරුණු පහත වේ.

1. ඩුබායි කොන්සියුලේට් එකේ ඇති අප්‍රසන්න සහ මිත්‍රශීලී, ආචාරශීලී නොවෙන සැලකීම්, වෙනත් විශමාචාරයන් ගැන ඔහුට පැවසූ විට තමන්ට දැනටත් ඒ ගැන බොහෝ සාක්ෂි සහිත පැමිණිලි ලැබී ඇති අතර, අසනීප නිවාඩු ගොස් සිටින දෙවන නිළධාරී පැමිණි වහා ඔහුට අබුඩාබි රාජකාරි තාවකාලිකව පවරා, තානාපතිතුමන් ඩුබායි වලට පැමිණ ඒ කරුණු විභාග කර අවශ්‍ය විනය සහ පරිපාලනම තීන්දු කිසිදු පැකිලීමකින් තොරව ගන්නා බව සහතික කර පැවසීය

2. ජූලි 31 ඩුබායි සහ උතුරු එමිරේට්ස් හි සිටි ලාංකිකයන් 330 ක් සහ අගෝස්තු 1 වෙනි දින අබුඩාබි හි ලාංකිකයන් 330 සමග ගුවන් යානා දෙකක් යෑමට සියළු කරුණු සම්පාදනය කර ඇත.

3. ඒ ගුවන් යානා වල පිටත් වෙන සැමට නොමිලේ pcr පරීක්ෂණ සිදු කරගැනීමට තානාපති කාර්‍යාලය මෙරට සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර විධිවිධාන සලසා ඇති නිසා, ඩිරාම් 380ක ඉතිරියක් සෑම මගියෙකුටම ලැබී ඇත.

4. ඔවුන් විසින් එමිරේට්ස් එයාලයින් හා සාකච්ඡා කොට ටිකට් එක ඩිරාම් 1000 කට ( සාමාන්‍ය වන් වේ ටිකට් එකටත් මඳක් අඩු මිළකි ) සූදානම් කර ඇත. එය පෙර ශ්‍රීලංකන් එයාලයින් අය කල ඩිරාම් 1650 සමඟ සැසඳීමේදී විශාල ලාභයකි. මේ පිටව යන ගුවන් යානා දෙකේ මගීන් සියල්ල රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වල නොමිලේ නිරෝධනයට යොමු කෙරේ.

5. ඉහත යානා වලට අමතරව මුදල් ගෙවා නිරෝධායනට යොමු වීමට කැමති අය සඳහා ගුවන් යානා තුනකට සෑහෙන පිරිසක් එකතු වී ඇත. එයින් දෙකක් ඉදිරි සති දෙක තුල අනිවාර්යයෙන් පිටත් වන බව ඔහු සහතික විය.

6. මගීන් තෝරාගැනීමේ ක්‍රමවේදය ගැන අප තුල ඇති නොපැහැදීම සහ දැනගන්නට ලැබුණු අසාධාරණයන් ගැන තානාපතිතුමන්ට පැමිණිලි කලෙමු. එහිදී ඔහු විසින් මගීන් තෝරාගැනීම සඳහා දී ඇති නිර්නායකයන් පැහැදිලි කරන ලදි.

ප්‍රමුඛත්වය 1 – මාර්තු 10 ට පෙර වීසා කැන්සල් කල, අප්‍රේල් මාසය තුල ලියාපදිංචි අය සහ විශේෂ අවශ්‍යතා, අසනීප හෝ ගැබිනි අයවලුන්, සහ විසිට් වීසා කැන්සල් වී ඇති, අප්‍රේල් මාසය තුල ලියාපදිංචි වී ඇති අය.

ප්‍රරමුඛත්වය 2 – මැයි සිට ඉදිරියට ලියාපදිංචි වී ඇති වීසා කැන්සල් වී රැකියා අහිමි අය.

මෙයට අමතරව දේශපාලන සහ වෙනත් ප්‍රභූන් විසින් කරන නොයෙක් ඉල්ලීම් ඇතත් තමන් ඒ කිසිවක් මායිම් නොකරන බව ඔහු ස්ථීර කර පැවසීය . එහෙත් ඩුබායි හි එලෙස වන බවට අපට තොරතුරු ඇති බව පැවසූ විට තමන් ඒ ගැන සොයා බලා පියවර ගන්නා බවට පොරොන්දු විය.

වඩා වැදගත් , ආපසු යෑමට බලාපොරොත්තු සියළු දෙනා විසින් තානාපති හෝ කන්සියුලර් කාර්‍යාලයට ගොස් ඩේටා ඇනලිසීස් ෆෝරම් නම් නව ෆෝම් එක පිරවීම අනිවාර්ය බවයි. මන්ද එහි ඇති දත්ත මත ප්‍රමුඛත්වය තීරණය වන බැවිනි . එනිසා ඔබ පෙර ඔන්ලයින් ලියාපදිංචි වුවද, ඩේටා ඇනලිසීස් ෆෝම් එක පුරවා නැතිනම්, වහාම එය කරන්න. හේතුව , ජූලි 12 සම්මත වු නව දඩ නීතිය නිසා ප්‍රමුඛත්වය තීරණය කිරීමට ඔන්ලයින් රෙජිටර් වීමේදී ලබාගත් තොරතුරු ඔවුන්ට ප්‍රමාණවත් නැත.

7. වීසා දඩ මුදල් නොසලකා හැරීම සඳහ තමන් ඉල්ලීමක් කර ලිපියක් මෙරට බලධාරීන් වෙත යොමු කල ඇති බවත් එයට මෙතෙක් කිසිදු ප්‍රථිචාරයක් නැති බව දැණුම් දුනි ( මගේ අදහස මේවා තානාපති මට්ටමෙන් විසඳිය නොහැකි ගැටළු බවයි, මේවාට මැදිහත්වීම රජයේ වි.ක.අ වගකීමකි )

8. සේවය අහිමි කර එකමඩේෂන් වලින් එලියට දමන කාන්තාවන්ට තානාපති කාර්‍යාලය සේෆ් හවුස් දෙකක් පවත්වාගෙන යන අතර පිරිමින් සඳහා ඒ වෙනුවෙන් අවශ්‍ය විධිවිධාන යොදන්නට උත්සාහ කරමින් සිටි ( මට දැණුන ආකාරයට එයට මුදල් සහ අනුමැතිය කොළඹින් ලැබී නැතුවා විය යුතුය )

විශේෂයෙන්ම කිව යුත්තේ, ජන ගී ගායකයන්, ඉඩම් වෙන්දේසි කරුවන් සහ විශ්‍රාම සුවය විඳින වෙනත් තානාපති වරුන් මෙන් දෙවන නිළධාරී පිට සියල්ල දමා චූන් එකේ ඉන්නවා වෙනුවට මෙතුමන් සියළු ලැයිස්තු , පරිඝණක ගත තොරතුරු තමන්ම සොයාබලමින් අප ඉදිරිපත් කල සියළු ගැටලු වලට විසඳුම් සෙවීමට පුද්ගලිකවම මැදිහත් වූ වගයි.

එමෙන්ම මල්රාජ් ද සිල්වා මහතා ඉතාම සංවිධානාත්මක, සුහද සහ වෘත්තීය පරිණතභාවයෙන් වැඩ කරන නිළධාරියෙකු බව දැක ගැනීමට ලැබීම සතුටක් විය. අපට පමණක් නොව එහි ආ සියළු තරාතිරමේ ලාංකිකයන් හට ඉතාම ඉවසීමෙන් හා සුහදව කතා කල ගුණය එතුමන් මේ සේවයේ කල් ගොස් පල් වන විටත් එලෙසම තිබේවායි අපි ප්‍රාර්ථනා කරමු!

තවද , ඩුබායි කොන්සල් වරයා සහ ඔහුගේ මාරක සේවක පිරිසත් , අනෙකුත් මැදපෙරදිග තානාපති වරුනුත් එසේ වීනම්, මේ අසරණ මිනිසුන්ගේ තත්වය වඩා යහපත් වන්නට ඉඩ තිබිනි.

කෙසේ වෙතත් වඩා බරපතළ ප්‍රශ්ණ වන දඩ මුදල් ප්‍රශ්ණය, වැඩි පිරිසක් ලංකාවට ගෙන ඒමට අවශ්‍ය අනුමැතිය ලබා දීම සහ ගෙන ඒම ප්‍රමාද වන අයට නවාතැන් පහසුකම් සැලසීම වැනි කරුණු වලට තානාපති වරයාට මීට වඩා යමක් කල හැකියැයි අප නොසිතන අතර, ඒ වෙනුවෙන් රජය වඩා සක්‍රීයව සහ ඉක්මනින් මැදිහත්වීම අත්‍යාවශ්‍ය බව අප විශ්වාස කරමු.

එනිසා, ප්‍රශ්ණය නැවත මුලට පැමිණ , රජයේ නායකයන්ගේ ඇති අකාර්යක්ෂම සහ තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයන් වල ගැටළුව, වැඩ කල හැකි නිළධාරීන්ගේද සම්පූර්ණ ධාරිතාවයෙන් වැඩක් කිරීමට බාධා වී ඇතැයි පැහැදිලිය .

ප්ලේන් හතරක් මාසයකට ගියද ප්‍රශ්ණය කලක් යනතුරු විසඳෙන පාටක් නැත! ලේනෙකුට නැට්ටෙන් ඉස මේ සාගරය හිස් කල නොහැක. එනිසා රජය වහාම මැදිහත් වී අප කලින් සඳහන් කල පරිදි යන තෙක් ඉන්න සහ දඩ නැති කරන්නට කටයුතු සූදානම් කල යුතුය. එය සිදුවන තෙක්, දහස් ගණනක ජනතාව විඳින දුකට විසඳුමක් නැත.

( තානාපතිතුමන් විසින් පැවසූ තවත් බොහෝ කරුණු අතර උවමනාවෙන්ම මේ නැවත යැවීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්නට සම-හරක් යොදන සමහර උප්පරවැට්ටි , ලංකාවේ සෞඛ්‍ය සේවා වල අසාධාරණ ඉල්ලීම් , ලාංකික මිනිසුන් විසින් කරන නොපනත්කම් වැනි හේතු නිසා මේ ක්‍රියාවලිය වඩා සංකීර්ණ සහ ගැටළු සහගත වී ඇති ආකාරය ගැන වෙනම ලියන්නට බලාපොරොත්තු වෙමි )

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*