අනුර සහ පළාත් සභා

අනුර සහ පළාත් සභා

.

Vangeesa Sumanasekara

,

ස්වර්ණවාහිනී වැඩසටහනක දී අනුර කුමාර දිසානායක පළාත් සභා අහෝසි කිරීමට එකඟ බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මා රහසින් සිතු දෙය දෙවියන් වහන්සේ හමුවේ පාපොච්චාරණය කරන්නේ නම් ඒ මෙසේය. මෙය ෆේස්බුක් එකේ මත ප්‍රකාශ කරන්න අපට ඇති නිදහස නැති මිනිසෙකුගේ අදහස් දැක්වීමකි. මෙය ඉතාම අපහසු මාතෘකාවකි. ජවිපෙ සිංහල ජාතිකවාදී දේශපාලනයක නිරත වූ බව රහසක් නොවේ. නමුත් අනුර ට එම අතීතය සම්බන්ධයෙන් මත දැක්විය හැක්කේ බොහෝ සීමාවන් යටතේ ය. එම අතීතය සම්පූර්ණයෙන් වැරද්දක්, මුළුමනින් අත්හැරිය යුතු දෙයක් කියා කියන්නට නොහැකිය – ෆේස්බුක් එකේ මත දක්වන අප වැනි අයට ඇති නිදහස ඔහුට එහි නැත. නමුත් ජවිපෙ මේ සම්බන්ධයෙන් ඉතා ප්‍රායෝගික තක්සේරුවක සිටිනා බව මම හොඳින් දනිමි. මේ පිළිබඳව හොඳම පැහැදිළි කිරීම සිදු කලේ ලාල් කාන්ත ‘අභිමුඛ’ සංවාදයේ දී ය (‘විමල් වෙනස් වුනේ නැහැ, එයා ඒ පාරේම ගියා, වෙනස් වුනේ අපි’).

අප වටහා ගත යුත්තේ සන්දර්භයන් වෙනස් වී ඇති බවයි. නිදර්ශනයක් ලෙස මේ දැන් දෙමළ ජාතිකවාදයේ නිශ්චිත ඉල්ලීම වන්නේ කුමක්ද? සත්‍ය කරුණ වන්නේ එවැනි එක් තනි ඉල්ලීමක් නොමැති බවයි. එක් අන්තයක විග්නේශ්වරන් ගේ අර්ථ විරහිත ගොන් පාට් තිබෙනා අතර අනෙක් අන්තයේ සුමන්දිරන් ගේ උපක්‍රමික දැලි පිහි ක්‍රීඩාව තිබේ. එම නිසා මෙරට දේශපාලනයේ ලිට්මස් පරීක්ෂාව – අම්ල පරීක්ෂාව – වන්නේ දෙමළ ජාතික අරගලයයි යන, අපේ රටේ දකුණේ වාමාංශිකයන් ගේ දේව භාෂිතයක් බඳු වූ, භාෂණ ගේ සුප්‍රකට උපමාව තවදුරටත් සංශෝධනයකින් තොරව අපට යොදා ගත හැකි වනවා කියා මා සිතන්නේ නැත. මෙයට හේතුව වන්නේ දෙමළ ජාතික අරගලයේ වර්තමානය කුමක්ද යන්න ඉතාම ව්‍යාකූල වීමයි. එය කිසි සේත් 1990 දශකයේ දී මෙන් තනි කේන්ද්‍රයක් වටා සංකේන්ද්‍රනය වන පොදු ඉලක්කයක් නොවේ. එම නිසා දෙමළ ජාතික අරගලයට පක්ෂ වනවා යන්න සංයුක්ත ලෙස අර්ථවත් වන්නේ කෙසේ ද යන්න තවදුරටත් පැහැදිළි නොවේ. මූලධර්ම වලට එකඟ විය හැකිය – නමුත් එහි සංයුක්ත ප්‍රකාශනය කුමක්ද?

නිදර්ශනයක් ලෙස පළාත් සභා වෙනුවෙන් මේ අතරින් පෙනී සිටින්නේ කවුද? මේවා පරිපාලනමය අර්ථයෙන් අසාර්ථක ව්‍යුහයන් කියා වැඩි දෙනෙක් පිළිගන්නවා කියා සිතමි. මේවා මගින් ‘දෙමළ ජාතික අරගලයට විසඳුමක් වන්නේ ද’? එය තීරණය කරන්නේ කවුද? මේවා කිසිවක් පැහැදිළි නැත. පැහැදිළි එකම කරුණ වන්නේ දෙමළ ජාතික අරගලය සංක්‍රාන්ති මොහොතක තිබෙනා බව පමණි. පළාත් සභා වලට පක්ෂ වීම හෝ විපක්ෂ වීම මගින් 80 අග සහ 90 දශකයේ දේශපාලනය තුළ සංකේතවත් වූ දේ කිසි සේත් එමගින් දැන් නියෝජනය කරන්නේ නැත. මගේ අදහස වන්නේ අලුත් පරම්පරාව එම සංකේත අර්ථය දන්නේ හෝ නැති බවයි!

සත්‍ය වශයෙන්ම ‘ස්වර්ණවාහිනී’ යේ අනුර ගේ ප්‍රකාශය තුළ මූලධාර්මික එකඟතාවය කුමක්ද කියා පැහැදිළි නැත. එය දෙපැත්තටම අර්ථකථනය කළ හැකිය. මා හිතවත් උවිඳු කුරුකුලසූරිය කර තිබෙන ලෙස එමගින් ඔහු සම අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත් ප්‍රාදේශීය ස්වයන් පාලනයට විරුද්ධ බවත් කෙනෙක්ට නිගමනය කළ හැකිය. නමුත් අවශ්‍යනම් එය එසේ නොවෙනවා කියා තර්ක කිරීමට ද හැකිය. නිදර්ශනයක් ලෙස ඔහු එය කියන්නේ සම්බන්ධන් ගේ ප්‍රකාශයකට එකඟ වෙමිනි. එසේනම් සම්බන්ධන් ට දෙවෙනි පෙළ පුරවැසියෙක් සේ නොදැනෙන සංශෝධනයකට ඔහු එකඟ බව එහිදී පැහැදිළි වෙයි. සම්බන්ධන් ට එසේ එකඟ විය හැකි සංශෝධනයකට අනුර එකඟ වන්නේ නම් ඇති ප්‍රශ්නය කුමක්ද?

සත්‍ය කරුණ වන්නේ මෙවැනි දේ පිළිබඳව වාද කර ගැනීම – විශේෂයෙන් ෆේස්බුක් එකේ වාද කර ගැනීම – එතරම් තේරුමක් නැති බවයි. අප සියලු දෙනාට – අනුරට, උවිඳු ට, සිරිමල් ට, මට ආදී ලෙස – මේ සම්බන්ධයෙන් ස්ථාවර තිබේ. එම ස්ථාවර ගොඩ නැගෙන්නේ විවිධ ඓතිහාසිකත්වයන් මතයි. හැමදාමත් මා උනන්දු වන ප්‍රශ්නය වන්නේ මිනිසුන් වෙනස් වන්නේ කෙසේ ද යන්නයි: කෙනෙක් තමන් දරන ස්ථාවරය වෙනස් කර ගන්නේ කෙසේ ද? මේ සඳහා තිබෙනා එක් පිළිතුරක් වන්නේ එය පොදු අරගලය තුළින් සිදු කරනා බවයි. අපි එකිනෙකාට විවිධ ස්ථාවර තිබෙන්නේ වුවත් දේශපාලනයේ දී තීරණාත්මක වන්නේ පොදු අරගලයක දී අප පොදු එකඟතාවයන්ට පැමිණෙන ආකාරයයි. එම කරුණේ දී උතුරේ දේශපාලනයේ සාධනීය සාධක සමග පොදු එකඟතාවයකට පැමිණීමට ජාතික ජන බලවේගයට අනිවාර්යයෙන් සිදු වන බව පැහැදිළි වේ. ඒ සඳහා ඔවුන් මෙන්ම සුමන්දිරන් වැනි අයද යහපත් ප්‍රතිචාර දක්වා තිබේ. එය සාර්ථක වුවහොත් පමණක් අපට අනාගතයක් තිබෙනු ඇත. එනිසා ‘අනුර පළාත් සභා වලට විරුද්ධයි’ කියා ප්‍රකාශ කිරීමෙන් වමේ දේශපාලනයේ පංච ආනන්තරීය පාප කර්ම සිදු කළාද කියා ෆේස්බුක් එකේ තියෙන පිරිසිදු නිර්මල සංවාදයේ කොටස්කරුවෙක් වීමට මටනම් වෙලාවක් නැත! මා උනන්දු වන්නේ ‘මෙයසූ’ නිසා අපේ රටේ බුද්ධිමය සංවාදය කැලතී ඇති ආකාරය ගැන පමණි – ඒ ගැන පමණක් මගෙන් අසන්න. එයට හේතුව වන්නේ ද මගේ සැබෑ උනන්දුව මිනිසුන් ගේ අදහස් ප්‍රායෝගිකව වෙනස් කරන්නේ කොහොමද යන්න වීමයි!

පියාණන් වහන්සේගේ පුත්‍රයාණන් හා ශුද්ධාත්මයාණන්ගේ නාමයෙන්,

වංගීස

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*