‘මට තිබුණ ලොකු ම බය තමයි ඉතිහාසය යළිත් ප්‍රතිනිර්මාණය වෙයි කියන එක’

‘මට තිබුණ ලොකු ම බය තමයි ඉතිහාසය යළිත් ප්‍රතිනිර්මාණය වෙයි කියන එක’

.

Sahan Kaseera Wickramasinghe

.

ලෝ ප්‍රකට ඇමරිකානු මාධ්‍යවේදිනිය ඔප්රා වින්ෆ්‍රි අබිමුව රාජකීය ජීවිතයේ අඳුරු අස්කොන් නිරාවරණය කළ හැරී කුමරු සහ ඔහුගේ ආදරණීය බිරිඳ මෙගන් මාකල් සතියේ ප්‍රවෘත්තිය වී අවසන් ය. ඔවුන් තව දුරටත් කිරීටය සඳහා වූ රාජකිය ධූරාවලියේ දක්නට ලැබෙන්නේ නැත. His highness හෝ Her highness වැනි ගෞරවනාමයන් තව දුරටත් පවත්වාගෙන යාමට අවසර ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කළ ද හැරී සහ මෙගන් එම රාජකීය ගෞරව ආමන්ත්‍රණ භාවිතා නොකරන හැඩ ය. 1996 වසරේ දී ඩයනා කුමරිය තම විවාහයෙන් වෙන් වී රාජකීයත්වය අත් හැර වසර විසි පහකට පසුව ඇයගේ බාල පුත්‍රයා ද තම මව ගමන් කළ මාවතට ම අවතීර්ණ වී ඇත. බාගදා එහි රාජකීයත්වය හෝ අතීත සුඛ විහරණ නැති වන්නට ඉඩ ඇත. නමුත් සැනසිලිදායක ජීවිතයක් සඳහා වූ නිදහස එහි තිබෙනවා විය හැකිය. නිදහස ! ප්‍රංශ උමං මාර්ගයක් මතුයෙහි පාලනය අවසඟ මර්සිඩීස් බෙන්ස් රථයක් තුළ ප්‍රාණය නිරුද්ධ වන තෙක් ම ඩයනා ෆ්‍රාන්සස් ස්පෙන්සර් නම් මුරණ්ඩු ගැහැනිය නොනවත්වා ම අරගල කළේ ඒ වෙනුවෙන් නොවේද?

‘මට තිබුණ ලොකු ම බය තමයි ඉතිහාසය යළිත් ප්‍රතිනිර්මාණය වෙයි කියන එක’

හැරී කුමරු නොපැකිළව ඔප්රා වින්ෆ්‍රි හමුවේ ප්‍රකාශ කළේ ය.

‘මට මගේ අම්මා නැති වුණා. දැන් මම දකිනවා මගේ බිරිඳත් ඒ ප්‍රබල බලපෑමේ ගොදුරක් වෙන හැටි’

එංගලන්තයේ රෝස කුසුම ලෙස විරුදාවලි ලද හිතුවක්කාර කුමරියගේ බාල පුත්‍රයා තම බිරිඳ වෙනුවෙන් හඬ අවදි කරන්නට නොපැකිළිණ.

‘I lost my mother and now I watch my wife falling victim to the same powerful forces.’

රාජකීයත්වය, කිරීටය සහ වරප්‍රසාද වැනි දෑ අත්හැර දමා බිරිඳ සහ දරුවන් සමග නිදහස සොයා යන තිස් හය හැවිරිදි හෙන්රි චාල්ස් ඇල්බට් ඩේවිඩ් හෙවත් හැරී කුමරු තම මව කාලාන්තරයකට පෙර සිහින දුටු ලෝකය උදා කරගනු ඇත.තමාට උපත දුන් රජ පවුල හේතුවෙන් තම ජීවිතාලෝකය වූ ගැහැනිය අහිමි වන විට දහතුන් හැවිරිදි කොළු ගැටයෙකු වූ හෙතෙම අද දින ඒ රජ පවුල හේතුවෙන් ම තම ජීවිතයට ඊ ළඟට පැමිණි ගැහැනිය අහිමි වන්නට පෙර අභිනිෂ්ක්‍රමණය කළේ ය. බාගදා එහි තවදුරටත් රාජකීයත්වය හෝ අතීත සුඛ විහරණ නැති වන්නට ඉඩ ඇත. නමුත් සැනසිලිදායක ජීවිතයක් සඳහා වූ ආදරය එහි තිබෙනවා විය හැකිය. ආදරය ! විසිවැනි සියවසේ වැඩිම පිරිසක් නැරඹූ විවාහ මංගල්‍යයයේ සිට එසියවසේ වැඩිම කම්පනයක් ඇති කළ අවමංගල්‍ය දක්වා වූ ගමන් මග තුළ ඩයනා ෆ්‍රාන්සස් ස්පෙන්සර් නම් මුරණ්ඩු ගැහැනිය නොනවත්වා ම අරගල කළේ ඒ වෙනුවෙන් නොවේද ?

වසර තුනකට පෙර එක්තරා දවසක හැරී කුමරු සහ මෙගන් මාකල් සමඟ විවාහ වන සමයේ ලියූ සටහනක් යළිත් මෙතැන් සිට ගෙනහැර දක්වමි. පුරා තෙවසරකට පසුව ද එදා ඒ ලියූ අකුරුවල ජීවය නොනැසෙන සේ කටයුතු කරන්නට සමත් වූ හැරීගේ ස්ථාවරය මා තුළ ඇති කරන්නේ විස්මය මුසු ගෞරවයකි. ඔහු තම මව මෙන් ම ආදරය තුළින් ජීවිතයේ පාරාදීසය දැකීමේ දුලබ වරම් හිමි කරගත්තෙක් බව පෙනේ. මේ ඔහු ගැන ය.

කිරීටයට උරුමකම් කියන රාජකීය ධූරාවලියේ සයවැන්නා වන හැරී කුමරු ඇමරිකානු නිළියක වන මෙගන් මාකල් සමග විවාහප්‍රාප්ත විය. මෙගන් මාකල් හැරී කුමරුට වඩා වයසින් වැඩි , පෙර විවාහයකින් දික්කසාද වූ කාන්තාවක වීම මේ දිනවල වඩාත්ම කතා බහට ලක්වන උණුසුම් පුවත වී ඇත.

හැරී කුමරුට පෙර මෙලෙස වඩාත්ම කතා බහට ලක් වූ ආන්දෝලනාත්මක විවාහ තීරණය ගනු ලැබුවේ 8 වැනි එඩ්වඩ් රජු ය. එංගලන්තයේ රජු ලෙස පදවිප්‍රාප්තියෙන් මාස 11 දවස් 21 ක් ගත වන තැන කිරීටය අතැර යන ඔහු දෙවරක් විවාහව නීතියෙන් වෙන් වූ වැලීස් වෝෆීල්ඩ් – සිම්ප්සන් නම් ඇමරිකානු කාන්තාවක විවාහ කර ගත්තේය. එඩ්වර්ඩ් කුමරු ගේ අනුප්‍රාප්තිකයා ලෙස රජ වූයේ ඔහුගේ බාල සොහොයුරු වූ හයවැනි ජෝර්ජ් රජුය. එනම් වත්මන් එලිසෙබෙත් රැජණ ගේ පියාණන්ය.

1936 වසරේ දී එඩ්වර්ඩ් කුමරු ප්‍රේමය වෙනුවෙන් රජ කිරුළ අත හැරීම එවකට යටත් විජිතයක් වූ ලංකාවට ද බලපෑ පුවතකි. සිබිල් වෙත්තසිංහයන් තම ‘වැනියන් කළු වැනීයන්’ පොතෙහි සඳහන් කරන ආකාරයට ඇගේ ළමා කාලයේ ප්‍රධාන සන්නිවේදන මාර්ගයක් වූ කවි කොළ කරුවන් එම පුවත ශෝක භරිතව කඳුළු සලමින් කවියෙන් මෙසේ විස්තර කර තිබිණ.

‘සිම්සන් නෝනා ආදරී
හිතට බොහොම වී පිරී
දෙයියනෙ හිතට බොහො දුකයි
ආලේ ලීලේ ඒ තමයි’

තිහේ දසකයේ කවි කොළ කරුවන් ලේන්සුවෙන් නාසය සූරමින් කම්පා වූ මේ පුවත අසූව දසකයේ රූපවාහිනියට ගෙන එන්නේ ටයිටස් තොටවත්තයන් විසින් සිංහල හඬ කැවූ ‘දොස්තර හොඳ හිත’ නාටකයේ එන ලා තණකොළ පෙත්තාස් සංගීත කණ්ඩායමේ ගීතයක් ඔස්සේය. ‘ලව් ලව් ලව් ලව්’ නම් වූ එම ගීතය හරහා ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ කුසලතාපූර්ණ ගීත රචකයා ඉදිරිපත් කරන්නේ තරමක් විකාරරූපී මතවාදයකි.

‘ආලය කියනා මාලය වැටුණොත්
රජුන් ද පිස්සන් වෙයි
අටවැනි එඩ්වඩ් රජකම ඇරියේ
ආලය හින්දාමයි’

අට වැනි එඩ්වඩ් තම සිත් දිනූ යුවතිය වෙනුවෙන් රජකම අතැර සමස්ත මානව වර්ගයා වෙත ප්‍රේමයේ මහරු බව පිළිබඳ ඉඟියක් ලබා දුන්නේ ය. නමුත් කවිකොළයේ සිට රූපවාහිනිය දක්වා වූ අපගේ නිර්මාණකරුවන් එය භාරගත්තේ ඛේදවාචකයක් , ශෝකී සිදුවීමක් හෝ උමතු තීරණයක් ලෙස ය.

හිරු නොබසින අධිරාජ්‍යයේ රජකම පවා ප්‍රතික්ෂේප කර තමාට රිසි වූ කාන්තාව තෝරාගත් එඩ්වඩ් රජු පිස්සෙක් ලෙස අරුත් ගැන්වෙන ලාංකේය නිර්මාණ සාහිත්‍ය තුළම ඇමරිකාවේ ජෝන් එෆ්. කෙනඩි වැන්නෙක් උත්කර්ෂයට නැගෙන්නේ පරමාදර්ශී චරිතයක් ලෙසිනි. වෙඩි පහරින් මොළය සුණු විසුණුව ප්‍රාණය අවසඟ වන මොහොතේ සිය බිරිඳ ජැකලීන් ගේ උකුළට කඩා වැටුණ ද ඔහු අතීතය පුරා නානාවිධ ප්‍රේම ජාලාවන් හි පැටලී බොහෝ ප්‍රශ්නාර්ථ රැසක් ඉතිරි කළ අයෙකි. සුමිත්‍රා රාහුබද්ධයන් ගේ ‘ඉටිපහන්’ නවකතාවට අනුව 1963 දී ජනපති කෙනඩි ව ටෙක්සාස් හි දී ඝාතනය කළ විට ලංකාවේ පුවත්පත් වල ශෝක කවි පළ වන්නේ ‘අයියෝ කෙනඩි – අයියෝ රත්තරන් කඳ’ යනුවෙනි.

රජ මැදුරෙන් මහ පොළවට නික්මීම අපට අලුත් පුවතක් යැයි නොසිතෙන්නේ සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාටකය සිහි වීමෙනි. වනමැද ගල්ගුහාවක දිවි ගෙවන සුප්පා දේවිය මෙසේ ගයන්නීය.

‘වගු රට නරනිඳු – දඹදිව පරසිදු
හට දා වූ මම වෙමි දෙටු දූ
සරණ ගිය සිහ සමිඳුනේ
සමඟ වෙසෙමිය ගිරි ලෙනේ’

සුප්පාදේවිය සිංහයෙක් සමග සරණ ගොස් ලබන පුත් කුමරුන් වන්නේ සිංහබාහු ය. ඒ සිංහබාහු ගේ නොහික්මුණු පුත් කුමරු වන්නේ තම්මැන්නාවෙන් ලංකාවට ගොඩ බට විජය කුමරු ය.රජ සම්පත් අතැර සිංහයෙක් සමග වනවැදි සුප්පා දේවියට තම ජීවිතය පිළිබඳ කියන්නට තවත් බොහෝ දෑ තිබිණ.

‘ලෝ දහමින් වැදෙනා රළු පහරින්
ගත සිත රිදෙනා කළ නිතියෙන්
නැත ලොවේ අන් රසඳුනා
ආදරේ සේ සුවදෙනා’

සුප්පාදේවිය නොදකින දුරෙක ; එඩ්වඩ් කුමරු හෝ හැරී කුමරු දකින තැනෙක බයිබලය නමින් දෙයක් ඇත. එහි කොරින්ති 13:1-7, 13 යටතේ මෙසේ සඳහන් ව ඇත.

‘ප්‍රේමය, සියල්ල උසුලයි. ප්‍රේමයෙහි, විශ්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුවට නිමක් නැත, ඉවසීමට අගක් නැත.’

  • සහන් කසීර වික්‍රමසිංහ
Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*