කොමියුනිස්ට් යුගයක ආදරය

කොමියුනිස්ට් යුගයක ආදරය

.

ත්‍රිමාන වෙබ් සඟරාව

.

පසුගිය සෙනසුරාදා[26] පැවති අධ්‍යයන පන්තියේ දී අපට අලුත් ගැටලූවකට මුහුණ දීමට සිදු විය. ‘PHANTOM THREAD’ චිත්‍රපටය අපගේ සාකච්ඡාවේ මුඛ්‍ය තේමාව විය. එහි දී, ඩිල්ශාන් මතු කළ ප්‍රශ්නය අපට මෙලෙස සූත්‍රගත කළ හැකිය. 

                          “දැනට අප ආදරය යනුවෙන් හඳුනා ගන්නේ, රැඩිකල් ආදරය හෝ රොමෑන්තික ආදරය යි. බහුතර දෙනා ආදරය යනුවෙන් හඳුනා ගන්නා ප්‍රපංචය යනු, විවාහයට පෙර තරුණ ආදරය හෝ විවාහයට ව්‍යතිරේඛයක් වන විකල්ප සම්බන්ධතා තුළ හමුවන ආදරය යි. මෙහි උත්කෘෂ්ට ආකෘතිය වන්නේ, ‘බල්ලා සමඟ සරණ ලිය’ කෙටිකතාවේ ආදර ව්‍යුහය යි. නමුත් කොමියුනිස්ට් සහ හේගලියානු අර්ථයෙන් විවාහය තුළ ‘ආදරය’ ජීවමාන කළ හැක්කේ කෙසේද?”

                       සමකාලීන යුගයේ, විශේෂයෙන් 68 ප්‍රංශ ශිෂ්‍ය අරගල සමයේ සිට අද දක්වා ‘ආදරයේ’ මෝහනීය ආකෘතිය වී ඇත්තේ, තරුණ ආදරය යි. ඒ නිසා, මෙම ‘ආදරය’ ජීව විද්‍යාවට සම්බන්ධ ආදරය යි. ඊට අනුව, ආදරය කළ හැක්කේ නිශ්චිත වයස් කාණ්ඩයක අයට පමණි. ආදරයේ ප්‍රමිතිය කිරා බලන්නේ, වයස අනුව ය. මෙහි දෘෂ්ටිවාදාත්මක පැත්ත ප්‍රංශ ශිෂ්‍ය දේශපාලනය තුළ රැඳී ඇත. ප්‍රංශ දාර්ශනික ‘ජීන් පෝල් සාත්‍ර’ සහ ප්‍රංශ දාර්ශනික ස්ත්‍රියක් වන ‘සිමොන් දි බුවාර්’ අතර පැවති අසමසම ප්‍රේමය හඳුන්වන්නේ, විවෘත විවාහය නමිනි. එය, එකට ජීවත් වීම (LIVING TOGETHER) සමතික්‍රමණය කරයි.

                            නමුත් කොමියුනිස්ට් සමාජයක් තුළ ඉහත කතා කළ සෑම ‘දෙදෙනෙකුගේම’ එකතු වීම දෘෂ්ටිවාදී කලාපයකට ගමන් කරයි. කොමියුනිස්ට් අධ්‍යාපනය තුළ සැමට සමාන න්‍යායික අවබෝධයක් ලැබෙන නිසා ‘විකල්ප සබඳතා’ යනු, විපරිත – PERVERT DEVIATION -අපගමනයක් බව වැටහෙයි.

                            විවාහය පිළිබඳ කොමියුනිස්ට් අදහස වෙතට අපි දැන් හැරෙමු. සාධාරණ න්‍යායක් ලෙස විවාහය බොහෝ දෙනා සලකන්නේ, සංස්ථාපිතයක්, ඒ නයින් කූඩුවක් (CAGE) ලෙසිනි. මෙම කූඩුව තුළ පුද්ගලයාගේ නිදහසට සීමා පැනවෙයි. මෙම කූඩුව පිළිබඳ අදහස නිසා ‘විවාහය’ විසින් සමාජ ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් ඇති කරයි. මෙම ප්‍රශ්න විසඳීම සඳහා ම වෙන් වූ වෘත්තීන් සමූහයක් බිහි වී ඇත. ( උදා:- පූජකයන්, ලිංගික ශ්‍රමිකයන්, මනෝ චිකිත්සකයින්, මනෝ විශ්ලේෂකයන්, පොලිස් නිලධාරීන්, අධිකරණ නිලධාරීන්…..) මේ සන්දර්භය තුළ ඕෂෝ වැනි අධ්‍යාත්මවාදීන්ගේ සිට සමහර ස්ත්‍රීවාදීන් දක්වා වූ පරාසයක පුද්ගලයන් රාජ්‍යය සේම විවාහය ද වියැකී යා යුතු ප්‍රපංචයක් ලෙස දකිති. එම අදහසට බහුතර දෙනා යටි සිතින් අනුකූලතාවය දක්වයි. සමහරු මෙම ප්‍රශ්නය ලෙනින්වාදී ක්‍රමයට විසඳයි. එනම්, විවාහයත් ‘විකල්ප සම්බන්ධයත්’ සීසෝ ක්‍රමයට පවත්වාගෙන යාම යි. ‘විවාහය’ නැති වූ වහාම වරදකාරීත්වය නම් හැඟීම අහෝසි වන අතර නිදහස අනන්තය කරා දිගු වෙයි. මේ නිදහස් ආදරය තුළ ලිංගිකත්වය සහ ආදරය තුළ විවිධ අත්හදා බැලීම් සිදු කළ හැකි ය. ‘නිම්නාගේ ලෝකයේ’ අන්තර්ගතය එය යි.

                        අනාගතයේ දී උදා වෙතැයි සිතූ ඉහත ‘රාම රාජ්‍යය’ (80 දශකයේ සිහිනය) සමකාලීනත්වය තුළ සැබෑවට පහළ වී ඇත. අද දවසේ තමන්ට කැමති නිදහස් ආකාරයට ජීවත් වීමට හැකි ය. ඊට බාහිරින් බාධාවක් නැත. විකල්ප, ලිබරල් ලිංගික හෝ ආදර සබඳතාවලට ජාතිවාදයෙන් පවා බාධාවක් නැත. ගැහැණුන් සහ පිරිමින් රුචි ආකාරයට බෙදා හදා ගැනීමට කිසිදු සීමාවක් නැති සමාජයක අපි ජීවත් වන්නෙමු. කොටින්ම, විවාහය නම් කූඩුවේ දොර ඇර දමා ඇත. එහි සිරගත වූවන් එළියට ඇවිත් ඇත. දැන් අප අත් විඳින්නේ නිදහස් ආලය ද? නැත. අප වෙනදාටත් වඩා මානසිකව භීතියට පත් වී ඇත.

හැකිතාක් විනෝද වන්න! යන සුපිරි-අහමේ නියෝගයට සියලුදෙනා යටත් වී ඇති නිසා සෑම මිනිස් සබඳතාවයකම කුමක් දෝ අඩුවක් හමු වී ඇත. මේ ‘අඩුව’ අපගෙන් පැහැර ගත් අයෙකු සතුරෙකු ලෙස බාහිරින් බොහෝ දෙනාට හමු වී ඇත.

                    ඕෂෝ ඇතුළුව සියලු රැඩිකල්වාදීන් අමතක කළ න්‍යායික සත්‍යය වන්නේ, ඕනෑම නිදහසකට කොන්දේසි පැවතිය යුතු බවයි. විවාහයෙන් පිටත නිදහස උපකල්පනය කළ හැක්කේ, ‘විවාහය නම් කූඩුව’ කොන්දේසියක් ලෙස ගත් විට පමණි. සරලව කිවහොත්, ‘විවාහය’ නොමැතිව එය සමතික්‍රමණය කරන ‘නිදහස’ යනුවෙන් සංකල්පයක් අපට නිපදවීමට නොහැකි ය. විවාහයෙන් පිටත නිදහස සඳහා ආශාව නිපදවන්නේම විවාහය නම් සිරගෙය යි. මේ අර්ථයෙන්, ‘නිදහස’ අපට දෙයාකාරයකට වර්ගීකරණය කළ හැකි ය. (1)  නිදහස සඳහා ආශා කිරීම. (2) සැබෑ නිදහස – සැබෑ නිදහස මූර්තිමත් කරන්නේ සතුට නොව වේදනාව සහ විඳවීම යි. ‘හංස විලක්’ චිත්‍රපටයේ තේමාව මෙය යි. එය ස්ථානගත වී ඇත්තේ, ‘නිදහසට ආශා කිරීම’ සහ ‘සැබෑ නිදහස’ අතර ඇති ‘පරතරය’ (GAP) මත ය. කෙනෙක් සැබෑ නිදහස අත්විඳින විට සම්මුඛ වන්නේ, සුඛයක් නොව වේදනාවකි. ඕනෑම පුද්ගලයෙකුට ළඟා විය හැකි නිෂ්ඨාව නිදහස යි. අප බොහෝ විට කරන්නේ, නිදහසට ආශා කිරීම මිස ‘සැබෑ නිදහස’ අවබෝධ කර ගැනීම නොවේ.

                        කොමියුනිස්ට්වාදය තුළ දී ලිබරල් ධනවාදයට වෙනස්ව ‘විවාහය’ අපට එහි උන්මුල ආකෘතියෙන්ම හමු වෙයි. එනම්, කොන්දේසි සහිත ආදරය යි. එවන් විවාහයක් තුළ දී නිදහසට ආශා කිරීම වෙනුවට ‘සැබෑ නිදහස’ ආදේශ වෙයි. කොමියුනිස්ට් විවාහය තුළ ආචාරධාර්මික – ETHICAL – සත්වයෙක් බිහි වෙන නිසා ඒ පුද්ගලයාට තම ආශාව ෆැන්ටසිකරණය හරහා කුමක්දැයි වටහා ගත යුතු ය. ස්ත්‍රියක් වෙනුවෙන් කොමියුනිස්ට්වාදය නිර්මාණය කරන්නේ, ‘එක් අයෙකුට පමණක්’ ආදරය කිරීමේ සමාජ වගකීමයි. මෙය ‘ලිබරල් දෘෂ්ටියකින්’ නරඹන විට නියුරෝසික ආලයකි. අප තවත් මිනිසෙක් වෙනුවෙන් කැප වී සිටින විට වෙනත් කෙනෙකුට ආශා කිරීම පෙනෙන්නේ කෙසේ ද?

                     මේ සතියේ අග අප සාකච්ඡා කරන්නේ, ඉහත තත්වය යි. ඊට අමතරව, වෙනත් වාමාංශික සංවිධාන ‘ආදරය’ යනු, දේශපාලනයට අයිති නැති මාතෘකාවක් ලෙස සලකන්නේ මන්ද යන කාරණයත් සාකච්ඡා කෙරෙනු ඇත. ගොවිබිමේ ප්‍රශ්න, කම්හලේ ප්‍රශ්න, ජාතික ගැටළු, කොරෝනා ගැන කතා නොකර ‘ආදරය’ ගැන අප කතා කරන්නේ මන්ද?

DKG

++++++++++++++++++++++++++++++++++++++++++++

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ඔබේ අදහස කියන්න…

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*